IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කලා ලොව එකලු කළ මියුරි

ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ මියුරි සමරසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද (8) සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. සිනමාවෙත්, වේදිකාවෙත්, පුංචි තිරයෙත් වසර55 ක් තිස්සේ රංගනයේ යෙදුණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරුණු කලා ශිල්පිනියක් ජීවිතයෙන් සමු ගත්තාය. එපමණක් නොව ඇය පිටපත් රචනයෙහිද, අධ්‍යක්ෂණයෙහිද යෙදුණ දක්ෂ කලාකාරිනියකි.

මියුරි සමරසිංහ නමින් කලා ලෝකයේ නමක් දිනා සිටියාය. ඇය තමා විසින් වේදිකාවේ නිර්මාණය කරන ලද හොඳම නාට්‍ය හයක් සහිත නාට්‍ය උළෙලක් 1990 වසරේදී එල්ෆින්ස්ටන් ශාලාවේ වේදිකා ගත කළාය. ඒ වෙනුවෙන් ‘කලා ලොවේ මම ඉපදුණෙමි’ නමින් කලා ශිල්පිනියකගේ ස්වයං ලිඛිත චරිතාපදානයක් ද රචනා කළේය. මේ කෘතිය ලිවීමට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සෝමසිරි කස්තුරිආරච්චි උපකාර කළ බව ඇය අපට පවසා තිබුණාය. ඇය තම ජීවිත කතාව අරඹන්නේ මෙසේය.

මම ඉපදුණේ මඩගොහොරුවකද නොවේ. මා ඉපදුණේ නෙළුම් මලක් උඩ ද නොවේ. මා උපදින විට මගේ මවුපියනට විශාල ධනවත්කමක් හෝ වතුපිටි, ඉඩකඩම්, හරකබාන මේ කිසිවක් තිබුණේ නැත. එහෙත් දුකක් නැතිව අප ජීවත් කරවීමට ඔවුනට හැකියාවක් තිබුණි. මම පවුලේ බාලයා වූයෙමි. මගේ තනියට අක්කා සහ අයියා මා දෙපස සිටියහ.

කොළඹ හෝලි රොසරි, කොළඹ මියුසියස් විද්‍යාලවල ඉගෙනීම ලැබූ කුඩා මියුරි, කොළඹ මැද පිහිටි සෞගතෝදය දහම් පාසලින් ද අධ්‍යාපනය ලබා ගත්තාය. ඇගේ දයාබර මවුපියන් වූයේ රොමියෙල් විජයරත්න හා ඇග්නස් විජයරත්නය. 1939 වසරේ මාර්තු 15 වැනිදා උපත ලැබූ ඇයගේ සම්පූර්ණ නම මියුරියෙල් විජේරත්නය.

මා ඉගෙනගත් සෞගතෝදය දහම් පාසලින් ධර්මාචාර්ය විභාගය තෙක් ඉගෙන ගත්තා. මගේ ඒකායන පැතුම වූයේ ගුරුතුමියක් වීමට. පාසල් අධ්‍යාපනයෙන් පසු මම කේ.එම්.පී. රාජරත්න මහතා අධිපතිව සිටි ගුරුඅභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වුණා. කුඩා කල සිට මට විරිදු කීමට, කතා කීමට හැකියාවක් තිබුණා. පිංකම්වල බණමඩුවල මට විශේෂ තැනක් තිබුණා. වරක් පන්සලේ ඛේමා තෙරණියගේ කතා වස්තුව කවියෙන් ගායනා කරලා පන්සිය පණස් ජාතක පොතක් තෑගි ලැබුවා. මම හෝලි රොසරි පාසලේ මුලින්ම ඉගෙන ගන්නා කාලේ පාසල් ප්‍රසංගයේ පුංචි නිළියක් ලෙස තේරී සම්මානයක් දිනා ගත්තා. මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ මම ඇලුම් කළේ සාහිත්‍යයට. මා පස්වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලේ අපේ නැටුම් ගුරුවරයා වුණේ පණීභාරත නැටුම් විශාරදයාගේ සොහොයුරා ජයන්ත අල්ගමයන්. මම හෝලි රොසරි විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් පුංචි මම නැටුමට දක්ෂයි. රේඛාව චිත්‍රපටයේ ළමා නිළියක් වූ අකාලයේ මිය ගිය මර්ටල් ප්‍රනාන්දු මගේ සමකාලීන මිතුරියක්. ඇය පුදුම ලේලි චිත්‍රපටයෙත් රඟපෑමව. මම අම්මට කරදර කරල පුංචි කාලේ රේඛාව හා පුදුම ලේලි බලන්න ගියා. මට කවදා ​හෝ චිත්‍රපට නිළියක් වෙන්න ආසා හිතුණේ මර්ටල්ගේ රඟපෑම දැකලා. ලේ පිළිකාවකින් මර්ටල් පාසලේ ඉගෙන ගන්නා කාලෙම (1945 – 1960) මිය යාම මට දැරිය නොහැකි සිද්ධියක් වුණා. එදා මම ගෙදර ගිහින් හොඳමට ඇඬුවා.

මියුරි ද පිළිකා රෝගයෙන් පීඩා විඳ මියයාම දෛවයේ සරදමක්ද?
එකල ගුවන් විදුලියේ මාසික රැඟුම ප්‍රසංගයේ ප්‍රසිද්ධ ගායක ගායිකාවන් ගී ගයන අතරතුර විවේකයේ මුල, මැද, අග නැටුම් ඉදිරිපත් කිරීමට මියුරිට අවස්ථාව ලැබිණ. ඒ අතර පසළොස් හැවිරිදි මියුරිට ‘මේ පන්ති ගෝට්ටිය’ නම් වේදිකා නාට්‍යයේ රඟපෑමට අවස්ථා ලැබිණි. ආනන්ද වීරකෝන්, තෙරේසා වීරසිංහ, ලොයිඩ් වාගීස්ට, චිත්‍රා වාගීස්ට, විනී රන්වල මෙහි රඟපෑහ.
ඇයට තිබුණේ දොස්තරවරයකු ලෙස රඟ පෑ ආනන්ද වීරකෝන්ගේ සහායක හෙදිය ලෙස රඟපෑමට. ඉන්පසු පෙම් හටන නාට්‍යයේද ශාන්ති අබේසේකර සමග රඟපෑවාය. එහි විමලදාස පෙරේරා ඇයට බෙහෙවින් උපකාර කළ බව මතක් කළාය.

මියුරි ප්‍රේම සම්බන්ධයකින් පියල් සමරසිංහ සමග විවාහ වූවාය. ඇයට රඟපෑම සඳහා ලිපියකින් ආරාධනයක් ලැබුණේ බලාපොරොත්තු නැති අවස්ථාවකය. ඒ ලිපිය ඇඳුම් අල්මාරියේ ඇය සඟවා තැබුවාය. සැමියා ලිපිය හමු වී ඇයගෙන් ප්‍රශ්න කළේය.
‘‘ඇයි මේ ලියුම මට නොදී අල්මාරියේ තිබ්බේ?’’
‘‘ඔයාට පෙන්වන්න බය හිතුණා’’
‘‘මම නේ වරද කළේ. ඔයාගේ ආශාව යටපත් කළේ මම. මාත් එනවා ඔයත් එක්ක නාට්‍ය පුහුණු කරන තැනට යන්න එන්න.’’
තම දයාබර සැමියාගෙන් ලද ධෛර්යය නිසා  මියුරි වෘත්තීය නිළියක් වූවාය. මෙසේ තම කලාලොවේ දෙවැනි උපත ලැබුවද සැමියා හදිසියේ මියයාම ඇයට බලවත් පහරක් විය. ඇය මිය යන තුරුම නාට්‍යයක රඟපෑමට වේදිකාවට යන අවස්ථාවේ තම සැමියාට නිවන් සුව පැතීමට අමතක නොකළාය.

අලුත් දවසක් නාට්‍යයෙන් ඇරැඹුණු ඇයේගේ වෘත්තීය නිළි ජීවිතය සියයකට අධික නාට්‍යවල විවිධ චරිත රැසකට පණ පෙව්වාය. චිත්‍රපට නිළියක ලෙස මියුරි සිනමාවට පිවිසෙන්නේ මිරිඟුව චිත්‍රපටයෙනි. චිත්‍රපට 100 කට පමණ ඇය රංගනයෙන් දායකව ඇත. මඩොල් දූව, සාරා, යහළු යෙහෙළි, යුගාන්තය, විරාගය, සාගර ජලය, මාරුතය, බව දුක, යස ඉසුරු, ඇය රඟ පෑ චිත්‍රපට අතර කැපී පෙනෙයි. පුංචි තිරයේ චාරුලතා, බුමුතුරුණු, දු දරුවෝ, නෑදෑයෝ, අසල්වැසියෝ, සුදු සහ කළු, කෙම්මුර, ගිරය, අවසඳ ඇතුළු 100 ක පමණ ටෙලි නාට්‍යවල රඟ පෑ මියුරි ජර්මන් ජාතික නාට්‍ය ආචාර්ය සුමිත් යටතේ රඟපෑම ගැන හදාරා ඇත.
ලෝක දෙකක් අතර, පරසක්වල පැයක්, අම්මයි දුවයි, ඇනා කැරලිනා, සපතේරු හාමිනේ, හිම කුරුල්ලෝ, ඇය විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ නාට්‍ය වේ.

ජනාධිපති, ස්වර්ණ සම්මාන ආදී සම්මානවලින් පිදුම් ලැබූ මියුරි අද අවසන් ගමන් යන්නීය.

ඔබට සුබ ගමන්!

(*** ඒ.ඩී. රන්ජිත් කුමාර)



අදහස් (0)

කලා ලොව එකලු කළ මියුරි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site