රටේ පවතින දේශපාලන වියවුල් කාරී බව අද හෙට විසඳෙන ලකුණු පෙනෙන්නට නැත. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදයේ ඍජු ප්‍රතිඵලයක් වීමත්, ආර්ථික අර්බුදය තවත් මාස ගණනාවක් යනතෙක් විසඳෙන  බවක් පෙනෙන්නට නැති වීමත් නිසාය.

මුදල් ඇමැති අලි සබ්‍රි මහතා පසුගිය බදාදා  පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාරයක් ලබා ගන්නටත් තවත් මාස දහයක්වත්  ගත වනු ඇති බවය. ඒ අනුව ආර්ථික අර්බුදයත් එහි ප්‍රතිඵලයක් වූ දේශපාලන අර්බුදයත් තවත් මාස ගණනාවක් පුරා දිනෙන් දින උග්‍රවෙමින් පවතිනු ඇති බවය.

කෙසේ වෙතත් දේශපාලන පක්ෂ හා විවිධ කණ්ඩායම් දේශපාලන අර්බුදයට විවිධ විසඳුම් යෝජනා කරති. එහෙත් ඒවායින් වැඩි සංඛ්‍යාවක් ප්‍රශ්නයේ ස්වභාවය අනුව යෝජනා කෙරෙන විසඳුම් නොව තම තමන්ට දේශපාලන වශයෙන් ගොඩ එන්නට හා වාසි ලබන්නට අරමුණු කරගෙන යෝජනා කෙරෙන විසඳුම්ය.

මේ අතර රටේ දිනෙන් දින උග්‍රවන ආර්ථික ප්‍රශ්න  විසඳන ලෙසටත් දේශපාලන අර්බුදය  විසඳන ලෙසටත් ආණ්ඩුවට බල කරමින් විවිධ කණ්ඩායම් උද්ඝෝෂණය කරමින් සිටී. ඊයේ (6) රට පුරා විශාල  හර්තාලයක් පැවැත්විණි. වැඩ වර්ජන හා උද්ඝෝෂණ ආදිය ඊට ඇතුළත් විය. ගාලු මුවදොර පිටියේ පසුගිය අප්‍රේල් 9 වැනිදා ආරම්භ වූ විරෝධතාවද තවදුරටත් පැවැත්වේ. ආදිවාසීන් ඇතුළු විවිධ දේශපාලනික, වාර්ගික, ආගමික හා මතවාදී කණ්ඩායම් විටින්  විට පෙළපාලියෙන් එම ස්ථානයට ගොස් ඊට සහයෝගය පළ කරති.

රටේ ප්‍රධාන ජන කොට්ඨාස තුන අතරින් සිංහල හා මුස්ලිම් ජන කොට්ඨාස මෙම උද්ඝෝෂණවලට සක්‍රීයව හා සැලකිය යුතු ප්‍රමාණයකින් දායකත්වය සැපයුවද දෙමළ ජනතාවගේ සහභාගිත්වය ඉතාමත් අල්පය. එහි ඇති විශේෂත්වය නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයැයි මෙම උද්ඝෝෂණවලදී  නැඟෙන ප්‍රධාන සටන් පාඨය දෙමළ ජනතාවගෙන් අති බහුතරය අනුමත කරන බවක් පෙනෙන්නට තිබියදී උද්ඝෝෂණවලට ඔවුන්ගේ දායකත්වය ඉතාමත් අල්ප වීමය. විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාගේ සහභාගිත්වය අඩු වීමය.

පසුගිය කාලයේ පැවැති සෑම මැතිවරණයකදීම දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් අතිබහුතරය ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිවය. එම බහුතරය මීට පෙර පැවැති රාජාපක්ෂ පාලන කාලයේ සිටම  රාජපක්ෂවරුන්ගේ පාලනයට එරෙහිව සිටිති. එසේ තිබියදීත්, වත්මන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින්ම දෙමළ ජනතාව එම උද්ඝෝෂණවලින් ඈත් වී සිටිති.

මෙම තත්ත්වයට දෙමළ ජනමාධ්‍ය හා දෙමළ දේශපාලනඥයෝ විවිධ  හේතු දක්වති. ඉන් ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් දක්වන්නේ රටේ දකුණු ප්‍රදේශවල පැවැත්වෙන උද්ඝෝෂණවලදී ප්‍රදර්ශනය කෙරෙන හා හඬ නඟා කියවෙන සටන් පාඨ අතර දෙමළ ජනතාවට විශේෂිත වූ සටන් පාඨ නැතැයි යන්නය. එසේම එසේ තමන්ගේ ප්‍රශ්න නොසලකා හැරීම නිසා උද්ඝෝෂකයන් කෙරෙහි එතරම්  විශ්වාසයක් නැතැයි යන්නය.

වෙනත් ඇතැම් දේශපාලනඥයන් දක්වන තවත් හේතුවක් නම් තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධයේදී උතුරේ දෙමළ ජනතාව රටේ අනෙක් ප්‍රදේශවල අද විඳින දුක් වේදනා මෙන් සිය ගුණයක් දරුණු තත්ත්වයන්ට මුහුණ දී  සිටියදී එම අනෙක් ප්‍රදේශවල ජනතාව එම තත්ත්වයට සංවේදී නොවීය යන්නයි. 

එහෙත් ප්‍රශ්නය නම් වත්මන් දේශපාලන අර්බුදයටත් එහි අංග බවට පත්වී ඇති උද්ඝෝෂණවලටත් මූලික වී ඇති ආර්ථික අර්බුදය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී කිසිදු භේදයකින් තොරව සියලු ජනතාවගේ ජීවිත වලට විශාල වශයෙන් බලපෑම් කරමින් එම ජීවිත අවුල් ජාලාවක්  බවට පත් කොට තිබීමය. මෙම තත්ත්වයට විසඳුම් අවශ්‍ය කෙරෙන්නේ සිංහල හා මුස්ලිම් ජනතාවට පමණක් නොව සියලු ජන කොට්ඨාසවලටය. දකුණේ ජනතාවගේද සියලු අවශ්‍යතා මෙම උද්ඝෝෂණවල සටන්පාඨවලින් නියෝජනය නොවේ.

කෙසේ වෙතත් දෙමළ ජනතාවට මතවාදී වශයෙන් බලපෑම් කරන යම් යම් කණ්ඩායම් එම ජනතාව දකුණේ ජනතාවගෙන් ඈත්කොට තබන්නට කටයුතු කරන බවක්ද පෙනෙන්නට තිබේ. සති දෙකකට පෙර දිනක ජර්මනියේ ඩුසල්ඩෝෆ් නගරයේ ශ්‍රී ලාංකිකයෝ 150කට වැඩි පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා වත්මන් ශ්‍රී ලාංකා ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් උද්ඝෝෂණයක් කළහ. ජර්මනියේ ඩුසල්ඩෝෆ් අසල ශ්‍රී ලාංකික දෙමළ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වුවද මෙම උද්ඝෝෂණයට සහභාගි වූයේ දෙමළ පුද්ගලයන් දෙදෙනකු පමණකැයි එම දෙදෙනාගෙන් කෙනකු මෙම ලියුම්කරු සමග පැවසීය.

තමාට ජර්මනියේ ජීවත්වන දෙමළ පුද්ගලයන් කිහිප දෙනකුම කතා කොට උද්ඝෝෂණයට සහභාගිවීම අධෛර්යමත් කරන අයුරින් අදහස් දැක්වූ බවද ඔහු පැවසීය. ඔහුගේ මතය වූයේ  සිංහල හා දෙමළ ජනතාව කුමන ආකාරයකින් හෝ සමීප වීම දකින්නට දෙමළ ඩයස් පෝරාවේ බොහෝ දෙනකු කැමැති නැති බවත් දැනට ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන ජනතාවගෙන් විශාල පිරිසකට දෙමළ ඩයස්පෝරාවේ ආර්ථික ආධාර ලැබෙන  හෙයින් එම ඩයස්පෝරාවේ මතවාදී බලපෑමටද එම ජනතාව ලක්වී ඇති බවත්ය.

මේ කාරණයේදී දෙමළ ජනතාව සිතන ආකාරය උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පසුගිය මැයි 1 වැනිදා තිනක්කුරල් පුවත්පත සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඉතා පැහැදිලි ගෙන හැර දක්වා තිබිණි. ඔහු මෙසේ  කියයි. ‘‘අද රටේ ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නවලට වඩා අතිශයින් දරුණු ප්‍රශ්නවලට දෙමළ ජනතාව මුහුණ  දී සිටි කාලයේදී දකුණේ ජනාව රඟ දැක්වූයේ හුදු නිරීක්ෂකයකුගේ භූමිකාවයි. ඔවුන් අපගේ ප්‍රශ්න දෙස මානුෂීය දෘෂ්ටියකින් නොබැලුවා පමණක් නොව අපගේ ජනතාව ත්‍රස්තවාදීන් ලෙසද හැඳින්වූවා. ඒ කලකිරීම දෙමළ ජයාගේ සිත් තුළ තදින් කිඳා බැස තිබීම නිසා ඔවුන් අද  දකුණේ උද්ඝෝෂණවලින් ඈත් වී සිටිනවා විය හැකියි.’’

හේතුව එය වුවත් නැතත් අතීතයේදී ඇතිවූ එම මානසික ඈත්වීම කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකිය. විග්නේශ්වරන් මහතාට වඩා දකුණේ දේශපාලනයට සමීප පුද්ගලයකු වන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාද ගාලු මුවදොර පිටියේ පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට පැවැත්වෙන උද්ඝෝෂණයට සහයෝගය පළ කරමින් පවසා තිබුණේ දැන් රටේ ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නවලට වඩා ඉතා බරපතළ  තත්ත්වයකට යුද්ධය පැවැති කාලයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දුන්  බවය. මෙහිදී එක්තරා ආකාරයක සැඟවුණු චෝදනාවක සේයාවක්  දක්නට තිබිණි.

 වත්මන් උද්ඝෝෂණවලට සහය දීමේදී අතීතයේදී දකුණේ ජනතාව කටයුතු කළ ආකාරය කෙතරම් දුරට අදාළ වන්නේද යන ප්‍රශ්නය මතුවන්නේ වුවද යුද්ධය පැවැති කාලයේදී  විශේෂයෙන්ම උතුරේ ජනතාව මුහුණ දුන් ආර්ථික ප්‍රශ්න වත්මන් ප්‍රශ්නවලට වඩා අතිශයින්ම වේදනාකාරීය. එදා ඔවුනට ආහාර ලැබුණේ සලාක ක්‍රමයටය. බස්, දුම්රිය සේවා නොතිබිණි. විදුලිය කැපීමක් නොව වන්නියට දශක දෙකක් පමණ විදුලි සැපයුමක් නොලැබිණි. ඒ වවුනියාවෙන් උතුරෙන් වූ සියලු යටිතල පහසුකම් විනාශ වී තිබිම නිසාය. ඒ කාලයේ උතුරේ කඩදාසි, බැටරි ආදිය නොතිබිණි. උදයන් පුවත්පත මුද්‍රණ කරන ලද්දේ ‘‘බ්‍රවුන් පේපර්’’වලය. රූපවාහිනී සේවා ක්‍රියාත්මක නොවීය. ජනතාව ගුවන් විදුලියට සවන් දුන්නේ බයිසිකල් ඩයිනමෝවක ආධාරයෙනි. භූමිතෙල්වලින්  ධාවනය කරන ආකාරයට වාහන සකස් කොට ගෙන තිබිණි.

දකුණේ තරුණයන්ගේ උද්ඝෝෂණවලට දෙමළ ජනතාව සහය දීමේදී දක්වන පැකිළීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට ඉහත සම්මුඛ  සාකච්ඡාවේදී පිළිතුරු දෙමින් විග්නේශ්වරන් මහතා මෙසේ පවසයි. ‘‘දකුණේ තරුණ තරුණියන් ජාති, ආගම්, කුල හා භාෂා වෙනස්කම්වලින් ඔබ්බට ගොස්  කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. එහෙත් ඉන්ධන  සාමාන්‍ය ආකාරයට ලැබෙන්නට  පටන් ගත් විට, විදුලිය කැපීම නතර වූ විට, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය අවසන් වූ විට ඖෂධ වර්ග පහසුවෙන් ලැබෙන්නට ගත් විට ඔවුන්ගේ මානසිකත්වය කුමක් වේදැයි අපට අනාවැකි කියන්නට බැහැ. දෙමළ නායකයන් පවතින  තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්නට උත්සාහ කරන බවටත් ඒ නිසා පරෙස්සම් විය යුතු බටත් දැනටමත් දකුණේ ඇතැම් පුද්ගලයන් අනතුරු අඟවා ඇති බවට වාර්තා  පළවී තිබුණා. ඒ නිසා ගැඹුර දැනගෙන අප අඩිය තියන්න ඕනෑ.’’

මෙයද කාලයක් පුරා පවතින අවිශ්වාසය යළිත් වතාවක් ප්‍රකාශ වීමකි. ඇත්ත වශයෙන්ම දෙමළ නායකයන් පවතින තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගන්නට උත්සාහ කරන බවට මීට පෙර ඇතැම් පිරිස් දෙමළ නායකයන්ට චෝදනා කොට තිබිණි.

උදාහරණයක් වශයෙන් ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතාගේ ආරාධනයක් අනුව ඉකුත් මාර්තු 23 වැනිදා ‘‘සර්ව පාක්ෂික සමුළුව’’ රැස්වූ විට කතා කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා රටේ විදේශ විනිමය  ප්‍රශ්නය විසඳීම  සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දෙමළ ඩයස් පෝරාවේ පිරිස් සූදානම්ව සිටින බවත් එහෙත් ඒ සඳහා පුළුල් බලය බෙදීමේ  වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් පැවසීය. දකුණේ ඇතැම් දේශපාලනඥයන් එවිට පැවසුවේ සුමන්දිරන් මහතා පවතින දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන බවය.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් දකුණේ උද්ඝෝෂණවලදී සටන්පාඨ ලෙස ඉදිරිපත් නොවන බවට දෙමළ නායකයන් චෝදනා කළද එම ඉල්ලීම් දකුණේ උද්ඝෝෂණවල සටන්පාඨ  ලෙස ඉදිරිපත් කිරීම එම උද්ඝෝෂකයන්ට එතරම් පහසු නොවනු ඇත. බලය බෙදීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගනු ලැබ සිටින්නන් නිදහස් කිරීම, යුද්ධය පැවැති කාලයේ හමුදා විසින් අත්පත් කර ගන්නා ලද දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, යුද්ධයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් හා මියගිය සිවිල් ජනතාව  සම්බන්ධයෙන් වගවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම ආදිය දෙමළ නායකයන් කාලයක් තිස්සේ ඉදිරිපත් කරන ඉල්ලීම්ය.

මේ අතර යුද්ධය අවසන් වූ දිනයේ සංවත්සර දිනය   වන මැයි 18 වැනිදා යුද්ධයේදී මියගිය ජනතාව  සමරන්නට මුල්ලිවයික්කාල් වෙත පැමිණෙන්නැයි දෙමළ ජාතික හරිත සංවිධානයේ නායක පී. අයිංගරනේෂන්  මහතා ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට ආරාධනා කරයි. දෙමළ නායකයන්ගේ මෙම ඉල්ලීම් හා යෝජනාවලින් ඇතැම් ඒවා  කොහෙත්ම ප්‍රායෝගික නොවන ඒවා බව ඉතා පැහැදිලිය. ඒවා ක්‍රියාත්මක කරන්නට දකුණේ උද්ඝෝෂකයන් උත්සාහ කළහොත් එය ජාතිවාදය අවුස්සා උද්ඝෝෂණවලට එරෙහි ජනමතයක් ගොඩනඟන්නට ආණ්ඩුවට ප්‍රබල උපකාරයක් වීම නොවැළැක්විය හැකිය. 

එසේම උද්ඝෝෂකයන් වෙතින් එවැන්නක් අපේක්ෂා කළ නොහැකි බවද දෙමළ නායකයෝ පවසති. විග්නේශ්වරන් මහතා මෙසේ කියයි.‘‘මේ උද්ඝෝෂණ ආර්ථික ප්‍රශ්න නිසා ඇති වූ  ඒවායි. යහපාලන ප්‍රතිපත්ති පදනම් කරගෙන ඒ උද්ඝෝෂණ අති වූ බව මා විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා මෙම ව්‍යාපාරයේ අරමුණු පැහැදිලි නෑ. ජාතිවාදී පාලන ව්‍යුහය පුපුරුවා හරින්නට සමත් හරයක් මෙම  කැරැල්ල තුළ මා දකින්නේ නෑ.’’

එසේ වුවද මෙම අරගලයට දෙමළ ජනයා යම් යම් කොන්දේසි යටතේ සහාය දිය යුතු යැයි සුමන්දිරන් මහතා හා විග්නේශ්වරන් මහතා අදහස් කරති. ‘‘අපගේ අනන්‍යතාව අහිමි කර ගන්නේ නැතිව මේ කැරැල්ලට සහාය දෙන්න අපි ඉගෙන ගන්න ඕනෑ.  ඔවුන්ගේ සුහදතාව අප තුළ ප්‍රමාණවත් විශ්වාසයක් ගොඩ නඟයි නම් අප දැඩි ශක්තියකින් යුතුව ඔවුන් සමඟ ගමන් කරන්න ඕනෑ’’.යැයි විග්නේශ්වරන් මහතා ඉහත කී සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබිණි.

 

(*** එම්.එස්.එම්. අයුබ්)