කුමරතුඟු මුනිදස් මහ සුබැසියාණන්ගේ ඊයේට (2) යෙදුණු 81 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.
දුල්ලභො පුරිසාජඤ්ඤො
න සො සබ්බත්ථ ජායති
යත්ථ සො ජායති ධීරො
තං කුලං සුඛමෙධති
(ධම්මපදය)
ආජන්‍ය හෙවත් උසස් පැවැතුම් ඇති පුරුෂයා දුර්ලභ ය. හේ හැමතැනෙක ම නූපදී. නුවණැති ඒ පුද්ගලයා යම් පරපුරෙක උපදී ද, ඒ පරපුර නැතහොත් රට සුවයට පැමිණේ. තථාගතයන් වහන්සේ අරබයා මේ අදහස පැවැසුණ ද ලොවුතුරායෙන් මෙ පිට පරමාර්ථය සඳහා දිවි පිදූ ශ්‍රේෂ්ඨ මිනිසුන් සඳහා ද යොදාගත හැකි රුවන් වැකියක් ලෙස මෙය සඳහන් කළ හැකි ය.
ඉහත සඳහන් බුදු වදනට අනුරූ වූ සිරිතක් ලෙස කුමරතුඟු මුනිදසුන් හැඳින්විය හැකි ය. එහිලා කනගාටුවට කරුණක් වන්නේ පනස් හය වසරෙක දිවියෙක අට තිස් වසරෙක කාලයක් තුළ එතුමා බසත් රැසත් දෙසත් වෙනුවෙන් කළ අනැඟි මෙහෙවරින් අප කොතෙක් දුරට වැඩ ගත්ත ද යන්න සිතෙන විට ය. ගුරු කුල වාදයෙන් ද කුල වාදයෙන් ද හිස් පුරවාගත්තවුන් නොයෙක් ඉසවු පිළිබඳ ව කුමරතුඟුන් පළ කළ නිදහස් අදහස් යටපත් කරන්නට තැත් කළ ද තැළීමෙන් පෙළීමෙන් වඩ වඩාත් අගය මතුවන රනක් සේ එහි වටිනාකම් ලෝකයට පෙනෙන්නට විය. එදාටත් වඩා මෙ කල එම අදහස් නැවුම් ව ගැඹුරු ව පලවත් ව පොදු ජන හදට ළං වෙමින් පැවැතීම සැබැවින් ම විස්මකුරු ය.
සිංහල භාෂාවට නව ආරක්, නව හැඩයක්, නව පණක්, නව එළියක් ගෙන දුන්නෝ කුමාරතුංගයෝ ය. ඒ සඳහා ඔවුන් මූලික ව පදනම දැමූයේ අධ්‍යාපන කාර්යය මඟිනි. අප රට තුළ අධ්‍යාපනය කරවූ දේශීය හා විදේශීය බොහෝ අදියෙවුම් නිලදරුවන් කුමාරතුංගයනට ඉඩක් නුදුන්න ද, ගුරු අභ්‍යාස විද්‍යාලවලින් නික්මුණු බොහෝ ගුරුවරුන්ගෙන් කුමරතුඟු මඟට සුවිසල් අත්වැලක් ලැබිණි. හෙළ හවුලක් බිහිව නව හෙළ බස් මඟක් සිරිලක පුරා පැතිරෙන්නට වූයේ එ කී ගුරුවරුන්ගේ මාර්ගයෙනි.
කුමරතුඟු මුනිදසුන් ගේ ප්‍රධාන ප්‍රයත්නය වූයේ වියවුල්ව පැවැති බසත් වියරණයත් හෙළ ලිවිසැරියත් නිරවුල් කොට පිරිසුදු කොට නිවැරදි කොට තැබීමයි. ඒ වෙනුයෙන් ඔහු ‘‘ව්‍යාකරණ විවරණයක් ද ක්‍රියා විවරණයක්ද” අලුතින් සම්පාදනය කළෝය. තමන් ගේ දොසක් වුව යුක්ති යුක්තව සකාරණව පෙන්වා දුන් කල මුදුනින් පිළිගැනීමේ උතුරු මිනිස් ගුණයක් ඔවුන් තුළ වීය. බස් විරුවකු සේ බුහුමන් ලැබූ ඔවුන් ගේ සේවාව බසටම සීමා නොවීය.
කුමරතුඟුවෝ මහ කිවියෙකි, නිමැවුම් කරුවෙකි, පුවත්පත් සකසුවෙකි, සම්භාව්‍ය කෘති රැසක විවරණ කරුවෙකි, ඉතිහාසඥයෙකි, අධ්‍යාපනඥයෙකි, සමාජ ශෝධකයෙකි. දේශීය සංගීතයක් සඳහා මුල පිරූ කෙනෙකි, දාර්ශනිකයෙකි, සැදැහැවත් බුදුනුවෙකි, මේ එක් එක් විසවුහි ඔවුන් කළ මෙහෙවර විස්මයාවහ ය. ඔහු අසදිසි මිනිසෙකැ යි වියතුන් පවසන්නේ එ හෙයිනි.
අපේ රටේ අධ්‍යාපනය තුළත් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහිත් කුමාරතුංගයන් කළ, කී දෑ ගැන නිසි අධ්‍යයනයක් වී නම් දේශීය ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, විචාරය, නිර්මාණාත්මක ඥාන ගවේෂණය, පරිසරවේදය, අදීන චින්තනය, නවීන විද්‍යාත්මක ප්‍රවාද, මානව විද්‍යාව, භාෂාත්මක පරිඥානය ආදි ඉසවුහි නව පර්යාලෝකයක් නව පරපුරට හිමි කැරගැන්මට අවස්ථාව තිබිණි. දැන් වුව ද ඒවා ගැන පිරියෙසුම් කරන කෙනකුට 19 වන සිය වසේ මුල් භාගයේ විසූ ප්‍රාඥයකු ගේ නූතනවාදී මත වාද මැනැවින් හෙළිදරවු කැරගත හැකි වනු ඇත.
පැහැයෙන් කළු වුව ද චින්තනයෙන් සුදු අධිරාජ්‍යවාදීනට ගැළැපෙන පරපුරක් ප්‍රයෝගකාරී ව තැනීමේ ප්‍රයත්නයෙක සිටි පරාධීන සමයෙක විසූ කුමාරතුංගයනට මේ විපතින් සිංහලයා මුදවාගැනීමේ අවශ්‍යතාව හොඳින් ම පෙනිණි. දේශීයත්වය, ස්වාධීනත්වය, විචාරශීලිත්වය ඔවුන් කළ හැම නිර්මාණයෙක ම ඉස්මතු ව පෙනෙන්නේ එ හෙයිනි.
උගන්නැ සිය බස
මත් වන්නැ එහි රසයෙන්
දකින්නෙ’හි මහඟු බව
කියා දෙන්නැ අනුන්ටත්
අනුන් පර බසෙකැ
අගය වනත පුනපුනා
සිය අගය පානු බැරි
හෙළයා මහ නිවටයෙකි
කා කුමක් කීවත්
සිය බස කෙලෙසා අපට
නිදහසෙක් නො මැ ලැබේ
පටන් ගන්නැ සිය බසින්
රට කරවන අය කුමරතුඟු දස්න දැන හැඳින සිටියාහු නම් අප රට මෙතෙක් ගිලගෙන ඇති ණය මර උගුලින් බේරෙන්නට අවස්ථාව තිබිණි. සංවර්ධනය පිළිබඳ ව, වෙසෙසින් ම නිෂ්පාදන ආර්ථිකයේ සංවර්ධනය පිළිබඳ ව අදහසක් නොතුබුණු අවධියෙක එහි අගය මතු කළෝ කුමරතුඟුහු ය.
‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නො නඟී
හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී’
ඒ වෙනුයෙන් ඔවුන් පළ කළ සුපතළ අදහසෙකි මේ. ජාතිය අද පත් ව ඇති විපත ඔවුන් දිවැසින් දුටුවා සේ ය. අප සතු දෑත් අප ගේ සවියත් නුවණත් බලයත් හැකියාවත් පිට රටට යට කිරීම නිසා, පරාධීනත්වයේ හානිය නොපෙනීම නිසා මතු නො ව එයට ආ වැඩීම නිසා අපේ කමත් අපේ සවියත් ඒ පරාධීනත්වය ම ගිල ගත් සැටි කුමාරතුංගයෝ මොනවට පෙන්වා දුන්හ. මෙයින් දශක 9 කට පමණ පෙර දී ඔවුන් දැයට පැවැසූ දෑ අදටත් කොතරම් කාලෝචිත දැ යි පහත සඳහන් වැකියෙන් තේරුම් ගත හැකි ය.
“අපේ රටේ උපදනා දෙයින් පළමු කොටැ මැ ප්‍රයෝජන වින්ද යුත්තෝ අපි යැ. පිටරටින් ලැබෙන තෙලින් අපි උයමු පිසමු නම්, පහන් දල්වමු නම්, පිට රටින් ලැබෙන සබන් අපි ඇඟැ ගාමු නම්, පිට රටින් ලැබෙන ඉටි පහනින් එළිය ලබමු නම්, අපේ පොල් තෙල් නොවිකිණීම පුදුමයෙක් ද? මීට නොවරදනා පිළියම අමාත්‍යයන් ගේ අතේ වෙයි. ඒ බව රජතුමා මැ ප්‍රකාශ කෙළේ යැ. එහි පිරික්සා බැලියැ යුත්තෙක් නැති. ඇත්තේ පිළියම යොදනු පමණෙකි. පිට රටින් ගෙන්වනු ලබන තෙල් වර්ගවලින් ගැනෙන කරය (අය බද්ද) සියයට සියයක් එක් වරැ මැ වැඩි කරනු. විරුද්ධ කම් ඇති වනු නිසැක යැ. කිසිවකුත් විරුද්ධ නොවන සේ කිසිවකුටත් මඳ වූත් අපහසු කමක් සිදු නොවන සේ කළ හැක්කෙක් මුළු ලෙව්හි නැත්තේ යැ. සැලැකියැ යුත්තේ එකකු ගේ දෙදෙනකු ගේ හෝ අපහසුව නො වේ. වැඩි දෙනකුට වන යහපත යි (ලක් මිණි පහන)
කා හෙළ බත ම
ලා හෙළ වත ම
මා දිවි ගෙවු ම
වේ සුදුසු ක ම
හෙළ බතට
හෙළ වතට
පිට රටට
යව කුමට
මෙහි විසූ පිළිය
ඇඟැ නො ලා මැළිය
පිට රටින් විළිය
වැසුම නෑ එළිය
රටේ සංවර්ධනය සඳහා දේශීය නිෂ්පාදන ආර්ථිකයේ වැඩි දියුණුවක් අපනයන ආර්ථිකයේ ප්‍රගමනයක් අවශ්‍ය වන බව කුමරතුඟුන් තහවුරු ලෙස පළ කළ සැටි මෙ සේ පැහැදිලි කැරගත හැකි ය. මේ සමඟ ම ජාතික සමඟියේ අවශ්‍යතාව ද එතුමන් අවධාරණය කැර ඇත.
“කෙසේ පොහොසත් වමු ද ? සමඟි වැ කටයුතු කරන්නට පුරුදු වන තාක් අපට නියම පොහොසත් කමෙක් නො ලැබේ. අප මුළු රට එක් වරැ මැ සමඟි කරන්නට ගමක් සමඟි කරන්නට අපේ උත්සාහයෙක් නැත. ඇතැමෙක් තමන්ගේ ප්‍රදේශය තිබිය දී අන්‍ය ප්‍රදේශයක් සමඟි කරන්නට රට පෙරළති. බොහෝ දෙනෙක් මුළු ලක්දිව මැ එක දවසේ එක ම මොහොතකින් සමඟි කරන්නට උපක්‍රම යොදති. මොවුන් මේ වැරදි කොනින් කරන ප්‍රයත්නයක් නිසා බොහෝ විටැ තුබූ සමඟිය ද නැති වන බව දක්නා ලැබේ.”
රට වැසියා කවර දැයකට අයත් වුව ද කවර ආගමක් ඇදැහුව ද කවර බසක් කථා කළ ද රට දියුණු කිරීමෙහි ලා හැම දෙන ම එක්සත් වීමේ ඇවැසියාව කුමරතුඟුවෝ මෙහි ලා තදින් අවධාරණය කරති. ඒ සමඟ ම ජාතිය අභිමානවත් වීමේ ඇවැසියාව ද ඔහු වෙසෙසින් සඳහන් කෙරෙති. අභිමානය යනු පුහු මානයෙන් පිම්බීම හෝ අතීත කාමයෙන් මත් වීම හෝ නොව උසස් සිරිතින්, උසස් දැක්මෙන්, උසස් මිනිසියාවෙන් මෙන් ම සුපිළිපන් ගුණයෙන් ද පොහොසත් වීම ය. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ඉදිරිපත් වී සිටින නව රජයට කුමාරතුංග දර්ශනයෙන් උගත හැකි පාඩම් බොහෝ ය. රජයේ වගකිව යුත්තන් දැනට එකතුවක් සේ පළ කර ඇති කුමාරතුංගයන් ලියූ ලක් මිණි පහන් කතුවැකි සමූහය හෝ කියවන්නේ නම් ඔවුන්ගේ අරමුණු මුඳුන් පමුණුවා ගැනීමට එය බලවත් පිටුබලයක් වනු නියත ය. පහත සඳහන් කරනුයේ එබඳු මාහැඟි උද්ධෘත දෙකකි:
“අපේ රටේ බාලයන් වීර වූ උදාර වූ චරිත ඇති, තමනටත් අනුනටත් වැඩ සලසා ලන්නට සමර්ථ වූ මිනිසුන් බවට පමුණුවන්නට නම්, අන් කුමක් කෙසේ වුව ද එකෙක් අවශ්‍ය යැ, ඒ කිමෙක්ද ? ශික්ෂකයන් - අපේ දරුවන් හික්මවන්නවුන් - අභිමානය ඇත්තවුන් - අභිමානය රක්නවුන් බවට පැමිණැවීම යි. අභිමාන රහිතයන් ගේ බැල්මෙහි හික්මෙන්නාහු ද අභිමාන රහිතයෝ වෙති. අභිමාන රහිතයන් ගේ කවර වීරත්වයෙක් ද ? කවර උදාරත්වයෙක් ද ?”
“අප ගේ දරුවෝ රටට කලට ගතියට ගැළැපෙන හික්මීමක් නො ලබති. අප ගේ ගුරුවරු දුබල කමින් අග තැන් පැමිණැ සිටිති. අප ගේ බස, ඉංගිරිසි කෙසේ වුවද සිංහල නම් නොදන්නා අයට වුවත් මනා පරිදි හැඩ ගැසෙන්නට සැරැසෙන බවෙක් පෙනේ. අපේ බසින් බිණීම, අපේ බසින් ලිවීම කැරෙයි නම් දඟ ගෙහි දී කැරෙන කටයුත්තක් මෙනි. අප රටැ උපදනා දේවල් විකිණෙන අතෙක් නැත. අපේ මුදල් පිට රටට මැ ඇදී යෙයි. අපේ සිරිත් විරිත් නොවියැළෙන මැටියක් මෙන් වැදුණු වැදුණු පා වහනේ හැඩය ගනී.”
කුමරතුඟු මහ පඬුවන් ගේ වියොවින් වසර අසූ එකක් ගෙවුණ ද එතුමන් පළ කළ අදහස් එදා මෙන් ම අදටත් අලුත් බව වියතුන් පවසන්නේ එහි ඇති සර්වකාලීන අගය සලකා ය. ඒවා එදාට වඩා ඇවැසි වන්නේ අදට ය. වසරක් වත් නො හැර වසරක් පාසා කුමරතුඟුන් සමරන්නේ ඔවුන් ගේ දස්න එළි පෙහෙළි කොට දැක්වීම ජාතික අවශ්‍යතාවක් වන නිසා ය. අරිසෙන් අහුබුදු කිවිසුරුවාණන් වරෙක සඳහන් කළ පරිදි,
“කුමරතුඟුන් ගේ අගේ
දවසැ දවසැ හෙළ දැයේ
ඉර වගේ සඳ වගේ
ජයට පතළ වේ.”
(*** තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි)
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නුදුටු කුමරතුඟුන්ගේ අගේ
Duminda Tuesday, 04 March 2025 09:20 PM
කුමාරතුංග නමින් සෑම අරුද්ද්කම රාජ්‍ය සම්මානයක් එක දරුවෙක්ටවත් දෙන්න ක්‍රමයක් හදන්න. , එවිට අනාතගය කුමාරතුංග මහතා ගැන කතා කරයි. මව් භාෂාව නොදන්නා රටකට අනාගයක් නෑ .