IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


කලා ලොව එකලු කළ සිරිල් ඒ. සීලවිමල

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු, සිනමාකරුවකු, සාහිත්‍යවේදියකු මෙන්ම  ප්‍රකට ගේය පද රචකයකු වූ සිරිල් ඒ. සීලවිමල මහතා  වියෝ වී මෙම මස (04) වැනිදාට වසර 14 ක් පිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මානව ප්‍රේමය ගැන මොනවට කියවෙන-හදවත් බැඳගත් සංවේදී, හදවත කා වදින-එමෙන්ම හදවත් බැඳගත් රසවත් හදවත් නිරතුරු  ඔපවත් කෙරෙන ගී සින්දු කොපමණවත් ලියමින් සිරිල් ඒ. සීලවිමල, කලාව මගින් දශක පහක (05) කට වැඩි කාලයක් තිස්සේ මිනිසාගේ සංස්කෘතික ජීවිතය උසස් කිරීමෙහිලා කළ මෙහෙය සදාකාලිකව අගය කළ යුතුය.

අහිංසක කලාකරුවකු වූ සිරිල් ඒ. සීලවිමල මහතා 1930 ඔක්තෝබර්  මස 30 වැනිදා සඳලංකාවේ, ඉරබඩගම සුන්දර ගම් පියසේදී උපත ලැබී ය. ඔහුගේ මව්පියන් වූයේ, අබිලීනු අබේනායක වෙදැදුරුතුමා සහ කරුණාවතී අබේනායක මැතිනියයි.

ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගත්තේ, කඳන්ගමුව විද්‍යාලයෙනි. ඉක්බිති උසස් අධ්‍යාපනය ලබා ගන්නේ, සඳලංකාවේ ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයෙනි.

ශාස්ත්‍රෝදය පිරිවෙනේදී ඔහු මහා කවි මීදෙණියේ විමලානන්ද හිමියන්  වෙතින් කාව්‍යාලංකාර ශාස්ත්‍රය වෙසෙසින් ඉගෙන ගත්තේය. සිරිල් ඒ. සීලවිමලයන්ගේ උපතින් ගෙනා කවි කුසලතාව සතතාභ්‍යාසයෙන් වැඩි වර්ධනය කරගැන්මෙහි බුදුගුණ කවියට පරසිදු  මීදෙණියේ  කවි හාමුදුරුවෝ බෙහෙවින් උපස්ථම්භක වූහ. සීලවිමලයන්ගේ ප්‍රතිභාව, කලා කටයුතුවල ව්‍යුත්පත්තිය හා සත්තාභ්‍යාසය මතු නොව පිරිවෙණේ දී  උගත් විෂය  නිර්දේශයේ විෂය සංකලනය හා ගුරු ආකල්ප ද ඔහුගේ ශාස්ත්‍රීය  අධ්‍යාපන පසුබිම ද උසස් පුරුෂාර්ථ මැනවින් ප්‍රකට කළ සමාජ සුධාරකයකු බිහි කිරීමෙහිලා බෙහෙවින් ඉවහල් විය.

ශාස්ත්‍රෝදය පිරිවෙණේ දී මැනවින් සිංහල, පාලි, සංස්කෘත භාෂාත්‍රය සමග හෙතෙම ආයුර්වේදය උගත්තේය. පිරිවෙන් අධ්‍යාපනයට අනතුරුව ඔහු කොළඹ ගොස් මැනවින් ඉංග්‍රීසි භාෂාව ද ඉගෙන ගෙන එතැන් පටන් ලේඛනයේ බුහුටිකම හා කවියකු ලෙස දිනාගත් නම විශාල ලෙස රට පුරා මොනවට පැතිරෙන්නට වී ය.

1956දී වෙ.වි. අබේගුණවර්ධනයන්ගේ කර්තෘත්වයෙන් පැවති ‘ පෙරමුණ’ පත්‍රයේ මාධ්‍යවේදියකු  ලෙස හෙතෙම පුවත්පත් කලාවේ අත්පොත් තැබීය.

1960 දශකයේ ආරම්භයේ  මහා පත්‍ර කලාගුරු ඩී.බී. ධනපාල මහතා  අලු‍තින් පුවත්පතක් ආරම්භ කරන බව දැනගත් ගුවන් විදුලියේ තේවිස් ගුරුගේ මහතා සීලවිමලයන් වහා ඔහු වෙත යොමු කර ලියුමක් දී පිටත් කර හැර තිබිණ. එහෙත් ඒ වනවිටත් කර්තෘ මණ්ඩලයේ බඳවා ගැනීම් අවසන් වී තිබුණෙන්, සීලවිමල මහතාට නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමට ධනපාල මහතා අවස්ථාව ලබා දුන්නේය.

ප්‍රාචීන භාෂාත්‍රයේ ප්‍රවීණ සීලවිමල, මැනවින් ඉංග්‍රීසි ද ඉගෙන තිබීම සහ දක්ෂතා හා කැපවීම හේතු කොටගෙන හෙතෙම පුවත්පත් කලාව දික්විජය කරන ලකුණු මේ වන විටත් ප්‍රකට කර තිබුණේය. වැඩි කල් නොයවා කර්තෘ මාණ්ඩලිකයකු බවට පත්වන සීලවිමල මහතා අනතුරුව උපකර්තෘ, ප්‍රධාන  උපකර්තෘ සහ සහකාර කර්තෘ ලෙස උසස්වීම් ලද්දේය.

පසුව තම දක්ෂතාව හා කැපවීම නිසා ම ‘දවස’ හා ‘රිවිරැස’ පත්‍ර දෙකෙහිම ප්‍රධාන කර්තෘ පදවි ඔහු සොයා ආවේය.

සිරිල් ඒ. සීලවිමල මහතා විවාහවීමට පෙරාතුව පදිංචිව සිටියේ  කොළඹ මරදානේ ටවර් හෝල් ඉදිරිපස පිහිටි කාමරයකයි. සීලවිමල මහතාගේ  ඒ කාමරේට එදා එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ප්‍රෙඩී සිල්වා, මොරිස් දහනායක, ආර්. සිවනන්ද, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, පැට්‍රික් දෙනිපිටිය, ලාල් හීනටිගල ඇතුළු එදා ජනප්‍රිය ගී තාරකාවන් සියල්ලම පාහේ පැමිණ  ඇත්තේ ගී පද රචනා කර ගැනීමටත්, සින්දු පුහුණු වීමටත්ය. සීලවිමලයන් තම මිතුරන්ට සංග්‍රහ කරමින්ද, ගී පදරචනා ලියා දෙමින් ද උපදෙස් දෙමින් සහ නවාතැන් දෙමින් ද ඔවුන්ට නිරතුරු ව ම උපකාර කළේ ය. මේ කාමරය ඒ නිසාම සිරිල් ඒ.     සීලවිමලයන්ගේ ‘සින්දු කාමරය’ නමින් කලා ලෝකයේ ප්‍රකට විය. සින්දු කාමරයේ රසවත් අත් දැකීම් පාදක කරගෙන හෙතෙම ම එනමින්ම පසුව 80 දශකයේ මැද භාගයේ තම කර්තෘත්වයෙන් පැවති ‘රිවිරැස’ පත්‍රයට තීරු ලිපියක් ද රචනා කළේ ය. සිරිල් ඒ. සීලවිමල සූරීන් කොළඹ  අ.ත.ක.ස. ක්‍රියාකාරී ප්‍රමුඛයෙකි. සදැස් කවිය ඉහළට ගෙන යනු පිණිස  ඔහු ක්‍රියාකාරී මෙහෙවරක් කළ කවියෙකි.

ඩබ්.ඩී. අමරදේව, වික්ටර් රත්නායක, ධර්මදාස වල්පොල, මොරිස් දහනායක, ප්‍රෙඩී සිල්වා, ලතා වල්පොල, සුජාතා අත්තනායක, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, නිහාල් නෙල්සන් ඇතුළු  ගායක ගායිකාවන් රැසකට ගී පද රචනා කර දී තිබේ. එමෙන් ම සිංහල සිනමා පට  පනහකට (50) පමණ ගීත ප්‍රබන්ධ  කර තිබේ.  එමෙන් ම ඔහු රචනා කර දී ඇති චිත්‍රපට ගීත සහ ගුවන් විදුලි ගීත සංඛ්‍යාව හාරසිය (400) කට අධිකය.

කොළඹ යුගයේ බැබළෙන කවියකු වූ සිරිල් ඒ. සීලවිමල ‘අජාසත්ත’ චිත්‍රපටයේ කතාව, දෙබස්  රචනය ද කළ විශිෂ්ට කලාකරුවකු වන අතරම ‘සුදු සඳේ කළු වළා’ චිත්‍රපටයේ කුඩා චරිතයකට ද පණ පෙවීය.

ඔහු  එදා  දුහුනන් රැසකට  පුවත්පත් කලාව පිළිබඳ ව පැහැදිලිව කියා දෙමින් ලේඛනයෙහි  මගපෙන්වීම කර  උපකාර කළ ගුරුවරයෙකි.

‘‘දවස රිවිරැස,  මෙන් ම ”‍එඩිතර,”‍  ‘ඉරිදා පෙරමුණ‘   වැනි පුවත්පත්වලත් ඔහු , මාධ්‍යවේදීන් පුහුණු  කරමින් සේවය කළේ ය. ලිඛිත අක්ෂරය කෙරෙහි පැවරුණු  පූජ්‍යත්වය කෙළෙසීම පුවත්පත් කලාවේ පාරාජිකාවීමකැ‘යි ඔහු ඇදහීය.  පුවත්පත පෙනුමෙන් මනහර විය යුතුවා මෙන්ම හරයෙන් නුවණැස පාදන කලාකෘතියක් සේ ම උපයෝගීතා ගුණයකින්  එහි අඩංගුව විපුල ඵලදායී විය යුතු යැයි  ඔහු  විශ්වාස කළේය.

 මේ විශිෂ්ට කලාකරුවා, මහා  පුවත්පත් කලාවේදියා, ප්‍රවීණ  ගීත රචකයා, සාහිත්‍යධරයා, අවංක මිනිසා 2010.12.04 වැනිදා අප සැම  සෝ සයුරේ ගිල්වා අවසන් ගමන් ගියේ ය.

“වෙන්වන්නන් විසින් ඉතිරිවන්නන් වෙත සදාකල්හි තබා යන විලාපයම ප්‍රේමය වේ.”‍

 

(***)
සඳලංකාවේ තුසිත් සාගර
විශ්‍රාමික විදුහල්පති

 



අදහස් (0)

කලා ලොව එකලු කළ සිරිල් ඒ. සීලවිමල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1644 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 646 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site