ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් පියවරයන්ට ස්තූතිවන්ත වන්නට ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ කොරෝනා වසංගතය බලපෑ රටවල ලැයිස්තුවේ අවසන් හරියට වන්නටය.

මෙම සතිය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2000 ක් පමණ වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. කෙසේවුවත්, එසේ යැයි ශ්‍රී ලංකාවේ සියල්ල යහපත් අතට හැරී ඇති බවක් කිසිසේත්ම අදහස් නොකෙරේ.

වෛරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීම සදහා ගැනුණු පියවර හමුවේ මෙරට තවදුරටත් ආසාදිත පොකුරු හදුනාගැනීමට නොතිබෙතත්, විදේශයන්හි සිට පැමිණෙන්ණෝ ආසාදිතයන්ගේ ගණනට තව තවත් අය එකතු කරමින් සිටිති. මෙවැනි තත්ත්වයක් සමග බැඳී තිබෙන විවිධ අභියෝගයන් දැනටමත් එකින් එක මතු වෙමින් පවතී.

ඉදිරියේ එන සති, මාස ඇතුළත තව තවත් බරපතල වන අභියෝගයන්ද ඒ අතර පවතින බව හදුනාගන්නට තිබේ. සාමාන්‍ය ජනතාව සැළකීමේ දී, මේ සියල්ලේ සරල අදහස වන්නේ තවදුරටත් පැනවෙනු ඇති ආරක්ෂක පියවරවලට අනුගතවීමටත්, ආර්ථිකයට දරුණු ලෙසම වැදෙමින් පවතින ප්‍රහාරය හමුවේ තව තවත් පටිතද කරගැනීමටත්, ඔවුන්ට සිදුවනු ඇති බවය.

ගෙවුණු සතිය වන විට ලොව පුරා ලක්ෂ 83 කට ආසන්න ජනතාවක් මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව සිටියහ. ඉන්දියාවෙන්, එක් දිනක් ඇතුළත පමණක් ආසාදිතයන් 12,281 දෙනෙක් වාර්තා වූ අතර, එය මෙතෙක් දිනක දී, වාර්තාවී ඇති ඉහළම ආසාදිතයන් ප්‍රමාණයයි. එරට දකුණුදිග පිහිටි තමිල්නාඩු ප්‍රාන්තය නැවත වරක් අගුළුලෑමට (ලොක්ඩවුන්) ඉන්දියා බලධාරීන් පියවර ගෙන ඇත. එම ප්‍රදේශයෙන් වාර්තාවූ ආසාදිතයන් ප්‍රමාණය 55,000 ඉක්මවීම එයට හේතුවයි.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාව බොහෝ ආකාරයන්ගෙන් බලපානු ඇතැයි කීමම උද්ගතව තිබෙන තත්ත්වය සුලු කොට දැක්වීමකි. නිසැකවම, සංචාරකයන්ගේ පැමිණීම පහත යනු ඇත. අනෙක් පසින් වෙළද කටයුතු සීමාවීමද සිදුවනු ඇත.

මෙවන් තත්ත්වයකදීම, ඉන්දියාව සහ චීන හමුදා අංශ සාමාජිකයෝ හිමාල කදුකරය ආශ්‍රිත ලදාක් ප්‍රදේශයේ පිහිටා තිබෙන ගල්වාන් නිම්නයේදී එකිනෙකා හා ගැටුමක් ඇතිකරගත්හ. එහිදී හමුදා සාමාජිකයන් 20 දෙනෙකු සහ එක් හමුදා නිලධාරියකු මරණයට පත්වූ බව ඉන්දියාව නිවේදනය කළේය. සිරභාරයට ගත් 10 දෙනෙක් පසුව නිදහස් කිරීමට චීනය පියවර ගත්තේය.

1967 වසරින් පසු දෙරට අතර බරපතල මට්ටමින් ඝට්ඨනයක් සිදුවූ පළමු අවස්ථාව වන මෙය ඉතා බරපතල සිදුවීමකි. ඒ හමුවේ චීනයට ප්‍රතිචාර දැක්විය යුතුව ඇතැයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිට දැඩි පීඩනයක් එල්ල විය. එහිලා, චීනය ඉන්දියාව ආක්‍රමණය කර ඇතැයි නැගෙන චෝදනාවලට කුමන අන්දමේ ප්‍රතිචාරයක් දැක්විය යුතුදැයි පොදු එකගතාවයකට පැමිණීම සදහා ඔහු ඉන්දියාවේ දේශපාලන පක්ෂ නායකයින් හා සාකච්ඡා කළේය.

ඉන්දියානු ජනතාවගේ හැගීම් තවත් කුපිත කරවීමට හේතුවක් වෙමින් මියගිය හමුදා සාමාජිකයන්ගේ අවසන් කටයුතු සිදුවන ආකාරය සජීවීව විකාශනය කිරීමට එරට රූපවාහිනී ආයතන කටයුතු කළේය. චීනයේ නිශ්පාදනය කරන ලද භාණ්ඩ භාවිතය අත්හරින ව්‍යාපාරයක් දැන් ඉන්දියාවේ ක්‍රියාත්මක අතර, ඊට ඌණ පූර්ණයක් දෙමින්දෝ දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් ලබාගැනීමට චීනය සමග එළැඹ සිටි ගිවිසුමක් අවලංගු කිරීමට ඉන්දියා දුම්රිය සේවය පියවර ගත්තේය.

දෙරටේම ඉහළ හමුදා නායකයින් මේ වන සිටින්නේ උද්ගතව තිබෙන අර්බුදය සමනය කරගැනීම සදහා සාකච්ඡා පවත්වමිනි. නමුත් අනෙක් පසින්, චීනය ඉන්දියාවට චෝදනා කර ඇත්තේ ඉන්දියානු ආරක්ෂක අංශ සාමාජිකයන් බලය භාවිතා කර ඇතැයි කියමිනි. එම චෝදනාව ප්‍රතික්ෂේප කරන නවදිල්ලිය පෙරළා දොස් පවරමින් සිටින්නේ චීන හමුදා භටයන්ටය.

මෙම න්‍යෂ්ඨික බලවතුන් දෙදෙන අතර වර්ධනය වෙමින් පවතින විරසකය ශ්‍රී ලංකාවට බලපානු ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මස පැවැති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස දිව්රුම්දීමටත් පෙරම, අදහස් හුවමාරු කරගත්තේ ඉන්දියානු අගමැතිවරයා සමගිනි. ජනපති රාජපක්ෂගේ පළමු නිල සංචාරය යෙදුණේද ඉන්දියාවටය. එයද, ජනපතිවරයා ලෙස පත්ව යන්තම් සති 2 ක ඇවෑමෙනි. නව ජනපතිවරයෙක් පත්වූ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි පළමු රාජ්‍ය නායකයාවූයේද මෝදිය. නමුත් කෝවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එම සංචාරය කල්දැමීමට හේතුවිය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ගෙවුණු පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත විය. එහිදී, විශේෂකොටම ඔහු ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලබාදී තිබෙන ණය සදහා සහනයකි. කෝවිඞ්-19 වසංගත තත්ත්වයට පෙර සිටම මෙරට ආර්ථික අර්බුදයක් ඇතිවන ලකුණු පහළව තිබූ බව ඉන් පැහැදිලිය.
“අවුරුදු 5 ක යහපාලන පාලනය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය තමයි එවැනි තත්ත්වයක් ඇතිවෙන්නට හේතුව” යයි අගමැති රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් හා යෙදුණු විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවේය.

මැයි මාසයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නවදිල්ලියේ සිටි ඉන්දීය අගමැතිවරයා සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ විය. දෙදෙන අතර වූ සංවාදයේ දී ඔහු දැනට තිබෙන ඩොලර් ලක්ෂ 4000 ක සීමාව තවදුරටත් ඉහළ නංවා, ඩොලර් කෝටි 11 ක හුවමාරු ණයක් ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මෙම මුදල් ප්‍රමාණයන් එක්සත් ජනපද ඩොලර්වලින් සඳහන් කර ඇති වුවත්, එකඟතාවය හරහා ආවරණය කෙරෙන්නේ ඉන්දියා සහ ශ්‍රී ලංකා මුදල් ඒකකයන් දෙවර්ගයෙන්ම ගත්විට සමාන වන - එම මුදලේ වටිනාකමට සරිලන මුදල් ප්‍රමාණයකි. නව දිල්ලිය හා කොළඹ අතර සබදතා ඉතා හොද මට්ටමක පවතී. එය  ඇතැම් විට කලින් පැවැති සිරිසේන - වික්‍රමසිංහ රජයටත් වඩා ඉහළ තත්ත්වයක පවතින බව මෙම සංවාදයන්ගෙන් පෙනී ගියේය.

ගෙවුණු සතියේදී ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ තාවකාලික සාමාජිකයකු ලෙස පත්වීම සදහා මනාප විමසුමට ඉදිරිපත්ව සිටි ඉන්දියාවට සිය මනාපය ලබාදුන්නේය. ශ්‍රී ලංකාව එසේ කළේ, මනාපය තමන්ට ලබාදෙන ලෙස නෝර්වේ සහ කැනඩාව කළ ඉල්ලීම් හමුවේම වීම විශේෂය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192 න් 186 කම මනාපය හිමිවූයේ ඉන්දියාවටය. ශ්‍රී ලංකාව, ආරක්ෂක කවුන්සිලයේ ආසන 2ක් දිනාගැනීමට බටහිර යුරෝපා කලාපය සහ වෙනත් කණ්ඩායම් නියෝජනය කරමින් තිදෙනෙක්ම - කැනඩාව, අයර්ලන්තය සහ නොර්වේ, ඉදිරිපත්ව සිටියද ඒ කිසිවෙකුටත් සිය මනාපය ලබානොදීම පුදුමසගහත දෙයක් වූ බව කොළඹ සිටින රාජ්‍ය තාන්ත්‍රික ආරංචිමාර්ගයන් සදහන් කළේය. මේ හමුවේ කොළඹ ඇතැම් රාජ්‍ය තාන්ත්‍රිකයන් සැබැවින්ම පුදුමයට පත්වූ බවද දැනගත හැකිවිය.

අනෙක් අතට, බෙදුම්වාදී යුද සමයේ දී මෙරට ආරක්ෂක අංශවලට අවශ්‍ය යුද උපකරණ සැපයීමෙන් ආධාර උපකාර ලබාදුන් චීනය රාජපක්ෂවරුන් සමග පවත්වාගෙන ගියේ ඉතාම සමීප සබදතාවයකි. පැවැති රාජපක්ෂ පාලන සමයේදී, හම්බන්තොට වරාය, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ඇතුලු තවත් ව්‍යාපෘති ගණනාවකටම මුල්‍ය සහාය ලබාදුන්නේ චීනයයි. ගෙවුණු අප්‍රේල් මාසයේදී චීනයේ සංචාරයක යෙදීමට ජනපති රාජපක්ෂ මහතා සැළසුම් කර තිබුණත් කෝවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ එය අවලංගු කිරීමට සිදුවිය.

චීන සහාය යටතේ තවත් මෙරට ව්‍යාපෘති දියත් කිරීමට සැළසුම් කර ඇත. නමුත්, චීනයේ නැවත කොරෝනා වෛරසය හිස ඔසවමින් සිටින තත්ත්වයක් ඇතිව තිබීම හමුවේ බීජිං නුවර ඇතැම් ප්‍රදේශයන් අගුලුලෑමට පියවර ගෙන තිබීම, කොරෝනා නැවත ආගමනයක බියක් ඇතිකර තිබේ. පෙර අවස්ථාවේ වෛරසය ව්‍යාප්ත වූයේ වූහාන් ප්‍රාන්තයේ සිට බව පැවසුනේ නම්, වාර්තාවලට අනුව මෙවර ව්‍යාප්තිය සිදුව ඇත්තේ බීජිං නුවර විශාලතම ආහාර තොග වෙළදාම් කටයුතු සිදුවන ෂින්ෆාඩි ආහාර මධ්‍යස්ථානයේ මුහුදු ආහාර අංශයෙනි.

ඉන්දියාව සහ චීනය ගැටුමක පැටලී සිටින අවස්ථාවක, නවදිල්ලිය සහ බීජිං නුවර අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා තුලනය කරගැනීම කොළඹ ඉතාම සංවේදි ස්ථානයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙවන් සන්දර්භයක, ජනපති ගෝඨාභයට විවිධ දිශාවන් ඔස්සේ විහිදෙන ගැටලු රාශියකට මුහුණදීමට සිදුව තිබේ.

දැනට ඔහු ප්‍රමුඛත්වය දී තිබෙන්නේ ලබන අගෝස්තු මස 5 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව පැවැත්වීමට සහ වහාම ආර්ථිකය නගා සිටුවීමට ගත යුතු ක්‍රියාමාර්ගයන්ටය. මෙම කාරණා සම්බන්ධයෙන් ඔහු පැහැදිලි ලෙසම අවධානය යොමුකර තිබෙන බව ගෙවුණු සතියේ වූ සිදුවීම්වලින් තවදුරටත් තහවුරු විය.


ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර