IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


පටු අරමුණු පෙරටුකොට රට වැට්ටවීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කරනු ලැබ ඇති ණය මුදලේ දෙවැනි වාරිකය ලබා දීම සම්බන්ධයෙන් 12 වැනිදා පැවැත්වූ අධ්‍යක්ෂ මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිතව තිබුණි. ඒ හේතුවෙන් පසුගිය ඉරිදා පාර්ලිමේන්තුව රැස් වූ විට වැට් බදු සංශෝධනය පිළිබඳව යෝජනාව සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවෙන් සිටියේය. එසේ වුවද, පාර්ලිමේන්තුවේ ගණපූරණය නොතිබීම හේතුවෙන් එය පෙරේදා (2023.12.11) තෙක් කල් තැබීමට සිදුවිය.

විපක්ෂයේ ඉල්ලීම පරිදි ඉරිදා දිනක පාර්ලිමේන්තුව කැඳවා වැට් බදු නව යෝජනාව සම්මත කර ගැනීමට බලාපොරොත්තු වූ නමුදු එය එදින සම්මත කර ගැනීමට නොහැකි වූයේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව විමතියක් ඇතිවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙවැනි වාරිකය පිළිබඳව මේ දක්වා තීරණයක් නොගැනීම කෙරෙහි බලපෑ එක හේතුවක් වූයේ රජයේ ආදායම් පිළිබඳ ප්‍රශ්නයයි. ඉලක්ක කර ගත් ආදායම බදු මගින් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳවත් එය විසින් කරුණු විමසා ඇත. අනෙක් අතට සමහර අංශ සම්බන්ධයෙන් බදු නිදහසක් ලබා දීම පිළිබඳවද ප්‍රශ්න කළේය.

භාණ්ඩ රැසක් සම්බන්ධයෙන් වැට් අය නොකිරීමේ ප්‍රතිපත්තියක් මේ දක්වාම රජය විසින් අනුගමනය කිරීම පිළිබඳවද ප්‍රශ්න මතුවිය. එබැවින් හැකි සෑම භාණ්ඩයකටම වැට් වලංගු වන අයුරින් කටයුතු කිරීමෙන් අනවශ්‍ය ආකාරයේ බදු නිදහසක් ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන නොයන බව තහවුරු කිරීමට අවශ්‍ය විය. අනෙක් අතින් මේ දක්වා සියයට 15 ක්ව තිබූ වැට් අනුපාතය සියයට 18 දක්වා වැඩි කර රජයේ ආදායම් ප්‍රමාණය වැඩිකර ගත හැකි බව පෙන්වා දීමට ද සිදුවිය. එසේ වුවද, ආණ්ඩු පක්ෂයේ ඇතැම් අයට ඒ සම්බන්ධයෙන් උනන්දුවක් හෝ වැදගත්කමක් තිබුණේද යන්න පිළිබඳව ගැටලුවක් පැන නගී. ගණපූරණය නැතිවීමෙන් පිළිබිඹු වූයේ එයයි. එසේ වුවද, ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා, සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එකතුව අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට පැය කීපයක් තිබියදී 11 වැනි දින වැට් පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර කීප වතාවකදීම ප්‍රකාශ කළේ තමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ බංකොලොත් බව වහාම අවසන් කර දැමීම බවය. ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථක අයුරින් නිම කිරීමට හැකි වීම නිසා දෙවැනි වාරිකය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව ලැබේ. ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම යනු බංකොලොත්භාවය අවසන් වීමයි. විවිධාකාරයේ දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වන බොහෝ දෙනකුට එය ඉවසා දරා සිටීම අපහසු වී ඇති බව ඔවුන් කටයුතු කළ ආකාරය අනුව පැහැදිලි වේ.

පාර්ලිමේන්තුවේ ගණපූරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අනුගමනය කරනු ලබන පිළිවෙත් සහ සම්ප්‍රදායන් තිබේ. බොහෝ වේලාවට පාර්ලිමේන්තුව තුළ ගණපූරණයක් දකින්ට නැත. මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණ විවිධ කාර්යවලට සහභාගි වෙති. එවැනි අවස්ථාවලදී ගණපූරණය නැති බව ප්‍රශ්න කළොත් පමණක් ඒ පිළිබඳව ගැටලුවක් ඇති වේ. එසේ වුවද, සාමාන්‍ය පිළිවෙත වන්නේ වැදගත් විවාදයක් පවත්නා විට අනවශ්‍ය ලෙස ගණපූරණය පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් වැළකී සිටීමයි. එහෙත් විපක්ෂය හිතාමතාම ගණපූරණය පිළිබඳව ප්‍රශ්න කර විවාදය කඩාකප්පල් කර දැමීමට කටයුතු කළේය. එහෙත් එහි සම්පූර්ණ වගකීම විපක්ෂයට පමණක් පැවරීමට නොහැකිය. ආණ්ඩු පක්ෂයද මේ කරුණු සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කළේ නම් එවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු නොවන්නට ඉඩ තිබුණි.

කවුරු කෙසේ කීවත් ශ්‍රී ලංකාව දැන් මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් අත් මිඳීම සඳහා බොහෝ විකල්ප තිබෙන බවක් නොපෙනේ. රටින් පිටකර ඇති මුදල් ආපසු ගෙන ඒම, වංචා කළ පුද්ගලයන්ගෙන් මුදල් ආපසු ලබා ගැනීම වැනි ක්‍රම ඔස්සේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම් පිළිබඳව ද සමහර දේශපාලන පක්ෂවල සහ ඒවායේ නායකයන්ගේ මත දැක්වීම් සැලකිය හැක්කේ හුදු වාගාලංකාර ලෙස පමණි. ප්‍රශ්නයට විසඳුම් ලබා දීම සඳහා තමන්ගේ වැඩ පිළිවෙළක් නොමැති විට ඇතැම් නායකයන් ප්‍රකාශ කරන්නේ එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ ප්‍රශ්නයට විසඳුම් ලබාදිය හැකි බවයි. එහෙත් ප්‍රායෝගිකත්වය වන්නේ එවැනි ක්‍රම මගින් ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඇති ඉඩකඩ ඉතා පටු මට්ටමක පවත්නා බවයි.

ශ්‍රී ලංකාව වැට් අර්බුදයකට මුහුණ දෙමින් සිටියද බොහෝ රටවල් පසුගිය කාලය තුළදී වැට් ඉහළ නංවා ඇති ආකාරය අපට දැකගත හැකිය. මේ වනවිට අසල්වැසි ඉන්දියාවේ සියයට 28 සිට වැට් අනුපාතය ක්‍රියාත්මක වේ. පාකිස්ථානයේ වැට් අනුපාතය සියයට18 කි. ඇතැම් අය ශ්‍රී ලංකාවේ වැට් බදු සංශෝධනය කර ඇති ආකාරය පිළිබඳව කිසිඳු වැටහීමකින් තොරව කරුණු ඉදිරිපත් කරන බව පෙනේ. වැට් බදු දැනටමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර, බදු අනුපාතය වන්නේ සියයට15 කි. එය සියයට 3 කින් ඉහළ දමා සියයට 18 ක මට්ටමකට ගෙන ඒම මෙම සංශෝධනයෙන් සිදුවේ. ඒ අතරම පසුගිය කාලය තුළදී වැට් බදු අය නොකර තිබූ භාණ්ඩ හා සේවා සමහරකට වැට් බදු පැනවීමද එමඟින් සිදුවේ.

වැට් බදු සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති මෙම වෙනස්කම් නිසා උද්ධමන අනුපාතය ඉහළ යනු ඇතැයි ඇතැම් පිරිස් හුවා දක්වන්නට වූහ. එසේ වුවද ශ්‍රී ලංකාවේ මීට පෙර පැවැති තත්ත්වය විමර්ශනය කරන විට පැහැදිලි වන්නේ වැට් අනුපාතය පහළ මට්ටමක පැවැති සමහර කාල පරිච්ඡේදවල උද්ධමනය ඉහළ මට්ටමක පැවැති බවය. වැට් අනුපාතය ඉහළ මට්ටමක පැවැති සමහර අවස්ථාවලදී උද්ධමන අනුපාතය පහළ මට්ටමක පැවැති බවද පෙනී යනු ඇත. අනෙක් අතට ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය මේ වනවිට ඉතා පහළ මට්ටමක පවතී. සියයට70 ඉක්මවා යන ඉහළ උද්ධමන අනුපාතයක සිට ඍණ අනුපාතයක් දක්වා වර්තමානයේදී උද්ධමන අනුපාතය පහළ බැස තිබේ. ඒ හා සාපේක්ෂව බලන විට මෙවර වැට් බදු සම්බන්ධයෙන් හඳුන්වාදී ඇති සංශෝධන හේතුවෙන් උද්ධමනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

එම බදු සංශෝධන පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම අනුව අනිවාර්ය අවශ්‍යතාවක් විය. එය සම්මත නොවුණේ නම් ශ්‍රී ලංකාවට ඉතා බරපතළ තත්ත්වයකට මුහුණ දීමට ඉඩ තිබුණි. කවර තත්ත්වයක් යටතේ වුවද රට විසින් ප්‍රමුඛතාව දිය යුතු කරුණු කීපයක් තිබේ. ඉන් පළමු වැන්න වන්නේ දැනට ප්‍රකාශයට පක්කර ඇති බංකොලොත්භාවය පිළිබඳ ප්‍රශ්නයෙන් අත් මිදීමයි. සමහරු ශ්‍රී ලංකාව දැන් ණය නොගෙවා සිටින බවත් ඒ හේතුවෙන් ආර්ථිකයේ හොඳ තත්ත්වයක් ප්‍රදර්ශනය වන බවත්, ප්‍රකාශ කරමින් සිටිති. එසේ වුවද, ශ්‍රී ලංකාව සමහර ණය කිසිඳු ආකාරයකින් නොගෙවා සිටියේ නැත. උදා: ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් ලබා ගෙන ඇති ණය මුදල් බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුවද නියමිත පරිදි ආපසු ගෙවමින් සිටී. එනිසා දැනට රට විසින් ගොඩ නගාගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය ණය නොගෙවීම නිසා සිදු වූවක් නොවේ.

ආර්ථිකය සම්බන්ධයෙන් සුබ ලකුණු අඛණ්ඩව ප්‍රදර්ශනය වන බවක් පෙනෙන්නට තිබේ. මේ වසරේ නොවැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 537.3ක් විය. ගිය වසරේ එම මාසයේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 384.4 ක් විය. රටේ විදේශ සංචාරක ඉපයීම් 2022 නොවැම්බර්වලදී ඩොලර් මිලියන 81 ක් වුවද මේ වසරේ නොවැම්බර් මාසයේ එය ඩොලර් මිලියන 205.3 ක් විය. මේ සියල්ලෙන්ම පෙන්නුම් කරන්නේ එක්තරා අවස්ථාවක දැඩි ගැටලුවක් බවට පත්වෙමින් තිබූ ප්‍රශ්න දැන් රටට හිතකර අන්දමින් වෙනස් වෙමින් පවත්නා බවය. බංකොලොත්බවින් අත් මිඳීම සඳහා තවත් අපට ගත කිරීමට ඇත්තේ ඉතා සුළු කාලයකි.

ඉරිදා දින වැට් සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත නොවීම විපක්ෂය විසින් පෙන්වා දුන්නේ ඔවුන්ගේ මහා ජයග්‍රහණයක් ලෙසය. විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගැබින් පිටත්ව ගොස් ගණපූරණය නැති වන තත්ත්වයකට කටයුතු කළහ. එය ඔවුන්ගේ මහා ජයග්‍රහණයක් ලෙස උදම් අනන ආකාරය මාධ්‍ය තුළින් මහජනතාවට දැක ගැනීමට හැකි විය. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රට තවදුරටත් බංකොලොත්භාවයේ තබා ගැනීම මෙම පිරිස්වලට ප්‍රශ්නයක් නොවන බව පෙනේ. කවරකුට රජකම් කිරීමට වුවද, පළමුව රටක් පැවතිය යුතුය යන්න ඔවුන්ට අමතක වී ඇත. රජය වහා ක්‍රියාත්මක වී වැට් සංශෝධන යෝජනා පෙරේදා සම්මත කර නොගත්තේ නම් රටේ ඉරණම බොහෝ දුරට වෙනස් වන්නට ඉඩ තිබුණි.

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (1)

පටු අරමුණු පෙරටුකොට රට වැට්ටවීම

චන්දිම ෆොන්සේකා Wednesday, 13 December 2023 12:28 PM

අනේ කොච්චර වාසනාවක්ද මේ වගේ විග්‍රහයක් කරලා අපිට කරුණු කාරණා තේරුම් කරලා දෙන උගත්, බුද්ධිමත් මහාචාර්යයවරු මේ රටේ පහළ වෙලා ඉන්න එක. සියලු සම්පත් තිබුණු මේ රට එක්කෝ නිකම්ම බංකොළොත් වුණා. එහෙම නැත්නම් රටේ ඉන්න කාලකන්නි දෙකෝටි ගණනක් ජනතාවගේ අමනකම නිසයි. මේ විදියට බංකොළොත් වුණේ... එහෙම නැතුව අද මේ වැට් බදු පනවන්න කියන දේශපාලක උත්තමයෝ කරලා තියෙන වරදක් නිසා නෙමෙයිනේ නේ? ඒ මිනිස්සු බලන්නේ මේ රටේ මිනිස්සු එකතුවෙලා බංකොළොත් කරපු රට ගොඩගන්නනේ ආයුබෝවන්...! ඉතින් ඔවුන්ට කන්න බොන්න නැති වුණා කියලා ඕවා නොකර ඉන්න පුළුවන්ද, නේද? අර බලන්න ඉන්දියාවේ හිඟාකකා හරි ඔය ඔව්වා ගෙවනවලු නේද? පාකිස්තානෙත් එහෙමලු නේද? අනිත් ඒක ඔය බදු නොගෙවපු බැංකුවලට පොලු තියපු දේශපාලක ඇත්තන්ගේ හිතවතුන්ට හිරිහැර කරන්න පුලුවන්ද බදු ගෙවපල්ලා කියලා? ණය ගෙවපල්ලා කියලා, බැහැනේ? නීතිය දැම්ම කාලකන්නි මිනිස්සුන්ගෙන් ලබන පළවෙනිදා ඉඳන් බදු ගැහුවා.. රට හදන්න පටන් ගත්තා. එච්චරයි. ඔබතුමා පොත් එහෙමත් ලියනවාද?

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 203 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 459 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 905 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 591 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 465 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1803 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 752 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 193 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site