කිලිනොච්චිය මුලතිව් කොටින්ගේ මහ බළ කොටු වශයෙන් පැවති කාලයේ මාධ්‍යවේදියකු වශයෙන් ඒ ප‍්‍රදේශවල සංචාරය කළ අවස්ථා බොහෝ විය. වවුනියාව  ඕමන්ත අපේ හමුදා මුරපොළ පිරික්සීම් වලින් පසු යුද මුක්ත කලාපය ඔස්සේ ගොස් කොටින්ගේ මුරපොළ වෙත පැමිණි පසු උන්ගේ ඊළාම් රාජ්‍යයට ඇතුළුවීම සඳහා වීසා ගැනීම දකුණේ සිට  ඕනෑම අයකුට අනිවාර්යමවෙති දකුණේ සිට යන  ඕනෑම ජගතෙකුට මෙම වීසා බලපත‍්‍රය ලබා ගත යුතු අතර ඒ සඳහා මුදල් ද ගෙවිය යුතුය. දැඩි පිරික්සීම් ඡායාරූප ගැනීම් සහ වීඩියෝගත කිරීම්වලින් පසු කොටින්ගේ ඊළාම් සිහින රජ්‍යයට ඇතුළුවීම සඳහා වීසා බල පත‍්‍රය නිකුත් කරනු ලැබේ. මත්පැන් බෝතල්, සිගරට් පැකට් හෝ වෙනත් බඩු බාහිරාදිය බොහොමයක් කොටි කප්පම් මුදල් ලබාගනිති. මෙම කාරිය ඉටුකරනු ලබන්නේ කොටින්ගේ රේගු අංශය විසිනි. කොටින්ගේ රේගු අංශය විසින් ලබාගන්නා මෙම මුදල් කප්පම් වශයෙන් සඳහන් නොකරන ලෙස එක් කොටි නායකයකු එක් අවස්ථාවකදී කළ ඉල්ලීමක් මගේ මතකයේ තවමත් රැඳී පවතී. කොටින්ගේ ඊළාම් සිහින රාජ්‍යයට ඇතුළු වී නැවත පිටව යනතෙක් ඒ වීසා බලපත‍්‍රය ළඟ තබා ගැනීම අත්‍යවශ්‍යය. එය ළඟ තබා නොගැනීම බොහෝවිට කොටින්ගේ හිරේ විලංගුවේ වැටීමට හේතුවනවා ඇත. කොටින්ගේ ඊළාම් සිහින රාජ්‍යයට ඇතුළු වූ පසු ක‍්‍රියාත්මක වන්නේ දකුණේ අපට බලපාන නීති රීති හෝ අණ පනත් නොවේ. එහි ඇත්තේ කොටිනායකයන් විසින් පනවන ලද අණ පනත් හා නීති රීති ය. එහි එදා රජකළේ කැලෑ නීතිය වුවත් කොයි කවුරුත් ඒ නීතියට අවනත විය යුතුය. කොටි නායකයාව සිටි වේලූ පිල්ලේ ප‍්‍රභාකරන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවට පැමිණ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ එවකට පැවති ඒ එජාප රජය සමග පැමිණි සාම ගිවිසුමෙන් පසුවය. කිලිනොච්චිය වට්ටකච්චියේදී පැවති මෙම මාධ්‍ය සාකච්ඡා සඳහා ලෝකයේ බොහෝ රටවලින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වූ අතර මේ මගින් කොටි සංවිධානය එදා වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යන බව මුළු ලෝකයාටම පෙන්වීමට අවස්ථාවක් කරගත් බව පැහැදිලිවම පෙනී ගිය කරුණකි. ප‍්‍රභාකරන් සහභාගිවන මාධ්‍ය සාකච්ඡාවට පැවති ස්ථානයට  එදා අපව රැගෙන ගියේ දැඩි ආරක්ෂක රැකවල් මැද්දේය. දුඹුරු වීදුරු සහිත බස් රථවල නංවාගෙන විශාල ආරක්‍ෂක ජාලයක් එදා ක‍්‍රියාවට නංවා තිබුණ බව අපට දැන ගැනීමට ලැබිණි.  
  • ප‍්‍රභාගේ නඩත්තුවට සංවිධානයෙන් මසකට ලක්‍ෂ තුනක්

  • ඉන්දීය, චීන හා බි‍්‍රතාන්‍ය ආහාර සකස්කරන්න සූපවේදීන් තිදෙනෙක්

  කොටින්ගේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශයකට අනවසරයෙන් ඇතුළු වු බවට චෝදනා කරමින් හක්මන ප‍්‍රදේශයේ යුද හමුදා සෙබළෙකු අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන කොටි අධිකරණයක් හමුවේ මාස කිහිපයක් තිස්සේ නඩු ඇසුවේය. කිලිනොච්චියේ පිහිටි කොටින්ගේ ඊනියා අධිකරණයක් හමුවේ මෙම නඩුව විභාග වූ අතර එය වාර්තා කිරීමට එක් අවස්ථාවක මම ගියේ අපේ ඡායාරූප ශිල්පී සංජීව නිරෝෂණ සමගය. ඒ කොටි නායකයන්ගෙන්  කලින් ලබාගත් අවසරයක් මතය. එදා ඒ සෙබළාගේ මව්පියන් බිරිඳ සහ කුඩා දරුවාද කිලිනොච්චිය කොටින්ගේ ඊණියා අධිකරණයට පැමිණ සිටි අතර ඔහු නැවත බන්ධනාගාරගත කරනු ලැබූ අවස්ථාව ඉතාම සංවේදී දසුනක් විය. කොටින්ගේ බන්ධනාගාර රථයකට සෙබළා දමා ගනිද්දී ඒ සෙබළාගේ කුඩා දරුවා -තාත්තේ එන්නකෝ මාත් එක්ක ගෙදර යන්න’’ යැයි කියමින් අතේ එල්ලී හඬා වැළැපුණු අන්දම අදටත් අප දෙදෙනාට හොඳ හැටි මතකය. තාත්තාගෙන් දරුවා වෙන්කර ගැනීමට සෙබලාගේ බිරියට ලොකු වෑයමක් දැරීමට සිදුවිය. කිලිනොච්චියේ හා මුලතිව්වල  ඕනෑම තැනක ඇවිදීමට මාධ්‍යවේදීන් වන අපට තියා එහි සිටින සාමාන්‍ය ජනතාවටත් නොහැකිය. බොහෝ ප‍්‍රදේශ කොටින්ගේ අධි ආරක්‍ෂක කලාපය. ඒවාට බැරිවෙලාවත් ඇතුළු වීමට උත්සාහ කළොත් වන්නේ වෙඩි කෑමටය. එහි දෙකක් නැත. එදා උතුරේ කොටිපාලනය යටතේ පැවති සමයේ ජන ජීවිතය ගැන කිසියම් හෝ ඉඟියක් ලබා ගැනීමට චිත‍්‍රයක් මවා ගැනීමට ඉහතින් ගෙනහැර දැක්වූ කරුනු කාරණා සෑහේ යැයි සිතමි. තිස් වසරක් පැවති කොටි ත‍්‍රස්තවාදය දැන් සම්පූර්ණයෙන්ම අපේ රටින් අතුගා දමා හමාරය. ඒ නිසා උතුරේ ජනතාවට  නිදහස ලැබී ඇත. කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත‍්‍රික්ක වල යාමට එදා වගේ අද -වීසා” ලබාගැනීමට අවශ්‍ය නැත. කොටින්ම කප්පම් මුදල් ගෙවිය යුතුද නැත. කොටින්ගේ මහ බළ කොටු වශයෙන් පැවති අධි ආරක්ෂක කලාප වශයෙන් පැවති ප‍්‍රදේශවල දකුණේ ජනතාව අද වන විටත් රිසිසේ සැරි සරති. දකුණේ ජනතාවගෙන් කිලිනොච්චිය සහ මුලතිව් යන ප‍්‍රදේශ පිරී ඉතිරිගොස් පවතී. එදා කොටින්ගේ මර්මස්ථාන වශයෙන් බළකොටුවල නට්ඨාවශේෂ, ප‍්‍රභාකරන්ගේ භූමි මාලිගාව, මුහුදු කොටිනායක සුසෙයිගේ බංගලාව, කොටින්ගේ බෝම්බ හා සබ්මැරින් අංශ ආදිය නැරඹීමට දකුණේ ජනතාව වැල නොකැඞී යන්නේ ඒ කොටි නායකයින් වීරයන් වශයෙන් සලකාගෙන නම් නොවේ. වැඩි පිරිසක් ආශාවක් දක්වන්නේ මුලතිව් ප‍්‍රදේශයේ සංචාරය කරමින් මේවා නැරඹීමට බව පැහැදිලිවම පෙනී යන කරුණකි. ලෝකයේ සිටි අංක එකේ මහා ජන ඝාතකයා වන්ති මනුෂීය මෙහෙයුම ආරම්භයේ දීම කොතරම් බියට පත්වුවාද කියනවා නම් මුලතිව් මහ කැලෑවේ මාලිගාවක් සාදාගෙන එයට රිංගාගත්තේ සිය බිරිඳ සහ දරුවන්ද සමගය. සියලූම සැප පහසුකම්වලින් සමන්විත භූගත මාලිගාවේ සැඟවී සිටි ඒ බියසුළු ප‍්‍රභාකරන්, මහා මිනිස් ඝාතකයා ළමුන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සටන් පුහුණුව ලබාදී සටන් පෙරමුණට යැවීමට නියෝග දුන්ණේය. මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කළේය. ඔහු ඒ සියල්ල කළේ භූගත මාලිගා මත දැඩි ආරක්ෂාව යටතේ අවසානය දක්වා සුර සැප විඳිමිනි. පුදු කුඩිරිප්පුව මංසන්ධියේ සිට ඔඞ්ඩුසුඩාන් පාරේ කිලෝ මීටරයක් පමණ ගොස් දකුණු දෙසට ගිය විට කාපට් දමා ඇති මාර්ගයක් හමුවේ. බැලූ බැල්මට නම් එවැනි පාරක් ඇති බව පෙනෙන්නේ නැත. මේ කාපට් පාර වැටී ඇත්තේ මහ කැලෑවක් මැදිනි. මේ කියන කාපට් පාරේ තවත් කිලෝමීටරයක් විතර ඇතුලට ගිය විට ඊළාම් සිහින රාජ්‍යයේ ඔවුහු සදහා දහස් සංඛ්‍යාත මිනිසුන්ගේ ලේ රස බැලූ මහා ජන ඝාතකයා සැඟව සිටි භූගත මාළිගාව හමුවෙයි. සති අන්ත දින වල නම් මේ පාරේ ලෙහෙසියෙන් කෙනෙකුට ගමන් කිරීම අපහසුය. ඒ තරමට දකුණේ ජනතාව ඒ මාර්ගය ඔස්සේ ප‍්‍රභාකරන්ගේ භූගත මාලිගාව දැක බලාගැනීමට යන නිසාය. ඒ නිසාම ලොකු තද බදයක්ද පවතී. මාර්ගය දෙපස තැනින් තැන ශක්තිමත් බංකර්ය. එදා මේ බංකර්වල සන්නද්ධ කොටි මිනිස් බෝම්බද රඳවා තබා සිටි බව කියා සිටියේ අපට මඟ පෙන්වීමට පැමිණි හමුදාවේ සහ පොලීසියේ නිලධාරින්ය. ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාව සඳහා මෙසේ ඔවුන් රඳවා සිට ඇත. එදා ඒ ප‍්‍රදේශයට මැස්සෙකුටවත් ලෙහෙසියෙන් රිංගිය නොහැකිය. ඒ තරමට දැඩි සහ සියුම් ආරක්ෂක ජාලයක් කොටින් ක‍්‍රියාත්මක කර තිබී ඇත. භූගත මාළිගාව ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇත්තේ අපුරු රටාවකට පිහිටි ගහ කොළ වලින් ගහණ ප‍්‍රදේශයකි. පිටතින් තියා ගුවනේ සිට නිරීක්ෂණය කළත් එතරම් ආරක්ෂිත මාලිගයක් තිබෙන සේයාවක්වත් මොනම ක‍්‍රමයකටවත් සොයා ගැනීමට කොහෙත්ම නොහැකිය. ප‍්‍රභාකරන් නමැති ජන ඝාතකයාගේ භූගත මාළිගාවට උඩින් පිහිටි කැළෑව උඩින් කැළෑ ඇඳුම් මැසීම සඳහා ආරක්ෂක අංශ යොදාගත් රෙදි කැබලි එල්ලා ඇත්තේ තවත් වඩාත් හොඳ ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා බව අපට මග පෙන්වූ හමුදා සහ පොලිස් නිලධාරිහු පැවසූහ. ජන ඝාතකයා අවසාන කාලයේ සැඟවී සිටි භූගත මාළිගාව නැරඹීම සඳහා ජනතාව රැස්කන ආකාරය එහි ගිය අපට දක්නට ලැබිණි. එකිනෙකා භූගත මාළිගාවට ඇතුළු කර ගැනීමට හමුදා සෙබළු ලොකු වෙහෙසක් ගනිති. භූගත මාලිගය පුරාවටම කොටි ත‍්‍රසතයන් විසින් එදා විදුලි ආලෝකය ලබාගෙන තිබුණේ සූර්ය බලශක්තිය යොදා ගනිමින් වුවත් අද එය ක‍්‍රියාත්මක නොමැත. මුළු භූගත මාලිගව පුරා අද ඇත්තේ ඝන අදුරය. හමුදා සෙබලෙක් විදුලි පන්දම් අල්ලා ජනතාවට එය නැරඹීමට අවස්ථාව සලසා දෙන නමුත් එය නැරඹීම සඳහා යන ජනතාව විදුලි පන්දමක් රැගෙන යන්නේ නම් එය ඔවුන්ට පහසුවක් වනු ඇත. සම්පූර්ණයෙන්ම වායු සමනයකර තනා තිබුණත් ඒ වායු සමීකරණ පද්ධති අද අක‍්‍රීයව පවතී. මෙහි බිත්ති අඩි තුනක් පමණ ඝනකමකින් යුක්තව මෙසේ ශක්තිමත්ව සකස්කර ඇත්තේ හමුදාවේ බර අවි සහ ගුවනින් හෙලන බෝම්බ වලටද ඔරොත්තු දෙන ආකාරයටය.  
  • ආහාර පරීක්‍ෂා කළ වෛද්‍යවරයා අවසන් සටනේදී ඉන්දියාවට පැනගිහින්

  පිටතින් බැලූ බැල්මට නම්  ඕනෑම කෙනකුට සිතෙන්නේ මෙය සාමාන්‍ය ගෙයක් බවය පොළව යට මහල් තුනක් ඉදිකර ඇති මෙතරම් සුව පහසු භූගත මාළිගයක් යැයි කියා කාටවත් කොහොමටවත් තේරුම් යන්නේ නම් නොමැත. මේ වගේ තැනක ප‍්‍රභාකරන් සැඟවී සිටිනවා යැයි කිසිවකු කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැත. මහල් තුනකින් සමන්විත මෙම භූගත මාලිගය පිටතට නොපෙනෙන ලෙස ඉතා සූක්ෂම අයුරින් තනා ඇති අතර කාමර දහයකින් පමණ යුක්තය. නාන කාමර තුනක් මෙහි පිහිටා ඇති අතර මේවාට උණුසුම් හා සිසිල් ජලය සපයන උපකරණ පද්ධතියක්ද සවිකර තිබේ. වෙඩි නොවදින ඝනකම් තහඩු යොදා සාදන ලද මාළිගාව සමීපයේම මුර කුටි සකස්කර ඇති අතර ප‍්‍රභාකරන්ගේ අධි සුඛෝපභෝගි වාහනය ගාල්කිරීමට සකස්කර ඇත්තේද භූගත බංකරයකි. යටම තට්ටුවේ රහස් උමගක් සකස්කර ඇති අතර එය සකස්කර ඇත්තේ හදිසි අවශ්‍යතාවයකදී එළියට පැන යාම සඳහාය. උමග දිගේ ගොස් රහසිගතව පිටවීමේ  ස්ථානයක් ද සකස්කර ඇත. දකුණේ ජනතාව වැඩියෙන්ම ඇදී එන ස්ථානයක් ලෙස ප‍්‍රභාකරන්ගේ භූගත මාළිගාව හැඳින්විය හැකියැයි හමුදා නිලධාරිහු පවසති. ප‍්‍රභාකරන්ගේ මේ මාළිගාව ආසන්නයේ තවත් කුටියක් තනා ඇති අතර එය යුද්ධය පැවති සමයේ මිය ගිය ඉහළම පෙළේ කොටි නායකයන්ගේ සිරුරු එහි ගෙනවිත් තැන්පත්කරන ස්ථානයකි. සිරුර මෙම ස්ථානයට ගෙන ඒමෙන් පසු ප‍්‍රභාකරන් එහි පැමිණ අවසන් ගෞරව දක්වා ඇති බවද හමුදා නිලධාරීහු පැවසූහ. භූගත මාළිගාව වටාද කාපට් කරන ලද මාර්ග පද්ධතියක් ඇති අතර තැනින් තැන මල් වගා කර තිබූ බවට සාධක අදටත් දක්නට තිබේ. විශාල ජල සැපයුම් මධ්‍යස්ථානයක් මෙහි ඉදිකර ඇති අතර ඒවා දැන් දිරාපත් වෙමින් තිබෙන ආකාරයක් දක්නට ඇත. කොටි නායක ප‍්‍රභාකරන් ඔහුගේ බිරිඳගේ සහ දරුවන්ගේ නඩත්තුව සඳහා කොටි මුල්‍ය අංශය මගින් මාසයකට රුපියල් ලක්ෂ 3 ක පමණ මුදලක් ලබා දී ඇත. ඉන්දියන්, චීන හා බි‍්‍රතාන්‍ය ක‍්‍රමයට සැකසූ ආහාර ගැනීමට ප‍්‍රභාකරන් රුචියක් දක්වා ඇති අතර ඒ ක‍්‍රමයට ආහාර පිළියෙල කිරීම සඳහා දක්ෂතා ඇති සූපවේදීන් තිදෙනකු ඔහු ළඟ සේවයකර තිබේ. පිළියෙල කරන ආහාර පරීක්ෂාකර බැලීම සඳහා වෛද්‍යවරයකු පත්කර සිටි අතර ඔහු එම කෑම ප‍්‍රභාකරන්ට පිළිගැන්වීමට පෙර පරීක්ෂාකර බලනු ලැබේ. කිසියම් වසක් විසක් කලවම්කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා මෙවැනි පරීක්ෂණයක් වෛද්‍යවරයා විසින් සිදුකර ඇත. ප‍්‍රභාකරන්ගේ කෑම බීම පරීක්ෂාකර බැලීමට යොදවා සිටි වෛද්‍යවරයා වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සමය පැවති කාලයේ හොර රහසේ ඉන්දියාවට පලාගොස් ඇති බවට තොරතුරු බුද්ධි අංශවල දැන ගැනීමට ලැබී තිබේ. ගෝන සහ මුව මස් කෑමට මහත් රුචියක් දක්වා ඇති බව කියන ප‍්‍රභාකරන් හෙනසි වර්ගයේ බ‍්‍රැන්ඩි, කැනේඩියන් විස්කි හා මිදි යුෂ පානය කිරීමට වැඩි කැමැත්තක් දක්වා ඇති අයෙකි. බිරිඳ සහ දරුවන් සමග මුලතිව් වෙරළට ගොස් මුහුදේ නෑම පුරුද්දක් කරගෙන සිටි ප‍්‍රභාකරන් වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භකිරීමත් සමග මුහුදේ නෑමට ගොස් ඇත්තේ දින 10 කට පමණ වරක් යැයි කියති. ඊළාම් රාජ්‍යයේ අගනුවර ලෙස සැලකූ කිලිනොච්චිය හමුදා පාලනයට නතුවීමෙන් පසු මුලිතිව් අල්ලා ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරීමත් සමග මුහුදේ නෑමට යාම පමණක් නොව සියලූම ආකාරයේ ගමන් බිමන් සීමාකර පුදුකුඩිරිප්පුවේ පිහිටි භූගත මාළිගාවට වී කාලය ගතකර ඇත. වසර 30 කට ආසන්න කාලයක් උතුරේ සහ නැගෙනහිර පළාතේ වැඩි කොටසක සිය අණසක පතුරුවමින් සිටි ප‍්‍රභාකරන් වඩාත් බියට පත්ව ඇත්තේ ඔහුගේ සමීපතම සගයකු මෙන්ම ඉහළ පෙළේ නායකයකුව සිටි ශංකර්ගේ ඝාතනයත් සමගම බව බුද්ධි අංශ නිලධාරිහු කිහිප දෙනෙක් පැවසූහ. වන්නියේ කොටි පාලනය යටතේ පැවති ප‍්‍රදේශයකදී ශංකර් ඝාතනයට ලක්වූයේ හමුදාවේ දුර දිග විහිදුම් බලකායේ භට කණ්ඩායමක් විසින් අටවන ලද ක්ලේමෝ බෝම්බයක් පුපුරා යාමෙනි. පැජරෝ ජීප් රථයක ගමන් කරමින් සිටි අතරවාරයේ ශංකර් ක්ලේමෝ බෝම්බයකට අසුවී මිය ගොස් තිබූ බවත් එදා තරම් ප‍්‍රභාරක්න බියට පත් වූ දිනයක් තමන්ට  මතක නොමැති බවත් වන්නි මනුෂීය මෙහෙයුම සමයේ අල්ලාගත් සහ බාරවූ ප‍්‍රබල කොටින් ගණනාවක්ම හමුදාවට ප‍්‍රකාශකර ඇත. එදා හටගත් බිය ප‍්‍රභාකරන් හමුදා ප‍්‍රහාරවලට ලක්වී නන්දිකඩාල් කළපුවේ අවසන් හුස්ම පොද හෙලන තෙක්ම පැවති බව බුද්ධි අංශ මගින් කරුණු හෙළිකර ගෙන තිබේ. වන්නි මනුෂීය මෙහෙයුමේ අවසන් සමය පැවති කාලයේ කොටි නායකයා රැඳී සිටියේ පුදු කුඩිරිප්පුවේ පිහිටි භූගත මාළිගාවේ වන අතර එම මාළිගාව පිහිටි භූමියේ වෙඩි පිටියක්ද පිහිටා තිබේ එය අදටද එලෙසම දක්නට ඇත. ප‍්‍රභාකරන් දින පතාම පාහේ මේ වෙඩි පිටියට ගොස් සිය පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම සිදු කර තිබේ. පිස්තෝලයෙන් ඉලක්කයට වෙඩි තැබීම ඔහුගේ විනෝදාංශයකි. දිනපතා ශාරීරික ව්‍යායාම කිරීම සඳහා මෙම මාළිගාව පිහිටි භූමි  භාගයේ වෙනම මාර්ග පද්ධතියක් කාපට් දමා ඉදිකර ඇති අන්දම එහි යන  ඕනෑම අයෙකුට දැක ගැනීමට හැකිය. ප‍්‍රභාකරන් දියවැඩියා රෝගයට ප‍්‍රතිකාර වශයෙන් ලබා ගන්නා බෙහෙත්වර්ගද ඒ කාලයේ හමුදාව සොයා ගෙන තිබිණි. එවකට 53 වැනි සේනාංකාධිපතිව සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ අණදීම යටතේ ගිය ලූතිනන් කර්නල් ...... රවිප‍්‍රිය මහතා යටතේ පවතින කාර්ය සාධක බළකා 8 ට අයත් ලූතිනන් කර්නල් නිලන්ත ගමගේ මහතා ගේ නායකත්වය යටතේ එවකට පැවති 14 වැනි ජගබා රෙජිමේන්තුවේ රණවිරුවෝ ප‍්‍රභාකරන්ගේ භූගත මාළිගාව අත්පත් කර ගනු ලැබුවේ 2009 වසරේ පෙබරවාරි මාසයේදීය. මුලතිව් වෙල්ලමුල්ලි වෛයිකාල් ප‍්‍රදේශයේ පිහිටා තිබියදී එම වසරේම ජනවාරි මාසයේ අල්ලාගත් කොටින්ගේ සබ්මැරින් කම්හලද දකුණේ ජනතාව බහුල වශයෙන්  ඇදී යන ස්ථානයකි. සටනේදී ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කිරීම සඳහා වෙල්ලමුල්ලි වෛයිකාල් ප‍්‍රදේශයේ ජලාශයක් මැද ඉදිකරන ලද රණවිරු ස්ථානය දැක බලා ගැනීමටද දකුණේ ජනතාව යන්නේ රනවිරුවන්ට කරන උපහාරයක් වශයෙන් යැයි අපට සිතේ. කොටි නායක ප‍්‍රභාකරන්ට විදේශයකට පලා යාම සඳහා සකස්කරමින් තිබූ බව සැලකෙන දිගින් අඩි 35 ක් පමණ වන සබ්මැරීනයක හැඩයකින් යුතු විශාල ප‍්‍රමාණයේ යාත‍්‍රාවක්ද තවත් එවැනිම හැඩයකින් යුතු යාත‍්‍රා තුනක්ද මෙහි දක්නට ඇත. මෙම යාත‍්‍ර සියල්ල වෙඩි නොවදින තහඩුවලින් තනා ඇත. මීට අමතරව වන්නි මානුෂීය මෙහෙයුමේ ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ ඡායාරූප සහ භට කණ්ඩායම් පැමිණි ගමන් මාර්ගයන් දැක්වෙන සිතියම ඇතුළත් කෞතුකාගාරයක් සහ කොටින්ගෙන් අත්පත්කරගත් විවිධ වර්ග වලට අයත් අවි ආයුද ප‍්‍රදර්ශනය කර ඇති විශේෂිත කුටිද මුලතිව් වෙල්ලමුල්ලි වෛයිකාල් ප‍්‍රදේශයේ පිහිටා ඇති අතර දකුණේ ජනතාව නැරඹීමටද විශාල වශයෙන් දිනපතාම පාහේ පැමිණෙති. මේවා සියල්ලක් සම්බන්ධයෙන් සංචාරකයන් දැනුවත් කිරීම සඳහා හමුදා සෙබළුන් යොදවා සිටී. මුලතිව් ප‍්‍රදේශයට දැන් සංවර්ධනයේ අරුනලූ උදාවෙමින් පවතී මාර්ග පද්ධතින් දිවා රාත‍්‍රි දෙකේ කඩිනමින් ඉදි කෙරෙමින් පවතී. කොටින්ගේ මහ බළ කොටු වශයෙන් පැවති මේ භූමි ප‍්‍රදේශයන් අල්ලා ගැනීමට අපේ රණවිරුවෝ ඇස් ඉස් මස් මොන තරම් නම් පරිත්‍යාග කරන්නට ඇතිද? රණවිරුවන්ගේ රක්තවර්ණ ලේ වලින් මේ භූමිය පෙනඟී ගොස් ඇත්ද? මේ භූමියේ පියවරක් ඔසවා පියවරක් තබන සෑම මොහොතකම අප ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන් කළ ඒ උදාර මෙහෙය ගැනද මෙනෙහි කළ යුතුවෙයි. අදට වඩා හෙට දිනයේ මේ ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගේ ලෝකය බොහෝ සුන්දරවනු ඇති බව නම් නිසැකය. උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා, මුලතිව් කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ජනක ගුණතිලක සහ බි‍්‍රගේඩියර් ජයවර්ධන යන මහත්වරුන්ටද උප පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න, සැරයන් නෙල්සන් (46883) සහ සැරයන් දිසානායක (22472) යන මහත්වරුන්ටද විශේෂ ස්තුතිය හිමි වේ.
සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ප‍්‍රභාගේ නිවසේ ඡායාරූප- මාදම්පේ එස්. හේරත්
පුදුකුඩිරිප්පුවේ ප‍්‍රභාකරන්ගේ නිවසේ අද තත්ත්වය මාළිගාව අසල දිය තටාකයේ ප‍්‍රභාකරන්ගේ භූගත නිවසේ නිඳන ඇඳ ප‍්‍රභාකරන්ගේ භූගත නිවසේ තිබූ කොටි රුව ප‍්‍රභාකරන්ගේ යාපනයේ ගෙදර: මෙම නිවස පසු කාලීනව විනාශ විය. ප‍්‍රභාකරන් කෑම පිසිමින් සිටි අවස්ථාවක් (අන්තර්ජාල ඡායාරූපයකි) වෙඩි පිටිය වෙඩි නොවදින බංකරය ප‍්‍රභාගේ වාහනය නැවතූ අංගනය