මේ දිනවල පවතින අධික ශීතල දේශගුණික තත්ත්වයත් සමගම තේ දළු අස්වැන්න සීග‍්‍රයෙන් පහත වැටීම නිසා දකුණේ කුඩා තේ වතු හිමියෝ දැඩි ලෙස අසරණව සිටිති. තම තේ ඉඩම්වලින් නෙළන තේ දළු අස්වැන්න මේ දිනවල සියයට පනහකින් පමණ අඩුවී ඇතැයි ඔවූහු පවසති. මෙසේ තේ අස්වැන්න අඩුවීමට බලපාන රෝග තත්ත්වය ගැමියන් හඳුන්වන්නේ ‘‘බුබුලූ අංගමාරය’’නමිනි. රාත‍්‍රී කාලයේ සීතල පිනිබිඳු තේ පත‍්‍ර මත වැටුණු පසු දිවා කාලයේදී එම ස්ථානවල බුබුලූ සෑදී කළු පැහැ ගැන්වී තේ පත‍්‍ර වියළි හැලී යයි. සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට ඊළඟ වසරේ මාර්තු මාසය දක්වා තේ ගොවිහු මේ රෝගයෙන් පීඩා විඳිති. එහෙත් පෙර වසරවලට වඩා මේ වසරේ සීතල අධිකවී ඇති බැවින් මෙම තේ රෝගයේ හානිය ද වැඩිවී ඇතැයි තේ ගොවීහු පවසති. මේ පිළිබඳ අදහස් දැක්වූ දෙණියාය බෙලිඅත්තකුඹුරේ තේ වගාකරුවකු වන දුමින්ද ලියනගේ මහතා මෙසේ පැවසීය. මේ බුබුලූ අංගමාරය කියන ලෙඬේ සෑම අවුරුද්දකම සීතල කාලෙට අපව අසරණ කරනවා. නොවැම්බර් ඉඳන් මාර්තු වෙනකම් මේ ලෙඬේ හැදුනම ගස්වලට වෙන හානිය නිසා මැයි විතර වෙන කම් දළු හරියට හැදෙන්නෙ නැහැ. මේ දෙණියාය ප‍්‍රදේශයේ ජනතාවගේ එකම ආදායම් මාර්ගය තේ වගාව. ජනතාව හරියට අසරණ වෙලා ඉන්නෙ ආදායම් පහළ වැටීම නිසා තේ නිලධාරීන් නොයෙක් බෙහෙත් වර්ග ගැන නොයෙක් වර කතාකළත් ඒ හැම බේතක්ම වැඩ කරන්නෙ සතියක් විතරයි. මේ ප‍්‍රදේශයේ ජනතාවගේ විතරක් නොවෙයි. රටටම ආදායම අහිමි කරන මේ රෝගය ගැන තේ නිලධාරීන් මෙයට වඩා උනන්දුවෙන් සොයා බැලිය යුතුයි කියලා අප හිතනවා. මේකට සාර්ථක බෙහෙතක් සොයා ගැනීම ඔවුන්ගේ වගකීමක්. ඒ වගේම මේ එකට එකක් ආදායම අඩුවෙලා දෙණියායෙ විතරක් නොවෙයි මේ දකුණෙම තේ ගොවීන් අසරණ වෙලා ඉන්න කාල සීමාවෙ ඔවුන්ට යම් සහනාධාරයක් ලබාදීමත් බලධාරීන්ගේ වගකීමක්. දෙණියාය ඇල්ලපහල පදිංචි ජී. සිරිසේන මහතා මෙසේ පැවසීය. පසුගිය වතාවලට වඩා මේ පාර සීතල හුඟක් වැඩියි. මේ නිසා මේ ලෙඩෙන් තේ ගස්වලට වෙලා තියෙන හානියත් වැඩියි. අක්කරයකින් තේ කිලෝ 800ක් විතර දළු කඩපු අපේ ඉඩම්වල දැන් කිලෝ 400ක් විතර තමයි කඩන්නෙ. සමහර ඉඩම්වලින් අක්කරයකට කිලෝ 200ක්වත් කඩන්න බැරි වෙලා තියෙනවා. අප හරිම අමාරුවෙනුයි දැන් ජීවත් වෙන්නෙ. කන බොන දේවල් ටිකත් ගන්නෙ බොහොම අමාරුවෙන්. හීතල පින්න ගස්වලට වැටුණම තමයි මේ ලෙඬේ හැදෙන්නෙ. කොළවලට පින්න වැටුණු තැන් හීතලට පිච්චිලා පස්සෙන්දාට බුබුල් මතුවෙනවා. ඉන් පස්සේ එතැන හිල් හැදිලා මුලූ කොළේම කළු පාට වෙලා වේළිලා හැලිලා යනවා හම්බ කරගෙන කාපු තේ ඉඩම් දිහා බලන්නත් දුකයි. තේ මහත්තුරු කියන බේත් ඉස්සට වැඩක් නැහැ. ඒක සතියෙන් ආයෙම තිබුණටත් වැඩිය වැඩියෙන් ලෙඬේ හැදෙනවා. ඉස්සර අපි සතියට හතර වතාවක් අපේ ඉඩම්වල දළු කැඩුවා. දැන් දෙවතාවක්වත් කඩන්න බැහැ. ඉතින් අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පහතරට තේ රාජධානිය කියල හඳුන්වන මේ දෙණියාය ප‍්‍රදේශයේ අවුරුදු පතා අසරණ වන අප ගැන හිතලා මේ ලෙඬේට හරියාකාර බේතක් සොයලා දෙන්න කියලයි. එතකන් අපට යම් සහනාධාර මුදලක් ලබා දෙන්න කියලයි. අකුරැස්ස ඌරුවල තේ කම්හලේ හිමිකරු තිලක් වණිගසේකර මහතා මෙසේ අදහස් දැක්වීය. මේ රෝග තත්ත්වය නිසා තේ කම්හල්වලට ලැබෙන දළු ප‍්‍රමාණයත් අඩුවෙලා තියෙනවා අපේ කම්හලට ලැබෙන දළු ප‍්‍රමාණයත් සියයට විස්සකින් විතර අඩුවෙලා තියෙනවා. මොරවක දෙණියාය වගේ ප‍්‍රදේශ උසිනුත් සීතලෙනුත් වැඩි නිසා මේ රෝගයේ බලපෑම අපේ අකුරැස්ස ප‍්‍රදේශයට වඩා වැඩියි. ඒ නිසා ඒ තේ කම්හල්වලට ලැබෙන දළු ප‍්‍රමාණය මීට වඩා අඩු වෙලා ඇති. රත්නපුර ප‍්‍රදේශයේත් මේ රෝග තත්ත්වය පසුගිය අවුරුදුවලට වඩා උග‍්‍රයි කියලා දැනගන්නට ලැබුණා. අපේ දළු සැපයුම්කරුවන් මේ රෝගී දළු අපට එවන්නෙ නැහැ. ඒත් අපිට ලැබෙන දළු අපි ඉතා හොඳින් පරීක්ෂා කර බලනවා අපේ නිෂ්පාදිත තේවල තත්ත්වය බාල වෙන නිසා. මෙම රෝගී තත්ත්වය පිළිබඳව අප මොරවක ජ්‍යෙෂ්ඨ තේ පරීක්ෂක එස්.එස්. දිසානායක මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය. මේක අලූත් රෝග තත්ත්වයක් නොවෙයි. සෑම අවුරුද්දකම අග භාගයේදී සීතල වැඩි වෙන කොට මේ ලෙඬේ එනවා. දිලීරයක් නිසයි මේ රෝගය ඇති වෙන්නෙ. ශීතල නිසා තේ පත‍්‍රවල ශක්තිය අඩුවෙනකොට ලෙඬේ හැදෙනවා. මේ ලෙඬේ වළක්වන්න නම් ඔක්තෝබර් මාසෙ අගදී තේ වතුවලට හොඳට හිරු එළිය වැටෙන විදියට තේ ඉඩම්වල සෙවණට වවන ගස්වලත් අවට තියෙන ගස් වලත් අතු කපා දමන්න  ඕන. ඊට අමතරව ලෙඬේ ආවොත් සියයට පණහක් තඹ මිශ‍්‍ර දිලීර නාශකයක් පත‍්‍රවලට ඉසින්න  ඕනෑ. මේ ප‍්‍රදේශයේ තේ පරීක්ෂක නිලධාරීන් 07 දෙනෙක් සේවය කරනවා. සෑම ප‍්‍රදේශයක්ම අපි මේ රෝගය පිළිබඳව දැනුවත් කරල තියෙනවා. මේ ප‍්‍රශ්න ඇතිවෙන්නෙ තේ ගොවි මහත්වරුන් අප ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළි නොපැදීම නිසයි.
සුරේෂ් ලියනගේ - අකුරැස්ස
දකුණේ තේ වගාවක් රෝගයට ගොදුරුවූ තේ ගසක් රෝගයට ගොදුරුවූ තේ දළු