(සටහන - රන්ජිත් ආනන්ද ජයසිංහ)

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසා මෙරට සමාජ ජීවිතය අකර්මන්‍යය වී ඇති බව අපි කවුරුත් පිළිගනිමු. ඒ සමඟ ජාතික ආර්ථිකය ද අඩාල වී ඇත. කෘෂිකර්මය සඳහා ගොවි ජනතාවට ඉඩ කඩ ලබාදී ඇතත්, කර්මාන්ත අංශය ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදී තිබේ. අපේ රටේ ඇඟලුම් කර්මාන්තය ප්‍රධානම ආදායම් මාර්ගයකි. දශක ගණනාවක් පුරා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් මෙන්ම කුඩා නිෂ්පාදකයන්ද මෙයින් ඵල ලබාගත් බව ප්‍රකටය. එහෙත් ඇඟලුම් කර්මාන්තයට චීනයෙන් ගෙනෙන අමුද්‍රව්‍ය කොරෝනාව හේතුකොටගෙන ගෙන ඒම දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බැවින් උද්ගතව ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි.

මෙයට අමතරව ඇඟලුම් කර්මාන්තය තවත් ප්‍රශ්නයකට මුහුණ දෙයි. අප්‍රේල් සහ මැයි මාස සඳහා යුරෝපා රටවලටත්, ඇමරිකාවටත් අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය කළ ඩොලර් මිලියන 500කට අධික ඇඟලුම් තොග අපනයනය කරගත නොහැකිව ගොඩගැසී තිබේ.

අනෙක් පැත්තෙන් කලින් චීනයෙන් ආනයනය කර තිබූ රෙදි හා අමුද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් ඉතිරිව ඇති බැවින් ඒවා උපයෝගි කරගෙන යම් මට්ටමකට (ටික දවසක්) මෙම කර්මාන්තය පවත්වාගෙන යා හැකිය. එහෙත් එය තාවකාලික විසඳුමකි. දැනට අපනයනය කර තිබෙන ඇඟලුම් තොග වෙනුවෙන් මෙරටට ලැබිය යුතු මුදල් ගෙන්වා ගත නොහැකිව ඇත. එයට හේතු වී ඇත්තේ සමහර සුපිරි සමාගම් පවා අර්බුදයේ පැටලී ඇති හෙයිනි.

මාර්ටින් ට්‍රස්ට් වැනි ලෝකප්‍රකට දැවැන්ත සමාගම් පවා මෙම අර්බුදයේ ගිලී ඇත. වෙළෙඳපොළ මෙන්ම සැපයුම් අංශ නතර වීම හේතුවෙන් මෙරටට ආදායම් සැපයෙන ප්‍රධානම අපනයන අංශය වන ඇඟලුම් ක්ෂේත්‍රය විශාල ප්‍රශ්නයකට මුහුණ දී ඇත. එයින් නිදහස්වීම කවදා සිදුවේ දැයි අපට කිව නොහැක්කේ ඇමෙරිකාව, එංගලන්තය වැනි අපෙන් භාණ්ඩ මිලට ගන්නා රටවල් කොරෝනා තත්ත්වය හේතු කොටගෙන බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින නිසා ය.

මා මෙහිදී සඳහන් කළේ මේ එක් සරල උදාහරණයක් පමණි. පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක ආර්ථිකයම දැන් තිබෙන්නේ විශාල අර්බුදයක ය. ලෝකයේ ලොකුම ආර්ථිකය ඇත්තේ ඇමෙරිකාවේ ය. එහි ආර්ථිකය දැන් මාසයක් ඇණහිට තිබේ. ඒ ඇණහිටීමේ කම්පනය ඇමෙරිකාවේ ප්‍රාන්තවලට පමණක් නොව, ඔවුන් සමඟ ගනුදෙනු කරන අප වැනි රටවල් රාශියක ආර්ථිකයන් කම්පනයට ලක්කර ඇත. එරට ප්‍රධාන වාණිජ්‍ය නගරය ලෙස සැලකෙන නිව් යෝර්ක් ආර්ථිකය පාලනයෙන් තොර මට්ටමකට පත්ව ඇතැයි වාර්තා වෙයි.

පවතින මහා ව්‍යසනයෙන් ගොඩ එන්නට ලොව බොහෝ රටවල් විවිධ උපක්‍රම සොයද්දී මහ බලවත් ඇමෙරිකාව එරට ආර්ථිකය පණගන්වන්නට ඩොලර් ට්‍රිලියන 2ක මුදලක් අලුතෙන් අච්චු ගස්වා වෙළෙඳපොළට නිකුත් කළේය. එතරම් මුදලක් නිකුත් කළ ද එරට ප්‍රාන්ත රාජ්‍ය කියන්නේ තමන්ට ප්‍රමාණවත් මුදල් නොමැති බවකි.

පසුගිය වසර 10ක කාලයක් තිස්සේ එරට නිපදවූ රැකීරක්ෂා සියල්ලම ඇණ සිටි හෙයිනි. අප ද මෙයින් පාඩම් උගත යුතුය. අප රටේ ද බොහෝ ක්ෂේත්‍රවල රැකියා අහිමි වීමේ අවදානමක් පවතී. අප රටේ කොටස් වෙළෙඳපොළ වැනි ඉහළ ආර්ථික මර්මස්ථාන ද අඩාල වී ඇති අතර, ඇමෙරිකාව බඳු බලවත් රටවල තත්ත්වය ද එසේමය.

අපේ සංචාරක ක්ෂේත්‍රය අඩාල ය. එයින් ගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2ක් ශ්‍රී ලංකාව උපයා ගෙන තිබිණි. පාස්කු ප්‍රහාරය නිසා පසුගිය වසරේ සංචාරක අංශය යම් පසුබෑමක තිබුණත් පසුව එය යථා තත්ත්වයට පත් විය. මේ සංචාරක ආදායම් ගැන කතා කරන අතර තවත් විශේෂ යමක් ද සඳහන් කරනු වටී. වසරේ සංචාරක ආදායම ඩොලර් බිලියන 4.2ක් වන විට මෙරටින් පිට රටවලට සංචාරය සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් ගිය වසරේ ඩොලර් බිලියන 1.7ක් වැය කර ඇති බවයි. අප රටේ කෙතරම් තොගයක් සංචාර ගොස් සිටින්නේද යන්නට මෙම ගණන් හිලව් සාක්ෂි දරයි. කෙසේ හෝ දැනට ලෝකය පුරාම සංචාරක ක්ෂේත්‍රය අඩාලය. ලොව පුරා (අප රටද ඇතුළුව) ගුවන් තොටුපොළවල ගුවන් යානා 5000ක් පමණ නිකරුණේ ගාල් කර තිබේ. මෙරට නැතත් ලොව අනෙක් රටවල ගුවන් යානා ක්ෂේත්‍රය රැකියා විශාල ප්‍රමාණයක් කප්පාදු කර ඇත.

කොරෝනාව නිසා වාණිජ අංශය සංචාරක කටයුතු කර්මාන්ත නිෂ්පාදන ආදිය සියලු ක්ෂේත්‍ර අඩාලවීම අර්බුදයකටත් වඩා මහා ආර්ථික ව්‍යසනයක් ලෙස හැඳින්වීම යුක්තිසහගතය.

ඇමෙරිකාව ළඟට ලොව ප්‍රබලම ආර්ථික යෝධයා වන චීනය මාස තුනක් වසා දමා තිබිණි. මෙය ආසියාවේ පමණක් නොව ලෝකයේම පවතිනා අර්බුදයට තවත් හේතුවකි. 21 වැනි සියවස ආසියාවේ සියවස යැයි මෙයට පෙර ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කළ බව අපට මතකය. ජපානය වැනි තවත් ධනවත් රටවල් ද මෙම තත්ත්වයම අත්විඳිමින් සිටී. අපේ යෝධ අසල්වැසියා වන ඉන්දියාව ද විශාල අර්බුදයකය. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ද අදාළය. ඒ නිසා මුළු ලෝකයම ආර්ථිකයේ හැඩතල ගෝලීයකරණ තත්ත්වයෙන් වෙනස් වී දේශීයකරණයකට ලක්වෙමින් තිබේ.

අපේ දේ අපි නිෂ්පාදනය කර ගනිමු යන්න දැන් කාගේ කාගේත් තේමාව බවට පත් වෙමින් පවතී. අප රට ද ගොවි ජනතාවට හැකිතාක් වගා කරන ලෙස ඊට දිරි දෙන්නේ මේ නිසාය. මා කවදත් ප්‍රකාශ කරන ආකාරයට අප රටට නිසි කලට වැසි ලැබුණොත් එයම රටේ දළ දේශීය නිෂ්පාදිතයේ 2%ක පමණ වර්ධනයට හේතු වෙයි. මෙම දේශීය කරණයේ සැබෑ අරමුණ කොරෝනා ලෝක ව්‍යාප්ත ව්‍යසනයන් නිසා අප රට තුළින් මුලින්ම විසඳුමක් සොයා ගත යුතුය යන්නයි. වෙනදා අපට උදව් කරන්නට සිටි ලෝක බලවතුන්ද අපටත් වඩා අන්ත තත්ත්වයකට පත්ව ඇත. ඒ නිසා හැකිතාක් රටට අවශ්‍ය දේ අපේ භූමිය තුළින්ම උපයා සපයා ගන්නට සූදානම් වීම සමාජයේ වගකීමකි.

මෙම කොරෝනා අර්බුදය හමුවේ යම් මට්ටමකත් ආර්ථිකමය සාර්ථකත්වයක් ලබාගත් රටවල් දෙක තුනක් වෙයි. එහෙත් ඒ රටවල්ද පවතින්නේ වසා දැමූ රටවල් ලෙසය. හොං කොං, සිංගප්පූරුව, ද. කොරියාව පවත්නා අර්බුදයේදී පවා යම් ස්ථාවරත්වයක් ආරක්ෂා කරගෙන ඇත. සෙසු ආසියාතික රටවල් ගත් කල ශ්‍රී ලංකාව අනෙක් රටවලට සාපේක්ෂව ආර්ථිකමය පැත්තෙන් පමණක් නොව සමාජ තත්ත්වය අතින් ගත්තද තවමත් සෑහෙන තරම් ස්ථාවර මට්ටමක සිටී.

ජනතාවට ආහාරපාන බෙහෙත් හේත් ආදිය පවා සපයන ක්‍රමයක් ක්‍රියාත්මකය. රජය හැකි පමණ ජනතාවට සහනාධාර ද සපයා තිබේ. අපට තිබෙන විශේෂ වාසිය ශ්‍රී ලංකාවේ තිබෙන විවිධාංගීකරණය වූ සම්පත් තොගයයි. උත්සාහ කළහොත් රටට ප්‍රමාණවත් වී, එළවළු හා සෙසු ආහාර ද්‍රව්‍ය රට තුළ නිපදවා ගන්නට පිළිවන.

ධනවත් සිංගප්පූරුව ගන්න, ධනවත් මැදපෙරදිග රටවල් ගන්න. ඒ රටවල මෙබඳු ආහාර වගාවන් තබා ජලයවත් නැත. සියල්ල පිට රටින් එනතුරු බලා සිටිය යුතුය. ඒ අතින් ගත් කල ස්වභාධර්මය අප රට නිර්මාණය කර තිබෙන්නේ වාසනාවන්ත පසුබිමකය.

අද කොරෝනාව ව්‍යසනයක් ලෙස අපි දකිමු. එහෙත් කොරෝනාවෙන් පසු ලෝක ආර්ථික න්‍යාය පත්‍රය නැවතත් අලුතෙන් සකස් කරන්නට සිදුවෙයි. එහිදී ස්වාභාවික සම්පත් බහුල අප රට වැනි රටවලට ආහාර නිෂ්පාදනය අතින් හොඳ තැනකට ගන්නට පිළිවන. ආහාර අතිරික්තයක් ඇති කරගන්නට ශ්‍රී ලංකාවට පිළිවන් බව මගේ විශ්වාසයයි. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථක කරගන්නට නම් රට තුළ තාක්ෂණයේ ව්‍යාප්තිය, විදුලිය වැනි මූලික යටිතල පහසුකම් සම්පාදනය අත්‍යවශ්‍ය ය.

කොරෝනා අර්බුදයෙන් පසු ලෝකයේ බලවත් රටවලින් මුලින්ම එන්නේ ආහාර ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුමයි. දැනටමත් තේ සඳහා එබඳු ඉල්ලුමක් හටගනිමින් තිබේ. මේ ද්‍රව්‍ය අපෙන් ඉල්ලන්නේ දුප්පත් රටවල් නොවේ. මහා බලවත් පොහොසත් රටවල්ය. අපේ එළවළු, පලතුරු, මාළු වැනි දේ සඳහා සරු ඉල්ලුමක් අනාගතයේදී ඇති වන බව මගේ කල්පනාවයි.

පසුගිය කාලයේ අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය අඩාල වී ගියේ ය. බොහෝ දේ රටින් ගෙන්වා භාවිත කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය වී තිබිණි. මේ නිසා අප රටේ බොහෝ නිෂ්පාදන කර්මාන්ත පවා අඩාල වී ගියේය. සීනි, පාම් ඔයිල්, කිරි පිටි, තෙල්, උඳු, කහ, සියඹලා පමණක් නොවේ, කුරක්කන්ද රටින් ගෙන් වූ බව අපි දනිමු. අප රට වසරකට පිටරටින් කුරක්කන් ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් දස ලක්ෂයක් වියදම් කළා යැයි කී විට ඇති වන හැඟීම කවර ආකාරද?

කවරදාකවත් සිදු නොවූ මෙබඳු ආනයන නිසා අපේ විදේශ විනිමය පිටරටට ගලා ගියේ ය. එම ප්‍රවාහය නතර කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට දැඩි උත්සාහයක් දරන්නට සිදුවිය. එකළ ගම්මිරිස් ගොවියාගේ නිෂ්පාදන තුට්ටු දෙකට වැටුණේ මේ රටට පිට රටින් ගම්මිරිස් පවා ආනයනය කොට ප්‍රති අපනයනය කළ බැවිනි. හඳුන්කූරු, සරුංගල්ද පවා පිටරටින් ගෙන් වූ යුගය දැන් හමාරය.

කොරෝනාව නිසා ලෝක ආර්ථිකය නොව අප ලද වාසියක්ද වෙයි. ඉන්ධන මිල පහළ යාම විශාල සහනයකි. කලක් ඩොලර් 60-70ට ගත් ඉන්ධන බැරලය දැන් ඩොලර් 20-25ට පහත බැස තිබේ. රටේ ඉන්ධන භාවිතය ද සීමා වී ඇත. පසුගිය වසරේ ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 4000ක් පමණ වැය විය. මේ වසරේ ඉන්ධන ආනයනය සඳහා යන්නේ ඩොලර් මිලියන 1500 – 2000 අතර වියදමකි. ඉන්ධන වියදම හරි අඩකින් අඩුවීම මේ විපත නිසා මුදල් සිරවී තිබෙන අප රටට විශාල සහනයකි.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ ආර්ථික පරතරය ඍණ මට්ටමකට පත්වේද යන්න සමහරුන් විමසන ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් රටේ ආර්ථික වර්ධනය මනින්නේ ගිය වසරට සාපේක්ෂව මේ වසරේ කරන ජාතික නිෂ්පාදිතය අනුව ය. ගිය වසරේ අපේ රටේ ආර්ථික වර්ධනය 2.3% ක් බව පසුගිය රජයේ වගකිවයුත්තෝ කීහ. එහෙත් ආර්ථිකයේ ගණන් හිලව් සම්පූර්ණ කළ විට සැබෑ වර්ධන 2% ක් බව මගේ අදහසයි.

2019 එය වුවද 2020 මාස් කන්නය මෙරට ඉතාම සාර්ථක නිෂ්පාදන සමයකි. වී ඇතුළු බෝග රාශියක් ඉහළ පලදාවක් ලබා තිබේ. 2020 යල් කන්නය පවා කෘෂිකාර්මික අතින් ඉහළ තැනක තිබේ. මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ මා ලද අත්දැකීම් අනුව වසරේ නිසි කලට වැසි වැටුණහොත් ඒ වැස්ස විසින් රටට ලබා දෙන ආර්ථික වර්ධනය 2% ත් - 2.5% ත් අතරය. ඒ බව අපි මුලින් අවධාරණය කළෙමු.

එය කිසිවකුගේ පෞද්ගලික හපන්කමක් නොව ස්වභාව ධර්මයේ භාග්‍යයකි. කෘෂිකර්මයට පමණක් නොව, ජල විදුලිය නිෂ්පාදනය, පානීය ජල සම්පාදනය ආදියට ද වැස්ස අත්‍යවශ්‍ය බැවින් නිසි කලට ලැබෙන වැස්ස අප රටේ ඵලදායිතාවට පිම්මක් පනින්නට ආධාර වන බව පැවසීම නිවැරැදි ය. ඒ අතින් ගත් කල 2020 ආර්ථිකය කවර අර්බුදයක් මධ්‍යයේ වුවද ඍණ තත්ත්වයට පත්වන්නට ඉඩක් නැති බවට මගේ විශ්වාසයයි.

එහෙත් ලැබෙන වර්ධනය ඉතා විශාල මට්ටමක එකක් නොවේ. පසුගිය වසරේ අප 2.3% ක ආර්ථික වර්ධනයක් ලැබුවේ ගෝලීය ආර්ථිකය යහපත්ව තිබියදීය. අප රටට සිදුවූ එකම විපත පාස්කු ප්‍රහාරය පමණි. ඇඟලුම් වෙළෙඳාම සහ අපනයන විදේශ රැකියා ආදායම හොඳට තිබිණි. තරමක් පසුබෑවේ සංචාරක ව්‍යාපාරය පමණි. කෙසේ හෝ පවතින තත්ත්වය යටතේ කොරෝනා වසංගතය නිසා ගෝලීය ආර්ථිකය මේ වසරේ දෙසැම්බර් වන තෙක් විවෘත වන්නේ නැත. අපට ලබා ගත හැකි වර්ධනයක් ලැබිය යුත්තේ දේශීය නිෂ්පාදන අංශවලිනි. ඒ නිසා කොරෝනා විපත සැපතක් බවට පත් කර ගන්නට නම් අප හැකි පමණ දේශීය නිෂ්පාදන ආර්ථිකය පණ ගැන්විය යුතුය. අපේ විමුක්තිය ඇත්තේ එතැන ය.