වයඹ පළාතේ සශ‍්‍රීක ප‍්‍රදේශයක් වන දඹදෙණිය සොබාසිරියෙන්ද සම්ප‍්‍රදායික ගැමි ජීවන රටාවෙන්ද යුතු ගම්මානයකට නිදර්ශනයකි. දඹදෙණිය නගරය මැදින් ගමන් ගන්නා ඕනෑම අයෙකුට තම වම්පසින්ද දකුණු පසින්ද සුවිශාල පර්වත දෙකක් දැකගත හැකිය. මෙම ප‍්‍රදේශයේ ඇති උසම ස්ථාන වන්නේද මෙම පර්වත දෙකයි. එතෙර ආක‍්‍රමණ දෙකකින් රට ගලවාගෙන එක් ධජයක් යටතට ගෙන ආ නරේන්ද්‍රයාගේ ජයභූමිය පිහිටියේ මෙම පර්වත දෙක අතරය.
|
මාලිගාව පිහිටි පර්වතය |
දඹදෙණිය තම ප්‍රෞඩ උරුමය අදටද මහීකාන්තාවගේ ඇකයේ සැඟවෙන්නට ඉඩදී නිහඬව බලා සිටියි. අප්පුවා ලෙස ජනවහරට එකතුවූ දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා මේ බිම තම විජිතය කරගෙන ලංකා රාජ්‍ය පාලනය ඇරඹුවේ ක‍්‍රිස්තු වර්ෂ 1236 දීය. එවකට තිබූ පොලොන්නරු රාජධානිය 1215 දී කාලිංග මාඝගේ මෘග ප‍්‍රහාරයට ලක්වූ පසු දඹදෙණිය මාළිගාගල තරම්මවූ හුදකලා බෙලිගල නමැති ගල් පර්වතයක රාජ්‍යයක් පැන නැගුණේය. මෙම ප‍්‍රදේශය ප‍්‍රාදේශීය පාලනයකට අයත් වූයේය. එවක සිරිලක පරිපාලන යාන්ත‍්‍රණය සකස් වී තිබුණේ මෙවැනි කුඩා ප‍්‍රාදේශීය රාජ්‍ය කිහිපයකිනි. බෙලිගලට සමාන්තරව නූතන කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ යාපහුවේ පිහිටි සුහගිරි පව්වද ප‍්‍රාදේශීය පාලකයකුට වාසභූමිය විය. ඔවුහු පොලොන්නරු මහ වාසලට කප්පම් ගෙවමින් ප‍්‍රදේශය පාලනය කළහ.
මෙකී පැරණි බෙලිගල රාජධානිය අද පොල්ගහවෙල සිට සැතපුම් දහයක් පමණද අලව්වේ සිට සැතපුම් 8 ක් පමණද දුරින් කෑගල්ල දිස්ත‍්‍රික්කය තුළ පිහිටියේය.
ක‍්‍රිස්තු වර්ෂ 1215 දී කාලිංග මාඝ මහා බල සෙනඟක් ගෙන පොලොන්නරුවට කඩා වැදුණේය. ඔහුගේ හමුදාව නූතනයේ ඇෆ්ගනිස්ථානයට කඩාවැදුණු ඇමෙරිකාව ප‍්‍රමුඛ සන්ධාන හමුදාවට සමකළ හැක්කේ ඔවුන් සතුව තිබූ කෲරත්වය නිසාය. තමාද බෞද්ධයකු බවත් තම ඥාතීන්ගේ උරුමය සොයා පැමිණි බවත් කී කාලිංග මාඝ පොලොන්නරුව රාජධානිය වැරහැලි බවට පත් කළේය. එවකට එහි රජකළ පරාක‍්‍රම පාණ්ඩ්‍ය රජතුමා අල්ලා ඔහුගේ දෑසම අන්ධ කළ කාලිංග මාඝ පොලොන්නරුවේ සිට වසර හතළිහක් පමණ රාජ්‍ය පාලනය කළේ කොල්ලකෑමෙන්, ස්ත‍්‍රී දුෂණයෙන් හා කඩුවෙනි.
කාලිංග මාඝ සැලකිය යුතු බල සෙනඟක් ගෙන පොලොන්නරුවට කඩාවදින විට මහා පරාක‍්‍රමබාහු හා මහා විජයබාහු යටතේ වසර දෙසීයකට ආසන්න කාලයක් විටින් විට බුරුමය හා මැලේසියාව තෙක්ම ඉන්දියානු සාගරයේ තම බලය පැතිරූ ලක්දිව නාවික හමුදාව අකර්මණ්‍ය වෙමින් පැවතිණ. මහා රජවරුන් දෙදෙනෙකුගෙන් පසු බේද භින්න වෙමින් තිබූ පොලොන්නරු රාජධානියට මාඝ කඩා වැදුණේ ඉන්දියාවේ උතුරේ සිට දකුණ දක්වා විවිධ ප‍්‍රාන්ත වලින් සොයාගත් දාමරිකයන් දහස් ගණනක් රැගෙනය.
බෙලිගල රාජධානිය මතුවන්නේ මෙහිදීය. මාපා නමින් හැඳින්වූ තුන්වැනි විජයබාහු හැර රජ පවුලට උරුමකම් කී කිසිදු කුමාරයකු මේ වන විට ලක්දිව නොසිටින්නට ඇත. බෙලිගල ලංකා රාජ්‍යයට අලූත් රාජ වංශයක් ඇරඹීය. වසර ගණනාවක් බෙලිගල රජකළ තුන්වැනි විජයබාහු රජතුමා මෙයටත් වඩා තැනිතලාවක පිහිටි ජම්බුද්දෝණිය කරා පියමං කළේය. එය අද හැඳින්වෙන්නේ දඹදෙණිය නමිනි.
දඹදෙණිය ලංකා ඉතිහාසයේ අමරණීය තැනකට ගෙන ආවේ ඔහුගේ පුත් දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා විසිනි. මහා විජයබාහු රජතුමා ගමෙන් ගම වීදියෙන් වීදිය බළකොටුවෙන් බළකොටුව මුදාගෙන ඈත රුහුණේ සිට පොලොන්නරුව කරා සතුරු කඳවුරු බිඳලූ අයුරින්ම දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා පොලොන්නරුව දක්වා ගමෙන් ගම වීදියෙන් වීදිය මුදා ගත්තේය. ඔහු මේ සටන කළේ තම ආදි මුත්තනුවන් වන මහා විජයබාහු නර දේවයාණන් ගේ සංග‍්‍රාමෝපාය ආදර්ශයට ගනිමිනි. ඔහුට කුඩා කල සිටම තිබූ ඥාති කරදර මැද මේ සංග‍්‍රාමය සඳහා මග සොයා ගන්නට මහත් වෙහෙසක් දරන්නට සිදුවිය.
දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා කුඩා කල ගෙවූයේ තම පියාණන්ගේ මුල්ගම යැයි සැලකෙන නැම්බඹරයේය. මෙම නැම්බඹරය අද නාරම්මල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාරම්මල නගරයේ සිට සැතපුම් හතරක් පමණ දුරින් ඇති කළුන්දාව නමැති සුන්දර ගම්මානයේ පිහිටි වෙල්යායකි. එම නමින්ම යුතු ගල් තලාවක්ද එහි වේ.
දඹදෙණි රාජධානිය උදාවෙමින් පවතිද්දී පොලොන්නරුව මිහිපිට අපායක්ව පැවතිණ. කුලීනයන් හා කුලහීනයන් අතර බලහත්කාරයෙන් විවාහ කරවූ මාඝ තම කුලී සොල්දාදුවන්ට කුලීන සිංහල කතුන් බලහත්කාරයෙන්ම විවාහ කරදුන්නේය. ප‍්‍රතිමා විනාශ කර විහාරස්ථානවල හමුදා කඳවුරු ඇති කළේය. ඉතිහාසය ඔහු ගැන තවත් බොහෝ දෑ කියයි.
තුන්වැනි විජයබාහු රජතුමාට විවිධ බිසවුන්ට දාව දරුවන් කීපදෙනෙකු සිටින්නට ඇත. කිරීටයට නිත්‍යානුකූල උරුමය හිමිවූ දරු දෙදෙනා වූයේ පරාක‍්‍රමබාහු හා බුවනෙකබාහුය. පසුව පරාක‍්‍රමබාහු දඹදෙණියේද බුවනෙකබාහු කුරුණෑගල ද රජවූහ. පියාගේ අන්‍ය බිසවකගේ කුස උපන් වත්හිමි ගෙන් මේ දරු දෙදෙනාට කරදර ඇති විය. වත්හිමි වූ කලී මුස්ලිම් බිසවකගේ පුතකු යැයි සමහර ජනකතාවල සඳහන් වේ.
පරාක‍්‍රමබාහු කුමාරයාගේ ළමා කාලය ගෙවූ නැම්බඹරය ඔහුට බලවත් ඥාති පිරිසකගේ රැුකවරණය ලබාදෙන්නට ඇත. ඔහු එහි හැදුණේ ගම්පතිගේ නිවසේ දාසයකු ලෙස බව ඉතිහාස ග‍්‍රන්ථවල සඳහන් වෙතත් එය දුටුගැමුණු කුමරු කොත්මලයට පළාගොස් ගමගෙදර ජීවත්වූ කතාවට ඉතාම සමානය. ඔහු ගම ගෙදර වැඩිමහල් දියණියවූ කළු එතනාට පෙම් කරන්නට උත්සාහ කළත් ආඩම්බරවූ ඇය ඉබේ කඩාපාත්වූවකු ලෙස සැලකූ අප්පුවාට පෙම් කරන්නට උත්සාහ නොකළාය. කුමරුට අනුකම්පා කළේ බාල දැරියවූ හිරිමල් එතනායි. අවසානයේ විජයබාහු රජතුමා පරලෝ සැපත්වූ පසු මගුලැතු සරසවා වීදි සංචාරය කරවූ අවස්ථාවේ මගුලැතු කුමරු සොයා ආවේය. කුමරා හිරිමල් එතනා සමග රජවාසලට යාමට ඇතුපිට නැංගේ මන්ද කළු පින් නොකළේ යි කළු එතනාට කියමිනි. මන්ද කළු පින් නොකළේ යන කියමන පසුකාලීනව කළුන්දාව පින්න පොලේ වූ බව ජනවහරයි. කළුන්දාවට ළඟම ගම පින්නපොල නමින් අදද එහි වෙයි.
දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා නොසිටින්නට සිංහල ජාතිය අතිමහත් විපතකට මුහුණපානු ඇත. මාඝගේ බළකොටු රුහුණු පුරවරය ළඟටම විහිදී පැවතියේ ඔහුගේ වසර හතළිස් ගණනක පාලන සමය අතරතුරය. දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා නොවන්නට මෙම ව්‍යාප්තිය ත‍්‍රිසිංහලය පුරාම පැතිරයාම සිදුවන්නට ඉඩ තිබිණ.
දඹදෙණියේ රජකම් කරමින් සිහල රාජ්‍යයේ ඒකීය භාවය රැුකදුන් පරාක‍්‍රමබාහු කුමාරයාගේ බාල කාලයට සමරූප කතා අදටත් කළුන්දාව ගමේ පැරැුන්නන් තුළ ඇත. ඒ කතාවක් සිරිපැරකුම් නමින් චිත‍්‍රපටයකට නගා ජාත්‍යන්තරයට ගෙනයාමෙන් සෝමරත්න දිසානායක මහතා කර ඇත්තේ අගනා සේවයකි. ඔහු කුඩා කලසිටම උදේ සවස දකින දඹදෙණි පර්වතයත් ඒ හා බැඳී ඇති අප‍්‍රමාණ වූ ජනප‍්‍රවාදත් සිරි පැරකුම් චිත‍්‍රපටයට උපත දෙන්නට ඇත. වසර පනහකට ආසන්න රාජ්‍ය කාලයේ හා එයට වඩා බොහෝ පැරණි ප‍්‍රාදේශීය රාජධානි යුගයේ සිටම සිංහල රජවරුන්ගේ සන්නාහ සන්නද්ධ සේනා රැස්කරවූ දඹදෙණි රාජ අංගනය අද දැකිය හැක්කේ පරක් තෙරක් නොපෙනෙන වෙල් යායක් ලෙසය. මේ වෙල්යාය මැදින් නුදුරේදීම කටුනායක යාපනය අධිවේගී මාර්ගය ගමන් කිරීමට නියමිතය. පැරණි රාජධානිය දෙකඩ කරමින් වැටී ඇති මහ මාවත දිගේ ගමන් ගන්නා සැමවිටම සිංහලය එක්සේසත් කළ දඹදෙණි රජු වෙනුවෙන් ඔබගේ හිසද නැවෙන්නේ නම් එය ඔබට කළ හැකි උපරිම ආචාරය වේ.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹදෙණියේ සිට ලක්දිව එක්සේසත් කළ රජතුමාගේ පුරාවෘත්තය
ද.ම.ජ. බණ්ඩාර Sunday, 14 July 2013 10:37 AM
ඉතාමත් වටිනා ලිපියක්. (දී)
ලලිත් Sunday, 07 July 2013 06:52 PM
ලංකාදීපය ගෙන එන මේ පෞඪ ඉතිහාස කතා අපට දැනුම මෙන්ම අපේ මුතුන් මිත්තන් ගැන මතුපරපුර දැනුවත් කිරීමට මහත් පිටුවහලකි. ලංකාදීපය දින දින ලොවම බැබලේවා! (නි)