IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ගොවි ගැටලුවලට සැබෑ විසඳුමක් ඕනෑ

උතුරු ප්‍රදේශයට මහකනදරාව වැවේ ජලය මුදාහැරීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටියදී, එහි ප්‍රදේශය අවට විශාල උද්ඝෝෂණයක් පැවැත්විණි. මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති එම උද්ඝෝෂණය හේතුවෙන් අනුරාධපුර රඹෑව මංසන්ධියේ නොසන්සුන් තත්වයක් ද ඇති වී යැයි මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

මහකනදරාව වැවේ ජල යෝජනා ක්‍රමය දිනකට ඝන මීටර් 6,700ක ජල ධාරිතාවක් එකී ජලාශයෙන් ලබාගැනීමට නියමිත බව ද, ජලාශවලට ජලය ලැබෙන ක්‍රමයක් ස්ථාපිත නොකර එම ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් ප්‍රදේශයේ දරු පවුල් 5,000කට වැඩි සංඛ්‍යාවකට යන එන මං නැතිව අසරණ වන බව ද එම උද්ඝෝෂණයට සහභාගි වූ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබිණි. මේ හේතුවෙන් පානීය ජලය හිඟ වීමටත්, වී ගොවිතැනට අවශ්‍ය ජලය සපයා ගැනීමට නොහැකි වීමත් නිසා තමන්ට ජීවන අරගලයක නිරත වීමට සිදුවනු ඇතැයි උද්ඝෝෂකයන්ගේ ප්‍රකාශවල සඳහන් විය.

සංවර්ධන යෝජනා ක්‍රම රටකට අත්‍යවශ්‍යය. එවැනි යෝජනා ක්‍රමවලින් තොරව රටක් ආර්ථික දියුණුවක් කරා යොමු කරවීමට හැකියාවක් නැත. මේ බව අවබෝධ කරගත යුත්තේ දේශපාලකයන් පමණක් නොවේ. එම යෝජනා ක්‍රම ක්‍රියාත්මක ප්‍රදේශවල වෙසෙන ජනතාවට ද ඒ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. එවැනි යෝජනා ක්‍රම ක්‍රියාත්මක වීමේදී තාවකාලික අවශ්‍යතා සහ අසීරුකම්වලට මුහුණ දීමට ද ප්‍රදේශවාසීන්ට සිදු වෙයි. මහවැලි වැනි විශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී මෙවැනිම අසීරුතාවලට මුහුණ දීමට ඒ පළාත්වල ජනතාවට සිදු විය. එහෙත්, එම යෝජනා ක්‍රම අත්හිටුවීමට සිදු නොවීය. එසේම, එම ජනතාව ද දිගටම එම අසීරුතාවලට මුහුණ නුදුන්හ.

එසේ වුව ද, මෙවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී එහි බලපෑම්වලට හසුවන පළාත්වාසීන් ඒ පිළිබඳ දැනුවත් කිරීම ද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහි ලොකුම වගකීම පැවැරෙන්නේ පළාතේ දේශපාලන නායකයන්ටය. ඔවුන් ජනතාව සම්බන්ධ කරගනිමින් යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත් කර, මතු විය හැකි ප්‍රායෝගික දුෂ්කරතා සම්බන්ධව ද අවබෝධයක් ලබාදීමට කටයුතු කිරීම වඩාත් පිළිගත හැකි ක්‍රමයයි.

අනුරාධපුර මහකනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන පානීය ජල ව්‍යාපෘතියේ පළමු අදියරේදී රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 25,000කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලන බව සඳහන්ය. එම යෝජනා ක්‍රමය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ, ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට හානියක් වෙතැයි අනියත බියක් ඇති කරගත යුතු නොවන බවයි. එසේ නොවන බවට වගබලා ගන්නා බවත්, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම පානීය ජල අවශ්‍යතාව ද සපුරාලමින් එම ගැටලු දෙකම විසඳා දෙන බවටත් ජනාධිපතිවරයා පොරොන්දු වී තිබිණි.

මේ අතර, එම උද්ඝෝෂණය සංවිධාන කළ මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික තුසිත සමන් මහතා ප්‍රකාශ කර තිබුණේ, ගොවීන්ගේ දැවැන්ත උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් හැටියට අවසාන මොහොතේ ජනාධිපතිවරයා තමන් ඇතුළු කණ්ඩායමකට සාකච්ඡාවක් ලබාදුන්නත්, එම සාකච්ඡාව සාර්ථක වූයේ තරමක් දුරකට පමණක් බවය. තමන්ට ලැබුණේ පැලැස්තර උත්තර බවට ද ඔහු දෝෂාරෝපණය කර තිබිණි.

මෙයින් පැහැදිලි වන්නේ, රඹෑව උද්ඝෝෂණවලට හේතු වූ මහකනදරාව ගොවීන්ගේ ගැටලුවලට තවමත් අවසන් විසඳුමක් ලැබී නොමැති බවය. විසඳුමක් නොලැබුණු විට එම උද්ඝෝෂණ යළිත් කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. තමන්ගේ කුඹුරු අස්වද්දා ගැනීමට අවශ්‍ය ජලය නොලැබී ගියහොත්, ගොවීන්ගේ ඉවසීමේ සීමා පනින්නත් ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම අවශ්‍යය.

ඒ සඳහා ගොවීන් මුහුණ දී සිටින සැබෑ ගැටලු හඳුනාගෙන, ඒවාට පිළියම් යෙදීමේ අවශ්‍යතාව බලධාරීන් අවබෝධ කරගත යුතුය. ගොවීන් සැනසීමට බොරු විසඳුම් ලබාදීමෙන් මේ ගැටලු කවදාවත් විසඳාගත නොහැකි බව බලධාරීන් අවබෝධ කරගත යුතුය.

(***)



අදහස් (1)

ගොවි ගැටලුවලට සැබෑ විසඳුමක් ඕනෑ

Malaka Tuesday, 20 February 2024 09:20 PM

මෙම ගැටලුව ප්‍රදේශයේ එක්තරා දේශපාලන කණ්ඩායමක උසි ගැන්වීම් මත නොමග යැවීමක් හේතුවෙන් ඇති වූවකි. මහකනදරාව ජලාශයේ අනුමත වගා කළහැකි භූමි ප්‍රමාණය අක්කර 6500කී. නමුත් අනවසර ගොවීන් අක්කර 9000ක් වගා කරති. ජලාශයේ ධාරිතාව මහා කන්නයටත් යල කන්නයෙන් අඩක් වාගකරන්නත් සෑහේ. එනම් අක්කර 9750ක් අනුමත භූමිය වගාකල හැක. ඉතිරි ජල ප්‍රමාණය ජල ජීවින් සඳහා ජලාශයේ අවම ජල ප්‍රමාණය ලෙස රඳවා ගනී. වසරකට මෙම වැවෙන් වාෂ්ප වන ජල ප්‍රමාණය අක්කර අඩි 2000ක් වන අතර ජල සැපයුම සඳහා වසරකට අක්කර අඩි 1500ක් පමණ අවශ්‍යය. මෙම අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ව්‍යාපෘතිය ම්ගින් එරුවැව ඇළ සංවර්ධනය කර ඇති අතර එමගින් වසරකට අක්කර අඩි 2000කර වැඩි ප්‍රමාණයක් වැසි ජලය එක්රැස් වේ. එරුවැව මගින් ජලය ලබාගැනීම ද සිදුකළ හැක. උතුරු මහ ඇළ ව්‍යාපෘතිය නිමවන තෙක් මේ අයුරින් මහකනදරාව පෝෂණය වේ. ගැටලුව වන්නේ මහකනදරාව ජලාශයේ ඇළ මාර්ගවල කාර්යක්ෂමතාවය 45%පමණ වීමයි. මෙම ජල නාස්තිය අවම කර ගැනීමට ගොවීන්ට සහයවිමෙන් ජලාශයේ ජලය පහසුවෙන් බෙදා ගත හැක.. ජල කළමනාකරණ දැනුම නොමැතිකම ,ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් හා ගොවීන් එක්ව කටයුතු නොකිරීම දේශපාලන උසි ගැන්වීම හේතුවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 752 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site