පසුගිය වසරේ ආරම්භය  වන විට බඩු මිල වේගයෙන් ඉහළ යමින් තිබිණි. එසේ තිබිය දී ආණ්ඩුව පසුගිය වසරේ මැයි මාසයේ දී රසායනික පොහොර ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කළේය. ඒ සමඟම එතෙක් බඩු මිල ඉහළ යාමට එරෙහිව තැන තැන පැවැති උද්ඝෝෂණ සමඟ රට පුරාම ග්‍රාමීය ප්‍රදේශවල ගොවීන්ගේ උද්ඝෝෂණ පැන නැගිණි.

පසුගිය වසරේ අවසාන භාගයේදී රටේ බොහෝ ප්‍රදේශවල ගෑස් ආශ්‍රිත  පිපිරීම් හා ගිනි ගැනීම් මාලාවක් ඇති විය. ආණ්ඩුව ඊට පිළියම් යෙදීමට අසමත් වීමත් සමඟ ඊට එරෙහිව ජනමාධ්‍ය හඬ නඟන්නට විය. ආණ්ඩු පාක්ෂිකයන්ද ආණ්ඩුවෙන් ඉවත් වනු පැහැදිලිවම දක්නට ලැබිණි. ඉන් සති කිහිපයක් ගිය තැන රටේ  විදේශ විනිමය අර්බුදය දරුණු තත්ත්වයකට පත් වී විශාල වශයෙන් ගෑස් හා ඉන්ධන හිඟයක් ඇති විය. රටේ ජනතාවගේ අවධානය ඒ වෙතට යොමු වීමත් සමඟ ගෑස් ආශ්‍රිත පිපිරීම් ද නතර විය.

ඉන්ධන අර්බුදය උච්චස්ථානයකට පත්වී දිනකට පැය 13ක් දක්වා විදුලිය කපා හරින තත්ත්වයක් මේ වසර මුදලදී ඇතිවිය. එය දේශපාලන පක්ෂ භේදයෙන් තොරව රට පුරා ප්‍රබල ආණ්ඩු විරෝධයක් ජනිත කළේය. ඒ සමඟම තැන තැන කෙරුණු බඩු මිලට එරෙහි උද්ඝෝෂණ හා ගොවීන්ගේ උද්ඝෝෂණ යටපත් කරමින් නාගරිකව ප්‍රභල ආණ්ඩු විරෝධී වීදි  අරගල ඇති වන්නට විය.

එම තත්ත්වය තීරණාත්මකව සනිටුහන් කළේ  ඉකුත් මාර්තු 31 වැනිදා මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට හදිසියේ ඇති වූ උද්ඝෝෂණයයි. ඊට සහභාගි වූ පිරිස සාම්ප්‍රදායිකව උද්ඝෝෂණ කරන පිරිසක් නොව මධ්‍යම පන්තියේ පිරිසක් වීම විශේෂත්වයක් විය. ‘‘ගෝඨා ගෝ හෝම්’’ යන සටන් පාඨය කල එළි දුටුවේ එහිදීය. එම සටන් පාඨය සිංහලෙන් නොව ඉංග්‍රීසියෙන් කල එළි දුටුවේ එම උද්ඝෝෂණයේ පන්ති පදනම කියා පාන්නක් මෙනි.

මෙම උද්ඝෝෂණය බඩු මිල තුන් හතර ගුණයකින් ඉහළ යාම ඉන්ධන හිඟය, ඒ නිසා ඇතිවූ භාණ්ඩ හිඟය, ප්‍රවාහන දුෂ්කරතා හා ඒ සියල්ලටම වඩා විදුලි කාප්පාදුවෙන් තම ජීවන රටාවම අවුලට පත්වීම  නිසා ආණ්ඩුව කෙරෙහි කෝපයට පත්ව සිටි ජනතාවට එම කෝපය පිට කිරීම සඳහා උත්තේජනය ලබා දුන්නේය. ඒ සඳහා ප්‍රචාරකයකු සංවිධායකයකු බවට පත්වූයේ සමාජ මාධ්‍යයි.

මේ තත්ත්වයට විසඳුම් වශයෙන් අප්‍රේල් 1 වැනිදා  කුඩා දේශපාලන පක්ෂ එකොළහක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක්  පිහිටුවන්නට යෝජනා කළේය. ජනාධිපතිවරයාද එය පිළි ගත්තේය. එහෙත් ඒ අතර ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට කෙරුණු උද්ඝෝෂණයෙන් දිරිමත් වූ දේශපාලන පක්ෂවලට සෘජුව සම්බන්ධ නොවූ පිරිසක් අප්‍රේල් 3 වැනිදා කොළඹදී විශාල උද්ඝෝෂණයක් කරන්නට සමාජ මාධ්‍ය මගින් ජනතාව කැඳවූහ.

මෙය 2011 දී අරාබි රටවල ඇති වූ නැඟිටීම් සිහි ගන්වන්නක් විය. ජනතාව කොළඹට එ්ම වැළැක්වීම සඳහා ආණ්ඩුව  හදිසි නීතිය හා ඇඳිරි නීතිය යොදා ගත්ත ද අප්‍රේල් 3 වැනිදා විශාල පිරිසක් කොළඹට පැමිණෙන ආණ්ඩුවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් කළහ.

පක්ෂ 11 සමඟ එකඟ වූ ආකාරයට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාට එදිනම තම ඇමැතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස උපදෙස් දුන්නේය. ඔවුහු ද ඉල්ලා අස් වූහ. ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නට සියලුම පක්ෂවලට ආරාධනා කළේය. ස්වයං ජනිත ජනතා උද්ඝෝෂණය දුටු ජනාධිපතිවරයාට එම යෝජනාව කළ පක්ෂ හෝ එම ආරාධනාව පිළි ගන්නට  මැලි විය.

අප කවුරුත් දන්නා මේ අතීත කතාව සිහිපත් කළේ එදා එසේ ආර්ථික පීඩනය නිසා ස්වයං ජනිතව පැන නැගුණු උද්ඝෝෂණ පසුව මහා ජනතා නැඟීටීමක් බවට පත්වී ජනාධිපතිවරයාට ද ඉල්ලා අස්වීමට සිදු වූ පසු එතැනින් එහාට වැඩ පිළිවෙළක් නැතිව සිටි උද්ඝෝෂකයන් නව ජනාධිපතිවරයකු යටතේ මර්දනයට ලක් වූ විට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් එම උද්ඝෝෂණය ත්‍රස්තවාදයක් ලෙස හඳුන්වන නිසාය.

ආර්ථික පීඩනය  නිසා කලකිරීමටත් කෝපයටත් පත්ව සිටි පිරිස් අප්‍රේල් 3 වැනිදා උද්ඝෝෂණයේ සාර්ථකත්වය නිසා තවදුරටත් දිරිමත්ව යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව කැඳවා අප්‍රේල් 9 වැනිදා කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව හරස් කොට ස්ථිර උද්ඝෝෂණ පොළක් නිර්මාණය කර ගත්හ. එතැනට ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති,  කලාකරුවෝ නීතිඥයෝ, ආදී වාසීහු  ආදි වශයෙන් සමාජයේ විවිධ කණ්ඩායම් පැමිණි එම උද්ඝෝෂණයට සහය දැක් වූහ.

මැයි මාසයේ 9 වැනිදා තෙක් එම උද්ඝෝෂණ හෝ ඔවුනට එරෙහි ආණ්ඩුවේ කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූයේ නැත. විදේශ තානාපතිවරු ද එම සාමකාමී උද්ඝෝෂණය අගය කොට නිවේදන නිකුත් කළහ.

එහෙත් මැයි 9 වැනිදා එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් මෙම උද්ඝෝෂකයන්ට පහරදීමත් සමඟ තත්ත්වය වෙනස් විය. එම ප්‍රහාරකයන්ට තවත් පිරිසක් පෙරළා පහර දුන්හ. රටේ බොහෝ තැන්වල ආණ්ඩුවට හිතවත් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනිබත් කරනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතය කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන්නට සිදුවිය. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්විය. එම ධුරයට පත් වූ පසු ප්‍රකාශයක්  කළ ඒ මහතා ගෝඨා ගෝ ගමට (ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කෙරෙන උද්ඝෝෂණයට) අවශ්‍ය පහසුකම් සලසන බව පැවසීය.

ගෝඨා ගෝ ගමේ අරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වන අයුරින් ඔහුට බල කිරීමයි. එසේ තිබියදී ගෝඨා ගෝ ගමට අවශ්‍ය පහසුකම් සලසන්නේ යැයි ඔහු පැවසුවේ උද්ඝෝෂකයන්ගේ අරමුණ ඉටු වුවහොත් ව්‍යවස්ථානුකූලව තමන් ජනාධිපති ධුරයට අත්වන නිසාද නැත්නම් උපහාසාත්මකවදැයි පැහැදිලි නැත.

ඉන්පසු මාස දෙකක්ම කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව එම උද්ඝෝෂණය අඛණ්ඩව සිදුවූ අතර ජූලි 9 වැනිදා විශාල ජන ගංගාවක් කොළඹට විත් ජනාධිපති මාලිගය, ජනාධිපති කාර්යාලය හා අරලියගහ මන්දිරය අත්පත් කර ගත්හ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීම නිවේදනය  කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට පිරිසක් ගිනි තැබූහ. ජනාධිපති මාලිගයේ හා අරලිය ගහ මන්දිරයේ තිබූ ඇතැම් භාණ්ඩවලට හා දොර ජනෙල්වලට  හානි සිදු විය.

එම සිදුවීම් අතර උද්ඝෝෂකයෝ පිරිසක් ජාතික රූපවාහිනියට හා තවත් පෞද්ගලික රූපවාහිනි ආයතනයකට ගොස් එම ආයතනවල වැඩසටහන් තමන්ට අවශ්‍ය පරිදි සිදුවිය යුතු යැයි බල කළහ.

 ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුව මගින් නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත් පත් කරනු ලැබීය. 21 වැනිදා උද්ඝෝෂකයෝ තමන් අත්පත් කර ගත් මන්දිරවලින් පසුදින ඉවත් වන බව ජනමාධ්‍යයට පැවසූහ. එහෙත් 22 වැනිදා අලුයම හමුදාව  ඔවුන්ට පහර දී ඔවුන් එම ස්ථානවලින් පළවා හැරියහ.

දැන් උද්ඝෝෂකයන්ගේ  හඬ යටපත්වී ආණ්ඩුවේත් ආණ්ඩු පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් හඬ ඉස්මතු වී ඇත. ආණ්ඩුවත් ආණ්ඩු පක්ෂයත් පවසන්නේ උද්ඝෝෂකයන් ත්‍රස්තවාදීන්, ෆැසිස්ට්වාදීන්, කුඩු කාරයන් ලෙසය. එසේම ජනතා නැගිටීම සාමකාමී එකක්ද? නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදීද? නැද්ද? යන සංවාදයක්ද දැන් ආරම්භ වී ඇත.

ආණ්ඩුවට හා නව ජනාධිපතිවරයාට හිතවත්  පිරිස් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්තවාදී හා ෆැසිස්ට්වාදී ක්‍රියාවකැයි කියති. විරුද්ධ පක්ෂවල මතය වී ඇත්තේ තැන තැන යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වුවද මෙය පොදුවේ සාමකාමී අරගලයක් බවය. ආණ්ඩුව හා ආණ්ඩු පක්ෂය මෙය  ප්‍රචණ්ඩ අරගලයකැයි හඳුන්වනවා පමණක් නොව එහි අරමුණ වැරැදි දරුණු එකක් යැයි කියති. සිරිත් පිරිදි දැන් ඊට බෙදුම්වාදය ගැට ගැසීමට ද උත්සාහයක් කෙරේ.

ජනාධිපති කාර්යාලයේ දොරටු අවහිර කරගෙන උද්ඝෝෂකයන් උද්ඝෝෂණය කරද්දී ඊට පහසුකම් සලසන බව පැවසූ වත්මන් ජනාධිපතිවරයා උද්ඝෝෂකයන් එම කාර්යාලය අත්පත් කර ගැනීම ව්‍යවස්ථා විරෝධී යැයි පැවසීය. ඒ අනුව උද්ඝෝෂණ රාජ්‍ය ආයතනවල  පරිශ්‍රයන්ගෙන් පිටත සිදුවිය යුතු යැයි ඔහු සිතන බව පෙනේ.

ඇත්ත වශයෙන්ම උද්ඝෝෂකයන් රාජ්‍ය ආයතන, විශේෂයෙන්ම රාජ්‍ය පාලනය සංකේතවත් කරන ආයතන හා ගොඩනැගිලි අත්පත් කර ගැනීම ගැටලු සහගතය. ඒවා අත්පත් කර ගැනීම රාජ්‍ය පාලනය අත් කර ගැනීමට නම් ඒ සඳහා ගොඩනැගුණු දේශපාලන නායකත්වයක් උද්ඝෝෂකයන්ට තිබිය යුතුය. එසේ නොවුවහොත් දේශපාලනමය  වශයෙන් කිසිවක් නොලැබ එම ස්ථාන අත්හැර  යන්නට සිදුවන හෙයිනි. නැත්නම් මර්දනයකට මුහුණ දීමට සිදුවන හෙයිනි. ජූලි 9 වැනිදායින් පසු සිදු  වූයේ එයයි. අනෙක් අතට අසංවිධානාත්මකව මෙවැනි ආයතන අත්පත් කර ගැනීමේ දී ඒවාට ඇතුළු වන්නේ කවුරුන්දැයි සැබෑ උද්ඝෝෂකයන්වත් දන්නේ නැත. ඒ අනුව ඒවායේ හා එවායේ භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳව බරපතළ ගැටලු පැන නැඟීම නොවැළැක්විය හැකිය.

මේ තත්ත්වයට හේතු වූයේ මහජන නැඟීටීමට දේශපාලන නායකත්වයක්, මඟ පෙන්වීමක්, අවසාන ඉලක්කයක් නැතිව ආර්ථික පීඩනය නිසා  ඇතිවූ කෝපය හා ආවේගය නිසා පැන නැගුණු ආණ්ඩු විරෝධයක් ලෙස උද්ඝෝෂණය ඉදිරියට ඇදි යාමයි. ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත්   ඇතැම් කණ්ඩායම් අප්‍රේල් මාසයේදීම මේ තත්ත්වය පෙන්වා දුන්නද ආණ්ඩු විරෝධය අති විශාල වූයෙන් ඔවුනටද නිහඬව  උද්ඝෝෂකයන්ගේ අරමුණ පදනම් කරගෙන උද්ඝෝෂණයට සහාය දෙන්නට සිදුවිය.

කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව සියයට සියයක් සාමකාමීව ලෝකයේ කොහිවත් මහජන නැගිටීම් සිදුවී නැත. සාමකාමී අරගල ලෙස සැලකෙන 1979 ඉරාන නැඟීටීම්දී ද 1986 පිලිපීන නැගිටීමේදී ද සන්නද්ධ ගැටුම් පවා යම් යම් තැන්වල සුළු වශයෙන් සිදු විය. එහෙත් දස දහස් ගණන් ජනතාව සහභාගි වන නැඟිටීමක දී එවැනි දෑ වළක්වා ගත යුතු වන්නේ සිදුවීම් කොතැනින් කෙළවර වේදැයි නොදන්නා හෙයිනි.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දේශපාලන අර්බුදය අවසන් වී ඇතැයි යන මතයේ සිටින බව පෙනේ.  එහෙත් තත්ත්වය තවමත් අවිනිශ්චිතය. අප මුලදීම සඳහන් කළ පරිදි දේශපාලන පක්ෂවල පාලනයෙන් මිදුණු උද්ඝෝෂණ පැන නැගුණේ ජනතාවට දරාගත නොහැකි ආර්ථික පීඩනය නිසාය. එම පීඩනය තවමත් එලෙසම පවතී. බඩු මිල දැනුදු නොකඩවා ඉහළ යයි. ඉන්ධන හිඟයට තවමත් ස්ථිර විසඳුමක් නැත. සාමාන්‍ය ජනතාවට රෝගියකු රෝහලට ගෙන යන්නටද පහසුකම් නැත. ඒ පීඩනයෙන් මතු වන අසහනය මර්දනය කළ නොහැකිය. කළ යුත්තේ හැකි ඉක්මනින් ඊට පිළියම් යෙදීමය. එතෙක් ආණ්ඩුව  ඒ සඳහා වූ ජනතාවට පිළිගත හැකි මාර්ග සිතියමක් ජනතාව හමුවේ තැබිය යුතුය. මන්දයත් හෙට කුමක් වේදැයි යන බිය නිසා අසහනය හා කෝපය තවත් වර්ධනය වන හෙයිනි.

(*** එම්.එස්.එම්.අයුබ්)