සමාජ මාධ්‍ය නියාමනය, අගමැතිට එරෙහි විශ්වාසභංගය, ජ.වි.පෙ ඡන්දය, 20 වැනි සංශෝධනය, 2020 ජවිපෙ ජනාධිපති අපේක්ෂකත්වය, බරපතල මූල්‍ය වංචා විමර්ශන කොමිෂන් සභා නිර්දේශ හා දූෂණවිරෝධී සටන් පාඨය හෑල්ලුවීම යන කාරණා සම්බන්ධයෙන් මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.

ප්‍රශ්නය:- වෛරී ප්‍රකාශන වැලැක්වීම සඳහා විශේෂ නීති සම්පාදනයට පියවර ගත යුතු බව රජයේ මැති ඇමැතිවරු ගණනාවකගෙන්ම යෝජනා ඉදිරිපත් වුණා. එවැනි නීති සම්පාදනයක් විශේෂයෙන් අවශ්‍ය යැයි ජ.වි.පෙ හිතනවද?

පිළිතුර:- ජාතිවාදය ආගම්වාදය අවුස්සන ප්‍රකාශන ජාතියක ඉදිරි ගමනට බාධාවක්. ඒ සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් සකස්කිරීම රජයක වගකීමක්. සමාජ ජාලා සම්බන්ධයෙන් මීට පෙරම යම් යාන්ත්‍රණයක් සකස් කිරීමට රජයට හැකියාව තිබුණා. එහෙත් ආණ්ඩුව ඒක කළේ නෑ. මේ නිසා සමාජ ජාලා පාවිච්චි කරගෙන ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් පුද්ගල චරිත ඝාතනය කරමින් වැරැදි ගණනාවක් සිදුවුණා. දිගන සිද්ධිය නිසා ආණ්ඩුව එකවරම සමාජ මාධ්‍ය තහනම් කළා. තහනම් කිරීම විසඳුම නෙවෙයි. වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ සංවාදයක් තිබුණා. එහෙත් සකස් කරන යාන්ත්‍රණය සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයෙත් හොඳ එකඟතාවයක් නෑ. නමුත් පක්ෂයක් හැටියට එවැනි යාන්ත්‍රණයක් අවශ්‍ය යැයි අපි හිතනවා. 

ප්‍රශ්නය- එහෙත් සමාජ මාධ්‍ය විශ්ලේෂකයන්ගේ මතය වන්නේ එය නියාමනයට ආණ්ඩුව අනවශ්‍ය පරිදි මැදිහත් විය යුතු නැති බවයි. ආණ්ඩුවට සමාජ මාධ්‍ය නියාමනය කළ හැකිද?

පිළිතුර :- ඇත්ත. එහෙම නම් සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් හා සමාජය සමඟ පු`ඵල් සංවාදයක් ආරම්භ විය යුතුයි. ආණ්ඩුව විදියට බලහත්කාරයෙන් නීති පනවනවාට වඩා සුදුසු වන්නේ සමාජ සම්මුති සමඟ තිබෙන යම් යාන්ත්‍රණයක් සකස් කිරීමයි.

ප්‍රශ්නය :- අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ඉදිරියට යන එකක් නොවේ යැයි ජවිපෙ නායකයා පැවැසුවා. එහෙත් දැන් එය කතානායකවරයාට බාර දී තිබෙනවා. ජවිපෙ සහාය දෙනවාද?

පිළිතුර :- අගමැතිවරයාගේ විශ්වාසය භංග වන කරුණු ගොඩක් තිබෙනවා. මහ බැංකු බැඳුම්කර වංචාව එකක්. ඒ වගේම පහුගිය කාලෙ වෙච්ච හොරකම්, දූෂණවලට එරෙහිව මේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළේ නෑ. හොරු අල්ලනවා කිව්වාට හොරු ඇල්ලුවේ නෑ. හොරුන්ට දඬුවම් දෙනවා කිව්වා. ඒක කළෙත් නෑ. අඩු ගානේ හොරකම් නතර කළෙත් නෑ. හොරුත් එක්ක ඩීල් දැම්මා. හොරුන්ව ආරක්ෂා කළා. එවැනි චෝදනා ගණනාවක් තියෙනවා. එනිසා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ සහය දෙනවා.  

ප්‍රශ්නය:- එහෙත් ජනතා විමුක්ති පෙරමුණ මුලදී ටිකක් වැට උඩ වගේ හිටියේ. ඇයි ඒ?

පිළිතුර:- මෙහෙමයි. නොයෙක් අයට නොයෙක් දේශපාලන බල වුවමනාවන් තිබෙනවා. ඒ බල වුවමනාවන් ඉටුකරගැනීමටත් විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරනවා. පක්ෂයක් හැටියට අපට අගමැතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තිබෙන්නේ ප්‍රබල විවේචනයක්. මේ විශ්වාසභංගයට පක්ෂව අපි ඡන්දය පාවිච්චි කරන්නේ ඒ නිසයි. ඒක ඇතුලේ කට්ටිය දේශපාලන ගේම් ගැහිලිත් තිබෙන  බව අපි දන්නවා. ඒ දෙස අපි විමසිල්ලෙන් ඇහැ ගහගෙන ඉන්නවා. 

ප්‍රශ්නය:- විශ්වාසභංගයට ජවිපෙ සහාය ලැබෙන කොන්දේසි ගැන මුලදී කිව්වා. දැන් විශ්වාසභංගයට පදනම් වූ කාරණා ඒකාබද්ධ විපක්ෂය සඳහන් කර තිබෙනවා. මේ කාරණා සමඟ ජ.වි.පෙ කොන්දේසි ගැලපෙනවාද?

පිළිතුර:- අපි කොන්දේසි දැමීමක් කළේ නෑ. අපි කියන්නේ ඒ චෝදනාවලට වඩා තවත් චෝදනා තිබෙනවා. මේ පිළිබඳව විවාදයක් අප්‍රේල් 4 වැනිදා පැවැත්වෙනවා. අගමැතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපට තිබෙන විවේචන අපි එදාට ඉදිරිපත් කරනවා. 

ප්‍රශ්නය :- විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජ.වි.පෙ කටයුතු කරමින් සිටින බව කිව්වා. හිටි හැටියේම මෙවැනි පියවරකට යන්න හිතුණේ ඇයි?

පිළිතුර:- විධායක ක්‍රමය ඇති කළ දවසේ සිටම පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ වුණා. ඒක එක් පුද්ගලයකුට බලය පැවැරෙන ඒකාධිපති පාලනයක්. හිටි හැටියේ නෙවෙයි. ඇත්තටම අපි මේ කටයුත්ත ආරම්භ කිරීමට සූදානම්ව සිටියේ පහුගිය පළාත් පාලන ඡන්දය අවසන් වූ ගමන්. නමුත් 20 වැනි සංශෝධනයට මුල පුරනකොටම විශ්වාසභංගයක් ආවා. ඒ නිසා අපි මේක පස්සට අරගත්තා. විශ්වාසභංගය අවසන් වූ විගසම අපි 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. මොකද මෛත්‍රිපාල සිරිසේන මහත්තයා බලයට පත්වුණේම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලයි. 

ප්‍රශ්නය:- එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් කියන්නේ ජනාධිපතිවරයාම ඊළඟ ඡන්දයටත් ඉදිරිපත් වන බවයි. ඊළඟ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් වෙනවාද? 

පිළිතුර: - අපේ මැදිහත්වීම තිබෙන්නේ විධායක ක්‍රමය අහෝසි කිරීමටයි. 2015 ජනවාරි 8 පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඡන්දය ගත්තේ ඒක අහෝසි කිරීමටයි. නැවත ජනාධිපතිවරණයකට තරඟ කිරීමට එතුමාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නෑ. එතුමාගේ වගකීම වන්නේ නැවත තරඟ කිරීම නෙවෙයි. විධායක ක්‍රමය අහෝසි කිරීමයි. පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ සාකච්ඡාව තිබෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයක් ගැන නෙවෙයි. ජ.වි.පෙ සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටනකයි. ඒ නිසා ඊළඟ ඡන්දයේදී අපි මොකද්ද කරන්නේ කියන එක අදාළ වෙන්නේ නෑ. 

ප්‍රශ්නය:- විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසියකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්ත අත්‍යවශ්‍යයයි. පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්ෂවල සහාය ලබාගන්නේ කොහොමද?

පිළිතුර:- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක් විදියට පහුගිය කාලයේ පවසා තිබෙනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා මෙය අහෝසි කරනවා යැයි කිව්වේ දින සීය ඇතුළතයි. එතුමා කිව්වේ පළමු වැනි දින සීය ඇතුළත විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට මට බලය දෙන්න කියලයි. මහින්ද රාජපක්ෂ මහතාත් මහින්ද චින්තනය ඇතුලේ අවස්ථා දෙකකදීම බලය ඉල්ලුවේ විධායකය අහෝසි කිරීමටයි. එහෙම නැතත් එතුමාට ආපහු ඉල්ලන්නත් බෑ. මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ කැමැත්තක් ගන්න පු`ඵවන් යැයි අපි විශ්වාස කරනවා. නිල සාකච්ඡා සිදු නොකළත් විවිධ පක්ෂ සමඟ නොනිල මට්ටමින් අපි අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඒ හැම පාර්ශ්වයක්ම මේ පිළිබඳ කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. 

ප්‍රශ්නය:- විශ්වාසභංගයට ආණ්ඩුවේ ඇමැතිවරු කීප දෙනෙකුම අස්සන් කළත් මහින්ද රාජපක්ෂ මහතා අස්සන් කළේ නෑ. ආණ්ඩුවේ සිටිමින් ඊට අස්සන් කිරීමට කිසිවෙකුට නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. මේ දේශපාලන විවාදය දකින්නේ කොහොමද?

පිළිතුර:- ඇත්තටම මෙතැන දේශපාලන ගේම් එකක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා එක්සත් ජාතික පක්ෂයේ වෙනත් කෙනෙක් අගමැති පුටුවේ වාඩි කරලා ඊළඟ ජනාධිපතිවරණයටත් නැවත මෛත්‍රිපාල සිරිසේන මහතාම ගේන්න ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු සිතනවා. දුර්වල ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයෙක් අගමැති කරලා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැල්ලා තුනෙන් දෙකකින් සම්මත කරගැනීමට මහින්ද පාර්ශ්වයේ අය සිතනවා. මේ විශ්වාසභංගය ඉදිරිපත් වන දේශපාලන පදනම ඔන්න ඕකයි. එහෙම නැතිව රටේ ජනතාව ගැන හෝ ඔවුන්ගේ ජීවන තත්ත්වය ගැන හිතලා ගේන විශ්වාසභංගයක් නෙවෙයි. ඒ බල වුවමනා මොකක් වුණත් අගමැතිවරයා පහුගිය කාලේ කළ වැරැදි නිසා ඊට පක්ෂව අපි මැදිහත් වෙනවා. අගමැතිට එරෙහිව ජ.වි.පෙ ඡන්දය ප්‍රකාශ කරනවා. 

ප්‍රශ්නය:- ඔබ කියන හැටියට මහින්ද පාර්ශ්වයේ බල වුවමනාව සාර්ථක වුවහොත් කල්තියා පැමිණෙන මහ මැතිවරණයකට ජ.වි.පෙ සූදානම් ද?

පිළිතුර: - ඒක තීරණය වෙන්නේ විශ්වාසභංගයේ ප්‍රතිපලය මත. දැන් තියාම කියන්න අමාරුයි. දැනට ගත්තොත් විශ්වාසභංගය තිබෙන්නේ දෙපැත්තටම. තමන්ගෙ ගොඩ වැඩි යැයි දෙපැත්තම කියනවා. මේ අතරේ විශ්වාසය පළකිරීමේ යෝජනාවකට එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් අස්සන් ගන්නවා. රට කොතැනටද යන්නේ කියන එක තීරණය වෙන්නේ 4 වැනිදා සවස ලැබෙන ඡන්ද ප්‍රතිපලය අනුවයි. 

ප්‍රශ්නය :- අගමැතිවරයා විවේචනයට ලක්වන්නේ ජාතික ආණ්ඩුවේ වැරැදි සම්බන්ධයෙන් නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් එයින් නිදොස් වීමට බැහැ නේද?

පිළිතුර:- නෑ. පහුගිය කාලයේදී රටේ ආර්ථිකය ආපස්සට ගියා නම්, හොරු ඇල්ලුවේ නැත්නම්, හොරුන්ට දඬුවම් කළේ නැත්නම්, රටෙහි දේශපාලන අරාජිකත්වයක් නිර්මාණය වුණා නම් ඒ සමස්තයට මේ පක්ෂ දෙකම වගකියන්න ඕනෑ. ජනපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුලු මු`ඵ ආණ්ඩුවම වගකියන්න ඕනෑ. රට මෙතැනට වැටෙද්දී විධායක ජනාධිපතිවරයා විදියට ඔහු මොනවද කළේ? සියලු වැරැදි වුණේ එක්කෙනෙකුගෙන් ද? අපි එහෙම දකින්නේ නෑ. ජනතාවට ඇත්තටම දැන් මේ ආණ්ඩුවම සම්බන්ධයෙන් වූ විශ්වාසය භංග වෙලයි තිබෙන්නේ. 

ප්‍රශ්නය:-නව ආණ්ඩුව යටතේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවූවත් පොලිස් කොමිසම වැනි ඇතැම් කොමිෂන්වල ස්වාධීනභාවය ප්‍රශ්න කෙරෙන තැනට පත්ව තිබෙනවා. ව්‍යවස්ථා සභාවේ නියෝජිතයකු හැටියට මේ විවේචන ගැන ඔබට තිබෙන්නේ කවර උනන්දුවක් ද?

පිළිතුර:- ස්වාධීන කොමිෂන් සභා මූලධර්මය නිවැරැදියි. ඒ ප්‍රතිපත්තිය සංකල්පය නිවැරැදි එකක්. නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී ඒ තැන්වලට පත්වෙන පුද්ගලයන්, ඔවුන්ගේ හැකියාව නොහැකියාව හා කාර්යක්ෂමතාව මත කොමිෂන්වල ක්‍රියාකාරිත්වය අඩපණ වූ අවස්ථා තිබෙනවා. සමහර දේවල් තාම පිහිටුවලාත් නෑ. ස්වාධීන විගණන සේවා කොමිසම ඊට උදාහරණයක්. හැබැයි කොමිසමට සාමාජිකයන් පත්කරලා. ඒ අයට පඩි ගෙවනවා. නඩත්තු කරනවා. නමුත් පනත නෑ. පනතක් නැතිව කොමිසමට ක්‍රියාත්මක වෙන්න බෑ. ආණ්ඩුව මේක ගේන්නෙත් නෑ. නිලධාරින් සු`ඵ පිරිසකුත් සමහර ඇමැතිවරුත් මේකට විරුද්ධයි. මොකද ඔවුන්ගේ හොරකමුත් මේකෙන් අහුවෙනවා. ප්‍රතිපත්ති හොඳ වුණත් ඒවා ප්‍රායෝගිකත්වයට නගන යාන්ත්‍රණය දුබලයි. එනිසා ජනතාව බලාපොරොත්තු වූ තත්ත්වය තවමත් මේ කොමිෂන් සමහරකින් ලැබිලා නෑ. 

ප්‍රශ්නය:- පළාත් පාලන ඡන්ද කාලයේදී ජවිපෙ කලා, සංස්කෘතික හා ශාස්ත්‍රාලීය සිවිල් චරිත සමඟ වැඩි ගනුදෙනුවක් කරන හැටි දුටුවා. දැන් ඒ වැඩ අහවර ද?

පිළිතුර: - කලාකරුවන්, වෘත්තියවේදීන්, සරසවි ආචාර්යවරුන් ඇතුලු ඒ සිවිල් සමාජ කණ්ඩායම් එදා වගේම අදත් අපිත් එක්ක අත්වැල් බැඳගෙන සිටිනවා. අදත් ඔවුන් සමඟ පු`ඵල් කතිකාවක සිටිනවා. මහනුවර සිදුවීමත් සමඟ ජාතිවාදය ආගම්වාදය පැරදවීමට ‘අපි මිනිස්සු’ කියන තේමාවෙන් ජනතාව මතවාදීව සන්නද්ධ කිරීමට ඒ බලවේග අප සමඟ එකට ගමනක් යමින් තිබෙනවා. අපි රට පුරා ඔවුන් සමඟ ඒ මතවාදය ගෙනයනවා. 

ප්‍රශ්නය:- බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනපති කොමිසම් නිර්දේශ අනුව නීතිය පියවර ගනිමින් තිබුණත් බරපතල මූල්‍ය වංචා විමර්ශන කොමිෂන් සභා නිර්දේශ ගැන වැඩි සද්දයක් නෑ. කවුරුවත් ඒ ගැන කතා නොකරන්නේ ඇයි?

පිළිතුර:- අපේ රටේ ජනාධිපති කොමිෂන් පත්කරද්දී මහා ශබ්දයක් තිබුණත් කෙටි කලෙකින්ම ඒවා යටපත් වෙනවා. ස්වභාවය ඒකයි. මේ කොමිෂන් සභා දෙක ඊට වඩා ටිකක් වෙනස්. නමුත් ඒ සංවාදය යටයෑම සිදුවුණේ පහුගිය මැතිවරණයත් සමඟයි. මේ නිසා කොමිෂන් සභා වාර්තා ගැන කතාව මාස තුනක් පමණ යට ගියා. ඉන්පසු පාර්ලිමේන්තුවට එය යොමුකළත් භාෂා පරිවර්තන ප්‍රශ්නයක් නිසා එය කල්ගිහින් තිබෙනවා. එම කොමිෂන් සභාවල තිබුණු කරුණු යටගහන්න ජනතා විමුක්ති පෙරමුණ කිසි ලෙසකින් ඉඩ තියන්නේ නෑ. අදාළ චූදිතයන් නීතිය හමුවට ගෙනෙන තෙක් අපේ මැදිහත්වීම දිගටම කරනවා. 

ප්‍රශ්නය:- දූෂණවිරෝධීභාවය භාවිතාවෙන් පෙන්වීමට ආණ්ඩුවට නොහැකි වීමේ අවාසිය ජනතා විමුක්ති පෙරමුණටත් උරුම වූ බව දේශපාලන විචාරකයන් පවසනවා. පළාත් පාලන මැතිවරණයටත් එය බලපෑ බව කීවොත් නිවැරැදි ද?

පිළිතුර: - හොරු අල්ලලා දඬුවම් දේ යැයි ජනතාව අපේක්ෂා කළත් හොරකම දූෂණය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළේ නෑ. එහෙම නම් හොරකම් දූෂණ වෙලා නැතැයි වැනි වැරැදි පණිවුඩයක් ජනතාව අතරට ගියා. ජනතාව බහුතරයක් ළඟ හිතලා තීන්දු අරගෙන තිබෙනවා. ආණ්ඩුවත් එක්ක තිබෙන කේන්තියට තරහට ඡන්දය පාවිච්චි කළා. එහෙම නැතිව එයින් ඇති වන ප්‍රතිපලය හරියට කිරා මැන බැලුවේ නෑ. දැන් මේ ප්‍රාදේශීය සභාවලට පත්වන සභාපතිවරු මන්ත්‍රීවරු දිහා බැලුවාම ඒක හොඳට පේනවා. දැන් මේ පත්වෙන්නේ පරණ හොරු ටිකම තමයි. ආණ්ඩුව එක්ක තරහට ඡන්දය ප්‍රකාශ කරලා යම් වැරැද්දක් සිදු වූ බව ජනතාවටම දැන් තේරුම් යමින් තිබෙනවා. 

ප්‍රශ්නය :- මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනන බව ඒකාබද්ධ විපක්ෂය කිව්වා. ඉදිරියේදී මැතිවරණ  කීපයක්ම පැවැත්වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ පොල් ලෙලි න්‍යාය හමුවේ ජන මනස දිනාගැනීමට ජ.වි.පෙට හැකිවේද?

පිළිතුර:- දේශපාලනයේදී එවැනි කුණාටු හිටපු ගමන් එනවා. ආණ්ඩුවල තිබෙන දුබලතාව, ආණ්ඩුවල තිබෙන අරාජිකත්වය නිසාම ජනතාවට ලොකු කේන්තියක් එනවා. ඒක දේශපාලන කුණාටුවක් වුණාම ගස් අඹරගෙන පෙරළාගෙන යනවා. එවැනි දේවල් ඉතිහාසයේත් සිදු වී තිබෙනවා. හැබැයි මේක වැඩිකල් අල්ලන්න බෑ. ඒක රාජපක්ෂ කණ්ඩායමත් දන්නවා. මේ ප්‍රතිපලය ඔවුන්ටත් හිතාගන්න බැරිවුණා. ඔවුනුත් පුදුම වූ ප්‍රතිපලයක්. එකවර හමන සැඩ සුළංවල ස්වභාවය ඒකයි. මේවා ආපහු අනෙක් පැත්තට කැරකෙනවා. අපිට ඒක විශ්වාසයි.

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ