IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නිදහස් දා ජාතියේ පියා සිහිකරමු

දශක ගණනක් තිස්සේ අප ජාතීන් කිහිපයක බලපෑමට යටත්ව කල්ගෙවා අවසානයේ මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා අදට වසර 73කි. නොඑසේ නම් මේ රට සහ මේ රටේ ජනතාව දශක ගණනාවකට පසු කිසිවකුට කිසිදු බැඳීමක් නොමැතිව ස්වාධීනව ජීවත්වන්නට පටන් ගෙන ගෙවෙන හැත්තෑ තුන් වැනි වසරයි. කෙසේ වුවද 1948දී දිනාගත් නිදහස අද වන විට ඒ ආකාරයෙන්ම සාක්ෂාත් වී ඇත්දැයි ගැටලුවකි.

අභිමානවත් ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන අපි, යටත්විජිත පාලනයෙන් නිදහස් වීමේ 73 වැනි වසර මෙවර සමරන්නෙමු. අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ජාතියක් ලෙස අප බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ පාලනයෙන් මිදුණු, ස්වදේශීය අනන්‍යතාවෙන් හෙබි, ආර්ථික, දේශපාලනික මෙන්ම සමාජ, සංස්කෘතික පෙර ගමනකි. සියවස් හතරකට වැඩි කාලයක් පුරා අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණවලට හසුව පීඩා විඳි ස්වදේශිකයන්ට නිදහස යන වචනයේ සැබෑ අරුත පසක් කර දෙමින්, ඒ පරාදීන යුගය එකදු ලේ බිඳක් හෝ නොසොල්වා අවසන් කරන ලද්දේ ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ නායකත්වය සහ මගපෙන්වීම ඔස්සේය.

ශ්‍රී ලංකාවට නිදහස උදා කර දුන් එම හේතුව නිසාම ‘‘ජාතියේ පියා’’ යන විරුදාවලියෙන්ද පිදුම් ලැබූ එතුමන් අද දිනයේ සිහිපත් කිරීම කළගුණ දත් ජනතාවකගේ ජාතික යුතුකමකි. ඩී.එස්. යන කෙටි නාමයෙන් කවුරුත් ආදරයෙන් සිහිපත් කරන ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ දැක්ම වූයේ සරුසාර ලක් පොළොවේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමත්, බලශක්තියෙන් හා විධිමත් තාක්ෂණයෙන් රට දියුණු කර සෞභාග්‍යවත් දේශයක් කරා පියනැගීමත්ය.

1915දී ඇරැඹි සිංහල, මුස්ලිම් කෝලාහල පැවැති වකවානුවේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඩී.එස්., එෆ්.ආර් සහ ඩී.සී. සේනානායක යන සොහොයුරන් සිරභාරයට ගන්නා ලදී. එම අවස්ථාවේදී සති ගණනාවක් මුස්ලිම් කෝලාහලයේ මුවාවෙන්  ඩී.එස්. සේනානායකයන් ඇතුළු පිරිසට සිරබත් කන්නට සිදුවූයේ ජාතික නිදහස් සටනට පණපෙවීමට ඉදිරිපත් වීම මොට කරවීමට ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූ නිසාය.

අනතුරුව 1931 පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාව සඳහා මිනුවන්ගොඩ ආසන නියෝජිතයා ලෙස නිතරගයෙන් පත්වූ සේනානායකයන්ට කෘෂිකර්ම ඇමැති පදවිය හිමිවිය. ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තියට නව මුහුණුවරක් ලබාදුන් එතුමා 1933දී ඉඩම් පනත සම්මත කර ගත්තේය. මෙරට තුළ කෘෂිකාර්මික නවෝදයකට මුලපිරූ එතුමා දිවයිනේ නොයෙක් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ගොවි ජනපද ව්‍යාපාරය කඩිනමින් ව්‍යාප්ත කළේය. කලා වැව, බලලු වැව වාරි ව්‍යාපාරය, මිණිපේ ව්‍යාපාරය, පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය, විදේශීය ණය ලැබීමක් නොමැතිව දේශීය සම්පත්වලින් පමණක් නිර්මිත ගල්ඔය සේනානායක සමුද්‍ර ව්‍යාපාරය ආදී දැවැන්ත කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපාර එතුමන් සිදු කළ ජතික මෙහෙවර සිහිගන්වන සිහිවටනයන්ය.

1946දී  ඩී.එස්. සේනානායක මැතිතුමා තම කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී නූතන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික පසුබිම සකස් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ එක්සත් ජාතික පක්ෂය බිහි කිරීම සඳහා ක්‍රියා කළේය. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ඇතුළු ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑමට ශක්තිමත් දේශපාලන පක්ෂයක අවශ්‍යතාව මතුව තිබූ අවධියක එක්සත් ජාතික පක්ෂය බිහි කරමින් සිංහල මහා සභාව, ලංකා ජාතික සංගමය, මුස්ලිම් සංගමය වැනි දේශපාලන සංගම් මෙන්ම ඉන්දියානු හා ලංකා දෙමළ නායකයන් රැසක් එකට එක් කිරීමට ද එතුමාට හැකි විය.

සියලු ජාතීන් එක්සත් කිරීමේ අභිලාෂය මත ගොඩනැගුණු දේශපාලන පක්ෂය යනුවෙන් අර්ථගැන්වෙන ආකාරයෙන් එය ‘‘එක්සත් ජාතික පක්ෂය’’ යනුවෙන් හැඳින්වීමට අවධානය යොමු විය. එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේ එහි ප්‍රථම නිලධාරි මණ්ඩලය තෝරාගැනීමේදී මහාමාන්‍ය  ඩී.එස්. සේනානායක මහතා සභාපතිවරයා ලෙස කටයුතු කළේය. එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අවස්ථාවේදී ‘‘අපි ලාංකික ජාතියක් වශයෙන් පැවැත්මේ අවබෝධය ඇති කරගත යුතුය. ජාති ආගම් භේද අනවශ්‍යයි. සිංහල, ද්‍රවිඩ, යෝනක, මැලේ හෝ බර්ගර් නැතහොත් යුරේෂියන් වර්ගයට අයත් වුවද අප සිතිය යුත්තේ මෙය අප ජනිත වූ භූමිය කියාය. බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි භක්තිකයන් වුවද අප සියලුම දෙනා පැවසිය යුත්තේ අපේ භූමියට ආශිර්වාද වේවා යනුවෙනි’’ යැයි  ඩී.එස්. සේනානායක මහතා එදා ප්‍රකාශ කළේය.
1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ  ඩී.එස්. සේනානායක මහතා ප්‍රථම පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය. 1948 පෙබරවාරි 04 එනම් අදින් වසර 73කට ඉහත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාවට නිදහස හිමි කර දෙනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂයේ ඉහළ පෙළ නායකයන් විසින් කරන ලද බුද්ධිමය කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය සිහිපත් කරන සෑම මොහොතකම එක්සත් ජාතික පක්ෂයත්, එහි නිර්මාතෘ  ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්වත් ගෞරව බහුමානයෙන් සිහිපත් කරන්නේ එබැවිනි.

ඩී.එස්. සේනානායක මැතිතුමන් ජාතික සංහිඳියාව මුදුන්පමුණුවා ගැනීම සඳහා පුරවැසි පනත හඳුන්වාදීමෙන් මෙරට ආර්ථිකයට වැදගත් කාර්යභාරයක් ඉටුකරන, වතුකරයේ දෙමළ ශ්‍රම බළකාය වෙනුවෙන් පුරවැසිභාවය ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. 1950 දශකය වන විට එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ කෘෂි විප්ලවය වියළි කලාපය තුළ ඉතා සාර්ථක අන්දමින් මුල්බැසගැනීමට සමත් විය. මෙමගින් ශ්‍රී ලංකා සමාජය ඈත අතීතයේ සිට පවත්වාගෙන පැමිණි කෘෂිකාර්මික සමාජ සංස්කෘතික පරිසරය ආරක්ෂාකොට ඉදිරියට ගෙනයාමට පදනම සකස් කෙරිණි.

මෙවැනි සමාජ, ආර්ථික හා සංස්කෘතික ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හේතු වූයේ රටේ අභිවෘද්ධිය ගොඩනැගීමට සියලු ජාතීන්ගේ සමගිය තහවුරුකොට එනිකෙකාට ගරු කිරීමේ උතුම් ගතිපැවතුම් සමාජගත කිරීමේ දර්ශනය එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන ගිය නිසාය.

‘‘වැවයි-දාගැබයි, ගමයි-පන්සලයි’’ යන්න සාක්ෂාත් කරමින් නිදහසින් පසු ශ්‍රී ලංකාව තුළ ආගමික පුනරුදයක් ඇති කිරීමටත්, කෘෂිකාර්මික ප්‍රබෝධයක් හා නවෝදයක් ඇති කිරීමටත් මූලික වූයේ සේනානායකයන්ගේ චින්තනයයි. වසනතුන්, වෘක්ෂලතා ඇතුළු ස්වාභාවික පරිසරය සංවර්ධනයේ නාමයෙන් අපේක්ෂා කළ එතුමා යාල හා විල්පත්තු අභය භූමි නීත්‍යනුකූලව ස්ථාපිත කළේය. ගලා යන ගංගා ජලය හරස් කොට ජල විදුලිය නිපදවීමට ගත් ආරම්භක පියවරක් ලෙස විමලසුරේන්ද්‍ර විද්වතා නමින් ලක්ෂපාන විදුලි බලාගාරය රටට හඳුන්වා දුන්නේ ද එතුමාගේ කාලයේදීය.

ඩී.එස්. සේනානායකයන්ගේ එජාප ආණ්ඩුව මෙන්ම නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලබන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාද, ‘‘නිදහස් අධ්‍යාපනය මෙරට ක්‍රියාත්මක කළ යුතුය’’ යන සටන මල්ඵල ගැන්වීම සඳහා විශේෂ දායකත්වයක් සැපයීය.  ඩී.එස්. සේනානායකයන්ගේ අභාවයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හොබවමින් අග්‍රාමාත්‍ය ධුර, ජනාධිපති ධුර මෙන්ම විපක්ෂ නායක ධුර හොබවන ලද සෑම නායකයකුම පාහේ ජාතික සහජීවනය ගොඩනැගීම සඳහා එජාපය ආරම්භ කළ ප්‍රතිපත්ති සමුදාය ඉදිරියට ගෙනයෑමට කටයුතු කළේය.

කෙසේ වුවද ගෞරවාන්විත දේශපාලනයක නිරතවෙමින්, නිරතුරුව ජන සම්මතවාදයට හිස නැමූ  ඩී.එස්. සේනානායකයන් වැනි දේශාපලනඥයන් තවදුරටත් රටට පහළ නොවීම ජාතියේ අවාසනාවකි.

(***)
(ඡායාරූපය:- අන්තර්ජාලය ඇසුරිනි)
එක්සත් ජාතික පක්ෂයේ
නියෝජ්‍ය නායක
රුවන් විජයවර්ධන



අදහස් (0)

නිදහස් දා ජාතියේ පියා සිහිකරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 568 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2266 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1701 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site