ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන වියදම් ආවරණය වන ආකාරයේ සාධාරණ අය ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව විදුලි බල පනතෙහි සඳහන් වේ. ලංවිම සෑම අවස්ථාවකම ජනන වියදම් හා ආයතනයේ පාඩු හුවා දක්වමින් විදුලි බිල වැඩි කිරීමට අවසර ඉල්ලුව ද පනතෙහි දැක්වෙන සාධාරණ අයක්‍රමය සහ කාර්යාක්ෂමතාව අමතක කරයි.
මේ අවස්ථාවේදී එම මණ්ඩලය ඉල්ලා සිටින සියයට 18.3 ක ගාස්තු වැඩි කිරීමට පාදක වී ඇති එහි වියදම් සාධාරණීයකරණය කළ හැකි ද යන්න විමසා බැලිය යුතුය. ඒ අනුව විදුලි බල නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටින ගාස්තු වැඩිවීම සම්බන්ධව මණ්ඩලය ලබා දී ඇති දත්ත පරීක්ෂා කරන අතර මහජන අදහස් ද විමසයි. ලංවිම ලබා දී ඇති දත්ත සහ ඉල්ලා සිටින ගාස්තු වැඩිවීම එකිනෙකට ගැළපෙන්නේ නැති නම් ඒ බව කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දෙන අතර එවැනි අවස්ථාවල සිදු විය හැකි දෙය නම් ලංවිම ඉල්ලා සිටින ප්‍රමාණයට වඩා අඩු අගයකින් විදුලි බිල ඉහළ දැමීමට උපයෝගීතා කොමිෂන් සභාව අවසර දීම ය.
පිරිවැය නිරූපිත මිල ක්‍රමයක් විදුලි බලයට හඳුන්වා දිය යුතුය යන පදනමින් මෙරට විදුලි ගාස්තු ඉහළ නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 වසරේ සිට අවධාරණය කළේ ය. ඒ අනුව ගත වූ වසර කිහිපයේ දී විදුලි බිල කිහිප වතාවක් සංශෝධනය කෙරිණි. එහිදී අපගේ අවධානයට යොමු විය යුතු වැදගත්ම කාරණය නම්, විදුලි ගාස්තු වැඩි කිරීමට ලංවිම ඉල්ලා සිටි සෑම අවස්ථාවක දී ම එසේ ඉල්ලා සිටි ප්‍රමාණයට වඩා අඩු අගයකින් ගාස්තු ඉහළ දැමීමට කොමිසම අවසර දුන් බව ය. එමෙන් ම ගාස්තු අඩු කිරීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවල එසේ ඉල්ලා සිටි ප්‍රමාණයට වඩා වැඩි අගයකින් ගාස්තු අඩු කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නේ ය. ඒ සෑම අවස්ථාවක දී ම මහජන උපයෝගීතා කොමිෂන් සභාව ආවට ගියාට තීන්දු තීරණ ලබා නොදුන් අතර ඒ වෙනුවට ගාස්තු සංශෝධනවලට අදාළව ලංකා විදුලි බල මණ්ඩලය ලබා දුන් දත්ත විශ්ලේෂණය කර මහජන අදහස් විමසීමකින් ද පසුව එහි තීරණ දැනුම් දුන්නේය.
වර්ෂ 2023 සිට 2025 ජනවාරි දක්වා කාලයේ දී විදුලිය ගාස්තු සංශෝධනය කෙරුණු ආකාරය වගු සටහනෙහි දැක්වේ.
එපරිදි ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටින ගාස්තු සංශෝධන සඳහා යෝජනා කරන ප්‍රමාණයෙන් ම අනුමැතිය හිමි නොවීමෙන් පැහැදිලි වන්නේ එම මණ්ඩලය ඉල්ලා සිටින ගාස්තු සංශෝධන හා ඊට අදාළව ඉදිරිපත් කරනු ලබන දත්ත අතර සමානත්වයක් ගැළපීමක් නැති බවය. සරලව කිවහොත් දත්ත නිවැරැදි නොවෙන බවය. 2022 වසරේ අගෝස්තු 10 වැනි දින දී විදුලි බල මණ්ඩලය විදුලි බිල සියයට 229 ක අගයකින් ඉහළ දැමීමට අවසර ඉල්ලා සිටියේය. එහෙත් කොමිෂන් සභාව අවසර දුන්නේ සියයට 75 කින් ගාස්තු වැඩි කිරීමට ය. එම ගාස්තු වැඩි කිරීමෙන් පසු 2023 වසරේ දී ලංවිම රුපියල් බිලියන 61 ක ලාභයක් වාර්තා කළේ ය.
ලංවිම ඉදිරිපත් කරන දත්ත සම්බන්ධයෙන් විශාල සැකයක් පවතී. ඒ අනුව, මේ අවස්ථාව වනවිට විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති දත්තවල නිරවද්‍යතාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පරීක්ෂා කරනු ඇත. ලංවිම පවසන්නේ 2025 වසරේ ජනවාරි මාසයේ දී විදුලි බිල අඩුකළ නිසා මෙම වසරේ පළමු කාර්තුවේ දී රුපියල් බිලියන 18 ක පාඩුවක් සිදු වූ බවය.
එහෙත් 2023 සහ 2024 වසරවලදී ලංවිම ලාභ ලැබුවේය. ඒ අනුව, 2023 දී රුපියල් බිලියන 61 ක් ද 2024 දී රුපියල් බිලියන 120 ක් ද වශයෙන් ලාභ ලැබීය. එසේ වාර්තා කළ ලාභ සහ එම වසරවලට අදාළ ණය ගෙවීම් කළ පසු මණ්ඩලය සතුව රුපියල් බිලියන 150 ක පමණ අතිරික්තයක් තිබිය යුතු ය. ඒසා අතිරික්තයක් තිබේ නම්, මේ වසරේ පළමු කාර්තුවේ දී රුපියල් බිලියන 18 ක පාඩුවක් සිදු වූ බව කියමින් යළි විදුලිය ගාස්තු සියයට 18 ඉක්මවන ප්‍රතිශතයකින් වැඩි කළ යුතු යැයි ඉල්ලා සිටීම අසාධාරණ ය. කොමිෂන් සභාව මේ කාරණය විමසුමට ලක්කරනු ඇත.
විදුලිය ගාස්තු සංශෝධනය කරන්නේ මාස හයකට වතාවකි. එහිදී මිල සංශෝධනය අරබයා නිශ්චිත ක්‍රමවේදයක් ඇත. එහිදී සිදු වෙන්නේ පළමු මාස හයේදී ලංවිම ක්‍රියාකාරීත්වය හා ලැබූ පාඩු ලාභ පදනම් කර ගනිමින් මීළඟ මාස හයට අදාළ ගාස්තු සංශෝධන සිදු කිරීමය. එපරිදි මේ වසරේ පළමු මාස හයේ කාර්යසාධනය හා වියදම් පරීක්ෂා කිරීමේදී ලංවිම සතුව රුපියල් බිලියන 150 ක අතිරික්තයක් තිබෙන බවත් එනයින් ලබන ජූනි මස සිට විදුලි බිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත් පැහැදිලි වනු ඇත.
විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් විය යුතු නැත යන්න මූලික සිද්ධාන්තයකි. එම මණ්ඩලය යම් ලාභයක් ඉපයූවේ නම් එය පාරිභෝගිකයා වෙත බෙදී යා යුතු ය. ලංවිම පාඩු ලබන්නේ නම් එසේ ලබන පාඩුව පියවා ගැනීම වෙනුවෙන් ගාස්තු වැඩි කිරීමට පිළිවන. මෙහිදී විමසා බැලිය යුතු අනෙක් වැදගත් කාරණය නම්, ලංවිම මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක් වාර්තා කළේ ඇයි ද යන්න ය. වෙසෙසින්ම ඉහත දී සඳහන් කළ පරිදි 2023 හා 2024 වසරවලදී මණ්ඩලය ලාභ ලබා තිබියදීත් මෙම වසරේ පළමු කාර්තුවේ පාඩු ලැබුවේ මන්ද යන්න ය.
මෙවැනි පැනයකට ලංවිම සාමාන්‍යයෙන් ලබා දෙන පිළිතුර නම්, වර්ෂාව හොඳින් පැවති හෙයින් ජල විදුලි උත්පාදනය එහි ඉහළම මට්ටමකට ළඟා වූ බැවින් ලාභ ලැබීමට හැකි වූ බව ය. එහෙත් 2024 වසරේ මුල් කාර්තුවේ දී වර්ෂාවක් ලැබුණේ නැත. සෑම වසරකම මුල් කාර්තුවේ දී වර්ෂාව නොලැබෙන බව අපි දනිමු. එසේ තිබියදීත් 2024 දී මණ්ඩලය ලාභ ලැබුවේ නම් 2025 වසරේ දී ද ලාභ ලැබිය යුතු ය. එහෙයින් මේ වසරේ මුල් මාස තුනේ ලැබූ පාඩුවක් ගැන කතා කරමින් විදුලි ගාස්තු ඉහළ නැංවිය නොහැකි ය.
වෙන වසරවලට සාපේක්ෂව මෙම වසරේ මුල් කාලයේ දී වර්ෂාපතනයේ වැඩි වීමක් දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් සෑම වසරකම අප්‍රේල් අග වනවිට ජලාශවල ජල මට්ටම අඩු වේ. එහෙත් 2025 වසරේ මේ වනවිටත් ජලාශවල ජල මට්ටම ඉහළ අගයක පවතී. එබැවින් ගෙවුණු මාස කිහිපයේ දී ලංවිම ජල විදුලිය උත්පාදනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නගියි. ජලාශවල ඉහළ ජල මට්ටමක් තිබිය දී ඉන්ධන භාවිතයෙන් විදුලිය උත්පාදනය කළේ නම් මේ වසරේ පළමු කාර්තුවේ දී පාඩු ලැබීම සාධාරණීයකරණය කළ හැකි ය.
ලංවිම ඉල්ලා ඇති ප්‍රමාණයෙන් විදුලි බිල ඉහළ දැමීමට අවසර දුනහොත් එයින් විදුලි පාරිභෝගිකයාත් රටේ ආර්ථිකයත් දැඩි අපහසුතාවට පත් වනු ඇත. දකුණු ආසියානු කලාපයේ රටවල් අතර විදුලිය සඳහා වැඩිම ගාස්තු අය කෙරෙන රට ලංකාවයි. 2022 දී සහ 2023 දී සියයට 50 ඉක්ම වූ ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමූ හෙයින් ඉන් පසු සුළු ප්‍රතිශතවලින් විදුලිය මිල අඩු කළ ද තවමත් ලංකාවේ විදුලි ගාස්තු පවතින්නේ ඉහළ මට්ටමකය. එවැනි සන්දර්භයක දැනට විදුලිය උත්පාදනය සඳහා අවම වියදමක් දරන පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ගෙවනු ලබන මුදල් ප්‍රමාණය අඩු කිරීමට යෝජනා කර තිබීම හාස්‍යජනකය.
වසර 2023 සහ 2024 ජනන වියදම්වලට අදාළව ලංවිම ප්‍රසිද්ධ කර ඇති දත්ත විශ්ලේෂණයේ දී පැහැදිලි වෙන්නේ එම දෙවසරේ දී තාප සහ ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමට වැය වූ වියදමට වඩා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීමට වැය වූ මුදල සියයට 66 කින් පමණ අඩු බවය. 2024 ට අදාළ දත්තවලට අනුව, එහි පළමු හා දෙවැනි කාර්තුවල දී ඉන්ධන ගල් අඟුරු ඇතුළු තාප බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කිරීමට රුපියල් බිලියන 146 ක් වැය වී ඇතත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් විදුලිය නිපදවීමට වැය වී ඇත්තේ රුපියල් බිලියන 31 ක් පමණි. මෙනයින් පැහැදිලි වෙන්නේ තවමත් මෙරට විදුලිය උත්පාදනය කිරීම සඳහා තාප බලශක්ති වෙනුවෙන් ඉතාමත් ඉහළ මුදලක් වැය කරන බවය.
කළ යුත්තේ තාප විදුලිය සඳහා වැය වෙන පිරිවැය අඩු කළ හැකි ක්‍රම සෙවීමය. එහෙත් ලංවිම දැන් සිදු කරමින් සිටින්නේ ඉතා අඩු මුදලකින් විදුලිය ජනනය කළ හැකි පුනර්ජනනීය බලශක්ති උත්පාදකයන් වෙනුවෙන් ගෙවනු ලබන මුදල තවත් අඩු කිරීමටය. මා අවධාරණය කරන්නේ පුනර්ජනනීය විදුලි උත්පාදනය වැඩි කළහොත් විදුලිය ගාස්තු ඉහළ නැංවීමට අවශ්‍ය නොවන බවය. මගේ ගණනය කිරීම්වලට අනුව, තාප විදුලි නිෂ්පාදනය කිරීමට වැය වෙන මුදල ඉවත් කර ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය උත්පාදනය කරන්නේ නම් ලංවිමට වසරකට රුපියල් බිලියන 113 ක මුදලක් ඉතිරි කර ගත හැකිය. ජනන වියදම් අඩු කිරීමට නම් අප පළමුව කළ යුත්තේ වැඩි ඒකක වියදමක් වැය වෙන බලශක්ති භාවිතයෙන් ඉවත් වීමය.
පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය අපට ඉතා කෙටි කලකදී වැඩි කර ගැනීමට පිළිවන. එහිදී සූර්ය බලය ඉතා වැදගත් ය. එය පහසුවෙන් කළ හැකි ය. 2024 දී පමණක් පියසි මත සවි කරන සූර්ය පැනල මගින් මෙගා වොට් 600 ක විදුලියක් ජාතික පද්ධතියට එක්කෙරිණි. මේ වෙද්දි එම අගය මෙගා වොට් 700 දක්වා වැඩි වී තිබේ. මේ යහපත් ප්‍රවණතාව අඩාළ කිරීමේ අරමුණින් පුනර්ජනනීය විදුලිය ඒකකයකට ගෙවනු ලබන මුදල රුපියල් 10 න් අඩු කිරීමට ලංවිම කටයුතු කරමින් සිටියි. මෙය සැලකිය හැක්කේ විහින් කර ගැනීමට හදන විනාශයක් වශයෙනි.
(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
උත්තරය විදුලි ගාස්තු නැංවීම විතරද?