ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
හෙට, ලියාපදිංචි ඡන්දදායකයන් 17,156,338 ක් පළාත් පාලන ආයතන 339 ක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දපොළට යාමට නියමිතය. දැන් ඡන්දදායක සංඛ්‍යාව සෑම මාස තුනකට වරක් යාවත්කාලීන වන නිසා, මෙය ශ්‍රී ලංකාවේ විශාලතම මැතිවරණය ලෙසින් සැළකිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පැවසීය.
සැප්තැම්බර් 21 වැනි දින මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තවමත් ඔහුගේ ධුර කාලයේ මුල් මාසවල සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක, දැන් ඔහුගේ රජයේ වාර්තාව අන්වීක්ෂයකින් පරීක්ෂා කිරීමට සූදානම් වෙයි. පසුගිය වසරේ නොවැම්බර් මස 14 වැනි දින පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගෙන තිබුණත්, මෙම පළාත් පාලන මට්ටමේ අභ්‍යාසය හැඳින්විය හැක්කේ ප්‍රතිපත්ති සහ කාර්ය සාධනය යන දෙකටම අදාළ ක්ෂණික ලිට්මස් පරීක්ෂණයක් ලෙසිනි. ඔහු මෙම ආයතන බොහොමයක් තම රජයේ පාලනය යටතේ තබා ගැනීමට උත්සාහ කරනවා පමණක් නොව, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී එසේ කිරීමට ද අපේක්ෂා කරයි. එබැවින්, තවත් පෞද්ගලික මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතය. ඔහුට නම්, මෙම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජාතික මට්ටමේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකට සමාන බවක් පෙනෙන්නට තිබුණත්, අනෙකුත් පක්ෂ නායකයන් අතර එවැනි දෙයක් දක්නට නොලැබෙයි.
ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකෙහිදීම, මහජනතාව ඉන්ද්‍රජාලික හෝ අනපේක්ෂිත ජයග්‍රහණ දැක නැත, ඔවුන් දැක ඇත්තේ උදාර පොරොන්දු සෙමින් ඉටුවීම පමණකි. මහා පරිමාණ අල්ලස් වංචාකරුවන් නීතිය හමුවට ගෙනඒමේ මහා පොරොන්දුව තවමත් නොපැහැදිලි ය. සමහර සංඛ්‍යා විමර්ශනවල නිලධාරිවාදී ජාලයක පැටළී ඇත. අනෙක් ඒවා නඩු පවරන්නන් සහ විමර්ශකයන් අතර දේශපාලන පාපන්දුවක් බවට පත්ව ඇති අතර, එකිනෙකා අතර ප්‍රගතිය අඩපණ වී ඇති බවට ඔවුහු එකිනෙකාට දොස් පවරති. විමර්ශකයන් අවධාරණය කරන්නේ ඔවුන්ගේ උත්සාහ ගත්තද නඩු පැවැරීම් සිදු නොවූ බවයි. නඩු පවරන්නන් දුක් වන්නේ ඉදිරිපත් කරන ලද සාක්ෂි දුර්වල වී ඇති බව පවසමිනි. අධිකරණයට ළඟා වී ඇති නඩු ස්වල්පය පවා පෙර පරිපාලනය යටතේ හෝ ඊට පෙර සිදු කරන ලද උල්ලංඝනයන් මත කේන්ද්‍රගත වී ඇත. දැඩි චෝදනා එල්ල වූවන්ගෙන් සමහරකු සිය ආරක්ෂාව සලසා ගෙන ඇත. යුක්තිය නිරන්තරයෙන්ම අතීතයේ සිරවී ඇති නිසා, එය කිසි විටෙකත් වර්තමානයට ළඟා වන බවක් පෙනෙන්නට නැත.
මැතිවරණ වේදිකාවේ පෙනී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කු ඉරිදා ප්‍රහාරයේ හය වැනි සංවත්සරය යෙදෙන අප්‍රේල් 21 වැනිදා වන විට එම සමූලඝාතන පිටුපස සිටි මහ මොළකරුවන්ගේ වෙස්මුහුණු ගලවා දමන බවට ජාතියට සහතික විය. ජාතිය සූදානම් වූයේ නාටකාකාර අත්අඩංගුවට ගැනීම් හෝ පෙරළිකාර හෙළිදරව් කිරීම් අපේක්ෂාවෙනි. ඒ වෙනුවට ලැබුණේ නිලධාරිවාදී අපගමනයකි: අධ්‍යයනය සහ අධිචෝදනා පිළිබඳ නිර්දේශ සඳහා ජනක් ද සිල්වා විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේය. එම අවසන් වාර්තාව වසර හතරකට පෙර නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, එය බහු අධිචෝදනා පත්‍රවලට මග පාදයි. මූලික චෝදනා තවමත් සී.අයි.ඩී. ය සහ ත්‍රස්ත විමර්ශන අංශය තුළ අවිනිශ්චිතව පවතී.
ප්‍රමාද පිළිබඳ සම්භාව්‍ය උදාහරණ කිහිපයක් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුපස පන්නයි. ඔහු එයාර් බස් සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබා ගත්තේය. එය එක් අල්ලස් නඩුවකින් මෙතෙක් ලබාගෙන ඇති විශාලතම මුදලයි. එහෙත් ඔහු පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය තවමත් ආරම්භ වී නොමැත. හාස්‍යයට කාරණය වන්නේ චන්ද්‍රසේන මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ රාජකීය කොළඹ ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ගොල්ෆ් ක්‍රීඩා කරමින් මත්පැන් පානය කරමින් සිටීමයි. පැහැදිලිවම සී.අයි.ඩී. ය ආගමන විගමන නිලධාරීන්ට දැනුම් දී තිබුණේ ඔවුන් ඔහු ගැන සෝදිසියෙන් සිටින බවයි.
අහමඩ් තාලිබ් ලුක්මන් තාලිබ් සහ ඔහුගේ පුත් ලුක්මන් තාලිබ් අහමඩ් පිළිබඳ නඩුවක් ත්‍රස්ත විමර්ශන අංශයේ තිබේ. ඔවුන් ඕස්‌ට්‍රේලියාවේ පදිංචිව සිටින බව ප්‍රකට කරුණකි. පාස්කු ඉරිදා සිදුවීම්වලට ඔවුන් සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ. මෙම පරීක්ෂණ තවමත් සිදුකෙරයි. ඉන් පසුව පමණක් උදර්පන ක්‍රියාමාර්ග ගැන සිතිය හැකිය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අයත් දේපළ රාජසන්තක කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ නම් කරන ලද පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුවට ඔවුන්ගේ නම් ඇතුළත් කර ඇත. මෙම ලැයිස්තුවට ඇතුළත් වන්නේ ජාතික මට්ටමින් ත්‍රස්තවාදයට සහ ත්‍රස්තවාදී අරමුදල් සැපයීමට සම්බන්ධ පුද්ගලයන් සහ ආයතනය.
තවත් පොරොන්දුවක් වන්නේ හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ නිල නිවාස සම්බන්ධයෙනි. රාජ්‍ය අරමුදල් සහිත මෙම සුඛෝපභෝගී බංගලා නැවත ලබා ගැනීමේ පොරොන්දු මැතිවරණ ව්‍යාපාරය තුළ ගිගුරුම් දුන්නේය. හිටපු නායකයන් බදු ගෙවන්නන්ගේ වියදමින් සුඛෝපභෝගී ලෙස ජීවත් වූ සම්ප්‍රදාය අවසන් කරන බවට පොරොන්දු ඉදිරිපත් විය. මෙම සටනේ කේන්ද්‍රස්ථානය වූයේ මහින්ද රාජපක්ෂ ය. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගලක් විසි කළ හැකි දුරින් පිහිටි විජේරාම මාවතේ පිහිටි ඔහුගේ විශාල නිල නිවස ඉවත් වෙන ලෙසට රජයේ නායකයන් ප්‍රසිද්ධියේ ඉල්ලීම් කරන විට පවා, ඔහු නොබියව එහි රැඳී සිටියේය.
ජනවාරි මාසයේදී කළුතර, කටුකුරුන්දේ පැවති රැලියක් අමතමින් ජනාධිපති දිසානායක පැවැසුවේ “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ නිවස තක්සේරු කිරීමේ කාර්යය රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට පැවරුවේ මමයි. ඉඩම නැතුව නිවස පමණක් මසකට රුපියල් මිලියන 4.6 ක් ලෙස තක්සේරු කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිටපු ජනාධිපතිවරයකුට නිවසක් හෝ ඔවුන්ගේ වැටුපෙන් තුනෙන් එකක් හිමි වෙනවා. අපි මෙම දේපළ පවරාගෙන ඔහුට හිමි වැටුප් කොටස වන රුපියල් 30,000 ක් පමණක් ලබා දෙනවා. ඔහුට තවදුරටත් නිවසේ සිටිමට අවශ්‍ය නම්, ඔහු ඉතිරි මුදල ගෙවිය යුතුය. එසේ නොමැතිනම්, ඔහු ඉන් ඉවත් විය යුතුයි. අපි රටක් ගොඩනඟන්නේ මෙහෙමයි” යනුවෙනි. එහෙත් මාස තුනකට පසුවත් ගැටලුව විසඳී නැත.
පළාත් පාලන මැතිවරණය වටා ගොඩ නැගී ඇති මතභේද තිබියදීත්, අභියෝග මධ්‍යයේ වුවද, ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණු රජය තම ස්ථාවරය පවත්වා ගැනීමට සමත්ව ඇත. හෙට පැවැත්වෙන මැතිවරණය පරිපාලනයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක් ලෙස හැඳින්විය හැකිය. විපක්ෂය විසින් මෙම තරගය සලකන්නේ රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනමත විචාරණයක් ලෙසිනි. ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණු රජයේ මූලික සහයෝගය නොවෙනස්ව පවතින අතර, නාස්තිය අඩු කිරීමේ පියවර සහ පාලන ප්‍රතිසංස්කරණ මගින් එය වඩාත් ශක්තිමත් වෙයි. බොහෝ තරග කරන පක්ෂවලට අරමුදල් ගැටලු බලපා ඇති බව පෙනෙන්නට තිබෙන අතර, එමඟින් ඔවුන්ගේ මාධ්‍ය ව්‍යාපාරවල පරිමාව අඩුවී ඇත.
මෙම බලවේගයේ කේන්ද්‍රීය වන්නේ ජනාධිපති දිසානායකම වන අතර, ප්‍රතිපත්ති දිශානතිය සහ මහජන සංජානනය යන දෙකම හැඩගස්වා ඇත්තේ ඔහුගේ ආකර්ෂණීය නායකත්ව විලාසයයි. දේශීය සංචාර සඳහා හෙලිකොප්ටර් භාවිත නොකිරීම සහ විදේශ සංචාර සඳහා නියෝජිතයන් අඩු කිරීම වැනි, පුළුල් පිළිගැනීමක් ලබා ඇති නව දේශපාලන සංස්කෘතියක් ඔහු සාර්ථකව දියත් කර ඇති බව පැවසීම වැරද්දක් නොවේ. ඔහුගේ අවධාරණය ප්‍රායෝගික ප්‍රතිසංස්කරණවාදියකු ලෙස ඔහුගේ ප්‍රතිරූපය තවත් ශක්තිමත් කර ඇත. එහෙත් මෙම වියදම් අඩු කිරීම් සම්බන්ධයෙන් සමහරුන් අතර විවාදයක් ආරම්භ වී තිබේ. විදේශ සංචාරවලදී මාධ්‍ය ආවරණය සඳහා අරමුදල් කපා හැරීම මෙම කනස්සල්ල තවත් ගැඹුරු කර ඇති අතර, රාජ්‍ය තාන්ත්‍රික වර්ධනයන් සඳහා මහජන ප්‍රවේශය සීමා කර ඇති නිසා විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ආඛ්‍යාන හැඩගැස්වීමට රජයට ඇති හැකියාව සීමා කර ඇත. දේශීය වශයෙන් පවා මෙය අහිමි වී ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍රයක් ලෙස පවතින බව පෙනෙන්නට තිබේ.
බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙම කාරණය අවධාරණය කළේ උදාහරණයක් සමඟිනි: ඒ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් කොළඹදී නිකුත් කරන ලද ඊනියා ඒකාබද්ධ ප්‍රකාශයි. එය දේශීය වශයෙන් බලාපොරොත්තු ඇති කළේය. එහෙත්, තානාපති කාර්යාලය කැපී පෙනෙන නිශ්ශබ්දතාවයක ගිලී තිබුණි. අන්‍යෝන්‍ය ගැටලුවක් නැත, පසු විපරමක් නැත, පැහැදිලි කිරීමක් නැත. “බලපෑමට ලක් වූ සෑම රටක්ම “ඒකාබද්ධ ප්‍රකාශ” නිකුත් කළා නම්, පරිමාව විශාල එකක් වෙන්න ඉඩ තිබුණා” යැයි ඔහු සඳහන් කළේ කටමැත දෙඩවීම සහ අර්ථවත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග අතර ඇති විසන්ධි වීම හෙළි කරමිනි.
පසුගිය බ්‍රහස්පතින්දා අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ගාලු මුවදොර පිටියේ පැවති ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණු මැයි දින රැලියේදී තවත් කැපී පෙනෙන උදාහරණයක් මතු විය. රැළියට පැමිණ සිටි විශාල පිරිස අතර, අවධානයට ලක් නොවූ පිරිසක්ද සිටියහ. ඒ කොළඹ පදනම් කරගත් තානාපති කාර්යාල දෙකක් වන චීනය සහ වියට්නාමය නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයින් ය. ඔවුන් දෙරටේ කොමියුනිස්ට් පක්ෂවල නියෝජිතයන් සමඟ සිටි අතර, ඔවුන් ආරාධනා ලැබ පැමිණි අය වූහ. ඔවුන්ගේ නියෝජිත ලැයිස්තුව කැපී පෙනෙන එකක් විය:
●චීනය: පෙන්ග් ක්ෂියුබින් (අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු අධ්‍යක්ෂ ජනරාල්, චීන කොමියුනිස්ට් පක්ෂය), චෙන් ෂුවාන්බෝ (නියෝජ්‍ය අධ්‍යක්ෂ, චීන කොමියුනිස්ට් පක්ෂය), චෙන් යොන්ග්පේයි (1 වැනි පංතියේ කාර්ය මණ්ඩලය, චීන කොමියුනිස්ට් පක්ෂය), ෂැං ගුයු (කාර්ය මණ්ඩල සාමාජික/පරිවර්තක, චීන කොමියුනිස්ට් පක්ෂය), ජින් එන්සේ (තෙවන ලේකම්, චීන තානාපති කාර්යාලය), චෙන් යුවාන් (උපදේශක, චීන තානාපති කාර්යාලය)
●වියට්නාමය: ලෙ වැන් හුවොං (නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා, වියට්නාම තානාපති කාර්යාලය)
කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවද එය දුටු අතර, සමහරු ඇහිබැමි ඉහළට ඔසවා ගත්හ. එහෙත් විදේශීය සහභාගීවන්නන් වූයේ ඔවුන් පමණක් නොවේ. ඉන්දියාව නියෝජනය කරමින් තිදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පැමිණ සිටියහ.
●ඉන්දියාව: ඒ.ආර්. සින්ධු (ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) සමාජික සහ ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික ලේකම්), බිනෝයි විශ්වම් (හිටපු කේරළ අමාත්‍ය), ජී. දේවරාජන් (මහලේකම්, සමස්ත ඉන්දීය ඉදිරි පෙළ කණ්ඩායම).
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණු රැලියට සහභාගී අතිවිශාල පිරිසගෙන් ආකර්ෂණීය කාරණා කිහිපයක්ද දැක ගැනීමට ලැබුණි. පළමුවැන්න, එය විනයගරුක, හොඳින් සංවිධානය කරන ලද රැළියක් සමඟින් ජනතාව බළමුළු ගැන්වීමේ ඔවුන්ගේ හැකියාව නැවත වරක් තහවුරු කළේය. ඓතිහාසිකව ගත් කළ මැයි දින රැලි විශාල ජනකායක් ආකර්ෂණය කර ගෙන ඇතත්, මෙම වසරේ ව්‍යාප්තිය වෙනදාට වඩා දිගු වූ අතර, කලින් එතරම් සම්බන්ධ නොවූ ප්‍රදේශවලින් පවා සාමාජිකයන් ආකර්ෂණය කරගෙන තිබුණි. එහිදී නිසැකවම ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් සිදු වූ අතර, එය හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි සාධකයකි.
ප්‍රධාන විපක්ෂය සම්බන්ධයෙන් ගත් කල එය තවත් කතාවකි. සශ්‍රීක තේ වතුවලින් වට වූ තලවකැලේදී පැවති සමගි ජන බලවේගය මැයි රැලිය සජිත් ප්‍රේමදාසගේ නික්ම යාමෙන් පසු හදිසියේ අවසන් වීමෙන් අවධාරණය කෙරෙන්නේ පක්ෂයේ ජවය පවත්වා ගැනීමට ඇති අරගලයයි.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති නාමල් රාජපක්ෂගේ මැයි රැලිය මගින් සනිටුහන් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුනර්ජීවනය, දේශපාලන වාසනාව නැවත ක්‍රමාංකනය කිරීමකි. ඔවුන්ගේ පෙර මැතිවරණ පසුබෑම නොතකා, ඔවුන් නැවත ස්ථාවර වෙමින් සිටින බව පෙනේ. මෙම සිදුවීම් දෙක අතර වෙනස පැහැදිලිය: එක් පක්ෂයක් විසන්ධි වීම සමඟ පොරබදමින් සිටින අතර, අනෙක අලුතින් ලැබෙන සහයෝගයෙන් ප්‍රයෝජන ගැනීමයි. මෙම රැලි තිරසාර දේශපාලන ජයග්‍රහණ බවට පරිවර්තනය කිරීමේ ඔවුන්ගේ හැකියාව ඉදිරි පළාත් පාලන මැතිවරණ මත රඳා පවතිනු ඇති අතර, එය ඔවුන්ගේ පුළුල් ආකර්ෂණය සඳහා වන ලිට්මස් පරීක්ෂණයක් ලෙස සැළකිය හැකිය.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අවධාරණය කරන්නේ හෙට පැවැත්වෙන මැතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම පළාත් පාලන මැතිවරණය ලෙස සැලකෙන බවයි. එහෙත් දිගු කාලයකට පසුව මැතිවරණය මතභේදාත්මක වී ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මීට පෙර 2023 මැතිවරණය ප්‍රතික්ෂේප කළේ අරමුදල් නොමැතිකම හේතුවෙනි. ඔහුගේ අකමැත්ත නිසා ක්‍රියාවලිය ඇණහිටියා පමණක් නොව, රාජ්‍ය ආයතන විසින් ඔහුගේ කනස්සල්ල නැවැත නැවතත් ප්‍රතිරාවය කිරීමට ද හේතු විය: පොලිසිය ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් සම්පත් නොමැති බව වාර්තා කළ අතර, අයවැය සීමා හේතුවෙන් රජයේ මුද්‍රණාලය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කළේය.
“සන්ඩේ ටයිම්ස්” පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපති රත්නායක මහතා පැවසුවේ හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකටම වඩා දුෂ්කර එකක් වූ බවයි. “ජනාධිපතිවරණයේදී මුළු රටටම තිබුණේ එක ඡන්ද පත්‍රිකාවක් පමණයි. එමඟින් සියලුම තරගකරුවන්ගේ නම් ලබා දී තිබුණා. පාර්ලිමේන්තු මැතිවරණවලදී, ඡන්ද පත්‍රිකාව අදාළ වුණේ දිස්ත්‍රික්ක 22 කට පමණයි. පළාත් පාලන මැතිවරණයේදී, අපට සභා 339 ක් සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදු වුණා” යැයි රත්නායක මහතා පැවසීය. (එම සම්මුඛ සාකච්ඡාව මෙම ලිපිය සමග පළවේ)
2025 පෙබරවාරි 17 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයකින් නිවේදනය කළේ පළාත් පාලන ආයතන 341 න් 339 ක නිල කාලය 2025 ජුනි 2 වැනි දින ආරම්භ වන බවයි. එයට මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් ඇතුළත් වේ. නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් කල්මුණේ මහ නගර සභාව ඉන් බැහැර කරන ලද අතර, 2024 ඔක්තෝබර් 26 වැනි දින මැතිවරණය පැවැත්වීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව බැහැර කරන ලදී.
2025 මාර්තු 3 වැනි දින මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන 336 ක් සඳහා නාමයෝජනා 2025 මාර්තු 17 සිට 20 දක්වා පිළිගනු ලබන බවයි. කල්මුණේ මහ නගර සභාව සහ දෙහිඅත්තකණ්ඩිය, ඇල්පිටිය, මන්නාරම සහ පූනකරි (පූනරින්) ප්‍රාදේශීය සභා බැහැර කරනු ලැබීය. කොට්ඨාස සඳහා ඡන්ද විමසීමේදී සියයට 40 ක් ඡන්දය ප්‍රකාශ කරනු ලබන අතර, ඉතිරි සියයට 60 සමානුපාතික නියෝජනය මත සිදුවනු ඇත.
(***)
“සන්ඩේ ටයිම්ස්”
දේශපාලන විශ්ලේෂක විසිනි
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කාගේත් තරම උරගාන පුංචි ඡන්දය