පොල් ඉඩම්වල පලද‌ාවට රිළවුන් සහ දඬුලේනුන් දැඩි හානියක් සිදු කිරීම පොල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් සෑම ඉඩමකම අස්වැන්නේ අඩකට වඩා වන සතුන් විනාශ කිරීම නිසා පොල්වගාකරුවන් දැඩි පීඩාවට පත්ව සිටින බවත් හක්මන ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරන බව අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය.

හක්මන කොට්ඨාසයේ අක්කර තුන් දහස් දෙසීය හැටකට වැඩි ගණනක මිශ්‍ර හා තනි වගාවක් ලෙස පොල් වගාකර ඇති අතර වැවිලි සමාගමක් සතු විශාල පොල් වත්තක් ද දෙනගම ප්‍රදේශයේ තිබෙන අතර වන සතුන්ගේ ප්‍රහාරය මේ සියලු ස්ථානවලට එල්ල වී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

හක්මන ප්‍රදේශයට පමණක් නොව මුළු රටටම බලපා ඇති බරපතළ ප්‍රශ්නයකි. රටේ ඇතැම් පළාත්වල බව භෝග වන අලි විනාශ කරති. බොහෝ පළාත්වල පොල් පලද‌ාවට රිළවුන්ගෙන් හා දඬු ලේනුන්ගෙන් හානි සිදුවේ. ඉත්තෑවන්ගෙන් මෙන්ම වල් ඌරන්ගෙන් එල්ල වී ඇති තර්ජනය ද සරල නැත. වගාකරුවන්, වතු හිමියන් මෙන්ම රටේ පොදු මහ ජනතාවට ඉන් එල්ල වී ඇති පීඩාව අති මහත්ය. රටේ ආර්ථිකයට මෙමගින් ඇති බලපෑම අමතක කළ නොහැකිය.

බඩබද්ද ගොවි සංවිධානයේ ලේකම් ඩබ්ලිව්. සිරිසේන මහතා අප පුවත්පතට කර ඇති ප්‍රකාශයෙන් හක්මන කොට්ඨාසයේ පොල් වගාවට රිළවුන්ගෙන් හා දඬුලේනුන්ගෙන් එල්ල වී ඇති තර්ජනය මනාව හඳුනාගත හැකිය.

අවුරුද්දකට පොල්ගෙඩි දෙදහසක් කඩන ඉඩමකින් දැන් ගෙඩි හත්සිය පනහක්වත් කඩා ගන්න බෑ. සෑම ගහක් යටම රිළවුන් හා දඬුලේනුන් කා දමන ලද ගෙඩි දහයකට වැඩි ගණනක් තියෙනවා. කුඩා පොල් ගෙඩියේ සිට පැසුණු පොල් ගෙඩිය දක්වා සතුන් කනවා. පොල්ගස් විස්සක් තිහක් තියෙන ඉඩම් හිමියන්ට කෑමට පොල් මිල දී  ගැනීමට සිදුවෙලා.

ඛේදජචකයේ දිග පළල ඉතාම හොඳින් පැහැදිලිය. වෙළඳ පොළේ පොල් ගෙඩියක මිල එලොව පොල් පෙන්නන්නකි. පොල් ගෙඩියේ මිල ගුවන්ගත වී තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට පොල් අස්වැන්න නැති කමිනි. හක්මන කොට්ඨාසයේ පමණක් පොල් අක්කර 3300 ක අස්වැන්නෙන් බාගයක්ම සතුන් කා තිබීම නියැදියක් ලෙස ගත් කල්හි රටේම පොල් අස්වැන්නෙන් බාගයක්ම සතුන් කා තිබීම නියැදියක් ලෙස ගත් කල්හි රටේම පොල් අස්වැන්නට අත් වී ඇති ඉරණම පැහැදිලිය.

පොල් මිල ඉහළ යාමට එක් හේතුවක් ලෙස දැක්වෙන්නේ පොල් ඉඩම් කුට්ටිකර වෙන්දේසි කිරීමය. එය සත්‍යයකි. එහෙත් ඉඩමේ පොල් අස්වැන්නෙන් බාගයට බාගයක්ම සතුන් කා දමන්නේ නම් ඒවා කුට්ටිකර විකුණා දැමීමට පොල් ඉඩම් හිමියන් පෙළඹෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමතියක් ඇතිකර ගත යුතු ද නැත. එම විනාශය වැළැක්වීමට නම් අස්වැන්නට සිදුවන හානිය වැළැක්වීමට පියවර ගත යුතුය.
බඩබද්ද ගොවි සංවිධානයේ ලේකම් ඩබ්ලිව්. සිරිසේන මහතා අප පුවත්පතට මෙසේ ද ප්‍රකාශ කර සිටී. මේ ප්‍රශ්නය වසර ගණනාවක් සිට තිබෙන දෙයක්. රැස්වීම්වල දී ගැටලුව ඉදිරිපත් කරපු වාර ගණන කියන්නත් බෑ. නිලධාරි මහත්වරුන්ට මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න බෑ. රිළවුන් පළවා හැරීම කළ නොහැකි අපහසුම ක්‍රියාවක් වෙලා. ගෙවල්වලට පැනල බත් මුට්ටි රැගෙන යනවා. කාන්තාවන්ට රිළවුන් එළවීම කරන්න බැහැ. සතුන් බය නෑ.”

ගම සුන්දර යැයි කීව ද ගමේ ජීවිතය අසුන්දර වී තිබෙන්නේ එසේය. පොල් කර්මාන්තය හරහා අප රටට විශාල විදේශ විනිමයක් උපයාගත හැකිය. ‘‘පොල් වතුර’’ ලෝකය පුරා ස්වභාවික පානයක් ලෙස විශේෂ අවධානයට ලක් වී තිබේ. අප රටට එය ද හොඳ අවස්ථාවකි. එහෙත් පොල් අස්වැන්න බාගයට බාගයක් විනාශ වී යන්නේ නම් එලොව පොල් පෙනෙන පොල් මිල දෙස බලමින් හූල්ලන්නට ජනතාවට සිදුවීමත් අපේක්ෂිත අස්වැන්න නොලැබ ආර්ථික වශයෙන් අගාධයට වැටීමට ව්‍යාපාරිකයනට සිදුවීමත් වැළැක්විය නොහැකිය.

හක්මන පොල් සංවර්ධන නිලධාරි මංජුල මහානාම මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ “රිළවුන්ගේ හා දඬුලේනන්ගේ හානිය නිසා පොල් පලද‌ාව සියයට පනහකින් අඩුවී තිබෙනවා. පොල් වගාකරුවන් වසර ගණනාවක සිට මෙම ගැටලුව ඉදිරිපත් කරනවා. පොල් සංවර්ධන මණ්ඩලය සහන මිලක් යටතේ ගල්කැට සහ රතිඤ්ඤා යොද‌න තුවක්කු ලබාදීම සිදු කළා. එය ස්ථිර විසඳුමක් වන්නේ නැහැ. මෙම ගැටලුවට ජාතික විසඳුමක් අවශ්‍යයි. ඉදිරියේ දී පොල් අස්වනු තවත් අඩුවිය හැකියි” යනුවෙනි.

ප්‍රශ්නය බරපතළය. ප්‍රශ්නවලට කාලය හොඳ උත්තරයක් වන බව කියති. එහෙත් මෙම ප්‍රශ්නයට කාලය උත්තරයක් නොවේ. කල් මැරීම යනු ප්‍රශ්න උග්‍ර කරවන්නකි. එහෙයින් කල් නොයවා සුදුසු හා විධිමත් විසඳුමක් මෙම ප්‍රශ්නයට ලබාදිය යුතුය.

(***)