IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


ආර්ථික ප්‍රතිපත්ති විමසුමක්

මෙරට ආර්ථිකය සංවර්ධනය කිරීමේ ඉලක්ක පිළිබඳව අපගේ අවධානය වැඩි වශයෙන් යොමුවන්නේ අප ආර්ථික අර්බුදයකට මුහුණ පෑ නිසාය. දැනටත් එහි යම් යම් සෙවණැලි දැකිය හැකිය. රටකට ආර්ථික සංවර්ධනයේ දී මූලිකව අවශ්‍ය වන දෙයක් නම් කාර්මිකකරණය යි. එයින් මූලිකව අපේක්ෂා කෙරෙන්නේ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සහ ඒවා අපනයනය කිරීමෙන් අපනයන ආදායමක් ලබා ගැනීම ය.

1977 බලයට පත් වූ ආණ්ඩුවට ද මෙවැනිම ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු විය. එකල ද ආර්ථිකය විශාල වශයෙන් සංකෝචනය වීමෙන් ආර්ථික කටයුතු ඉතාමත් සීමා සහිතව තිබුණි. ලෝක ආර්ථිකයත් සමග සම්බන්ධතාවක් නොමැතිව කොටු කරන ලද පාලිත ආර්ථිකයක් මෙකල දක්නට ලැබුණි. ඔවුන්ට පැවැති අභියෝගය වූයේ මෙයින් පිටතට යන මාර්ග සෙවීම ය. එහිදී ද ඔවුන් කල්පනා කළේ විදේශ ආයෝජන රටට ගෙන්වා ගන්නේ කෙසේද?, වැවිලි ආර්ථිකයෙන් ඔබ්බට ගොස් කාර්මික ආර්ථිකයක් වෙත යොමුවන්නේ කෙසේද? යන්න ය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිහිටුවීමට පෙර ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු හා සම්බන්ධ වූයේ මහ කොළඹ ආර්ථික කොමිසම ය. නිදහස් වෙළඳකලාප ආදිය ඇතිකොට බිලියන පහක පමණ ආයෝජනයක් අප ළඟා කරගන්නේ ඒ නිසා ය.

රැකියා අවශ්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක් දැන් අපේ රටේ පැන නැගී තිබේ. 1977 කාලයේ  පැවතියේත් මෙවැනිම තත්වයකි. 1978 අය වැයේ දී රොනී ද මැල් මුදල් ඇමතිවරයා සඳහන් කළේ පළමුවැනිවත් රැකියා, දෙවනුවත් රැකියා තෙවනුවත් රැකියා යනුවෙනි. දැනට ලංකාවේ රැකියා වියුක්තිය සියයට පහ ඉක්ම වූවකි. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ විදේශගතවන පිරිස ද වර්ධනය වී ඇත. මේ ගැටලු‍වලට විසඳුම් තිබෙන්නේ කාර්මිකකරණයට යොමු වී අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීමෙනි. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ ලංකාවේ ව්‍යවසායකයන්ට මේ සඳහා ශක්තියක් නොමැති වීමය. අනෙක් අතට ලංකාවේ ව්‍යවසායකයන් ඇත්තේ සුළු පිරිසකි. ක්ෂේත්‍රය තුළ සිටින මෙරට බොහෝ දෙනාගේ ඇත්තේ ව්‍යවසායක ලක්ෂණ නොව  ව්‍යාපාරික ලක්ෂණවේ. ව්‍යාපාරිකයකුගේ ලක්ෂණය යම් යම් කටයුතුවලින් මුදල් ඉපයීමය. එහෙත් ව්‍යවසාය යනු නවෝත්පාදන, නව සොයා ගැනීම් ඔස්සේ ව්‍යාපාර කිරීම ය.

ලංකාවේ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් බොහෝ විට පුරුදුව සිටින්නේ සුළු පරිමාණ කටයුතුවලින් එදිනෙදා ලාබ ඉපැයීමය. එහෙත් දීර්ඝ කාලීනව කර්මාන්තවල නිරත වී පර් යේෂණ සිදුකොට, වෙළෙඳපොළ සොයා සපයාගෙන,  විශාල ප්‍රාග්ධනයක් යොදවා, දීර්ඝ කාලීන අවදානම දරන  කටයුතුවලට ලංකාවේ ව්‍යවසායකයන් යොමුවන බවක් පෙනෙන්නට නැත. විදේශීය ආයෝජන හා විදේශීය ව්‍යවසායකයන් ලංකාවට අවශ්‍ය වන්නේ මේ නිසාය.

වර්තමානයේ දී මෙරට ආර්ථිකය වේගයෙන් දියුණු කිරීමට අවශ්‍ය වන්නේ එමගින් රැකියා  උත්පාදනය කරගැනීමේ හැකියාව මෙන්ම පුද්ගල ආදායම දියුණු කරගැනීමේ හැකියාව  පවතින බැවිනි. ආර්ථිකය වේගයෙන් දියුණු කිරීමට නම් අපි ලෝකයේ කාර්මික අපනයන ජාලයට සම්බන්ධ විය යුතු වෙමු. අප තව දුරටත් සාම්ප්‍රදායික නිෂ්පාදන හා කෘෂිකර්මාන්තය මත පදනම්ව මෙම ඉලක්ක ජය ගත නොහැකි ය.

1977 දී ද අපි මේ සඳහා ප්‍රයත්න දැරුවෙමු. එය මුල්කාලීනව යම් සාර්ථකත්වයක් ලැබූවත් පසුකාලීනව අසාර්ථක විය. විදේශීය ආයෝජන අඩු විය. එය වාර්ෂිකව ඩොලර් බිලියනයකටත් අඩු අගයක් දක්වා පහළ මට්ටමක් ගෙන තිබුණි. පසුගිය අවුරුදු 45 ක පමණ කාලයක සිට ලෝකයේ විදේශ ආයෝජන විශාල ප්‍රමාණයකින් වැඩි වී තිබේ. මේ වැඩි වීමට සාපේක්ෂව ඒ ආයෝජන අත්පත් කර ගැනීමට ලංකාවට හැකියාවක් ලැබුණේ නැත. එහෙත් මියන්මාරය, බංග්ලාදේශය, වියට්නාමය වනි රටවල් පසුකාලීනව විශාල පරිමාණයෙන් විදේශ ආයෝජන ලබා ගැනීමට සමත් වූ බව පෙනේ. එය වසරකට ඩොලර් බිලියන 20 - 24 හෝ  ඊටත්  වැඩි ප්‍රමාණයකින් යුතු අගයක් විය. පසු කාලීනව විදේශ ආයෝජන කැඳවීමට යොමු වූ බංග්ලාදේශය, මියන්මාරය වැනි රටවල් අද අපනයනය අතින් සහ කාර්මිකකරණය අතින්  බොහෝ ඉදිරියෙන් සිටී. 

ආයෝජකයන්ට වාසි අත්වන අන්දමේ ප්‍රතිපත්ති සම්පාදනය වෙත අවධානය යොමු වී ඇති මේ අවස්ථාවේ අතීතයේ අප අසාර්ථක වූයේ කොතැනදැයි හඳුනා ගැනීම වැදගත් වේ. 77 දී අප මේ සම්බන්ධයෙන් දැරූ ප්‍රයත්නය මුලින් පැහැදිලි කළේ මේ නිසා ය. ආයෝජකයන් ගෙන්වා ගැනීමේ දී ප්‍රතිපත්ති සම්පාදනය කළ  යුත්තේ සැලසුම් සහගතවය. ලෝකයේ නිෂ්පාදන ක්‍රමය හා වෙළෙඳාම තුළ අද ක්‍රියාත්මක වන්නේ ලෝක අගය එකතු කිරීමේ දාමයකි. නිෂ්පාදන ක්‍රියාවලියේදී රටවල් ගණනාවක ගනුදෙනුවක් සිදුවේ. අද ලෝකයේ කර්මාන්ත එක තැනක පවතින්නක් නොවේ. එය ලොව පුරා ඇවිද යන්නකි. එහිදී අඩුම බදු සහිත රට කුමක්ද?, අඩුම ශ්‍රම පිරිවැය සහිත රට කුමක්ද?, වැඩිපුරම සහන ඇත්තේ කොතැනද?, වැඩිම ආරක්ෂාව ඇත්තේ මොන රටේ ද?, වැඩිම පහසුකම ඇත්තේ කුමන රටේ ද?, වෘත්තීය සමිති අඩුම රට කුමක්ද?, ආදී කරුණු ගැන නිෂ්පාදකයන්ගේ අවධානය යොමු වේ.

ආයෝජකයන් විදේශවල ආයෝජන ආරම්භ කරන්නේ ඇයි ද යන්න ද සැලකිය යුතුය. එකක් නිෂ්පාදන පිරිවැය අධික වීමය. අනෙක තරගකාරී වෙළෙද පොළය. තරගයක් ලබාදීමට නොහැකිවන ව්‍යාපාර පිට රටකට විතැන් වීම සිදුවේ. ලෝක අගය එකතු කිරීමේ දාමය ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය. මවු රටේ දී මුහුණ දුන් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි මෙම අනුග්‍රාහක රටවලදී ඔවුන් කරන්නේ. ආයෝජකයන්  තරගයට මුහුණදීමේ හැකියාව වර්ධනය කරගන්නේ ඒ අනුවය. ව්‍යාපාරයේ පැවැත්මට එය බලපාන්නකි. තුන්වැනි වරටත් ආයෝජකයන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරණ මේ මොහොතේ මේ කරුණු පිළිබඳ අප සාවධාන විය යුතුය.

1978 දී මෙම විදේශීය ආයෝජන ගෙන්වාගැනීමට උත්සාහ කළේ  මහ කොළඹ ආර්ථික කොමිෂම සමග සම්බන්ධ වීමෙනි. ඉන්පසු කාලයක මෙම මහ කොළඹ ආර්ථික කොමිසම ආයෝජන මණඩලය ලෙස වෙනස් කළේය. ඒ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ ය. ඔහු විශේෂයෙන් සලකා බැලු‍වේ   ආයෝජකයන්ට මිත්‍රශීලී පරිසරයක් ඇති කිරීමය. ඔහු අලු‍ත් පනතක් ගෙනාවේ ඒ වෙනුවෙනි.  ආයෝජන  මණ්ඩලය යනු එහි ප්‍රතිඵලය යි. එතෙක් වෙළෙඳ කලාපවලට පමණක් සීමා වී පැවැති විදේශීය ආයෝජන සහන ලංකාව පුරාම ව්‍යාප්ත කිරීම මේ නිසා සිදුවිය. ලංකාවේ කවර පළාතක ව්‍යාපාරයක් ආරම්භ කළද එම සහන ඔවුන්ට හිමිවීමේ පරිසරයක් මේ තුළ පැවතිණ. මේ අනුව ව්‍යාපාරිකයකු ආයෝජන මණ්ඩලය හා සම්බන්ධ වූ විට ඉතාම පහසුවෙන් තම ව්‍යාපාරයට අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීමට හැකියාව ලැබුණි. මුල් කාලයේ මෙය ඉතාමත් මිත්‍රශීලීව ක්‍රියාත්මක වුවත් ඇතැම් නිලධාරීන්ගේ විවිධ ප්‍රශ්න නිසා ආයෝජන මණ්ඩලය  මිත්‍රශීලී නොවන තැනක් බවට පත්වන්නට විය.

වංචාව දූෂණය ආදියට බොහෝ ආයෝජකයෝ එකඟ නොවෙති. ඉන්දියානු ආයෝජකයකු ලංකාවේදී මෙවැනි  කරුණක් මත නඩු මගට පිවිසි අවස්ථාවක් පිළිබඳවද මෑත ඉතිහාසයේ අපට වාර්තා වේ. ආයෝජන මණ්ඩලය මෙවැනි තත්වයකට පත්වීම නිසා මෙරටට ලබා ගැනීමට තිබුණ ආයෝජන අවස්ථා බිද වැටිණ. මෙය ලංකාවේ ඉතාමත් අවාසනාවන්ත තත්වයකි. මේ අවාසනාවන්ත තත්වය මේ රටේ සමස්ත රාජ්‍ය සේවයටම පොදු වූවකි. වර්තමාන රජය ආයෝජකයන් ගෙන්වා ගැනීමට තවත් වතාවක් මෙසේ උත්සාහ දරන අවස්ථාවේ මෙම කරුණ ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත් ය.   

ආයෝජන අවස්ථාවලට අප ප්‍රමාද වුවහොත් සිදුවන්නේ එම ආයෝජන වෙනත් ‍රටවල් වෙත යොමුවීමය.  අප මේ ලෝක ප්‍රවණතා කෙරෙහි අවධානය යොමු නොකළහොත් පරාජයට පත්වනු ඇත. ලෝකයෙන් උතුම් රට ලංකාව බව  අප උදම් අනමින් සිටියත් විදේශීය ආයෝජකයෝ ඒ ගැන නොසිතති. ඔවුන්ට ව්‍යාපාර සම්බන්ධයෙන් උතුම් රටවල් ඕනෑ තරම් වෙයි. ඔවුහු ඒ වෙත ඇදී යති. 

2020 වාර්තා අනුව ලංකාවේ ව්‍යවසායකත්ව මට්ටම ගත්තොත් ලෝකයේ රටවල් අතරින් ලකුණු සියයෙන් ලංකාවට ලැබී ඇත්තේ ලකුණු 22 කි. රටවල් 137 න් අප සිටින්නේ 90 වැනි තැනය. ව්‍යාපාර කිරීමේ පහසුව අතින් රටවල් 191 ක් අතරින් අප සිටින්නේ 99 වැනි තැන ය. ලෝක නවෝත්පාදන දර්ශකය අනුව ලකුණු සියයෙන් අපට ඇත්තේ ලකුණු 23 ක් පමණි. ආර්ථික සංකීර්ණතාව අනුව රටවල් 133 කින් අප සිටින්නේ 80 වැනි තැන ය. ලෝකයේ තරගකාරීත්වය අතින් රටවල් 140 කින් අප සිටින්නේ 70 වැනි තැනට ය. දූෂිතභාවය අතින් රටවල් 140 කින් අප සිටින්නේ 94 වැනි  තැනය. ආයෝජකයෝ රටකට පැමිණීමේ දී  මේ කරුණු ගැන සැලකිලිමත් වෙති.    

අප සකසා ගත් හා ක්‍රියාත්මක කළ පසුගාමී ආර්ථික ප්‍රතිපත්ති ගැන දැන් නැවත සිතා බලා ඒවායින් පාඩම් උගත යුතුය. ඒකායන ඉලක්කයක් ඇතිකොටගෙන වංචාවෙන් දූෂණයෙන් තොරව ඒ ඉලක්කය වෙත යා යුතුය. ඒ සඳහා ආයතන පද්ධතියක් තිබිය යුතුය. ඒ නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වේ. එය අලු‍ත් ලෝකයට ගැලපෙන සේ සැකසිය යුතුය. රජයේ වැඩපිළිවෙළ හා ආර්ථික ඉලක්කය සපුරා ගත හැක්කේ එමගිනි.

(*** සටහන – ගාමිණී කන්දේපොළ)



අදහස් (1)

ආර්ථික ප්‍රතිපත්ති විමසුමක්

Lalla Friday, 10 May 2024 10:46 AM

දේශපාලනඥයින් සහ ඉහළ සිට පහළටම රාජ්‍ය නිලධාරීන් ව්‍යවසායකයින්ගෙන් පගාව ඉල්ලීම තියෙන තාක් මේ රට දියුණුවට යන්නේ නෑ. අනික උපාධිධාරීන් බහුතරය රජයේ රැකියාවලට යන්න බලාගෙන ඉන්නේ. නිකම්ම පඩිගන්න බලාගෙන. මේක නවත්තන්න ඕනෑ අධ්‍යාපනය මගින්ම...

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඔව් මචං දැන්නම් පරක්කුයි
2024 මැයි මස 29 122 0

ප්‍රවීණ සංගීතඥයකු, ශක්ති හා සිහශක්ති සංගීත කණ්ඩායම්වල නායකයා වූ අභාවප්‍රාප්ත ආනන්ද පෙරේරා කලාකරුවාගේ අවසන් කටයුතු අද (29) මහයියාව පොදු සුසාන භූමියේදී


ශ්‍රියා මනමත් කළ ආනන්ද අයියා
2024 මැයි මස 28 734 3

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥයකු වූ ආනන්ද පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (29) මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.


රට හදන්න ප්‍රාෙයා්ගික සැලැස්මක් ඕනෑ
2024 මැයි මස 28 144 0

අද දේශපාලනයේ දිශානතිය, ආණ්ඩුවේ ගමන් මග, එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවෙළ, ජුනි 01 වැනිදා කෙරෙන්නේ කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් කළ විමසුමකි මේ.


බලයෙන් මත්වූ දේශපාලනය සමාජයෙන් පිටමං කරමු
2024 මැයි මස 28 178 0

අප රටේ දේශපාලකයන් සෑහෙන පිරිසක් සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇති සත්‍යයකි. එසේ සුව කළ නොහැකි රෝග අතර බලයෙන් ඉදිමීම, අතීතය අමතක


නව පනත් අර්බුදයට විසඳුමක්ද?
2024 මැයි මස 27 235 0

​2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්ව‍ාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හ


විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක
2024 මැයි මස 27 119 1

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 999 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2564 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2191 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site