1950 දශකය වනවිට ලංකාවේ ඒක පුද්ගල ආදායම ආසියාතිකරයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් යැයි අපේ ආර්ථික විද්‍යාඥයෝ නිතර කියති. ඊට පෙර අවධිය යනු ඉංග්‍රීසින්ගේ යටත්විජිත ලංකාවයි. මේ නිසා නිදහසින් පසුව ලංකාව පාලනය කළ ස්වජාතික පාලකයන් රටට අත්කර දුන්නේ කුමක් ද යන්න බොහෝ තැන්වලදී ජනප්‍රිය මාතෘකාවක් වී තිබේ. මෙම තර්කනය ඉදිරිපත් වීමට ප්‍රමුඛ ලෙස ලංකාවේ මෑත අඩ සියවසේ ආර්ථික අවගමනය ද ප්‍රමුඛ හේතුවක් වී ඇත. එහෙත් මේ ඒකමානීය තර්කනය නිසාම සාකච්ඡාවෙන් යට යන තව අංශයක් තිබේ. එනම් ආර්ථික නොවන තලයේදී අප අත්පත් කරගත් ජයග්‍රහණයි. එහෙත් ලංකාව මුහුණ දෙන සමකාලීන ගැටලු විසඳා ගැනීමේදී මෙම පැතලි කියවීමෙන් විසඳුම් සෙවීම පහසු නැත. එනිසා මෙසේ සාකච්ඡාවට නොගැනෙන නමුත් කතා කළ යුතුම අංශ ගැන සමාජ සංවාදයක් ආරම්භ විය යුතුව තිබේ.

1960 සිටම ශ්‍රී ලංකාව සැලකෙන්නේ තරමක් ඉහළ ආයු අපේක්ෂාවක් සහිත රටක් හැටියටය. එකල දකුණු ආසියානු කාලයේ ඉහළම ආයු අපේක්ෂාව වූ වසර 59ක් හිමි වුණේ අපටය. ඉන්දියාව, පාකිස්තානය හා චීනය වැනි රටවල තිබුණේත් වසර 40-44 සීමාවේය. එහෙත් ඒ අවධිය වනවිටත් ඇමෙරිකාව හා එංගලන්තය වැනි දියුණු බටහිර රටවල ආයු අපේක්ෂාව අවුරුදු 70 සීමාවට පැමිණ තිබිණි. අප වසර 70ක් පමණ අපේ දේශීය ආණ්ඩු සමග ගතකර තිබේ. මේ කාලය තුළම එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල ආයු අපේක්ෂාව වැඩි වී තිබෙන්නේ වයස අවුරුදු 80 දක්වා වසර 10කින් පමණය. එනම් 1960 උපත ලැබූවකුට තවත් වසර 10ක් වැඩිපුර ජීවත්වීමට දැන් අවස්ථාව ලැබී ඇත. මේ කාලයේදී ලාංකිකයකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 59 සිට 77 දක්වා අවුරුදු 18කින් වැඩි වී තිබේ.

එහෙත් සාපේක්ෂව ගත් කල ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල තවමත් ආයු අපේක්ෂාව තිබෙන්නේ වසර 70ට ආසන්න සීමාවේය. එසේ බලද්දී සාක් කලාපයේ වැඩිම ආයු අපේක්ෂාව සහිත මිනිසුන් සිටින්නේ ශ්‍රී ලංකාවේය. ඒ හැරුණු විට මාලදිවයිනය. ලාංකිකයන් ලබාගත් මේ ජයග්‍රහණයට විවිධ හේතු බලපා ඇති අතර අපේ නිදහස් සෞඛ්‍ය සේවාව ඊට ප්‍රමුඛ හේතුවකි. මාලදිවයිනට එවැනි සෞඛ්‍ය පද්ධතියක් තිබුණේ නැත. ආහාර සුරක්ෂිතතාව තවත් කරුණකි. අප කියන කොස්, දෙල්, පොල් ආර්ථිකය ඊට ප්‍රබලව බලපා ඇත. කොතරම් ප්‍රශ්න තිබුණත් සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු බඩගින්නේ මියයන්නේ නැත. අනෙක් අතට සෑම ආණ්ඩුවක්ම වාගේ කෘෂිකර්මය නැන්වීමට වගා සංග්‍රාමය ආදී වශයෙන් විවිධ පියවර ගෙන ඇත.

එහෙත් අප එදිනෙදා සාකච්ඡාවේදී නිතර කියන කතාවක් නම් පිළිකා, වකුගඩු, පෙනහලු රෝගීන් සංඛ්‍යාත්මකව වැඩි වී ඇත යන්නයි. එය ඇත්තකි. එහෙත් එය ද නැවතත් අපේ ආයු අපේක්ෂාව වැඩිවීම සමග ගැටගැසී තිබේ. මෙය ගෝලීය තත්ත්වය සමග සාකච්ඡා කර බැලුවොත් ලෝකයේ වැඩිම ආයු අපේක්ෂාව සහිත රටවල් වන ජපානය, හොංකොංහි උපරිම ආයු අපේක්ෂාව වසර 85කි. අපට ඊට ළඟාවීමට ඇත්තේ තවත් වසර අටක පරතරයකි. ගණනය කිරීම් අනුව 2050 පමණ වනවිට ශ්‍රී ලාංකික ආයු අපේක්ෂාව අවුරුදු 83 දක්වා ඉහළ යනු ඇත. මේ අනුව සිදුවන්නේ මැදිවියේ හා වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට ඉහළ යාමය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය කාලයේ වයස් සීමා අලුතින් නිර්වචනය කළ අතර ඊට අනුව තරුණ පිරිස හැටියට සලකන්නේ අවුරුදු 18-65 අතර පිරිස්ය. ඊට හේතුව සමස්තයක් හැටියට මුළු ලෝකවාසීන්ගේම ආයු අපේක්ෂාව වැඩි වී තිබීමය. වයස අවුරුදු 65-79 අතර පිරිස් මැදිවියේ අය හැටියටත්, එතැන් පටන් අවුරුදු 100 දක්වා වයස්ගත පිරිස් හැටියටත්, සියය ඉක්මවූවන් මහලු අය හැටියටත් හැඳින්වේ. සංඛ්‍යා දත්ත බැලීමේදී පෙනීයන්නේ මෙම මැදිවියේ හා වයස්ගත සීමාවේ සිටින ජනගහනය ලංකාවේ වැඩිවෙමින් තිබෙන බවය.

මෙහිදී ආර්ථික වශයෙන් නැගෙන ප්‍රශ්නය නම් 1950 ගණන්වල ගත් ප්‍රතිපත්තිමය තීරණයක් හැටියට විශ්‍රාම වයස තවමත් අවුරුදු 60 සීමාවේ පැවැතීමය. එහෙත් පවතින ලෝක තත්ත්වයෙහි අඩුම තරමින් විශ්‍රාම වයස අවුරුදු 65වත් විය යුතුය. ඊට විද්‍යාත්මක හේතුව නම් මනුෂ්‍යයකු විශ්‍රාම යාමෙන් පසු තවත් වසර විස්සක් පමණ ජීවත්වීමයි. මේ නිසා සිදුවන්නේ රටේ ශ්‍රමික පිරිසට රැක බලාගැනීමට සිදුවන මැදිවියේ හා වයස්ගත කණ්ඩායම් සංඛ්‍යාත්මකව ඉහළ යෑමය. තව ද එම නඩත්තුවට ළමයින් ද ඇතුළු වූ විට ඔවුන්ට එය දරාගැනීම පහසු නැත. ළමා විය අවුරුදු 18 දක්වා වන නව නිර්වචනයට අනුව ආසන්න වශයෙන් ලංකාවේ මිලියන 4.5ක් පමණ ළමෝය. එවිට ඉතිරි වන්නේ මිලියන 17කි. එයින් මිලියන පහක් පමණ මැදිවියේය. ශ්‍රමික පිරිස අතර වූ වයස අවුරුදු 18-65 අතර සිටින්නේ ඉතිරි මිලියන 12ය. එනිසා මැදිවියේ හා වයස්ගත පුද්ගලයන්ගේ වැඩි වීම කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න අප මුහුණ දෙන ප්‍රමුඛ ගැටලුවක් වේ.

ලෝකය සමග සසඳද්දී අප ළඟා කරගත් තවත් විශිෂ්ට සංධිස්ථානයක් වන්නේ ළදරු මරණ අනුපාතය පහළ අගයක් ගැනීමය. ලංකාවේ පුද්ගලයන් 1,000ක් උපදිද්දී අපේ රටේ මිය යන්නේ 7.7කි. චීනය ද පරයමින් අප ක්‍රමයෙන් ළඟා වන්නේ ඇමෙරිකාවටය. එංගලන්තයටය. එහෙත් දකුණු ආසියාකරයේ ළදරු මරණ අනුපාතිකය ඉහළ අගයක් ගනී. නිදසුනකට පාකිස්තානයේ සෑම උපත් 1,000කට 60ක් ද ඉන්දියාවේ 30ක් ද මිය යති. එසේ බලද්දී 1960 සිට බැලුවත් අපේ ළදරු මරණ අනුපාතිකය සිත්ගන්නාසුළු ලෙස වෙනස් වී ඇත. එහෙත් මේ කාරණයේදී තවත් අංශයකින් රටක් හැටියට අප භයානක තැනකට ද සේන්දු වෙමින් තිබේ. එනම් 1960 වනවිට අපේ රටේ මිලියන 8 ක් වූ ජනගහනය දැන් මිලියන 21.5 දක්වා වැඩි වී ඇත. මෙය ආර්ථික විද්‍යාත්මකව සැලකෙන්නේ යහපත් තත්ත්වයක් හැටියටය. මන්දයත් වයස අවුරුදු 30ට අඩු ජනගහනය ඉහළ මට්ටමක පැවැතීම රටේ අනාගත ශ්‍රම බලයට බලපාන බැවිනි. එහෙත් රටේ එක් ප්‍රශ්නයක් වන්නේ වේගයෙන් ජනගහන අනුපාතය අඩු රටක් බවට පත්ව තිබීමය. 1960 වනවිට දකුණු ආසියානු කලාපයේ වැඩිම ජනගහන වර්ධන වේගයක් හිමි වූ ලංකාවේ ජනගහන වර්ධනය දියුණු රටකට දැන් කිට්ටු වී ඇත. චීනයට සමානය. දැනට ලෝකයේ ශීඝ්‍රයෙන් ජනගහනය වර්ධනය වන පාකිස්තානයේ වාර්ෂික වර්ධන වේගය සියයට 2කින් වැඩි වේ.

 පාලකයන් මේ කරුණ ගැන ගැඹුරින් අවධානය යොමු කළ යුතුය. මෙම තත්ත්වයෙන් ඉදිරියට ගියහොත් ඇතැම්විට ලංකාවේ ජනගහන වර්ධන වේගය බිංදුවට ආසන්න වන අවස්ථාවක් උද්ගත විය හැකිය.

ජනගහන වර්ධන වේගය පරීක්ෂා කරන්නේ වසරකට මියයන හා උපත ලබන පුද්ගල සංඛ්‍යා සසඳමිනි. ආසන්න වශයෙන් අපේ රටේ දරුවන් ලක්ෂ 4ක් උපත ලබද්දී දෙලක්ෂ විසි දහසක් පමණ පුද්ගලයෝ මියයති. එනම්, එක දවසකට 1,000ක් උපදිද්දී 600ක් මියයති. ඉහත කී පරිදි වර්ධන වේගය අඩු වීම නිසා සිදුවන්නේ ජනගහනයට සාපේක්ෂව උපදින ප්‍රමාණය අඩු වීමය. මීට ලාංකික කාන්තාවන්ගේ සරුභාවය අඩු වීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. චීන රජය තුන් වැනි දරු උපතකට අවස්ථාව දෙන බවට ප්‍රකාශ කිරීමත් ලංකාවේ මේ පසුබිම සමග තබා සාකච්ඡාවට ගත හැකිය. චීනය තුන් වැනි දරු උපතකට අවස්ථාව දීම දේශපාලනිකව ඉතා වැදගත්ය. මන්දයත් ජනගහන වර්ධන වේගය අතිශයින් අඩු රටවල් බවට ලංකාව මෙන්ම චීනය පත්ව ඇති නිසාය. වසර 30ට අඩු පිරිස පහළ අගයක් ගැනීම රටක ආර්ථිකයට මරු පහරකි. චීනය මෙන්ම අපේ රටේ පාලකයන් ද මේ සංකල්පය ගැන සිතිය යුතුය. ලොව අධිකම ජනගහනය වූ බිලියන 1.6 චීනය සතුවෙද්දී ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4 ඉක්මවා තිබේ. එහෙත් තවත් වසර විස්සක් තිහක් පමණ යද්දී නිසැකවම ඉන්දීය ජනගහනය චීනය පසු කරනු ඇති අතර, මෙය චීන පාලකයන් අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කර තිබෙනවා ඇත. අනෙක් අතට ඔවුන් මේ වනවිට අත්පත් කරගෙන ඇති ආර්ථික දියුණුව නිසා ජනගහනය වර්ධනය වීම රටට බරක් ද නැත.

රටේ සාඵල්‍යතාව අඩු වීමට ඍජුවම අපේ අධ්‍යාපන ක්‍රමය ද බලපා තිබේ. අපේ දරුවන් පාසල තුළ හා විශ්වවිද්‍යාල තුළ ඉගෙනගන්නා කාලය වැඩිය. සමස්ත ලෝකය ගත්තත් කාන්තා ගහනය පිරිමින්ට වඩා වැඩිය. ඇතැම් රටවල පිරිමි 100කට කාන්තාවෝ 125ක් ඇත. පැරැණි සෝවියට් සමූහාණ්ඩු රටවල මේ තත්ත්වය සුලබය. අපේ රටේ ඉතා ඉහළ කාන්තා ගහනයක් වර්ධනය වෙමින් තිබේ. කාන්තා ගහනය වැඩි රටක උපත් අනුපාතිකය පහළ වැටෙන්නේ ඇයි දැයි අප දැන්වත් සිතිය යුතුය. එක් අතකින් අප කොරෝනා තත්ත්වයට ස්තුතිවන්ත විය යුතුය. මන්දයත් එම කාලයේදී ගැබ් ගැනීම් වෙනදාට වඩා සියයට25-30 අතර ප්‍රමාණයකින් වැඩි වී තිබීමය. එහෙත් මේ ක්‍රියාවලි ගැන සංයුක්තව සිතන බවක් රාජ්‍ය අංශවලින් නොපෙනේ. අනවශ්‍ය ගැබ් ගැනීම් ගැන සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය සේවයේ ඇතැම් අංශවලින් ප්‍රචාරණය කෙරෙන්නේ ඒ නිසාය. අපේ රටේ වෛද්‍යවරුන් පවා ප්‍රශ්නයක් දෙස බලන්නේ වියුක්තවය. අන්ඩර් ද ට්‍රී න්‍යායෙන් සිද්ධිවාචකවය. පර්යාවලෝකනය නැතහොත් සමස්ත ලෝකය දෙස බලන ෆොරෙස්ට් වීව් න්‍යායෙන් විග්‍රහවලට යන්නේ නැති තරම්ය. එසේ බලද්දී අනවශ්‍ය ගැබ් ගැනීම් යැයි කීවත්, මෙය අපේ රටට වෙස් වළාගත් ආශිර්වාදයක් බවට පත්ව තිබෙන බව මගේ අදහසයි. අධ්‍යාපනඥයකු ලෙස මා අවධාරණය කරන්නේ වැඩිහිටි ජනගහනය ගැන වද වෙනවාට වඩා අප ප්‍රමුඛත්වය දිය යුත්තේ රටේ තරුණ ගහනය හා කාන්තාවන්ගේ සාඵල්‍යතා ප්‍රශ්නයට බවය.

අපේ කාන්තාවන් වසර 30කට පෙර දරුවන් හැදීමට කැමැති නැත. ඊට ප්‍රධාන හේතුවක් නම් අපේ අධ්‍යාපන ක්‍රමයයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කරද්දීම වයස අවුරුදු තිහකට පමණ ආසන්නය. මේ නිසා පාසල් කාලය වයස අවුරුදු 16ටත්, විශ්වවිද්‍යාල කාලය වයස අවුරුදු 23ටත් සීමා කරගන්නේ කෙසේ ද කියා අප කඩිනමින් සිතිය යුතුය. සමස්ත ආයු කාලය වැඩි වුවත් ළමා කාලය අවසන් වූ වහාම ඔවුන් සමාජගත කරන වැඩපිළිවෙළක් අපට නැති වීම විශාල ප්‍රශ්නයකි. උදාහරණයකට රසායනික පොහොරවලින් කාබනික පොහොරවලට යෑමේ මූලික අරමුණක් නම් සෞඛ්‍යසම්පන්න සමාජයක් ගොඩනැගීමයි. එහෙත් ආයු අපේක්ෂාව අතින් ගත් කල ලංකාව ගෝලීය වශයෙන් දැනටමත් සිටින්නේ 54 වැනි ස්ථානයේය. එය ඉතා හොඳ ස්ථානයකි. ඇතැම් දියුණු රටවල් පවා මෙම දර්ශකයේ සිටින්නේ ලංකාවට පහළිනි. මා කියන්නේ මිනිසුන් සෞඛ්‍යසම්පන්න වුවත් දරුවන් කලට වේලාවට බිහිකරන්නට ඔවුන්ට බැරි නම් ඒ සමාජයෙන් වැඩක් නැත. ඒ දරුවන් ද අධ්‍යාපන ක්‍රමයේ අවුලක් නිසා ජීවිතයේ ජවසම්පන්නම අවධිය නිවාස අඩස්සියේ සිටී නම් ඒ සමාජයෙන් වැඩක් නැත. එනිසා සමස්තය දෙස බලා තීන්දු තීරණ ගන්නා තැනකට ප්‍රතිපත්ති සම්පාදකයන් තල්ලු විය යුතුව තිබේ. විශේෂයෙන්ම රටේ පවතින බවට පරිකල්පනය කරන ප්‍රශ්නවලට විසඳුම් දෙද්දී ප්‍රජාවිද්‍යාත්මක දත්ත වාර්තා ද සැලකිල්ලට ගෙන පරීක්ෂා කිරීම් කළ යුතු බව මම යෝජනා කරමි. මෙතෙක් කලක් අප විසඳුම් දෙන්නට යත්න දරන ප්‍රශ්න රටේ මූලික ප්‍රශ්න නොවන බව පහසුවෙන් අවබෝධ වන්නේ එවිටය. දැන ගියොත් කතරගම බවටත් නොදැන ගියොත් අතරමග බවටත් ගමේ මිනිස්සු කීහ. රටේ ප්‍රමුඛ ගැටලු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී ද මේ ගැමි පිරුළ කාලීන වැදගත්කමක් උසුලන බව පමණක් අවසන අවධාරණය කරමි.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)