දහඅට වංගුව ගැන ඔබට යමක් ලියා කියා පහදන්නට කලින් ඔය කවිය මට ලියන්නට වූයේ දහ අට වංගුවේ බරපතළකම ඒ වටා ඇති උස් කඳු පන්ති ගැන කියවෙන බැවිනි. උඩදුම්බර ජනතාව විශ්වාස කරන්නේ ඔය කවිය මීමන පේ‍්‍රමතිලක කවියා විසින් ලියන ලද්දක් බවය. 1950 ගණන්වල මහියංගණ පෙරහැර සමයේ මීමන පේ‍්‍රමතිලක මහතා මහියංගණ මහා විද්‍යාලයේ පැවති කවි මඩුවකට සහභාගි වී ඇත්තේ වංගු දහඅට මාර්ගයෙන් පැමිණය. ඒ අතර වාරයේ ඔය කවිය ලියූ බව කියැවේ. කෙසේ නමුදු මේ වනවිට දහ අට වංගුව වංගු දහහතක් බවට පත්වී හමාරය. එසේම එකවර දෙපැත්තෙන් පැමිණෙන වාහනවලට කිසිදු බාධාවකින් තොරව ධාවනය කිරීමට දහ අට වංගුව මාර්ගය පුළුල් කිරීමේ කටයුතු අවසාන අදියරට ළඟා වී ඇත. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ශ්‍රේණිගත කිරීමේදී දහ අට වංගුව ප‍්‍රදේශය සහිත මහියංගණ - මහනුවර මාර්ගය ශ්‍රේණිගත වී ඇත්තේ ඒ 26 ලෙසිනි. මහියංගණ - මහනුවර මාර්ගයේ මැද මහනුවර උඩතැන්නේ සිට මහියංගණ පාලම දක්වා කිලෝමීටර් හතළිස් එකක මාර්ගය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. එම මාර්ගය දැන් සෑහෙන දුරට අලූත් කර තිබේ. මහියංගණ මහනුවර දහ අට වංගුවේ කිලෝමීටර් හතළිස් එක භාරව කටයුතු කරන මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති භාර ප‍්‍රධාන ඉංජිනේරු එන්.ඒ. හෙට්ටිආරච්චි මහතා හමුවී අප විස්තර විමසුවේ මාර්ගය ඉදිකිරීම ගැනය. මේ ඔහු 18 වංගුව ගැන කී කතාවයි. ”මහියංගණ - මහනුවර 18 වංගුව මාර්ගයේ මැද මහනුවර උඩතැන්නේ සිට මහියංගණ පාලම දක්වා කිලෝමීටර් 41 ක් පුළුල් කිරීමේ කටයුතු 2008 නොවැම්බර් 01 වැනිදා ආරම්භ කළා මේ පසුගිය ජූලි මාසය වන විට සියයට 80 ක වැඩ නිම කරන්න අපට හැකිවෙලා තියෙනවා. ඉතිරි සියයට විස්ස 2011/10/30 වෙනිදාට ඉවර කර පාරේ වැඩ නිම කරන්න තමයි අපේ උත්සාහය. මේ සඳහා මිලියන හාරදහස් හත්සීය පහක් වෙන්වෙලා තියෙනවා. අපි ඒ මුදලින් මිලියන හාරදහස් හාරසිය තිස්පහක් වියදම් කරල මිලියන දෙසිය හැත්තෑවක් ඉතිරි කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ මිලියන දෙසිය හැත්තෑව අපි ඉතිරි කරගෙන එයත් මෙම මාර්ගයේම සංවර්ධන වැඩවලට යොදවන්න තමයි උත්සාහය. මෙම මාර්ග පුළුල් කිරීමේ කටයුතුවලදී අපට පෞද්ගලික ඉඩම් හරහා යන මාර්ගය සඳහා කිලෝමීටර් 17.5 ක්ද, වනජීවී අමාත්‍යාංශයට අයත් කිලෝමීටර් 18.2 ක්ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කිලෝමීටර් 4.4 ක්ද ඇතුළත් වුණා. මෙහිදී ස්වභාවික සුන්දරත්වයට හානියක් නොවන අයුරින් මාර්ග පුළුල් කිරීමට අප කටයුතු කළා. මෙම ව්‍යාපෘතියේදී විශේෂඥයන් සහ විදේශ කාර්ය මණ්ඩලය දොළොස් දෙනෙක්ද, තාක්ෂණ සහ ඉංජිනේරුවන් 128 ක්ද පරිපාලන අංශය 68 ක්ද, සහයකයින් 107 ක්ද, නුපුහුණු සේවකයන් 378 ක්ද පුහුණු සේවකයෝ 602 ක්ද වශයෙන් සියළු සේවකයන් 1195 දෙනෙක් උපයෝගී කරගෙන තිබෙනවා. ලබන ඔක්තෝබර් තිස්වැනිදාට මාර්ගය සියළුම වැඩ නිම කරලා දෙන්න අපට හැකිවෙයි කියලා මම විශ්වාස කරනවා. එසේම වංගු දහ හත වැඩ නිම වීමත් සමග මහියංගණය සිට මහනුවර දක්වා පැය එකහමාරක් පැය දෙකක් අතර කාලයේදී ළඟාවිය හැකියැයි අපට විශ්වාස කරන්න පුළුවන්. එසේම මාර්ගයේ වැඩ නිමවීමෙන් අනතුරුව වංගු දහ හතේ (17) නැරඹුම් ස්ථාන කිහිපයක් සකසා සොබා දහමේ අසිරිය විඳින්නට අවස්ථාව සලසා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.” ඉංජිනේරුවරයා කියයි. වංගු දහ අට පාමුල පදිංචිව සිටින විශ‍්‍රාමලත් විදුහල්පතිවරයකු වන යා.මු.බ.ගු. ගොඩකුඹුර මහතා අපේ මේ කතාවට සම්බන්ධ කරගත්තේ 18 වංගු පාර පිළිබඳ බොහෝ තොරතුරු ඔහු සතු බැවිනි. ”යුරෝපීයයන් අපේ ලංකාව ආක‍්‍රමණය කළාට පසුව වතු වගාව යහමින් පටන් ගත්තානේ. මේ වතු වගාව පටන් ගැන්මත් සමගම ලංකාවේ කඳුකරයේ විශේෂයෙන් වතු වගාව සීග‍්‍රලෙස පැතිරිලා ගියා. මේ යුරෝපීයන්ගේ නිෂ්පාදන ද්‍රව්‍ය කොළඹට රැුගෙන යෑමටත් උඩරට කැරැුල්ල වැනි කැරලි මර්දනය කරන්නත් මාර්ග සැකසීමට මුල පිරුනා. උඩදුම්බර (කලින් මිනිපේ) ඡන්ද කොට්ඨාසයේ හුන්නස්ගිරිය අවට ඇති තේ වතුවලට හා එනසාල් වතුවලට යාමට ඒමට මාර්ග සැකසෙන්න ගත්තා. ඒ 1850 පස්සේ තමයි. උඩදුම්බර පාරවල් කැපෙන්න පටන් ගත්තේ. මේ පාර සැකසීමට පෙර උඩදුම්බර ගම්ප‍්‍රධානීන් සිව්දෙනෙක් ලෙස නම්කොට සිටි ගම්පහ බස්නාහිර කෝරලේ, ගම්පහ නැගෙනහිර කෝරලේ, ගන්දෙක කෝරලේ, කන්ද පහළ කෝරලේ යන කෝරලේලා හතර දෙනා කැඳවා රැස්වීමක් තියලා තියෙනවා. ඒ රැස්වීමේදී තමයි හුන්නස්ගිරි කපොල්ලේ ඉඳලා උඩදුම්බර, වංගු දහ අට දක්වා මාර්ගය ගැන සැලසුම් කරලා තියෙන්නේ. ඒ කාලේ ගම්වාසීන්ගේ බඩු බාහිරාදිය කරෙන් සහ ගොඩක් දුරකට අරන් යන්න තියෙන බඩු භාණ්ඩ රැගෙන යන්න ගොන්නු එහෙමත් නැත්නම් තවලම් භාවිත කරලා තියෙනවා. ඒ තවලම්වලින් බඩු භාණ්ඩ රැගෙන යාමේදී තවලම් නතර කර විඩාව නිවාගැනීමටත්, ගොනුන්ට (තවලම්) වලට ආහාර සැපයීම සඳහා නතර කළ තැන් තවලම්තැන්න, තවලම්පොළ වැනි නම් වලින් පසු කාලීනව හැඳින්වෙන්නට පටන් ගත්තා. කොහොම හරි කඳු ගැට යාකරමින් හුන්නස්ගිරි කපොල්ලේ සිට වංගු දහ අට මාර්ගය සකසන්න පියවර ගත්තා. ප‍්‍රසිද්ධ නොවුනත් මේ කෝරාලලා හතරදෙනා සුද්දන්ගෙන් ගම්වල ගැහැණු දරුවන් (කෙල්ලන්) ආරක්ෂා කරගන්න  ඕනෑ කියලා ගම් හරහා නැතිව ගම් නැති කඳු ගැටිති හරහා පාර හදන්න කතිකා කරගත් බව ජනප‍්‍රවාදයේ ප‍්‍රසිද්ධව තිබෙන කතාවක්. මේ කාලය වනවිට උඩදුම්බර කියන ප‍්‍රදේශය හැඳින්වුණේ මිනිපේ කියලා. මේ ප‍්‍රදේශයම මාඩුගොඩ කියලත් හැඳින්වුවා. මාඩුගොඩ ගන්දෙක කෝරලේ හා ගම්පහ බස්නාහිර කෝරලේ අතර මායිමවෙලා ඒ හරහා උඩදුම්බරට එනකන් පාර කැපුනා. උඩදුම්බර මේ කාලයේ ජනාවාස ගෙවල් තිබුණේ නැහැ. පාර කැපීමත් සමග කාලයාගේ ඇවෑමෙන් නිවාස ඉදිවෙලා ජනාකීර්ණ වෙලා තියෙනවා. උඩදුම්බර, නිසරුව, කෝවිල්මඩ, තවලන්තැන්න, තැම්මිටියාන, තිස්පන දක්වාත් එතනින් පසු තමයි වංගු දහඅට මාර්ගය ආරම්භ වන්නේ. එතනින් හසලක උඩුදහවෙල පාමුල දක්වා පාර කැපුනා. හසලක උඩුදහවෙල පාමුල, පල්ලේවත්ත, වේරගම, වේරගංතොටට පැමිණ මහවැලි ගඟ තරණය කරලා තමයි මහියංගණයට යන්න පාර සැකසුනේ. තැම්මිටියාන හන්දිය හරහා ඇති විශාල කන්ද හරහා මාර්ගය සැකසීමත් පළවැනි වංගුව ඇතුළු ඒ හරහා කන්ද දිගේ හරහට වංගු 17 දක්වා මාර්ගය සැකසෙන්න පටන්ගත්තා. එකේ වංගුව සිට තුනේ වංගුවට කන්ද හරහා මාර්ගය සකසාගෙන එන අතර වාරයේ එකේ වංගුව සැකසූතැනේදී කන්දට ඊසාන දිගින් පහළ ඇති රන්තැල්ල දිය ඇල්ල ඇති ප‍්‍රදේශයට මාර්ගය සකසා එතනින් දැන් හසලක නව නගරය තිබෙන තැනට මාර්ගය සැකසීමට කතා බහක් ඇතිව තිබුණ ද එය දුෂ්කර බැවින් එකේ වංගුව හරහා කඳු ගැටය හරහා වංගු දමමින් මෙම වංගු දහ අට නිර්මාණය වෙලා තියෙනවා. වංගු දහ අට මාර්ගයේ දහ හත් වැනි වංගුව තිබෙන්නේ ගුරුළුපොත ගම අභියසයි. ඉන්පසුව දහ අටවැනි වංගුව තිබිලා තියෙන්නේ ටිකක් දුර කිලෝමීටර හතරක් පමණ පහළින් ඒ දවස්වල ගම්මු හැඳින්වූ බෝගහහෙළ වංගුව එනම් 18 වැනි වංගුව හසලක වාරි මාර්ග කාර්යාලයට නුදුරින් පිහිටි වංගුව (උඩුදහ ගෙවල් දෙකකට මැදින් උඩුදහ වෙල පැත්තට ඇති වංගුව  දහ අට වැනි වංගුව වේ. මෙය ඒ දවස්වල ගම්මුන් විසින් බෝගහ හෙළ වංගුව ලෙසත් දහ අටවැනි වංගුව ලෙසත් හැඳින්වුණා. එතනින් හසලක ඔය දිගේ විහිදි හසලක වී අලෙවි මණ්ඩලය දක්වා පැතිර තිබුණා. හසලක ඔය බැම්මෙන් යටවෙන හේතුව මත 18 වැනි වංගුව කෙලින් කර වාරි මාර්ග කාර්යාලය ඉදිරිපිටින් පිරිවෙන අසලින් දිසාපති කාර්යාලය ඉදිරිපිටින් හසලක ඔර්ලෝසු කණුව අසලින් පැමිණි පැරණි පාරට මෙම පාර එක්වෙන්නට සැකසුවා. මෙම 18 වැනි වංගුව කෙලින් කිරීම හේතුවෙන් 18 වංගුව අහිමි වී දහහත වංගුව ලෙස ඉන්පසු හඳුන්වන්නට පටන් ගත්තා. ඔය විදිහට තමයි ඔය වංගු දහඅට මාර්ගය සැකසුණේ.” ”මුල් කාලයේ මේ පාරේ එක බසයයි ධාවනය වුණේ. උදේ (මේල්) ලියුම් රැගෙන එන බසයයි. උදේ පැමිණ ආපසු සවසට නුවරට යනවා. බසය පදවන්නේ බොහෝම හෙමින්. එකම වංගුව පස්හය වතාවක් රිවෙස් කරලා තමයි බස් එක වංගුවලින් හරවා ගත්තේ. එතරම් දුෂ්කරයි දහඅට වංගුව මාර්ගයේ ගමනාගමනය. ඒ වගේම ”සිල්වර් ලයින්” බස් සමාගමේ බස් ධාවනය වුණා ඔය කාලේදී. එහි ප‍්‍රධානියා එම්.කේ.එම්. මුත්තාලිබ් හා විජේරත්න රඹුක්වැල්ල යන මහත්වරුන්ය. ඔය කාලේ බස් කොම්පැණි (සමාගම්) ජනසතු වුණා. ඊට පස්සේ ලංගම බවට පෙරළුණා. ඒත් සමගම මහනුවර උතුර ඩිපෝව ආරම්භ වුණා. ලංකාවට ලේලන්ඞ් බස්ගෙන එන එක ආරම්භ වුණා. කලින් සිටම බස්වල රියදුරකු ලෙස සේවය කළ වලල රාජපක්ෂ රියදුරා ලේලන්ඞ් සමාගමේ උපදේශකයකු සමග වංගු 18 ට හරහා බසයක් ධාවනය කරන්න ගත්තා. එම රාජපක්ෂ රියදුරා දෙකේ වංගුව, 10 වංගුව, 12, 13, 14, 15 රිවස් නොකර බසය ධාවනය කරලා තියෙනවා. ලේලන්ඞ් සමාගමේ උපදේශකට ලොකු සතුටක් දැනිලා තියනවා. කඳුකරයට මේ බස් ඔරොත්තු දෙනවා කියලා. ඒ වගේ 1960 දශකයේ මුල් භාගයේ ලංගම මහනුවර උතුර සූරසේන නම් රියදුරු මහත්තයෙක් ඉඳලා තියෙනවා. ඒ රියදුරු මහතා මහනුවරින් මහියංගණය මගීන් රැගෙන මග නොනවත්වා හුන්නස්ගිරියේ තේ නොබී පැය තුනකට අඩු කාලයකින් බස්රථය මහියංගණයට ධාවනය කර තියෙනවා. එහෙම නැත්නම් පැයතුනක් පැය තුනහමාරක් පැය හතරක් ඒ කාලේ බස්රථයක් මහනුවර සිට මහියංගණයට ළඟා වෙන්න ගත වෙලා තියෙනවා. ඒ මහතා කීය. ඔක්තෝබර් මාසය වනවිට මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වැඩ නිමවනු ඇත. අවට සුන්දරත්වය විඳීමට පැමිණෙන ජනයාගෙන් ඒ වන විට මෙම ප‍්‍රදේශය පිරී යනු ඇතැයි ප‍්‍රදේශවාසීහු විශ්වාස කරති.