ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත විය. ඇමෙරිකාවට පක්‍ෂව ඡන්ද 24 කුත් අප රටට පක්‍ෂව ඡන්ද 15 කුත් ඡන්ද පාවිච්චි නොකළ 8 දෙනෙකුත් සිටි බව ජිනීවා නුවරින් වාර්තා විය. ”අමෙරිකානු රෙසලියුෂන්” නමින් රාජ්‍යතාන්ත‍්‍රික භාෂාවෙන් හැඳින්වූ යෝජනාව සම්මත වුවද එය නිත්‍යානුකූලව ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී නැත. මෙයට රාජ්‍යතාන්ත‍්‍රික වචනවලින් කියන්නේ ”නොන් බයින්ඩින් රෙසලියුෂන්” කියා ය. නීතිමය බැඳීමක් නැති වුවද මෙම යෝජනාව ඉදිරියේ ජාත්‍යන්තරය අපට එරෙහිව ගන්නට යන දේශපාලන පියවරක ආරම්භය ලෙස හැඳින්විය හැකිය. යම් රටකට නීතිමය බැඳීමක් සහිත යෝජනාවක් සම්මත කළ හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ ප‍්‍රඥප්ති අංක 7 යටතේ පමණි. මෙය එබඳු යෝජනාවක් නොවේ. එහෙත් ජිනීවාවලදී මෙබඳු යෝජනාවක් සම්මත වීම අපේ ජාත්‍යන්තර කීර්තියට හානියකි. ඉතා හොඳින් රාජ්‍යතාන්ත‍්‍රිකව කළමනාකරණය කරගත  හැකිව තිබූ කරුණක් ඇතැම් බලධරයන්ගේ පෞද්ගලික අඥානකම් නිසා අවුල් වී ගියේය. අතීතයේ ජේ.ආර්. ජයවර්ධන යුගයේ මෙරටට එරෙහිව මානව හිමිකම් ප‍්‍රශ්න උද්ගතවූවිට අර්බුද සමථයට පත්වූයේ මෙරටට එරෙහිව ඉදිරිපත්වූ යෝජනාව සංශෝධනය කරගන්නට ජේ.ආර්.ගේ සොහොයුරා වූ රාජ නීතිඥ එච්.ඩබ්ලිව්. ජයවර්ධන මහතාට හැකිවූ නිසාය. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩු කාලයේ මානව හිමිකම් ප‍්‍රශ්න මත අපට ඇමෙරිකාව ආර්ථික බාධක පැමිණවීය. ඇඟලූම් අලෙවියට තහනමක් පැනවීමට සැරසුණු විට අර්බුදය සමථයකට පත් කළේ එදා එ.ජා.ප. යේ සිටි මිලින්ද මොරගොඩ ය. කෙසේ හෝ මෙවර යෝජනාව සම්මත වී තිබේ. මෙය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප‍්‍රඥප්තිවලට පටහැනිය. යෝජනාව ශ්‍රී ලංකාව නොපිළිගන්නා බවත් බටහිර බලවත්තු වීදුරු ගෙවල්වල සිට ගල් නොගැසිය යුතු බවත් සමුළුව ඇමතූ අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය. සිරියාවේ හෝ රුවන්ඩාවේ හෝ සෝමාලියාවේ කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ නැත. යුද්ධයත් හමාරය. ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට රටකට මැදිහත්විය හැක්කේ ඒ රටේ පවත්නා නීතිය තුළ කිසියම් ක‍්‍රමවේදයකට මානව හිමිකම් ප‍්‍රශ්නවලට ප‍්‍රතිකර්ම නොකළොත් පමණි. ශ්‍රී ලංකා රජය උගත් පාඩම් කොමිසම හරහා දේශීය ක‍්‍රමයට තිබෙන ප‍්‍රශ්නවලට පිළියම් යොදන්නට සූදානම් බව කියද්දී බටහිර බලවත්තු කඩුව අතට ගත්හ. එම නිසා මෙවර ජිනීවා සමුළුවේදී සම්මතවූ යෝජනාව මානව හිමිකම් ප‍්‍රශ්න විසඳීමටත් වඩා දේශපාලන අරමුණක් ඉටු කර ගැනීම සඳහා සකසන ලද එකක් බව පෙනේ. එය මෙරට ජාතික සමගියටද බාධාවකි. තමන් අකමැති දේශපාලන ප‍්‍රතිපත්ති ඇති රටකට අනවශ්‍ය ලෙස මැදිහත්වන්නට බටහිර බලවත් ජාතීහු මෙවර මානව හිමිකම් කොමිසම උපයෝගී කරගත් බව සක්සුදක් සේ පැහැදිලිය. මෙම යෝජනාව ශ්‍රී ලංකාව නොපිලිගතහොත් එකවර අපට සම්බාධක පැනවීමක් හෝ වෙනත් පියවරක් ගත නොහැකිය. එහෙත් දිගුකාලීනව ඊට පාරකපන්නට යෝජනාව උපයෝගී කරගත හැක. ඉන්දියාව පවා බටහිරට නම්මාගෙන යෝජනාවට පක්‍ෂව ඡුන්දය ලබා ගත්තේ බටහිර ජාතීන්ගේ බලවත් අභිලාෂය නිසාය. ජාත්‍යන්තර නීති කටයුතු පිළිබඳ විශාරදයකු වන ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා පවසන්නේ මෙය ජාත්‍යන්තරය සංවිධානාත්මක ලෙස රටට කරන ලද අනවශ්‍ය ඇඟිලි ගැසීමක් බවය. යෝජනාවේ දිගුකාලීන අවසන් පියවර රටේ ආර්ථිකයට අනාගතයේ බාධක පැමිණවීම බවද ඔහු පවසයි. අපේ ඇඟලූම් ඇතුළු භාණ්ඩ බහුතරය මිලදී ගන්නේ බටහිර රටවල්ය. ඒවාට බාධාකර ජනතාව නොසන්සුන් කරවා යුද්ධයෙන් රට බේරාගත් දේශපාලන චරිතවලට පහරදීම යෝජනාවේ සැඟවුණ අරමුණය. අවසානයේ බටහිරට ගැති බටහිර ඉත්තන් වෙත බලය පවරා දීමට බලවත් රටවල් කරන සැලැසුමක මුල් අදියර මෙය බව ගෝමින් දයාසිරි මහතා කියයි. කෙසේ හෝ ජිනීවා යෝජනාවෙන් පසු බෝලය අපේ පැත්තට පාස් කර තිබේ. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය සඳහා රජය පත්කළ කොමිසමේ වාර්තාව ක‍්‍රියාත්මක කරන්නැයි බල කිරීම යෝජනාවේ මුඛ්‍ය අර්ථයයි. මෙම කොමිසම පත් කළේ රජය විසින්ම නිසා එහි වාර්තාව සුදුසු ලෙස බල ගැන්වීම රජයේම වගකීමයි. සුපුරුදු ලෙස මෙයින් පැන යාම, කල් දැමීම හෝ නොකර සිටීමට උත්සාහ කළහොත් එහි හානිය භුක්ති විඳින්නට සිදු වන්නේ රජයට බවද කිව යුතුය. සමහර තැන්වලින් උගත් පාඩම් කොමිසමේ වාර්තාවට අනවශ්‍ය කොටස් එකතු කර ඇතැයි විවේචන පළ වී තිබේ. නමුත් එහි කොමසාරිස්වරුන් සියල්ලන්ගේම පූර්ණ එකඟත්වය සහිතව අවසන් වාර්තාව සකස් කළ බව කොමිසමේ සභාපති ජනාධිපති නීතීඥ සී.ආර්. ද සිල්වා මහතා ඉරිදා ලංකාදීපයට කීය. ”මෙම වාර්තාවේ මුල් වගන්තියේ සිට අවසන් වගන්තිය දක්වාම අප වග කියනවා” ඔහු අප සමග කීවේය. එනිසා රජයට හා ජනාධිපතිතුමාට මෙබඳු උපදෙස් දෙන අයගේ උපදෙස් හරිදැයි වගකිව යුත්තන් කල්පනා කළ යුතුය. සමහර උපදෙස් නිසා නැති අවුල් ඇති වෙයි. අවසන් වශයෙන් රජය උගත් පාඩම් කොමිසම ගැන සාධනීය ප‍්‍රතිචාර දක්වන අතර අනෙක් පළාත්වල කි‍්‍රයාත්මක පළාත් සභා ක‍්‍රමය උතුරටත් හඳුන්වා දීම වරදක් නොවේ. ඉඩම්, පොලිස් බලතල ප‍්‍රශ්න පසුව විසඳිය හැක. උතුරේ පළාත් සභාව ස්ථාපිත කළොත් එහි රජයේ පාලනය ගිලිහෙතැයි නැගෙන චෝදනාව නැගෙනහිර පළාතේදීම බොරුවක් බවට පත්ව ඇත. යුද්ධය හමාරවී වසර තුනක් ගතවී ඇත. එම නිසා විසඳිය යුතු සාධාරණ ප‍්‍රශ්න කල් නොදමා විසඳිය යුතුය. ”අද නොවේ හෙට” ප‍්‍රතිපත්තිය තවදුරටත් ගෙනයාම හරිදැයි සිතා බැලීම වගකිවයුත්තන්ට පැවරේ. ජිනීවා යෝජනාව සම්මතවීම ශ්‍රී ලංකාවේ වැටීමක් නොව අලූත් ගමනක ආරම්භයක් ලෙස සිතුවොත් සිදුවන්නේ යහපතකි. තවමත් මෙම ප‍්‍රශ්න විසඳාගන්නට රජයට ශක්තියක් තිබේ. ජන බලය ද රජය සමග පවත්නා බව පැහැදිලිය. එම නිසා ජාත්‍යන්තරය සමග උරණ නොවී විශේෂයෙන්ම ඉන්දියාවද දිනාගෙන අපේ අරමුණු සාධනය කරගන්නට ඉටාගත යුතුය. ඉන්දියාව කලාපීය බලවතා ලෙස බටහිරට ගැතිවීම මගින් තමන්ගේ විදේශ ප‍්‍රතිපත්තිය කණපිට පෙරළා ඇත. අප ඊට බැන අඬගසා වැඩක් නැත. රජීව් ගාන්ධි ඝාතනය කළ එල්ටීටීඊයට ගාන්ධිලාගේ රජය කළ උඩගෙඩි දීමක් ලෙස මෙම අවස්ථාව අර්ථකථනය කළ හැක. නමුත් කලාපීය  දේශපාලනයේදී අපට ඉන්දියාවේ සහාය අවශ්‍ය ය. කොටි ත‍්‍රස්තවාදය පරාජයේදී ඔවුන් අපට උදව් කළේය. ඒ මට්ටමට නැවත ඉන්දීය ස බඳතා තර කර ගැනීම රජයේ වගකීමය.
සටහන:- රන්ජිත් ආනන්ද ජයසිංහ