IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


නිවී ගිය සිරිසේන කුරේ ලකුණ

ප්‍රකට දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත බී. සිරිසේන කුරේ මහතාගේ අවසන් කටයුතු හෙට ඉරිදා (5) සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කොළඹ මහ නගර සභාවෙන් දේශපාලනය ආරම්භ කොට කැබිනට් අමාත්‍යවරයකු දක්වා  මෙරට කැපී පෙනෙන දේශපාලනයක  නිරත වූ   සිරිසේන කුරේ මහතාගේ අභාවය පිළිබඳව අපි අපගේ සාතිශය සංවේගය පළ කොට සිටිමු. සිරිසේන කුරේ  මහතා එවක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා  සහ එවකට අගමැති වූ ආර්. ප්‍රේමදාස මහතාගේ ආරාධනයෙන් 1979 කොළඹ නගර සභාවට තරග කොට නගරාධිපතිවරයා ලෙස තේරි පත්ව 1989 තෙක් අඛණ්ඩව නගරාධිපති ධුරයේ කටයුතු කළ අතර කොළඹ නගර සභා ඉතිහාසයේ  දිප්තිමත්ම යුගය සනිටුහන් කරන්නට එතුමා සමත් විය.

කොළඹ නගරය ගොඩ නැංවීම වෙනුවෙන් මෙන්ම කොළඹ නගරය තුළ දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් ප්‍රමුඛ වැඩපිළිවෙළක් දියත් කරන්නට සිරිසේන කුරේ මහතාට හැකි විය.

සිරිසේන කුරේ මහතා දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ විශ්වාසනීය සහ සමීපතම දේශපාලන සටන් සගයෙකු විය. විශේෂයෙන්ම දිවංගත ජනාධිපතිතුමන් ස්වකීය ජනාධිපතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය තුළ සුවිශේෂී භූමිකාවක් සිරිසේන කුරේ මහතා වෙත පවරා තිබුණි. සැබවින්ම   එතුමා ජනාධිපති ධුරය දක්වා පැමිණි  ගමනේදි පසුබිමේ සිට කුරේ මහතා ඉටු කළ මෙහෙවර තුළ කලණ මිතුරෙකු, දක්ෂ සංවිධායකයකු හොද මාර්ගෝපදේශකයකු හඳුනා ගැනීමට පුළුවන.

ඉතා බිහිසුණු සමයක, උතුර සහ දකුණ දැවෙමින් තිබූ විලක්කුවක් මැද පැවති මැතිවරණයක් ලෙස 88 ජනාධිපතිවරණය හඳුන්වා දිය හැක. එහෙම මැතිවරණයක් පවත්වන්නට හිතන්නවත් බැරි සමයක් විය. එවන් පසුබිමක් තුළ සිරිසේන කුරේ මහතාට පැවරුණේ සුවිශේෂී භූමිකාවකි.

සිරිසේන කුරේ මහතා අභියෝග හමුවේ වඩාත් ක්‍රියාශීලි වන්නෙකි. එය හොදින්ම පැහැදිලි වූයේ 1988 ජනාධිපතිවරණය මෙහෙයුම තුළය. රටම භීෂණයෙන් ඇළලි ගිය සමයක මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම භාරගත් එතුමා අභියෝගයට අභියෝග කළ ආකාරය අදට ද පූර්වාදර්ශයකි.

ඉතා සූක්ෂම ලෙසත්, උපක්‍රමශීලී ලෙසත්, ස්ථානෝචිත ප්‍රඥාවත් යොදාගනිමින් සිරිසේන කුරේ මැතිතුමා මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය සවිමත් කළේය.

 

”‍මේ කවුද? මොනවද කරන්නේ ? යනුවෙන් දිවයින පුරා එක රැයක් තුළ පෝස්ටරයක් අලවමින් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුත්ත  ආරම්භ කොට, ඒ මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණයෙන් නිමා කළේ සිරිසේන කුරේ මහතාගේ සංවිධාන ශක්තිය මනාව පෙන්වා දෙමින් ය.

එම ප්‍රචාරණ යාන්ත්‍රණය අද පවා මුළු රටම උනන්දුවෙන් කතා කරන මෙහෙයුමකි.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගම් උදාව වැඩපිළිවෙලට නගරාධිපති ධුරයේ සිටම නගර සභාව හරහා විශාල කාර්ය භාරයක් ඉටු කළ සිරිසේන කුරේ මහතා  1989දී පාර්ලිමේන්තුවට පිවිසි මොහොතේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත් වූයේය. ඔහුට එකී අමාත්‍යාංශය හිමි වන්නේ  ගම්උදාව පිළිබදව සහ නිවාස ප්‍රශ්නය පිළිබඳව  මනා දැනීමක් ඔහු සතුව තිබු නිසාවෙනි.

සම්ප්‍රදායික දේශපාලන ක්‍රියාදාමයෙන් බැහැර වූ ප්‍රේමදාස මහතා විශේෂයෙන් අවධානය යොමුකරනු ලැබුවේ මෙරට ජීවත්වන දුගී දුප්පත් ජනතාව කෙරෙහිය. ඔවුන් දිනා ගැනීම යනු රට දිනා ගැනීම බව දැඩිව විශ්වාස කළ ප්‍රේමදාස මහතා, සිය දේශපාලනික දිවි පෙවෙතේ ඉටුකළ බොහෝ ක්‍රියාකාරකම්වලින් උත්සාහ ගනු ලැබුවේ දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමටය.

එතුමන්ගේ එම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සිරිසේන කුරේ මහතා දෙන ලද සහයෝගය ද අපමණය.

ඔහු ජනතා සිත් සතන් පිළිබඳව විශාල අවබෝධයක් තිබූ මහජන නියෝජිතයෙකි. කිසියම් වැඩක් බාර දුන් විට ඒ කටයුත්ත සම්පූර්ණ කිරීම සහ ඒ වෙනුවෙන් අවංකව කැප වීම එතුමා තුළ පැවැති උදාර ලක්ෂණයකි.

එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් හදිසියේම රංජන් විජේරත්න මැතිතුමා අභාවයට පත්වූ අතර, පසුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට රණසිංහ ප්‍රේමදාස මහතාගේ තේරීම වූයේ ද සිරිසේන කුරේ මහතාය. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය  වෙනුවෙන් අරගල කරමින් ප්‍රේමදාස  මහතා පුරවැසි පෙරමුණ  ආරම්භ කළ අවදියේ සිටම සිරිසේන කුරේ මහතා  රණසිංහ ප්‍රේමදාස මහතා සමග එකට එක්ව විශ්වාසනීය ලෙස කටයුතු කළේය. එලෙස  ගොඩ නැගුනු විශ්වාසය හොදින්ම පැහැදිලි වු අවස්ථාවක් ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සිරිසේන කුරේ මැතිතුමාට පක්ෂ මහලේකම් කම ලබාදීම  සැළකීමට  පුළුවන.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ හදිසි අභාවයට පසුව එතුමාගේ පිළිරුව සාන්ත බස්තියමේ ඉදිකරන්නටත්, එතුමා ඝාතනය වූ ආමර් විදියේ ස්මාරකයක් ගොඩ නගන්නටත්, ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගනය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ නමින් නම් කිරීමටත්  කටයුතු කළේ සිරිසේන  කුරේ මහතාය.

තනතුරු පසුපස හඹායන සමාජයක, සිරිසේන කුරේ මැතිතුමා තනතුරු අත්හල අයෙකි. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අභාවයෙන් පසුව සිරිසේන කුරේ මහතා සක්‍රිය දේශපාලනයේ යෙදුනේ සීමිත වශයෙන් ය.

දිවංගත ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ ඉල්ලීමක් ප්‍රකාරව පක්ෂයේ මහ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වූ එතුමා සිය මැද කොළඹ ආසනය ද භාර දුන්නේය. දේශපාලනය තුළ පරිත්‍යාගය යන ගුණයට එතුමා අලු‍ත් අරුතක් එක් කළේය.

1994 බිහි වූ ආණ්ඩුව යටතේ නිවාස අඩස්සියට පත් වූ එතුමා දේශපාලනය තුළ නින්දා ප්‍රශංසා, යස,  අයස, ලාභ, අලාභ මැදිහත් සිතින් විදි සරල මිනිසෙකි. හඬ නොනගා කතා කරන සැම විටම සිනහව මුවග රැදි චරිතයකි. හෙතෙම, කිසිවෙකු හෝ සමග තරහ නොවන, සියල්ලන් අතර සමගිය ඇති කරන්නට උත්සාහ දරන මහත්මා ගුණයෙන් සපිරිව සිටි චරිතයකි.

අභාවප්‍රාප්ත බී. සිරිසේන කුරේ මහතාට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

(***)
සජිත් ප්‍රේමදාස,
විපක්ෂ නායක

 



අදහස් (0)

නිවී ගිය සිරිසේන කුරේ ලකුණ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29502 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18228 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11728 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 728 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 216 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 866 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site