IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ආර්ථික පනතේ ඉලක්ක සැබෑවේද?

ඉකුත් මාර්තු 21 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංදේශයකට අනුව දැන් “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්වන බව දැන ගැනීමට ඇත. ඒ සඳහා කෙටුම්පත සූදානම් කිරීමට නීතිපතිට සහ නීති කෙටුම්පත් සම්පාදකට ඉකුත් අප්‍රේල් මස 02 වැනි දින අමාත්‍ය මණ්ඩල ලේකම් මගින් දැනුම්දීමක්ද කර තිබුණි.

එම කෙටුම්පතෙහි මූලික පිටපත සකස්කර ඇත්තේ ජනාධිපති විසින් ශ්‍රී ලංකාවට ආයෝජන ලබා ගැනීමේ වටපිටාව දියුණු කිරීම වෙනුවෙන් යෝජනා සැළසුම් සකස් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයෙහි පිහිටවූ විශේෂ කමිටුවක් විසිනි. ඒ අනුව සම්පාදනය කර ඇති “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” සම්මත කෙරුණහොත් මේ රටේ ප්‍රතිපත්ති සකස් කිරීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජ්‍ය ව්‍යුහයෙහි බරපතළ වෙනස්කම් සිදු කරනු ඇත.

එකී යෝජිත පනතින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ඇතිකර ගෙන තිබෙන ගිවිසුම අනුව බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම, “ජාතික ආර්ථික පරිවර්තන ප්‍රතිපත්තිය” යටතේ නීතිගත කෙරෙන්නේය. ඉන්පසු නැවත පනත සංශෝධනය කිරීමකින් තොරව කිසිදු ආණ්ඩුවකට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමග ඇති ගිවිසුමෙන් බැහැරව කටයුතු කළ නොහැක.

එවගේම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අදාල පනතත් සමගම අහෝසි කෙරෙන්නේය. ඒ වෙනුවට දස දෙනකුගෙන් සමන්විත “ආර්ථික කොමිසමක්” ස්ථාපිත කෙරෙන්නේය. ජාතික ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇමතිවරයාට උපදසේ දීමට, එකී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෝජිත ආර්ථික කොමිසම යටතේ තවත් ආයතන සතරක් පිහිටුවනු ලැබේ.

දැනට සමස්ත ලංකාවම ආවරණය කරමින් ආයෝජන මණ්ඩලයෙන් සිදු කළ යුතු කාර්ය එකී ආයතනවලට පවරනු ලැබේ. ඉන් එක් ආයතනයක් පෞද්ගලික සමාගමක් ලෙස පිහිටුවනු ලබන්නකි. එහි වගකීම වනුයේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා ආර්ථික කොමිසමට අත් උදව් කිරීමය. එවගේම මේ පනත යටතේ මහින්ද රාජපක්ෂ කියන ආකාරයේ රජයේ ව්‍යාපාර පමණක් නොව, නිදහස් වෙළෙඳ කලාප පවා පෞද්ගලීකරණය කළ හැක.

මේ සියල්ල ආර්ථිකයේ ප්‍රධාන සක්‍රීය පාර්ශව දෙකෙන් වැදගත්ම පාර්ශවය වන “සේවක පාර්ශවය” සමග කිසිදු ගනුදෙනුවක් නොමැතිව තීන්දු කෙරුණු බරපතළ වෙනස්කම් ය. පෞද්ගලික හා රජයේ අංශ නියෝජනය කරන වෘත්තීය සමිති මේ සම්බන්ධ හරියාකාර තොරතුරු තවමත් නොදන්නවා විය හැක. එහෙත් පෞද්ගලික අංශයේ මිලියන දෙකහමාරක පමණ සේවක සේවිකාවන්ගේ අනාගත ජීවිත සුරක්ෂිතභාවය මේ පනතින් තීන්දු කෙරෙණු ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත් දිනෙක කර තිබූ ප්‍රකාශයට අනුව, මේ ජනාධිපතිට සහ ඔහුගේ ආණ්ඩුව ලෙස කටයුතු කරන බහුතර මන්ත්‍රී කණ්ඩායමට රජයේ ව්‍යාපාර මොනම ආකාරයකින්වත් පෞද්ගලීකරණය කිරීමට වරමක් නැතැයිද එවැනි ජනවරමක් ඉදිරි මැතිවරණයකින් ලබාගත යුතු යැයිද, එතෙක් ඊට අදාල කිසිදු පියවරක් නොගත යුතු යැයිද කියූවත් ඉන් එහා යන පෞද්ගලීකරණ ක්‍රියාවලියක් මෙම “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” සම්මත කළ වහා නීතිගත වන්නේය.

සමස්ත ආර්ථිකයම එලෙසින් උඩු යටිකුරු කෙරෙන මෙවැනි නීති සම්පාදනය කිරීමට මේ ජනාධිපතිට                     හා පාර්ලිමේන්තුවට මහින්ද රාජපක්ෂ කියූ ජනවරම පමණක් නොව, සදාචාරාත්මක අයිතියක්ද නැත. ජනාධිපති ධූරයට වික්‍රමසිංහ පත්වන්නේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් මගින්ය. ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත පරාජයට පත් වූවෙකි. පක්ෂයේ ආරවුල් මැද ඔහු ප්‍රමාදව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වන්නේ, ඔහුම 2010 මැතිවරණයෙන් පසු මනෝ ගනේෂන් ජාතික ලැයිස්තුවෙන් පත් කළ නොහැකි යැයි ඉදිරිපත් කළ සියලු‍ තර්ක, හේතු දැක්වීම් නොතකා ය. එදා ඔහු මනෝ ගනේෂන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවේ මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට බාර දුන් ජාතික ලැයිස්තුවෙහි නොමැති හෙයින් එවැනි මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කළ නොහැකි යැයි කීමෙනි. ඔහුද මනෝ ගනේෂන් මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නට හැම අතින්ම නුසුදුස්සෙක් විය. එහෙත් ඒ කිසිවක් ඔහු ඔහුට අදාල නොකරගෙන මන්ත්‍රී විය. එනිසා ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය සමගින් වූවත් ඔහු ජනාධිපති ධූරයෙහි අසුන් ගන්නේ කෙසේද?

විශාල ජන වරමක් ලැබූ ජනාධිපති වරයකු නැවත ජන බලයක් හමුවේ ඉවත් කෙරුණු විට, ඉතිරි ධූර කාලය වෙනුවෙන් පත් කෙරුණු ජනාධිපතිවරයකුට රටක ජාතික ප්‍රතිපත්ති සහමුලින් වෙනස් කිරීමට ඇති සදාචාරමය අයිතිය කුමක්ද?

මේ පාර්ලිමේන්තුවද එවැනිම ය. මේ පාර්ලිමේන්තුවට මෙන්ම මෙහි බහුතරයටද දැන් ජනවරමක් නැත. ඔවුන් පාර්ලිමේන්තුවෙහි නඩත්තු කරන්නේ ඔවුන්ට ඡන්දය දුන් ජනතාවගේ ජනවරම නොවේ. ඔවුන්ගේ දේශපාලන බලය රැක ගැනීමේ අවශ්‍යතාව පමණි. මේ මන්ත්‍රීවරුන් තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ අවශ්‍යතා වලට පටහැනිවය. කුරිරු ආර්ථික අහේනියකට හසුව ඉන්නා බහුතර ජනතාවක් ගැන කිසිදු වගක් නොමැතිව, තමන්ට බදු රහිත වාහන ලබා ගැනීමේ බාල වරප්‍රසාදය බුක්ති විඳින්නට තීන්දු ගන්නා පාර්ලිමේන්තුවකට, තමන්ට ලැබෙන රුපියල් ලක්ෂ දහයක රක්ෂණ ආවරණය තම පවුලේ සෙසු සාමාජික සාමාජිකාවන්ටද ලබා ගැනීම ගැන කතා වන්නේ යැයි කියන පාර්ලිමේන්තුවකට, ජන ජීවිතයට සෘජුව බලපාන්නාවූ “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” වැනි පනත් සම්මත කිරීමේ කිසිදු සදාචාරමය අයිතියක් නැත. ලාංකීය වීසා නිකුත් කිරීමේ තීන්දු සහ ඊට සම්බන්ධ දූෂණ චෝදනා ගැන විමසීමට මහජන මුදල් පිළිබඳ කාරක සභාවට අදාල අමාත්‍යාංශ නිලධාරීන් කැඳවා ගැනීමට තරම් අධිකාරී බලයක් නොමැති පාර්ලිමේන්තුවකට “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත” වැනි පනත් සම්මත කිරීමට සදාචාරාත්මක බලයක් හා අයිතියක් තිබිය නොහැක.

මේ මස අවසන් වන්නට පෙර යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හදිස්සියක් ජනාධිපතිට ඇතැයි කතා වන්නකි. ඊට එරෙහිව වෘත්තීය සමිති ගන්නා පියවර මෙවර හෝ නොසැළෙන, ශක්තිමත් එකමුතු පියවරක් නොවන්නේ නම්, ඉන් පරාජය වන්නෝ ලක්ෂ ගණනක සේවක සේවිකාවෝය. අගතියට පත් වන්නේ ඔවුන්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ අනාගත ජීවිතය. මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව ඇති මේ යෝජිත පනත් කෙටුම්පත ගැන සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ස.ජ.බත් අනුර කුමාර හා ඔහුගේ ජා.ජ.බත් ස්ථිර ප්‍රතිපත්තියක සිට කටයුතු කරනු තවම දකින්නට නැත.

එහෙත් අප බලා සිටින්නේ ජනාධිපති වික්‍රමසිංහට සහ ආණ්ඩුවට පෞද්ගලීකරණය කිරීමේ ජනවරමක් නැතැයිද එබැවින් එවැනි තීන්දු තීරණ අත්හිටවිය යුතු යැයිද විවෘත දැනුම්දීමක් කළ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පනත සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක්දැයි කියා ය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් පරාජය කරන්නේ යැයි ඔවුන් කල් තබා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනු ඇතිද? අපි බලමු.

(*** කුසල් පෙරේරා)



අදහස් (0)

ආර්ථික පනතේ ඉලක්ක සැබෑවේද?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28489 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18197 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10973 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site