රට තුළ පවත්නා උග්‍ර ඉන්ධන අර්බුදය හමුවේ  ජූලි මස සිට තෙල් සැපයුම සලාක ක්‍රමයට සිදු කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. තෙල් අර්බුදයට වෙනත් විකල්ප විසඳුමකුත් නොමැති බැවින් සලාක ක්‍රමයට සීමාසහිතව තෙල් සැපයීම හැර වෙනත් කළ හැකි දෙයක් නොමැති බව අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.

සලාක ක්‍රමයට භාණ්ඩ හා සේවා සැපයුම ගැන වත්මන් තරුණ පරපුරට අත්දැකීම් නැතත් මෙරට වැඩිහිටියන්ට නම් සලාක ක්‍රමය සම්බන්ධයෙන් තිබෙන්නේ අමිහිරි අතීත අත්දැකීම්ය. 1978 ජේ.ආර්. ජයවර්ධන රජය විසින් අහෝසි කරන තෙක්ම රටේ සහල් සැපයුම සලාක ක්‍රමයට සිදුවිය. එදා සුප්‍රකට‘‘කූපන් පොතක්’’ රැගෙන සමූපකාර වෙළඳසැලට පැමිණි විට සලාකයට අනුව අඩු මිලට හෝ නොමිලේ යම් සහල් ප්‍රමාණයක් ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකි විය. ලංකාවට සහල් සලාක ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ දෙවැනි ලෝක යුද සමයේදීය. 1948 රට නිදහස් වුවද එදා සිට 1978 පමණ වන තෙක් සහල් සලාකය ක්‍රියාත්මක විය.

අතීතයේ ආණ්ඩු පත් කෙරෙනු මහ මැතිවරණවල දී ජනතාවට ලැබුණු ප්‍රධාන ඡන්ද පොරොන්දු බොහොමයක් සැකසුණේ සහල් සලාකය තේමා කරගෙනය. සහල් සේරු දෙකක් දෙනවා, සහල් සේරුවක් නොමිලේ දෙනවා, හඳෙන් හෝ සහල් ගෙනත් දෙනවා ආදී ජනප්‍රිය ඡන්ද පොරොන්දු එදා ඡන්ද වේදිකාවල රැව්දුන් මාතෘකාය. කෙසේ හෝ 1977 මහ මැතිවරණයේ දී ධාන්‍ය රාත්තල් 8ක් ජනතාවට ලබා දෙනවා යැයි පොරොන්දු දී බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඇඟට පතට නොදැනීම සහල් සලාකය අහෝසි කර දැම්මේය.

සලාක ක්‍රමය ගැන අපට තිබෙන ආසන්නතම අත්දැකීම වූයේ එකී සහල් සලාකයයි. එම අතීත අත්දැකීම සමඟ ලබන ජූලි මාසයේ සිට සකල ශ්‍රී ලංකාවාසී ජනතාවට තෙල් සලාකය සම්බන්ධව අලුත් අත්දැකීමක් ලබා ගැනීමට වාසනාව උදාවන බව පැහැදිලිය.

මෙරටට ඉන්ධන ආනයනය සඳහා මසකට දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ මුදලක් වැය කළ යුතුය. පසුගිය මාස 3ක කාලයේ ඉන්දියාවෙන් ලැබුණු ණය සහන ක්‍රමය යටතේ එරටින් ඩොලර් මිලියන 700ක පමණ ඉන්ධන සැපයුණු අතර ලබන ජූලි මාසය දක්වා අප රටට ඉන්ධන සැපයීම පිණිස ඉන්දියානු ණය ක්‍රමය දීර්ඝ කිරීමට අදාළ සාකච්ඡාවක් දැන් සිදුකරමින් පවතී. එහෙත් පවත්නා උග්‍ර ඩොලර් හිඟය මධ්‍යයේ ඉන්දියාවේ ණය සහනය ද හමාර වූ විට අප කරන්නේ කුමක්ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය ඒ තරම්ම උග්‍රය. මැද පෙරදිගින් ඇණවුම් කර ආනයනය කරන ලද එක් ඉන්ධන නැවක් මුදල් ගෙවාගත නොහැකිව දෙසතියක පමණ කාලයක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇත. ඊට අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ද රජයට සිදුවෙයි. මෙරට ගෑස් ආනයනය සම්බන්ධයෙන් සිදුව ඇත්තේ ද එබඳුම සන්තෑසියකි. ඉන්ධන මෙන්ම ගෑස් ලබා ගැනීම ද අර්බුදයක් බවට පත් වුවහොත් ගෑස් සිලින්ඩර ද සලාක ක්‍රමයට සැපයීමට සිදුවිය හැකිය.

රජයට විකල්පයක් නොමැතිකම හේතුවෙන් ඉන්ධන සලාක ක්‍රමයට සැපයීමේ තීන්දුව ගත්තද තෙල් සලාකය සංවිධානය කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. තමන්ගේ නිවෙස ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම්හලේ සලාකය සඳහා වාහනය ලියාපදිංචි කරන ලෙසත් ඉන් අනතුරුව එම ඉන්ධන හලෙන් අදාළ තෙල් සලාකය නිකුත් කරන බවත් ඛනිජ තෙල් අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.

එසේ වුවද මෙහිදී පැන නගින ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවකි. මෙම ලියාපදිංචියේ පදනම කුමක්ද, යන්න මතුවන පළමුවන ප්‍රශ්නයයි. වාහනයක් ඉන්ධන සලාකය සඳහා ලියාපදිංචි කිරීමට පෙර එම වාහනය සැබවින්ම කාගේද යන්න මුලින්ම තහවුරු කරගත යුතුය. ඇතැම් නිවෙස්වල වාහන දෙක තුන ඇති බැවින් ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය ද නිරවුල් විය යුතුය. ඉන්ධනහලක ලියාපදිංචි කරන වාහනය තිබෙන්නේ කවර ලිපිනයේ ද යන්නත් ඉතා වැදගත් කරුණකි. එසේ නොවුවහොත් එකම වාහනය ඉන්ධන හල් ගණනාවක ලියාපදිංචි කර තෙල් ලබාගන්නා ජාවාරම් ඇතිවීමට පිළිවන. එබඳු ගැටලු හටගතහොත් ඛනිජ තෙල් සලාක ක්‍රමයෙන් ඉන්ධන සැපයුම සීමා කිරීමට රජය දරන උත්සාහය ලත් තැනම ලොප් වනු ඇත. එබැවින් මෙබඳු ප්‍රායෝගික ප්‍රශ්න නිරාකරණය කර සලාක ක්‍රමය ඇරඹීම යහපත් බව පැවසිය යුතුය.

හිඟ භාණ්ඩ හා සේවා සලාක ක්‍රමයට සැපයීම අමුතු දෙයක් නොවේ. ලොව බොහෝ රටවල් ආර්ථික ව්‍යසනයන්හි දී සලාක ක්‍රමය ක්‍රියාවට නංවා ඇත. එහෙත් නිදහසේ තමන්ට අවශ්‍ය ඉන්ධන මිලට ගත් සමාජයට මෙය මහත් පීඩාවකි. යමෙකුට අත්‍යවශ්‍ය හේතුවක් මත වාහනයකින් දුර ගමනක් යාමට සිදු වුවහොත් ඒ අයට සලාක ක්‍රමයෙන් ලැබෙන විකල්ප විසඳුම කුමක්ද, යන්නත් මේ සම්බන්ධයෙන් උද්ගතවන ව්‍යාකූල ප්‍රශ්නයකි. ඒ නිසා සලාක ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර මහජන පීඩාව අවම වන ලෙස එය සංවිධානය කළ යුතුය. එසේ නොවුණහොත් ජනතාව මීළඟට වීදි බසින්නේ සලාක ක්‍රමයට එරෙහිව බව ද සඳහන් කරනු වටී.

(***)