‘‘කරුණාවෙන් සවන් දෙන්න! දුම්රිය ස්ථානය අවට සහ දුම්රිය පෙට්ටිවල ගැට කපන්නන් සිටිය හැකි බැවින් ඔබේ මුදල් පසුම්බිය, ජංගම දුරකතන, මාල ආදී වටිනා දේවල් පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න.’’ ‘‘අනතුරු ඇඟවීමේ නිවේදනයක් අප අසා පුරුදු උච්චාරණ මාදිලියෙන් වෙනස් වී, ශබ්ද විකාශනවලින් ඇසුනේ තුන්වැනි වතාවටය. රාත‍්‍රිය එළඹී තිබිණ. එහෙත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අවට ඇති විදුලි පහන් එළි කිසිවෙකටත් මේ රාත‍්‍රියේ කළුවර කපා හරිනු බැරිය. අන්තිම දුම්රිය රාත‍්‍රී එකොළහමාරට මීරිගම බලා පිටත්විය. නැවත දුම්රියක් පටන්ගන්නේ හෙට පාන්දර තුනහමාරටය. අද සිකුරාදා දවසකි. සති අන්තය ගත කරන්නට ගම්බිම් බලා යන බොහෝ දෙනා නිසා අද සෙනඟ වැඩිය. දුම්රිය කිහිපයක්ම කොටුවට ආවේය, ගියේය. රෑ බෝවීම මගී ජනතාවගේ නිවෙස් බලා යන ගමන් ලහිකර තිබිණ. ඇතැමෙක් ගමන් මලූ, බඩු පොදි ඔසවාගෙනද, එල්ලාගෙනද, තවත් සමහරු ඒ බර  බිමින් තබාගෙනද දුම්රිය ස්ථානය ඉදිරියේ ප‍්‍රවේශපත් කවුළු අසල රැඳී සිටියහ. යුහුසුළු හැමෝම ගමන් බිමන් නිමාකිරීමේද, ආරම්භ කිරීමේද කලබලයකින් යුක්ත වූවෝ වෙති. ඒ යුහුසුළු, කලබලකාරී ස්වරූපය ක‍්‍රමයෙන් අඩුවී යමින් තිබිණ. රාත‍්‍රිය සෙනඟ ගම්බිම් වලටත්, නිවෙස්වලටත්, නවාතැන් වලටත් තල්ලූකර යැවූවද එක්තරා පිරිසකට නන්නත්තාර වන්නට ඉඩදී තිබිණ. එක්කෝ ඔවුනට මඟහසර වැරදුණේය. නැතිනම් රැය ඉදිරියේ ස්වේච්ඡාවෙන්ම පරාජය බාරගෙන අසරණ වන්නට සිදුවුණේය. එසේ නැතිනම් තිරිසන් වන්නට ඉඩහළේය. මේ අතර රැයට ආවඩන, රැය නැතිවම බැරි මිනිස්සුද, ගැහැනුද දුම්රියපොළ අවට වෙත සේන්දු වෙමින් සිටියහ. රැය නිසා දහවලේ කළ සියලූ වැර වෑයම් අත්හළ එක්තරා පවුලක් දුම්රිය පොළ ඉදිරිපස අඳුරට බර පැත්තේ බිම වාඩිගෙන සිටියේය. අඩකිනුත් අඩක් පමණ අනුභවකොට අතහැර දමන ලද බත් පාර්සලයක් ඔවුන් අසලය. තරුණ කාන්තාවකි. ඇගේ කුඩා දියණියකි. මහලූ මිනිසෙකි. මමද ඔවුනතර ගැවසෙන මග වැරදුණු අතරමං වූ මගියෙකු වීමි. මහලූ මිනිසා වෙත ළං වීමි. ‘‘මගේ මේ කෙල්ලගේ මිනිහා අපිව දාලා ගමෙන් පැනලා ඇවිල්ලා. අපි දැන් දවස් තුනක් වෙනවා කොළඹ ඇවිත්. අපි හැටන්වල ඉඳලයි ආවේ. හොයනවා, හොයනවා, ඉවරයක් නැහැ. පිටකොටුවෙ කඩයක් කඩයක් ගානේ ගිහින් හෙව්වා. හෙවීම ඉවරයක් නැහැ. රස්සාව මේසන් වැඩ. දුවගෙන් බේරෙන්න බැරි නිසා තමයි අපි මේ ආවේ’’ මහළු මිනිසා කියන්නේ ඇත්තක්ද? මෙතැන කුමක් හෝ යටිකූට්ටු වැඩක් තිබේ. ඔවුනගේ නිරර්ථක වෑයම ගැන මට ඇත්තේ සැකයකි. භාර්යාවද, දරු පැටියාද දමා හැටන්වලින් කොළඹ ආ සැමියෙකු ගැන කීවද එවැනි සැමියෙකු නැත. සොයනවා තියා මේ කොළඹ හතර මුල්ලේ කොහොම හොයන්නද? අනුමානයකි. ඒ මහල්ලා අද රෑටත් ඉතා සුළු මුදලකට කාට හෝ ගැනුම්කරුවෙකුට තම එක් දරු දියණිය විකුණනු ඇත්තේය. වැඩිදුර හාරා අවුස්සන්නට ගිය මම මහල්ලාගේ කුණුහරුප වාග් ප‍්‍රහාරයට ලක්වීමි. මේ සටහනේ ලියන්නේ ඒ ප‍්‍රහාරයේ සභ්‍ය ලෙස පෙනෙන වැකි කිහිපයකි. ‘‘අපට අපේ පාඩුවේ ඉන්න දෙනවා  ඕයි. මෙතන ආවා ජාතකේ අහන්න. අපි මේ පපුවේ ගින්දර නිවාගන්න දඟලනවා. තමුසේ ඇවිත් මෙතන කවුරුත් අපෙන් නාහපු ප‍්‍රශන අහනවා..!! මා තවදුරටත්  ඉවසිය යුතුය. මන්ද රැය තවත් ඝනකම් වෙමින් පවතින බැවිනි. ඉස්ටේසමේ පිට වීමේ දොරටුවක් අසල ප‍්‍රවේශපත් එකතු කරන රාලහාමි හමුවට ගිය මා ඔහුගෙන් විමසා සිටියේ මගීන්ට රෑ නවාතැන් ගැනීම සඳහා ආණ්ඩුවෙන් හදා දෙනවාය කී, කොළඹ ගෙදර නම් ගොඩනැගිල්ල ඇත්තේ කොහිදැයි විමසීමටය. ‘‘මොන රෙද්දක්ද මහත්තයා අහන්නේ. එහෙම එකක් හදලා නැහැ.’’ මගී ජනාතාවගේ හිතසුව පිණිස දුම්රිය දෙපාර්තමේන්තුව, දුම්රිය සේවාවද ප‍්‍රගතිය කරා රැගෙන යාමට මුල පිරූ ඇමතිවරයාගේ මාරුවීම ඒ කොළඹ ගෙදර නවාතැනද ඉදිවීමේ පමාවට හේතුව වී ඇති බව තවත් නිලධරයෙකුගේ අදහස විය. ඇත්තටම කොළඹ රැය ගෙවන්නේ නවාතැන් අහිමි මගීන්ද? නැතැයි කිව හැකි නමුත් එය එසේම නොවන බව පෙන්වන මගීන් දෙතුන් දෙනෙකු ද මුණ ගැසුණි. ඔහු වැතිර සිටියේ විශාල දැන්වීම් පුවරුවක් සවි කිරීමට සෑදුණු යකඩ සැකිල්ලක පාමුලය. විදුලි පහන් එළි කෙළින්ම පතිත නොවන එතැන තරමක් අඳුරුය. ජාතික බැනියමකින්ද, සුදු දිග කලිසමකින්ද යුත් ඔහුගේ පසුපසට පීරූ හිසකෙස් බූටෑව සුදුය. ඔහුගේ අවසරයෙන් ඔහු අසලම බිම වාඩිවෙන්නට මට හැකි විය. ‘‘මගේ ගම අනුරාධපුරේ. එයිනුත් එහා හැතැම්ම දහයක් දොළහක්. මම විවාහ වෙලා. පදිංචි වෙලා ඉන්නේ ගම්පහ මුඳුන්ගොඩ. මට ලොකු දුවකුයි පුතෙකුයි ඉන්නවා. දුව කැළණි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. පුතා ඒ ලෙවල් කරනවා. මගේ භාර්යාවත් ගුරුවරියක්. මම කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්. මට ගමේ කවුරුත් කියන්නේ ගුණවර්ධන ගුරුන්නාන්සෙ කියලා. මම යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් එහෙම කරන නිසා. අනවින කොඩිවින කරන නිසා. සෙත්කවි වස්කවි කියන නිසා. මම ටියුෂන් ගුරුවරයෙක්. උගන්වන්නේ කළුතර.  විභාගෙට ළමයි ලැහැස්ති කරනවා. පන්තියෙදි නම් එක ළමයෙකුගෙන්  තුන්දාහක් අය කරනවා. වෙනම උගන්වනවා නම් රුපියල් හයදාහයි. තමා පිළිබඳ ස්වේච්ඡා හැඳින්වීමක් කළ ගුණවර්ධන ගුරුන්නාන්සේ ඊළඟට රැය ගෙවන්නේ කුමක් නිසාදැයි කීවේ කිසිවක් නොසඟවාය. ‘‘මම කළුතර උගන්වලා ඇවිත් රෑ ට මේ ඉස්ටේසම ඉස්සරහ මේ විදයට බුදියා ගන්නවා. බියර් ෂොට් දෙක තුනක් ගහලා උදේට නැගිටලා ඉස්ටේසම ඇතුලේ අලූතින් හදලා තියෙන බාත්රූම් එකට ගිහින් එතැන ගහලා තියෙන ‘මුදල් ගෙවා මුහුණකට සෝදාගන්න’ බෝඞ් එක අනුව රුපියල් පනහක් හරි සීයක් හරි දීලා මම ඒ වැඬේ කරගන්නවා. හැමදාම රුපියල්  පනහේ සීයේ ඒවා දෙන්න බැරි නිසා අර එහායින් රුපියල් දහයට සේරම කරගන්න පුළුවන් වැසිකිළියට යනවා. දැන් මුත‍්‍රා කරන්න විතරක් වුණත් රුපියල් දහයක් අයකරනවා. ඒත් එතැන වැසිකිළිය තවම ලාභයි..’’ ගුණවර්ධන ගුරුන්නාන්සේ නම් වූ කෙසඟ සිරුරෙන් යුත් ඔහු රාත‍්‍රියට අනුභව කරන්නේ මොනවද කියා නොකීවාට පානය කරන දේ නොසඟවා  කීවේය. සියලූ පරිවෘත්තීය ක‍්‍රියාවලට අදාළ කටයුතු ලාභ වැසිකිළියෙන් සිදු කරගෙන පිරියම්වී උදෑසනම ඔහු නිවස බලායාමට ගම්පහ කෝච්චිය අල්ලයි. ‘‘ගම්පහ උදේ වරුවේ ටියුෂන් කරනවා. කොඩිවින කපන්න, යන්ත‍්‍ර මන්ත‍්‍ර වැඩ කරන්න වැඩ බාරගන්නෙත් උදේවරුවේ. ඒ බාරගත්ත වැඩ කරන්න යනකොට ටියුෂන් නවත්වනවා. මම සෑහෙන්න කොඩිවින කපලා තියෙන කෙනෙක්. දෙයියොත් යක්‍ෂයාත් මගේ හොඳ යාළුවො. බලන්න මහත්තයා තව ටිකකින් මේ අවට ගැවසෙන සත්තු.’’ ගුරුන්නාන්සේ කියන තවටික වේලාව ගත වන්නට පෙරම එක් තරුණපහේ ගැහැණියක් පැමිණ මට පිටුපා හිට ගත්තාය. ‘‘ඔය පේනවා නේද මහත්තයා ළඟටම ආපු සතා’’ ගුරුන්නාන්සේ මෙබඳු ගැහැණුන් දැක පුරුදු මිස ඇසුරු නොකළ විශේෂඥයෙකි. මම නැගිට සිට ඈ යන්නේ කොහිදැයි විපරමින් බලාසිටියෙමි. අඳුරට එක් වීමට පළමු ඇය මා දුටුවාය. මා වෙත පැමිණ ඇය මා ඉදිරියේ සිටගෙන මගේ මුහුණදෙස බලා සිටියාය. ඇය මා ඩැහැගන්නට පැමිණියද ඊට නොහැකි බව ඒ මොහොතේම දැනගත්තාය. ඉවතට යන්නට සැරසෙත්ම මම ඇය නවතාලිමි. ‘‘ඇයි. මොක්ද මහත්තයා කෝඩුකාරයෙක්ද තාම. මං කරන්නේ ලෝකේ පරණම රස්සාව. ගාන එච්චර සැර නෑ. කැමති නම් යමු මරදානේ පොට් එකට’’ ඇය අඳුරේ සැඟවී ගියාය. මම යළි වටයක් ගොස් අඳුරට බර තව තැනකට සීරුවට ළංවීමි. ළඟ පාතම තවත් දර්ශනයක් මට පෙනෙයි. ඇය වියපත් ගැහැනියකි. බීඩියක් උරමින් සිටින්නීය. දුම්වළලූ  අහසට නගී. උරා බිව් දුම්වැටිය නිමවෙයි. ඇය හිස වන වනාද, අහස දෙස බලමින්ද හඬක් නොනැගෙන්නට මහ හයියෙන් සිනාසෙන්නීය. ඈ කවුරුන්ද? ප‍්‍රශ්නය විසඳුවේ ? නිරීක්‍ෂණ සක්මනේ යෙදෙන තරුණ සොල්දාදුවෙකි. ඒ කකුළක් නැති හිඟන ගැහැනියෙක්. දවල්ට හිඟා කන රස්සාවේ. ?ට බීඩි බිබී පොඩි රේඩියෝවකුත් හෙමීට දාගෙන හාන්සිවෙලා ඉන්නවා නින්දයනකම්ම. තව ගැහැණියෙක් ඉන්නවා, ඈට හොඳටම පිස්සු. අර ඉන්නේ දිග කලිසමකුත් ඇඳගෙන කිලිටු විදිහට. ඔලොගු දෙක තුනක්ම තියාගෙන. ඈට හොඳට ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවනි. ඈ නරක ගැහැණියක් නෙමෙයි. හැබැයි කොල්ලන්ව අරන් ගිහින් සුද්ධ කරලා එවනවා.’’ තරුණ සොල්දාදු මිත‍්‍රයා පෙන්වූ ඇය වෙත සමීප වීමට මා ගත් වෑයම අසාර්ථක වූයේ ඇගේ බියකරු රවා බැලීම හේතුකොටගෙනය. උමතු ගැහැණියක් මට ඉංග‍්‍රීසියෙන් බැණගෙන බැණගෙන ගියාය. ඈ මගුල් පින්තූරයක් පිළිබඳ දොඩවමින් ඊට දෙස් දෙවොල් තබමින් දුම්රිය ස්ථානයේ ඉදිරි කොරිඩෝවේ කාටත් පෙනෙන තැනක සිටියේ බිත්තිය දෙසට හිස හරවා ගෙන සිටගෙනය. මම යළිත් ගුණවර්ධන ගුරුන්නාන්සේ වැතිර සිටින තැනට ගියෙමි. තවම නිදි නැති ඔහු මා එනතෙක් බලා සිටියා වැනිය. ඔහු ළමයින්ට කරන දේශනයක් සේ මටද දේශනයක් දීමට සූදානම් කරගෙන සිටියේය. ‘‘අපේ අගනුවර කොළඹ නෙමෙයි. අනුරාධපුරේ. එහේ තමයි අපේ උරුමේ තියෙන්නෙ. මේ කොළඹ ඇති ලබ්බක් නැහැ. ඔය මහත්තයා දන්නවාද මගේ කොණ්ඩෙ ඉදෙන්නේ ඇයි කියලා. නැහැනෙ. හිසකෙස් මළාම.’’ ඔහුගේ දේශනය අභූතය. ප‍්‍රශ්නය ළමයි කොහොම ඔහුගෙන් ඉගෙන ගන්නවාද යන්නය. ඔබ නිදාගන්නේ කොයි වේලාවේදැයි මම ඇසුවේ නැත. එතැනින් වහා ඉවත්වූයේ ඔහු මට ‘‘පරාළ ඇණයක්’’ වීම නිසාය. තවත් අඩඅඳුරු මුල්ලක ඇතිරිල්ලක් නැතිවම බිම වැතිරී ඔහු සිටියේ සිය ගමන් මල්ල කොට්ටයක් සේ හිස පැත්තට තබාගෙනය. ඔහුගේ නම රාජාය. දෙමළ ජාතික පුරුෂයෙකි. කඩවත ගෙදරක තමයි මම කෝකි වැඬේ කර කර හිටියෙ. මට අසනීප වෙලා ගමේ ගියා. මගේ ගම හැටන්. ගමේ ගිහින් එනකොට ඒ ගෙදර නෝනා වෙන කෙනෙක් වැඩට අරං. ආපහු ගමේ යන්න හිතාගෙන ස්ටේෂමේ ඉඳලා හෙට උදේ වෙනකම්  මෙහෙම ඉන්නකොට මරදානේ පොලිස් මහත්තයෙකුගෙ ගෙදර කෝකි වැඬේට එන්න කියලා මට කිවුවා. මම හෙට උදේ එහෙ යන්නයි හිතාගෙන ඉන්නෙ.’’ රාජා පවුල්කාරයෙකි. බිරිය හැටන් වත්තක දලූ කඩන රස්සාවේය. දරුවන් දෙදෙනා ඉස්කෝලේ යන වයසේය. අපූරුවට, රහට ඉවුම් පිහුම් කටයුතු කරන රාජාට රස්සා වරදින්නට හේතුවක් නැත. රැය කොයි මොහොතක හෝ ඔහුගේ දෑස පියවනු නිසැකය. මධ්‍යම රාත‍්‍රිය ළඟාවෙමින් තිබුණේය. රාත‍්‍රී දහය වන තෙක් දුම්රිය ස්ථානයේ පොලිස් මුර පොළෙහි රාජකාරිය කළ නිලධරයන් හතර පස් දෙනා මාරුවී ගොස් ඇත. ඒ වෙනුවට අලූත් කණ්ඩායමක් වැඩ බාරගෙන ඇත. ඔවුනට තබා සක් දෙවිඳුටද මේ රාත‍්‍රියේ අභූත, අප‍්‍රියජනක තිරිසන් ගති සොබා වෙනස් කළ හැකි නොවේ. ඒ සම්මතයන් අසම්මතයන් වී ඇති බැවිනි. හිටි හැටියේම දිගු පීවීසී බටයක් අතින් ගත් අයිපී මහත්මයෙකු පෙරටු කර ගත් රාලහාමිලා කීප දෙනෙකු තැනින් තැනට පැමිණියේ එකිනෙකා ප‍්‍රශ්න කිරීමටය. එය හරියටම දොස්තර කෙනෙකු රෝහලක වාට්ටුවේ "වෝඞ් රවුම්” යනවා වාගේය. එක් තරුණ යුවළක් ළඟ නතර වූ රාලහාමි ඒ තරුණියගේ හැඳුනුම්පත ඉල්ලා ගත්තේය. ඊළඟට ප‍්‍රශ්න කිරීම්ය. ‘‘හා දැන් කියමු බලන්න තමුන්ගෙ පෙම්වතියගේ නම’’ තරුණයාගෙන් ඇසූ රාලහාමි තරුණියට කතා කරන ලෙස කීවේය. ‘‘තරුණයා ඇගේ නම නිවැරදිව කීවේය. ‘‘කල්යාණි’’ ඒ යුවල දෙමළ ජතික යුවළකි. විවාපත් වී ඇත්තේ ඊයේ පෙරේදාය. හෙට උදෑසන  ඕමන්තේ බලා යන දුම්රියේ  නැඟීමට රැය ගත කරන ඔවුනට සුව පහසු නවාතැන් නැත. දුම්රියපොළ ඉදිරියේ ඇති බස්හෝලට් එකට අවේ ඒ නිසාය. නොනිදාම රැුය ගෙවන්නටය. අප තරුණයාට තම බිරියගේ නම යම්ලෙසකින් කීමට නොහැකි වී නම් ඔවුනට රැය ගෙවන්නට සිදුවනු ඇත්තේ පොලිස් රැඳවුම් භාරයේය. තමා අත තිබෙන දිගු පීවීසී බටය නිදා සිටින මිනිසුන් අවදි කිරීමට මිස පහර දෙන්නට නොවේ යැය කීවේ රාලහාමිමය. වෙලාව රාත‍්‍රී දෙක පසුවී තිබිණ. පිටකොටුවේ ගුණසිංහ පුරයේ බස් නැවතුම් පොළ භූමියේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක් ගැන කියමින් දුම්රිය පොළ ඉදිරිපිට බස් හොල්ට් එක යටදී හමුවූයේ තරු පහේ හෝටල් සේවක තරුණයෙකි. වයස අවුරුදු විසි අටක චමින්ද පැමිණියේ මීගමුවේ හෝටලයෙන් ගමේ යන්නට නිවාඩු ලබාගෙනය. ගම බණ්ඩාරවෙලය. චමින්ද හෝටල් සේවයට එක්වූයේ අවුරුදු 25දීය. දැන් ඔහුගේ වයස අවුරුදු 32කි. සංචාරක ව්‍යාපාරයට අදාල හෝටල් පරිපාලන විභාගවලින් සමත් චමින්ද මුලින් රැුකියාව කළේ කොළඹ තරුපහේ හෝටලයකය. කොළඹ තිත්තවී මීගමුවට ගිය කතාව කියන ඔහු විඳින සුව පහසුව පමණක් නොව අතමිට සරුවූ සැටිද නිර්ලෝභීව හෙළි කලේ මා හා ඔහු අතර ඇතිවූ කල්‍යාණ යාළු මිත‍්‍රකම නිසාය. මම මාසෙකට දෙකකට සැරයක් ගමේ යනවා. රෑ බදුලූ කොච්චියේ නම් මම යන්නේ නැහැ. හෙට උදේ බදුලූ කොච්චියේ තමයි යන්නේ. මට ඒක සැපයි. නිදිමරාගෙන කෝච්චියෙ යනවට වඩා මෙහෙම රෑ ගත කරන එකට මම හරි කැමතියි. එළිවෙන්න තව පැය තුනකට වඩා නැහැනෙ.’’ එළිය වැටෙන තෙක් දුම්රිය පොළ භූමියට තවත් කිහිප දෙනෙකු පැමිණ ඒ ඒ තැන්වලම ඒ ඒ ඉරියවුවලින්ම ගොරවමින් තද නින්දේ පසුවෙති. එක්කෙනෙකු නින්දෙන් ඇස අරිනු ද ගමන් මල්ල බිම තබා ඇඟමැළි කඩනු ද දැකීමෙන් එතැනට ළං වූයේ වචනයක් හෝ කතා කිරීමටය. ‘‘තව පැයකටත් අඩු කාලයක් නේද එළිවෙන්න තියෙන්නේ’’’ කතාවට අල්ලා ගැනීමට ඔහුගේ පැත්තෙන්ම  පැමිණිය යුතුය. ‘‘මාත් මේ ඉන්නේ ඊයේ ? ඉඳලා’’ මා කීවේ බොරුවක් නොවේ. ‘‘මං ඉන්න මේ තුන්වෙනි දවස. මං ගෙදරින් එලවපු මිනිහෙක්. ගෑනිට කෙච්චර හොඳ කලත් ඒ කිසිම දේක වටිනාකමක් ඈට නැහැ. ඈ ආණ්ඩුවේ කන්තෝරුවක රාජකාරි කරනවා. අතට හම්බවෙන සල්ලි වලින් බලය ලැබිලා. දරුවනුත්  ඇගේ පැත්තට හරවාගෙන. මම අවලංගුවෙච්ච තාත්තා කෙනෙක්. සුරාව සූදුව මගේ ළඟ නැහැ. හොඳ බෞද්ධයෙක්. අන්තිමට මම තීරණය කළා හෙට අනුරාධපුරේ ගිහින් මහණවෙන්න. ඇගේ මෝඩකමට බෙහෙත් නැහැ.’’ ජීවිතය කළකිරුණු ඒ මිනිසා ජීවිතයේ අගය වටහා ගත් බවක් පෙන්වීය.එහි නිස්සාර බව ඔහුට හොඳින් වැටහී තිබේ. එය සතුටකි. එහෙත් ඊට වඩා ඛේදනීය තත්ත්වයක් මේ අගනගරයේ  දුම්රියපොළට  ඉදිරිපසින් ඇති මහ පාරෙන් එහා පැත්තේ ඇති පටු මෙඟහි ඒ මොහොතේ දැකිය හැකි බව කියැවේ. ‘‘එය, තිරිසන් රාත‍්‍රියක මිනිස් වෙසින් සිටිනා’’ තිරිසනුන්ගේ පාන්දර ක‍්‍රියාදාමයකි. හිතාදර පාඨකයෙනි. මේ ලිපියේ අවසනට ඒ පිළිබඳ ලිවීමට නොහැකිය. තිරිසන් රැය පහන්වී ඇත. දුම්රිය ස්ථානයේ යකඩ කටින් තවත් දුම්රියක් පැමිණි වගට වූ නිවේදනය ඇසෙමින් තිබිණ. සුපුරුදු කලබලය සහිත පරිසරයක් නෙපමාවම නැවත ඇතිවන බව සහතිකය.
ජගත් රණතුංග