IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


එළියට එන නීති විරෝධී වත්කම් බැරකම්

මාඕ සේතුං, මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් පිළිබදව ලොවම කතාබහට ලක්වන්නේ ඔවුන්ගේ ආදර්ශවත් රාජ්‍ය පාලනය නිසාය. මෙවැනි වූ ආදර්ශවත් නායකයන් මෙන්ම අල්ලස්, දූෂණ, වංචා සහ නිතිවිරෝධි වත්කම් හමුවේ තනතුරු අහිමි වූ, සිරගත වූ නායකයන්ද ලොව බොහොමයකි.

පිලිපීනයේ ෆර්ඩිනන් මාකෝස් පිළිගැනෙන්නේ ලෝකයේ දූෂිතම, දරුණුම දේශපාලන නායකයන්ගෙන් කෙනකු ලෙසිනි. 1965 සිට 1986 දක්වා වසර 21ක් පිලිපීනය පාලනය කළ ඒකාධිපතියකු වන ඔහු මහජන මුදල් සොරාකෑම අතින් ඉහළින්ම සිටි රාජ්‍ය නායකයකු ලෙසද සැලකේ. ඔහු සහ ඔහුගේ බිරිය වූ ඉමෙල්ඩා මාකෝස් එක්ව කොල්ලකෑ මහජන මුදල් කන්දරාව කෙතෙක්ද යත් ඔවුන් ඒ අතින් ගිනස් ලෝක වාර්තාවක් පවා පිහිටුවා තිබේ. 1989 වසරේ ඔවුන් ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ රටක මහජන මුදල් වැඩිම ප්‍රමාණයක් කොල්ලකෑ පුද්ගලයන් වශයෙනි. මේ ආකාරයෙන් කොල්ල කෑ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වූ බව පිළිගැනේ. 1986 දී ඔහු බලයෙන් පහකෙරුණු අතර, වැඩිකල් නොගොස් මියගියේය.

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා උමාලා සහ ඔහුගේ බිරිඳ වන නදීන් හෙරෙවියාට වසර 15ක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට වරදකරුවන් කරමින් ය. විදෙස් මාධ්‍ය වාර්තා අනුව 2006 සහ 2011 දී ඔහුගේ මැතිවරණ ව්‍යාපාර සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධී ආකාරයට අරමුදල් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට මෙලෙස සිර දඬුවම් නියම කර ඇත.

මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක් සහ ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ සතුව තිබූ ඩොලර් මිලියන 273ක් පමණ වටිනා ආභරණ, අත්බෑග් සහ මුදල් පොලිසිය භාරයට ගත්තේය. රාජ්‍ය ආයෝජන අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිට එරෙහිව පැවැත්වෙන දූෂණ විමර්ශන සඳහා මෙම භාණ්ඩ යොදාගෙන තිබේ. ඒ අතර ඩොලර් මිලියන 1.6ක රන් සහ දියමන්ති මාලයක්, කුඩා ඔටුනු 14ක් සහ හර්මීස් වර්ගයේ අත්බෑග් 272 තිබී ඇත. එමෙන්ම නජිබ් රසාක් විසින් පිහිටුවන ලද අරමුදලට ලැබුණු ඩොලර් බිලියන ගණනක් ගිණුම්වලට ඇතුළත් කර නොමැත. මැලේසියානු ඉතිහාසය තුළ අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමක් ඇති භාණ්ඩ තොගය මෙය බව හඳුන්වනු ලබයි.

අගමැති බිරිඳ රොස්මා සුපිරි සාප්පු සවාරි සහ ප්‍රසිද්ධ වෙළෙඳනාම යටතේ ඇති භාණ්ඩ පරිහරණය කිරීම සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියාය. බොහෝ දෙනකු රොස්මා මැන්සෝව, පාවහන් හා සුඛෝපභෝගී භාණ්ඩ කෙරෙහි දැක්වූ ඇල්ම හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පිලිපීනයේ හිටපු ජනාධිපති බිරිඳ ඉමෙල්ඩා මාකෝස්ට සමාන කර තිබේ. නජිබ් රසාක්ට එරෙහිව නැගුණු දූෂණ චෝදනා ඔහුගේ මැතිවරණ පරාජයට ප්‍රධානතම හේතුවක් විය.

ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවම් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. මහේස්ත්‍රාත්වරයකුට අල්ලස් ලබාදීමේ චෝදනාවකට වැරැදිකරුවීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම ලබාදී ඇත. ප්‍රංශයේ මෙවැනි දඬුවමක් ලැබූ පළමු ජනපතිවරයා සාකෝසි වේ.

තම සම්පූර්ණ වත්කම් හෙළි නොකිරීමේ චෝදනා මත ඉස්ලාමාබාද්හි පිහිටි දූෂණ විරෝධී අධිකරණයක් විසින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් නියම කර ඇත. රටේ ඉහළම අධිකරණය එම තීරණයට එළඹුණේ මෙතරම් දේපොළ රැස් කළේ කෙසේද යන්න හෙළිකිරීමට අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අපොහොසත් වූ බව පරීක්ෂණයකින් නිගමනය කරනු ලැබීමෙන් අනතුරුවය. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි පැනමා ලිපිගොනුවලින් අනාවරණය වී තිබුණි. අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අනිසි ලෙස උපයාගත් මුදල් අදාළ සමාගම්වල තැන්පත් කළා විය හැකි බවට ඉන් අනතුරුව චෝදනා එල්ල විය.

සෞදි අරාබියේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවක අයිතිය සහ ආදායම් තහවුරු කිරීමට අපොහොසත් වීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි. ලන්ඩන් නගරයේ අධිසුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් මින් පෙර අවස්ථාවක ද අධිකරණයක් ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම කළේය. එවර ඔහුගේ දියණිය වන මරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට ද වසරක සිර දඬුවමක් නියම කෙරිණ. එහෙත් ඔවුන් සියලු‍දෙනා ඇප මත මුදාහැරිණි. එක්සත් රාජධානියේ ලන්ඩන්හි පිහිටි දේපළ ගණනාවක් සම්බන්ධයෙන් පැවති මෙම නඩුව හඳුන්වා ඇත්තේ ‘Avenfield Reference’ යනුවෙනි.

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා දූෂණ, වංචා, ජාවාරම් මෙන්ම කළු සල්ලි සුදු කිරීම් ආදී චෝදනා හමුවේ අධිකරණයට ඉදිරිපත් විය යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ජනාධිපතිවරයා දූෂණ සිදුවීම් 783කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ බවට පහළ අධිකරණයක තීන්දුව සලකා බලමින්, ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදුකර තිබේ.

අල්ලස් ගැනීම, බදු පැහැර හැරීම, වංචනික ක්‍රියා සහ බලය අයුතු ලෙස යොදාගැනීම යන චෝදනාවලට දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මුන්- බක් වැරැදිකරු බව පැමිණිල්ලේ තර්කය වී තිබේ. සැම්සුන් සමාගමෙන් සහ රටේ ඔත්තු සේවයෙන් ඩොලර් කෝටියකට වැඩි මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිත කර වංචා සිදු කිරීමේ චෝදනා යටතේ ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබේ. අගමැති නිල නිවසේ උත්සව අවස්ථා සඳහා ආහාර සැපයීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් අවභාවිත කර ඇති බව පවසමින් සාරා නෙතන්යාහුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත. අධිචෝදනා පත්‍රයේ සඳහන් පරිදි 2010 සැප්තැම්බර් සිට 2013 මාර්තු දක්වා කාලය තුළ අගමැති නිල නිවසට ආහාර ගෙන ඒමේදී සහ පෞද්ගලික අරක්කැමියන්ගේ සේවය ලබා ගැනීමේදී ඉදිරිපත් කර ඇති වියදම් සම්බන්ධයෙන් සාරා නෙතන්යාහු සහ එස්රා සෙයිඩොෆ්ට චෝදනා එල්ල වේ. නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ “ඒ ආකාරයට අවන්හල් හරහා භෝජන සංග්‍රහ සිය ගණනක් වංචනික ලෙස ලබාගෙන”‍ ඇති බවය.

අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකරු වූ ඊශ්‍රායලයේ හිටපු අගමැති යෙහුද් ඔල්මර්ට් ට අධිකරණය වසර හයක සිර දඬුවමක් නියම කරනු ලැබිණි. ඊශ්‍රායල ආණ්ඩුවේ හිටපු ප්‍රධානියකු දූෂණ චෝදනා මත සිරගත කෙරෙන පළමු අවස්ථාව මෙයයි. ඔල්මර්ට් හිටපු අගමැතිවරයා, ජෙරුසෙලමේ නගරාධිපතිව සිටි සමයේ නිවාස ව්‍යාපෘතියකට සහයෝගය පළ කිරීම සඳහා අල්ලස් ගත් බවට වැරැදිකරු වී තිබේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු අගමැති ඔල්මර්ට් හා අල්ලස් ගැනීමට සම්බන්ධ වූ නිලධාරීන් ඇමතූ විනිසුරුවරයා කියා සිටියේ, ඔවුන්ගේ ක්‍රියාකලාපය රාජද්‍රෝහි ක්‍රියා ලෙසින් සැලකෙන බවයි.

මේ අයුරින් ලොව පාලනය කළ ප්‍රබලයන් අල්ලස් දූෂණ සහ නීතිවිරෝධි වත්කම් බැරකම් යන කරුණු මත ධූරය අහිමිවීම්, අත්අඩංගුවට පත්වීම් බහුලව සිදු වී තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සභා මන්ත්‍රීවරුන්, විධායක ශ්‍රේණියේ නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු විවිධ නිලධාරී කාණ්ඩය වෙත

අදාළ වන සෑම තැනැත්තකු 82 වැනි වගන්තියේ විධි විධානවලට අනුකූලව

(අ) ඔහුගේ සියලු‍ වත්කම් සහ බැරකම්;

(ආ) ඔහුගේ කලත්‍රයාගේ සියලු‍ වත්කම් සහ බැරකම්;

(ඇ) ඔහුගෙන් යැපෙන එක් එක් දරුවන්ගේ වයස නොසලකා එම එක් එක් දරුවන්ගේ සියලු‍ වත්කම් සහ බැරකම්;

(ඈ) ඔවුන්ගේ වයස නොසලකා ඔහුගෙන් යැපෙන වෙනත් තැනැත්තන්ගේ සියලු‍ වත්කම් සහ බැරකම්; සහ

(ඉ) යම් තැනැත්තකු මේ කොටස අදාළ වන තැනැත්තා සමග අන්‍යෝන්‍ය අයිතිවාසිකම් සහ බැඳීම් හුවමාරු කර නොගන්නා අවස්ථාවක දී හැර. ප්‍රකාශයේ දිනයට අවම වශයෙන් මාස හයකටවත් පෙරාතුව මේ කොටස අදාළ වන තැනැත්තා සමඟ පොදු නිවසක සහවාසයෙන් ජීවත්වන විට දී එකී වෙනත් යම් තැනැත්තාගේ සියලු‍ වත්කම් සහ බැරකම්.

පිළිබඳ ප්‍රකාශයක් සිදු කළ යුතුය.

82. (1) මේ කොටස අදාළ වන සෑම තැනැත්තකු ම නියෝග මගින් නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් වත්කම් සහ බැරකම් ප්‍රකාශය-

(අ) පත් කළ දින සිට මාස තුනක් තුළ

(ආ) (3) වන උපවගන්තිය ප්‍රකාරව වාර්ෂිකව;

(ඈ) අවස්ථාථෝචිත පරිදි, ඔහුගේ රැකියාවේ නිල කාලය අවසන් වීමේ දී හෝ ඔහුගේ විශ්‍රාම දිනයෙන් හෝ ඔහු ධුරයෙන් ඉවත් කළ දිනයෙන් ඉක්බිතිව දින දාහතරක් තුළ

(ඈ) ප්‍රකාශය සිදු කළ වර්ෂයට අනුගාමී වර්ෂ දෙකක් තුළ

(ඉ) රුපියල් මිලියන දහයක් හෝ රුපියල් මිලියන දහයකට වඩා වැඩි වත්කම් සහ බැරකම් පිළිබඳ වටිනාකමේ සුවිශේෂ වෙනස්කමක් සිදුවන අවස්ථාවක. ඒ සිදුවීමේ දින සිට මාසයක් ඇතුළත, සහ

(ඊ) අවස්ථාථෝචිත පරිදි, 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත, 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම පනත හෝ (262 වන අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ. මැතිවරණ සඳහා නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කර ඇති විට දී.

සිදු කළ යුතුය.

(2) යම් තැනැත්තකු නියම කළ දිනයේ දී මේ කොටස අදාළ නොවන තැනැත්තකු වන අවස්ථාවක දී, මේ කොටස අදාළ වන තැනැත්තකු බවට ඔහු පත්වන දින සිට මාස තුනක් ඇතුළත ඔහු විසින් මේ කොටස අදාළ වන තැනැත්තකු බවට ඔහු පත්වන දිනට ඔහුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයක් සිදු කළ යුතුය.

එසේ වුව ද, 80 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ප) ඡේදයේ සඳහන් පරිදි මේ කොටස අදාළ වන යම් තැනැත්තකු විසින් ඡන්ද විමසීම පිළිබඳ දිනය ප්‍රකාශ කරනු ලබන අදාළ නීතිය යටතේ ප්‍රකාශය සිදු කරනු ලබන දිනය දක්වා වන කාලසීමාව සඳහා ඔහුගේ ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුය.

මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව මෙරට වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ඇත. ඊට අමතරව හිටපු මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් ද එම කොට්ඨාසය විමර්ශනය ආරම්භ කර ඇත. අයථා ලෙස ඉපයූ මුදල්වලින් දේපොළ ලබාගෙන ඇති බවට පාර්ශ්ව කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙතකරන ලද පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, දිලු‍ම් අමුණුගම, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානඛ්‍ය රාසමානික්‍යම්, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ ශාන්ත අබේසේකර ඇතුළු දේශපාලනඥයන් පිරිසකගේ වත්කම් පිළිබදව පරීක්ෂණ සිදු කරනු ලබයි.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරගෙන යන විමර්ශනවලට අනුව අදාළ දේශපාලනඥයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතය. අපරාධ පරීක්ෂණ හා මූල්‍ය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුජීව විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත මෙම විමර්ශන කටයුතු සිදු කෙරේ.

මේ දිනවල කාගේත් කතාබහට ලක් වූ කරුණක් වන්නේ දේශපාලනඥයන් මෙන්ම සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කිරීම සම්බන්ධවය. තහනම් කළ එම වත්කම් අතරට ඉඩම්, නිවාස, හෝටල්, වෙළෙඳසල්, රථවාහන මෙන්ම බැංකු ගිණුම් ද ඇතුළත් වේ. මෙම 88 දෙනා අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ කිහිප දෙනෙක් සිටිති. පරෙවි සුදා, බතල ශාන්ත, ලසා, දතා සුදා, කරන්දෙණිය සුද්දා, වැලිවිට සුදා, කුඩු සලිදු, කුඩු රොෂාන්, දෙමටගොඩ රුවන්, ඕලු‍ මරා ඒ අතර වෙති.

මෙරට දේශපාලන ඉතිහාසය පිළිබදව විමසීමේදී මහජනතාවගේ බහුතර මතය වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය දූෂිත බවය. එය තහවුරු කිරීමටද දේශපාලන ඉතිහාසය තුළ නිදසුන් ඕනෑ තරම්ය. මහජනතාව හෙළා දැකි එම දූෂිත දේශපාලනඥයන්ගේ වංචා දූෂණ, නීති විරෝධි වත්කම් පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලැබිය යුත්තන්ට දඬුවම් ලබාදීම ශ්‍රී ලංකාව දූෂිත දේශපාලනයෙන් තොර රාජ්‍යයක් බව සනාථ කිරීමට කදිම අවස්ථාවකි.

(*** ශෂිකා අබේරත්න)



අදහස් (1)

එළියට එන නීති විරෝධී වත්කම් බැරකම්

චතුරි Friday, 27 June 2025 07:24 PM

අපේ රටේ ප්‍රධාන හොරා නොහොත් නාකි මයිනා මුළු පරම්පරාවම මහපරිමාණයෙන් හොරාකලා ඉන්නේ... නූගත් පුත්තු ධන කුවේරයෝ. වුනේ කොහොමද? රැකියාවක් නැතිව. බැසිල් රාජපක්ෂ ඔහුගේ බිරිඳ මහින්දගේ බිරිඳ.... පව්ලේ නැදෑ හිතවතුන්. දැන් පැරැදිලා ගෙදර ගිහින් සැහෙන කලක් වෙනවා. ඇයි මොවුන් අත් අඩන්ගුවට නොගන්නේ... මැරුණාට පස්සේ මොනවා කරන්නද? නාකි මයිනාගේ උත්තරේ මම දන්නේ නැහැ කියන්න. එහෙම අයට අරාබියේ විදියට දරුණු දඬුවම් දෙන්න ඕනෑ. සියලුම දේපල රාජ සන්තක කර. ජීවිත කාලයම සිර කුඩුවේ තියන්න ඕනෑ. නමුත් තවමත් මන්දගාමියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 310 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site