ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2025 අප්‍රේල් 2 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද අන්‍යෝන්‍ය ප්‍රතිලාභ බදු Receiprocal Tax සමස්ත ලෝක ආර්ථිකයම යම් ආකාරයක වික්ෂිප්තභාවයකට පත් කර ඇත. ඇමරිකානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳාම තුළ දැකිය හැකි අසාධාරණ වෙළෙඳ භාවිතයන් Unfair Trade practices අවම කිරීම උදෙසා මෙම නව බදු පැනවීම කර ඇත. මෙම බදු ගණනය කිරීමේ දී යම් කිසි රටක් ඇමරිකාව වෙත අපනයනය කරන භාණ්ඩ හා සේවාවල වටිනාකමත් අදාළ රට ඇමරිකාවෙන් මිලදී ගන්නා (ආනයනය කරන) භාණ්ඩ හා සේවාවල වටිනාකමත් අතර ඇති පරතරය මූලික කරගෙන යම් සමීකරණයක් ඉදිරිපත් කර ඇත.
නිදසුනක් ලෙස ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සිදුවන ජාත්‍යන්තර වෙළෙඳාමෙන් සියයට 88ක අවාසි සහගත වෙළෙඳ පරතරයක් ඇමරිකාවට අත්වන බවත්, ඒ අනුව එයින් සියයට පනහක් එනම් සියයට 44 ක අතිරේක බද්දක් ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ මත අය කළ යුතු බවත් යෝජනා කරන ලදී. ඇමරිකාව ජාත්‍යන්තර වෙළෙඳාම තුළ තමන්ට අවාසිසහගත රාජ්‍ය සමග ගනුදෙනු කිරීමේ දී එම රටවලට යම් පීඩනයක් එල්ල කිරීම උදෙසා මෙම බදු ක්‍රමය භාවිත කිරීම මෑත කාලයේ දැකිය හැකි විය. නිදසුනක් ලෙස 2018-2019 කාලයේ චීනය සහ තවත් රටවල් කීපයක් වෙනුවෙන් එම රටවල්වලට එරෙහිව අනුපිළිවෙළින්ම බදු පනවමින් මෙම සංකල්පය ක්‍රියාවට නංවා ඇත.
ඇමරිකානු රජය මෙම බදු යෝජනා ක්‍රමය ඉදිරිපත් කළ සැණින් ම චීනය ඇතුළු රාජ්‍ය කීපයක් විසින් එයට එරෙහිව කරන ලද දැඩි ප්‍රතිචාරාත්මක ස්වරූපයත්, සමහර රාජ්‍යවලින් කරන ලද ඉල්ලීම් මෙන්ම ඇමරිකානු පුරවැසියන්ගෙන් එල්ල වූ යම් විරෝධතා ද සලකා බලමින් නව බදු ක්‍රියාත්මක වීමේ කාලවකවානු කල් දැමීමට ඇමරිකානු රජයට සිදු විය. ඒ අනුව 2025 ජූලි 9 වැනිදා දක්වා, ආසන්න වශයෙන් මාස තුනක කාලයක් සඳහා බදු ක්‍රියාත්මක කිරීම කල් දමනු ලැබීය. මෙම දින වකවානු අවසන්වීමත් සමග නැවත වතාවක් ඇමරිකානු රජය තම වෙළෙඳ හවුල්කරුවන් ගණනාවක් වෙනුවෙන් නව බදු අනුපාතය ප්‍රකාශයට පත් කර ඇත. නව බදු අනුපාතවල විශේෂත්වය වන්නේ පෙර යෝජිත බදු අනුපාතවලට සාපේක්ෂව යම් ආකාරයක අඩු බදු අනුපාත යෝජනා වීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවට පනවන ලද සියයට 44ක බදු අනුපාතය සියයට 30 ක් දක්වා පහත හෙළීමට ඇමරිකාව කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා දැනට පවතින බදුවලට අතිරේකව සියයට 30ක බද්දක් පැනවීම හේතුවෙන් අපනයන වෙළෙඳපොළ යම් අර්බුදකාරී තත්වයකට පත්විය හැකි බවට සංවාදයක් ඇතිවී ඇත. අප කැමැති වුවත්, අකැමැති වුවත් මේ වනවිට ඇමරිකාව යෝජනා කර ඇති නව බදු ප්‍රතිපත්තිය පිළිගැනීමට රටක් ලෙස අපට සිදුව ඇත. කෙසේ වුවද, මෙම බදු අනුපාත යම් ආකාරයකින් කේවල් කිරීමේ හැකියාවක් ද අපට ඇති බව සිහි තබා ගත යුතුය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාව, ඇමරිකාව සමග කරන රාජ්‍යතාන්ත්‍රික සංවාදවලින් තවදුරටත් මෙම බදු අනුපාතය යම් මට්ටමකින් හෝ පහත හෙළා ගැනීමට ශ්‍රී ලංකා රජයට අවකාශ ඇත.
මෙම අන්‍යෝන්‍ය බදු පැනවීම සඳහා පදනම ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන ප්‍රධාන කරුණු තුනකි. එයින් පළමු කරුණ වන්නේ ඇමරිකාව සහ අනෙකුත් වෙළෙඳ හවුල්කරුවන් අතර සිදුවන ජාත්‍යන්තර වෙළෙඳාමේ දැකිය හැකි අසමතුලිත වෙළෙඳ ශේෂය (Trade Imbalance) ඉවත්කරලීමය. ඇමරිකාව චෝදනා කරන්නේ සමහර රාජ්‍ය ඇමරිකාවට තම නිෂ්පාදන අපනයන කළ ද ඇමරිකාවේ භාණ්ඩ ආනයනය කිරීමේ දී බදු සහ බදු නොවන සීමාකාරී සාධක මගින් ආනයන අධෛර්යවත් කරන බවය. එහි සඳහන් දෙවැනි කරුණ වන්නේ ඇමරිකාවට තම දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමේ Domestic Industry protection අවශ්‍යතාවයි. තුන්වැනි කාරණය වන්නේ ඇමරිකාව සහ අනෙකුත් පාර්ශ්ව අතර දැකිය හැකි අසමතුලිත ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු පාලනය කිරීම උදෙසා පවතින වෙළෙඳ ගිවිසුම් අලුත් කිරීමේ අවශ්‍යතාවයි. ඒත්තු ගැන්වීම් මෙවලමක් Negotiating leverage ලෙස මෙම බදු යොදා ගැනීමට අපේක්ෂිත බවය.
ඇමරිකානු දෘෂ්ටිකෝණයෙන් මෙම නව බදු පැනවීම සාධාරණීකරණය කළ හැකි වුවද, ගෝලීය ආර්ථිකයට එයින් කරන බලපෑම ඉතා භයානකය. ඇමරිකාව අන්‍යෝන්‍ය බදු පැනවීමත් සමග චීනය ප්‍රමුඛ රාජ්‍ය කීපයක් එයට ප්‍රතිවිරුද්ධව තම බදු අනුපාත ද ඉහළ දැමීමෙන් සීතල වෙළෙඳ යුද්ධයක් නිර්මාණය වන ආකාරයක් දැනටමත් දැකිය හැකිය. 2019 වර්ෂයේ දී ඇමරිකාව සහ චීනය අතර පැවැති මෙම වෙළෙඳ අරගලය හේතුවෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 0.5 කින් පමණ පහත වැටුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇත. මෙවන් අස්ථාවර ජාත්‍යන්තර වෙළෙඳ පරිසරයක් සංවර්ධනය වෙමින් පවතින සහ අඩු ආදායම්ලාභී ශ්‍රී ලංකාව වැනි රාජ්‍යවලට විශාල ආර්ථික පීඩනයක් ගෙන දීමට හේතු වනු ඇත. අපගේ අපනයන ව්‍යුහයේ දැකිය හැකි ආවේනික ව්‍යුහාත්මක දුර්වලතා මෙම පීඩනය වඩා තීව්‍ර කිරීමට හේතු වී ඇත. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් සියයට 40කට වඩා උපයාගන්නේ ඇඟලුම් මගිනි. තේ අපනයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් සියයට 10 කට ආසන්න වේ. සමස්ත අපනයනවලින් හතරෙන් එකක් (ආසන්න වශයෙන් සියයට 23ක්) පමණ මිලට ගන්නේ ඇමරිකාව වන අතර දෙවැනි විශාලතම ගැනුම්කරුවා වන්නේ මහා බ්‍රිතාන්‍යයයි. යුරෝපා සංගමය ද අපට සියයට 20-30ක අපනයන වෙළෙඳපොළක් නිර්මාණය කර ඇත. මෙලෙස ඇමරිකානු වෙළෙඳපොළ මත විශාල වශයෙන් යැපීම හේතුවෙන් එම වෙළෙඳපොළේ ඇතිවන සුළු වෙනස්වීමක් වුව ද අපට සාපේක්ෂව විශාල බලපෑමක් කිරීමට හැකියාවක් ඇත.
විශේෂයෙන්ම ඇඟලුම් අපනයන වෙළෙඳපොළේ ශ්‍රී ලංකාව සමග තරග කරන රාජ්‍ය කීපයකි. ඒ අතරින් බංගලාදේශය, වියට්නාමය, ඉන්දියාව, පාකිස්තානය සහ කාම්බෝජියාව ප්‍රධාන වේ. මෙම බොහෝමයක් රාජ්‍ය සඳහා ඇමරිකානු එක්සත් ජනපදය සමග යම් වරණීය වෙළෙඳ ගිවිසුම් හෝ සාපේක්ෂව තම නිෂ්පාදන පිරිවැය අවම මට්ටමක තබා ගැනීමේ හැකියාව පැවැතීම හේතුවෙන් ඔවුනට තරගකාරී වාසියක් දැනටමත් හිමිවේ. උදාහරණයක් ලෙස බංග්ලාදේශය පහළ සංවර්ධනය මට්ටමක පැවැතීම හේතුවෙන් ඇමරිකානු වෙළෙඳපොළ වර්ණීය ඔවුන්ට හිමිවී ඇත. වියට්නාමය, ඇමරිකාව සහ යුරෝපා සංගමය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම් කීපයක් අත්සන් කර ඇත. ඉන්දියාව සහ පාකිස්තානය එළැඹ ඇති කලාපීය ගිවිසුම් හේතුවෙන් සාපේක්ෂව පහළ බදු අනුපාත යටතේ වෙළෙඳපොළට ප්‍රවිෂ්ටවීමට ඔවුනට හැකිව ඇත. එම රටවල් සමග සංසන්දනය කිරීමේ දී අපට ඇත්තේ තරගකාරී බදු අවාසියකි. ඇමරිකාවෙන් අපට ලැබුණු GSP සහනය ද 2020 දෙසැම්බර් මාසයේ දී අහිමිවීය. දැනටමත් ලංකාව ඇමරිකාවට අපනයනය කරන ඇඟලුම් සඳහා සියයට 16-18 ක මට්ටමක බදු පිරිවැයක් දැරිය යුතුය. (මෙම අනුපාත ඇඟලුම්වල ස්වරූපය අනුව වෙනස් වේ). මේ හේතුවෙන් මෙරට නිෂ්පාදකයන්ට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ බදු මගින් ඇතිවන අතිරේක බදු පීඩනය තම පිරිවැයට ඇතුළත් කර ගැනීම හෝ තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමෙන් සමනය කිරීමට සිදුවේ. එසේ වුවද, මෙම උපායමාර්ග ද්විත්වයම ජාත්‍යන්තර වෙළෙඳපොළ තරගකාරීත්වය බෙලහීන කරයි. විශේෂයෙන් නිෂ්පාදන මිල ඉහළ දැමීම සඳහා යම් නිෂ්පාදකයකු යොමු වන්නේ නම් එමගින් විදේශීය වෙළෙඳපොළ ආකර්ෂණය අධෛර්යවත් වීමට හේතුවිය හැකිය. එම නිසා දේශීය අපනයනකරුවන් වෙත එල්ලවන මෙම බදු පීඩනය නිවැරැදිව කළමනාකරණය කිරීමට රජය උත්සාහ ගත යුතුය.
ඇමරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් සෘජුවම පීඩාවට පත්වන්නෝ එරට පුරවැසියෝය. එරටට ආනයන කරන භාණ්ඩ මත ඉහළ බදු පැනවීමෙන් එම භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යනු ඇත. ඒ හේතුවෙන් ඇමරිකානු පුරවැසියන් එම භාණ්ඩ මිලදී ගැනීම අධෛර්යවත්වීමෙන් ශ්‍රී ලංකාව වැනි රටවල අපනයන වෙළෙඳපොළ යම් කඩාවැටීමකට ලක්විය හැකිය. මෙම කාරණයේ දී අපගේ අවධානය යොමු විය යුත්තේ අපට පනවන ලද නිරපේක්ෂ බද්දට වඩා අපගේ තරගකරුවන්ට පනවන ලද සාපේක්ෂ බද්ද සහ එයින් අපට එල්ල විය හැකි පීඩනය කෙරෙහිය. ඇමරිකාව විසින් පනවන ලද මුල් බදු අනුපාතවලට අනුව ලංකාව සියයට 44ක බද්දකට යටත් කරද්දී අපගේ තරගකරුවන් ඊට වඩා අඩු හෝ සමාන බදු අනුපාතවලට යටත් කර තිබුණි. ඉන්දියාවට සියයට 27 ක්, ඉන්දුනීසියාවට සියයට 32 ක්, තායිලන්තයට සියයට 36 ක්, බංගලාදේශයට සියයට 37 ක් සහ මියන්මාරයට සියයට 44 ක් වැනි අනුපාතවලට යටත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සාපේක්ෂව වැඩි වාසි සහගත පරිසරයක් එම රටවලට නිර්මාණය වී තිබුණි.
කෙසේ වුව ද සංශෝධිත බදු අනුපාත යටතේ ලංකාව සියයට 30 ක බද්දකට සීමා කරන විට අපගේ තරගකරුවන් වන ඉන්දුනීසියාවට සියයට 32 ක් බංග්ලාදේශයට සියයට 35ක් තායිලන්තයට සියයට 36ක් සහ මියන්මාරයට සියයට 40ක් වැනි සාපේක්ෂව ඉහළ අනුපාතය පනවා තිබීම හේතුවෙන් ලංකාවට යම් වාසි සහගත පරිසරයක් නිර්මාණය වීම සතුටට කරුණකි. (ඉන්දියාවට පනවා ඇති බදු අනුපාත මෙතෙක් නිශ්චිත නැත.) එය තවදුරටත් වාසි සහගත මට්ටමට පත් කර ගැනීමට රජය ඇමරිකානු රජය සමග සාකච්ඡා කිරීම වැදගත්ය. එම සාකච්ඡා වටවල යෝජිත සියයට 30ක බදු අනුපාත පහත හෙළීම පිළිබඳ මෙන්ම ඇමරිකන් GSP සහනය නැවත ලබාගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමු විය යුතුය. මානව හිමිකම් සහ වෘත්තීය අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය ගන්නා වූ සාධනීය ක්‍රියාමාර්ග මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට සහ යහපාලනය ස්ථාපිත කිරීමට රජයේ ඇති මැදිහත්වීම වැනි කරුණු ඔස්සේ මෙම සාකච්ඡාව ඉදිරියට ගෙනයා හැකිය. එමෙන්ම වෙළෙඳ සහ ආයෝජන ආකෘති ගිවිසුම ( TIFA – Trade and investment framework agreement) යටතේ ද රජයට සාකච්ඡා ආරම්භ කළ හැකිය. මෙම ගිවිසුම 2002 දී ශ්‍රී ලංකා රජය හා ඇමරිකාව අතර අත්සන් කළ ගිවිසුමකි. එය නිදහස් වෙළෙඳ ගිවිසුමක් නොවුව ද එමගින් GSPසහනය සහ වාණිජ සහයෝගිතාව සඳහා මාර්ගයක් විවෘත කර ඇත. තවද ඇමරිකානු වාණිජ අමාත්‍යාංශය සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සබඳතා වර්ධනය කර ගැනීමට රජය උත්සාහ ගත යුතුය.
මෙම සාකච්ඡාවලට අමතරව වෙනත් බදු නොවන සහන කෙරෙහි ද රජයේ අවධානය යොමුවීම වැදගත්ය. විශේෂයෙන් සාධාරණ වෙළෙඳාම් (Fair trade) ප්‍රතිපත්ති කෙරෙහි ද අප යොමු විය යුතුය. 2026 වසරේ දී ලෝක සාධාරණ වෙළෙඳාම් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජිත බැවින් ශ්‍රී ලංකා රජයට එයින් වැඩි වාසියක් ලබාගත හැකිවනු ඇත.
ඇමරිකාව සමග සාකච්ඡා කරන අතරතුරම නව අපනයන වෙළෙඳපොළ හඳුනාගැනීම සහ අපනයන විවිධාංගිකරණය සඳහා ද රජයේ අවධානය යොමුවීම වැදගත්ය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය රජය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමට හැකි උපාය-උපක්‍රම කඩිනමින් සැකසීම ද වැදගත්ය. එමගින් ඇමරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය ප්‍රතිලාභ බදුවලින් අපගේ අපනයන වෙළෙඳපොළට කළ හැකි පීඩනය අවම කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකිවනු ඇත.
(***)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ට්‍රම්ප් බද්ද - ලංකාවේ ආර්ථිකය