IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


චොප්පෙ ගැන පුතා කියන කතාව

 

අපි මරදාන මරියකඬේ ජනාකීර්ණ වීදිය ඔස්සේ ගමන් කළෙමු. මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ හෙවත් රටම දන්න චොප්පෙ අයියාගේ නිවෙසට යාම අපේ අරමුණය. 1968 වසරේ ඔක්තෝබරයේ 16 වැනිදා තියුණු කැපුම් කෙටුම් තුවාල සමගින් චොප්පෙ අයියා ජීවිතයෙන් සමු ගත්ත ද ඔහු පිළිබඳ මතකය තවමත් නොනැසී පවතියි. කාලයේ වැලි තලාවෙන් ඒ මතකය වසා නොදමන්නට ඒ මතකය ජීවමාන කරවන්නට අවැසි තොරතුරු සොයායාම අපේ ගමනේ අරමුණය.

”කිත්සිරි රාජපක්ෂ මහත්තයාගේ ගේ කොයි හරියෙද?” සිගරැට්ටුවක් බොමින් කඩයක බිත්තියකට පිට දී සිටි තරුණයකුගෙන් මම ඇසුවෙමි.

”තව කඩ දෙක තුනක් පහු කරන කොට පොඩි ලේන් එකක් තියෙනවා. ලේන් එකේ දිගේම යන්න. එතකොට ”එන්ඞ්” එක හම්බ වෙනවා. කාගෙන් හරි අහන්න රිප්ලයි කරයි” ඒ තරුණයා කීවේය.
 

මරදානේ චොප්පෙ

”ස්තුතියි” කියා අපි ඔහුගෙන් සමුගත්තෙමු.

ඒ තරුණයා කීවා හරිය. පටුමගේ කෙළවර නිවෙසකි. ඒ නිවෙසේ අපි සෙවූ අමුත්තා සිටියේය. ඔහු කිත්සිරි රාජපක්ෂය. කිත්සිරි රාජපක්ෂ යනු චොප්පෙ අයියාගේ දෙවැනි දරුවාය. ඔහු මේ වන විට කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරයෙක් ලෙස මහජන සේවයට කැප වී සිටී. ඔහුගේ ළෙන්ගතු සිනාව මිත‍්‍රශීලී පිළිගැනුම අපේ රාජකාරිය පහසු කරවන්නක් බවට ඉඟියකි.

”තාත්තා ගැන මට මතකයක් නෑ.” ඔහු සෝබරව කීවේය. ”තාත්තා මැරෙනකොට මට අවුරුදු දෙකයි. තාත්තා නැති වුණේ මගේ නංගි ඉපදුණු දවසෙමයි. මට තව අයියා කෙනෙක් ඉන්නවා.” කිත්සිරි රාජපක්ෂ කීවේය. ඔහුගේ මතක ගබඩාවේ තිබෙන්නේ පියා පිළිබඳව ඇසූ කතාවන්ය.

උන්වහන්සේ රටම දන්නා සුපතල ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. වගා කරගත් දේශපාලන සබඳතාද සහිතව සිටි උන්වහන්සේට ඉහළින් යාමට කිසිවෙක් ඉදිරිපත් නොවූහ. ඔය අතරවාරයේ දී උන්වහන්සේ හා ගමේ පිරිසක් අතර විරසකභාවයක් ඇති විය.

”හාමුදුරුවනේ මේ ප‍්‍රශ්නයට විසඳුමක් නොදුන්නොත් අපි ගිහින් චොප්පෙ අයියාට කියනවා.” ගම්මු කීහ.

ගම්මුන්ගේ කියමනෙන් නායක හාමුදුරුවෝ කිපුණාහ.

”චොප්පෙට ගිහින් කියපල්ලා. මම චොප්පෙව චප්ප කරනවා.” නායක හාමුදුරුවෝ පිළිවදන් දුන්හ. චොප්පේ අයියා ගැන අසා තිබුණාට උන්වහන්සේ රුවින් චොප්පෙ අයියා නොහඳුනති. ගම්මු අදාළ ගැටලූව චොප්පෙ අයියාට රැුගෙන ගියහ.

”චොප්පෙ අයියා... හාමුදුරුවෝ කිව්වා ”චොප්පෙව චප්ප කරනවා” කියලා. ගම්වැසියෙක් කීවේය.

නායක ස්වාමින් වහන්සේ සොයා චොප්පෙ අයියා ගියේය. නායක හාමුදුරුවෝ ද වැඩ සිටියහ. චොප්පෙ අයියා හාමුදුරුවන්ට මෙසේ කීවේය.
”සඟ! මාත් එක්ක බෑ දඟ”! චොප්පෙ අයියා කීවේ එපමණකි. විරසක බව පහව ගියේය. ගැටලූව සාකච්ඡා කෙරිණි. සාධාරණ විසඳුමක් ද ආවේය. ඒ කතාව කිත්සිරි රාජපක්ෂගේ මතක ගබඩාවෙන්ය.

”ඒක තමයි අපේ තාත්තගේ භාෂාව. තාත්තගේ එක විශේෂත්වයක් තමයි ඒක.” කිත්සිරි පුතා කියයි.

මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ හෙවත් චොප්පෙ අයියා ඉගෙන ගත්තේ පහ පන්තියට පමණි. ඒ මරදාන කුප්පියාවත්ත රජයේ පාසලෙනි. චොප්පෙ අයියා සමග පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා එකට ඉගෙනගත් එල්. කරුණාදාස මහතා අපට හමුවිය. එම හමුව සංවිධානය කළේද කිත්සිරි රාජපක්ෂය.

මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපතිවරයා වන කරුණාදාස මහතා කතාව ආරම්භ කළේ තම වයස ගැන කියමිනි.

”මට දැන් අවුරුදු හැත්තෑ තුනයි. චොප්පෙ හිටියා නම් එයාටත් ඒ වයසමයි.” කරුණාදාස මහතා කීවේය.
 

එල්. කරුණාදාස

එකක් කියන්න  ඕනේ මහත්තයො. චොප්පෙ වගේ කෙනෙක් ආයේ බිහි වෙන්නේ නෑ. කාටවත් එහෙම වෙන්නත් බෑ. එයා අපරාධකාරයෙක් නොවෙයි. හැබැයි චණ්ඩියෙක්. ඒ චණ්ඩිකම් එයා පෙන්නුවේ පොඩි මිනිසුන්ට නොවෙයි. පොලිසියටමයි. පොලිසිය දැක්කොත් පොලිසියට ගහනවා. පොලිසිය ඉන්නේ උඩින්නේ. ඉතින් ඒ පොලිසියට ගහන කෙනා මිනිස්සු අතර වීරයෙක් වෙනවා. බය තියෙන මිනිහෙක් පොලිසියට ගහන්නේ නැහැනේ. චොප්පෙ කියන්නේ අන්න එහෙම බය නැති මිනිහෙක්. කරුණාදාස මහතාගේ පූර්ව හැඳින්වීම එපරිදිය.

”මම දන්නෑ මොකක්ද කියලා මෙයාට හැමෝම බයයි. ඉස්කෝලෙ දි වුණත් ගුරුවරුවත් මොකුත් කියන්නේ නෑ. හැබැයි පුංචි කාලේ වුණත් හරිම ශක්තිවන්තයා. ඒ වගේම අමුතු ලස්සනක් තිබුණා. එයාගේ අත්දෙක දිගයි දණහිසෙන් පහළට. දකුණු කකුල නවලා බෙල්ලේ දාගන්න පුළුවන්. එයා බිලියඞ් ගහන්න යනවා. බිලියඞ් මේසේ ළඟ එයා හිටගෙන ඉන්නේ තනි කකුලෙන්. දකුණු කකුල බෙල්ලේ මේක බලන්නට මිනිස්සු එනවා. ඉස්සර මට මතකයි. හැම ඉරිදම මිනිස්සු ටවුන්හෝල් එකට එනවා මෙයාගේ වැඩ බලන්න. පුදුම ආකර්ශනයක් තිබුණේ.” කරුණාදාස මහතා කීවේය.

පාසල ආරම්භ වන්නේ පෙරවරු හතට වුවද චොප්පෙ ඇතුළු පිරිවර පෙරවරු හය පමණ වන විට පාසලට එති. ඔවුන්ගේ ජනපි‍්‍රයම කී‍්‍රඩාව තාච්චි පැනීමය.
”චොප්පෙ තමයි ඉර මැද ඉන්නේ. අත පය දිගයිනේ. කාටවත් බේරිලා යන්න බෑ. හැමදාම මෙයා තමයි දිනන්නේ. මෙයා ලොක්කෙක් වෙන්න පටන් ගත්තේ ඔන්න ඔහොම තමයි.” ඒ කරුණාදාස මහතාගේ හඬය.

එකල මරදාන පොලිසියේ සේවය කළ දැන් විශ‍්‍රාම සුවයෙන් පසුවන ඩබ්ලිව්. ඒ. සිරිවර්ධන මහතා චොප්පෙ සම්බන්ධව රසකතා මතක ඇත්තෙකි. එක කතාවක් මෙසේය.

”දවසක් මරියකඬේ නාට්‍යයක් පෙන්නුවා. නාට්‍යයේ නම දුටුගැමුණු හා එළාර. චොප්පෙ තමයි දුටුගැමුණු රජ්ජුරුවන්ට රඟපාන්නේ. දැන් නාට්‍ය නැගලා යනවා. ඔය නාට්‍යයේ එක තැනක තියෙනවා රාජ සභාව රැස් කරපු අවස්ථාවක සෙබළුන් ඇවිත් කියනවා ”රජතුමනි දෙමළු අපේ රට වනසනවා” කියලා. දැන් ඒ විදියට සෙබළු ඇවිත් කිව්වා විතරයි ”චොප්පෙට අමතක වුණා නාට්‍යයක් රඟපානවා කියලා. මෙයා එක පාරටම ”ගනු කඩුව” කියාගෙන අහන් ඉන්න බැරි කුණුහරුප වැලක් කියාගෙන ගියා. නාට්‍ය එතැනින්ම ඉවරයි.”

සහකාර පොලිස් අධිකාරිවරයෙක් දිනක් මරියකඬේ හරහා ජීප් රියකින් ගමන් කරමින් සිටියේය. චොප්පේ  එය දුටුවේය. පොලිස් නිල ඇඳුම ඔහුට නයාට අඳුකොළ මෙනි. කඩුව අතට ගත් ඔහු එයින් ජීප් රියට කොටාගෙන කොටාගෙන ගියේය. ජීප් රියේ බඳේ පතුරු ගැලවී පාර පුරා විසිරී ගියේය. පොලිස් අධිකාරිවරයා ගමන් කරන ජීප් රියට කඩුවෙන් කොටන ත‍්‍රාසජනක ජවනිකාව සෑහෙන පිරිසක් අයාගත් මුවින් යුතුව බලා සිටියහ.

”ඒ.එස්.පී. මහත්තයා ජීප් එකේ ඇතුළෙම හිටපු හින්දා බේරුණා. බැරි වෙලාවත් දොර ඇරගන්න පුළුවන් වුණා නම් මොනවායින් මොනවා වෙයිද කියලා කියන්න දන්නේ නෑ.” ඩබ්ලිව්. ඒ. සිිරිවර්ධන මහතා කීවේය.

ඒ චොප්පෙගෙ හැටිය. චොප්පෙට පොලිසිය පෙන්නන්න බැරුවා සේම පොලිසියටද චොප්පෙව පෙන්නන්නත් බැරිය. පොලිසියද කළේ චොප්පෙට දුටු තැන පහරදීමය.

 

චොප්පෙගෙ නිවෙස



මම මේ කියන්න යන කතාව වුණේ 1967 අවුරුද්දේ. ඒ කාලයේ මම හිටියේ මරදාන පොලිසියේ. මොකක් හරි වරදකට චොප්පෙව පොලිසියට අල්ලාගෙන ආවා. චොප්පෙ පොලිසියට බය නෑ. මෙයා දැන් පොලිසිය දෙවනත් වෙන්න කෑගහනවා. -තොපි එක එකා වරෙව් මාත් එක්ක ගහගන්න” එහෙම කිය කියා තමයි චොප්පෙ කෑගහන්නේ. පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති වුණේ පොලිස් පරීක්ෂක ලාල් මැන්ඩිස් මහත්තයයි. මන් හිතන්නේ ඒ මහත්තයත් මරදාන පොලිසියට ආපු අලූත වෙන්න  ඕනෑ. චොප්පෙ මෙහෙම කෑගහනකොට පොලිස් පරීක්ෂක මැන්ඩිස් මහත්තයා සෑහෙන අපහසුතාවයට පත් වුණා. මෙන්ඩිස් මහත්තයා මට කතා කරලා කිව්වා චොප්පෙව නිශ්ශබ්ද කරන්න කියලා. මම ගිහින් කිව්වා ”කට වහගෙන ඉදින්” කියලා. ඒත් මෙයා ”එක එකා වරෙව්” කිය කියා කෑගහනවා. මම අත දිග ඇරල දුන්නා මුහුණට එකක්. චොප්පෙ බිම වැටුණා. ඊට පස්සේ මමම තමයි චොප්පෙව නැගිටෙව්වේ. එයාව පාලනය කරන්න වෙන ක‍්‍රම නෑ.” ඩබ්ලිව්. ඒ. සිරිවර්ධන මහතා කීවේය.
 

චොප්පෙගෙ කාමරය

”දවසක් චොප්පෙ මට කිව්වා -මම මැරුණු දවසට මේ ලයිට් කණුවක් ගානේ චණ්ඩි බිහි වෙනවා” කියලා. ඒ මතකය එල්. කරුණාදාස මහතාගෙනි.
”කිව්වා වගේම තමයි දැන් හැම තැනම චණ්ඩි” ඔහු තවදුරටත් කීවේය.
 

”මගේ ළඟ ඒ කාලේ තිබුණ මොරිස් මයිනර් කාර් එකක්. ඒකේ අංකය 2 ශ්‍රී 4016. මේ මගේ කාර් එකෙන් තමයි චොප්පෙ එහෙ මෙහෙ යන්නේ. මදාවි සෝමේ, ජෙෆ්රි නානා, බෙනඩික් අයියා, මාලිගාවත්තේ ජෝපි වගේ අය තමයි එයාගේ කණ්ඩායම. මෙයා යනකොට ඉතින් මුළු පළාතම නිශ්ශබ්දයි. කවුරුවත් කතා කරන්නේ නෑ. ඈතට වෙලා මෙයා දිහා බලාගෙන ඉන්නවා. මෙයා ගැන මිනිසුන්ට තිබුණේ බයක් නොවෙයි ගෞරවයක්.” කරුණාදාස මහතා කීවේය.

එකලද මරදාන ගණිකාවන්ගේ පාරාදීසයක් බවට පත් වී තිබිණි. උඩබැලූවේ කබරි එහි නායිකාවය. මිනිසුන් කොටු කර ගන්නට නෙතඟ බැල්මෙන් සිටියද චොප්පෙ අයියා පැමිණෙන විට ඔවුහු සැඟ වී යති. ගණිකාවෝ කිසි දිනෙක ඔහුගේ ඉදිරියට නොපැමිණියහ.

කරුණාදාස මහතා මෙසේ කියයි.
”චොප්පෙ හැමදාම රෑට ඇවිදිනවා. එයාට තිබුණ බයිසිකලයක්. ටෝච් එකක් අරගෙන තමයි එයා යන්නේ. එහෙම යනකොට පොලිසිය ආවොත් කියනවා” මහත්වරු යන්න මම මේ ඒරියා එක බලාගන්නම්” කියලා. එහෙම කිව්වා විතරක් නොවෙයි ඇත්තටම බලාගත්තා. එක හොරෙක් නෑ. කප්පම්කාරයෙක් නෑ. ඒ වගේම තමයි මෙයා නඩු විසඳනවා. යුක්තිය ඉෂ්ට කරනවා. හැබැයි පොලිසියටත් බාර දෙනවා. එහෙම බාර දීලා කියන්නේ ”මහත්වරුන්ගේ රාජකාරිය මහත්වරුන් කරන්න, මම ඒකට බාධා කරන්නේ නැහැ. හැබැයි මම ප‍්‍රශ්නේ විසඳලා තියෙන්නේ” කියලා කියනවා. එයා කවදාවත් පොලිසියේ ඒ රාජකාරිවලට අතගැහුවේ නෑ. ඔහු අමුතුම මනුස්සයෙක්.

(තවත් කතා ලබන සතියට)

 

 

 


 



අදහස් (2)

චොප්පෙ ගැන පුතා කියන කතාව

සුජිත් මිලානෝ Friday, 04 April 2014 11:05 PM

මේ තුට්ටු දෙකේ රස්තියදුකරයන්ව වීරයෝ කරන හින්ද තමයි පැදුරක් ගානේ මැරයෝ රස්තියාදු කාරයෝ බිහි වෙන්නේ. (ස)

:       2       0

අචිරා Monday, 03 March 2014 10:56 PM

මෙයා පල් හොරෙක් මිනිමරුවෙක්. මේ අයව වීරයන් කරන්න හොඳ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

කකුල් මාට්ටු දැම්මොත් ඉවරයි
2025 ජනවාරි මස 24 103 0

2018 වසරේ දී ‘‘බිම්බා දේවිය හෙවත් යශෝධරා” චිත්‍රපටයෙහි තිරනාටකය වෙනුවෙන් කරුණු එක්රැස් කරද්දී යශෝධරා හැර මට හමුවූ චරිත අතුරින්ම සිත පැළපදියම් වූයේ ප්‍


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 95 2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


වැඩි බලතල පොලිස්පතිටද? කොමිසමටද?
2025 ජනවාරි මස 23 146 2

2002 වසරේදි 17 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවනු ලැබූ මෙරට කොමිෂන් සභා පිහිටුවන ලද්දේ දේශපාලනයෙන් තොරව රාජ්‍ය සේවය පවත්වා ගැනීම මූලික අරමුණු කර ග


විදුලිබිල අඩුවීමේ ආර්ථික වාසි
2025 ජනවාරි මස 23 86 0

සියයට 20කින් විදුලි බිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වනවිට රටේ කාගේත් අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ ස


වාහන ආනයනයේදී ආර්ථිකය
2025 ජනවාරි මස 22 1360 3

2019 සිට ශ්‍රී ලංකාවට රථ වාහන ආනයනය කිරීම තහනම් කර තිබුණද අදියර කීපයක් යටතේ වාහන ගෙන්වීමට කටයුතු කරන බව රජය මීට පෙර ප්‍රකාශ කළේය. ඒ අනුව ලබන මස පළමු වැනිදා


සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ
2025 ජනවාරි මස 21 299 0

නූතන සිංහල කවියේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මහගම සේකර කවියාගේ 49 වැනි අනුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදී තිබිණ. මහගම සේකර පෞද්ගලික ජීවිතයේත් නි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 16 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 531 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 638 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site