IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවේ ණය අර්බුදය යළි කරළියට

මේ වන විට රජයට ගෙවීමට ඇති දේශීය විදේශීය ණය සම්බන්ධයෙන් වන සාකච්ඡාව පිළිබඳ නැවත අවධානය යොමු වී ඇති බව පෙනේ. දේශීය ණය සම්බන්ධයෙන් කතා කිරීමේදී එම ණය ප්‍රමාණය රුපියල් මගින් ගණනය කළ හැකි වුවත්, විදේශීය ණය සම්බන්ධයෙන් එය ගණනය කළ යුත්තේ ඩොලර්වල අගය මතය. විදේශ ණය ලබාගන්නේත්, ගෙවීම් කරන්නේත් විදේශ මුදල් මගිනි. එම අවස්ථාවේ පවතින විදේශ විනිමය අනුපාතිකය පදනම් කරගෙන එම ගෙවීම් කළ යුතු වේ.

දැනට නිකුත් වී ඇති වාර්තා අනුව, ආණ්ඩුවේ ගෙවීමට ඇති මුළු ණය ඩොලර් බිලියන 106ක් වැනි අගයකි. එයින් ඩොලර් බිලියන 64ක් පමණ දේශීය ණයවලට ඇතුළත්ය. දේශීය ණය රුපියල්වලින් ගණනය කළහොත් එම වාර්තාවලට අනුව, රුපියල් බිලියන 18,531.58ක් ලෙස දැක්වේ. මේ අනුව, රජය ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 40කට ආසන්න වේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය අංශවලින් හා ද්වි පාර්ශ්වික අංශවලින් ලබා ගත් ණය මේ සඳහා ඇතුළත් වේ. මෙම විදේශ ණය ඩොලර් බිලියන හතළිහෙන් ඩොලර් බිලියන 14ක් පමණ වාණිජ මූලාශ්‍ර මගින් ලබා ගත් ණය වන අතර, ඉතිරිය බහු පාර්ශ්වීය සහ ද්වි පාර්ශ්වික ණය වේ. මේ අතරින් බහු පාර්ශ්වීය ණය අපි මේ වන විටත් ගෙවමින් සිටිමු. දැනට ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කර තිබෙන්නේ වාණිජ ණය මුදල් සහ ද්වි පාර්ශ්වික ණය මුදල්ය.

කෙසේ වෙතත්, ණය ගෙවීමේදී දේශීය හා විදේශීය වශයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත එකිනෙකට වෙනස්ය. එබැවින්, ඊට අදාළ කාරණා වෙන් වෙන්ව විග්‍රහ කර බැලිය යුතුය. මේ අනුව, විදේශීය ණය ගෙවීමට ඩොලර් අවශ්‍ය වන අතර, දේශීය ණය මුදල් ගෙවීමට රුපියල් අවශ්‍ය වේ. දැනට ඇතැයි සැලකෙන දේශීය ණය ප්‍රමාණය කවර අගයක් ගත්තත් එහිදී සලකා බැලෙන්නේ ණය පොලීවල අගයයි.

දැනට ගෙවීම නවතා ප්‍රතිව්‍යුහගතකරණය කර ඇති වාණිජ ණය සහ ද්වි පාර්ශ්වික ණය 2028 වසරේ සිට අපි ගෙවිය යුතු වෙමු. වාර්ෂිකව ගණනය කළහොත්, විදේශීය ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන 3ත් 4ත් අතර ගණනක් අවශ්‍ය වේ. එය විදේශ ණයකරණයට පමණක් වසරකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වේ. ආර්ථික ස්ථායිතාව පිළිබඳ සැලකීමට නම් ඕනෑම දෙන ලද අවස්ථාවක මාස තුනක ආනයන මූල්‍යනය කිරීමට ප්‍රමාණවත් මට්ටමින් ඩොලර් සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතු විය යුතුය. සාමාන්‍යයෙන් ලංකාවේ වත්මන් තත්වය අනුව, මාසික ආනයන වියදම පවතින්නේ ඩොලර් බිලියන 1.8ක් පමණ අගයකය. වාහන ආනයන සීමා ආදිය තවදුරටත් ලිහිල් කළහොත් මෙහි අගය තවත් වැඩි විය හැකිය. මෙම මාසික ආනයන වියදම මාස තුනකට ගණනය කළ විට එය ඩොලර් බිලියන 5.4ක පමණ අගයකි. මේ අනුව, සෑම අවස්ථාවකම පාහේ මහ බැංකුව සතුව ඩොලර් බිලියන 5.4ක පමණ සංචිත අගයක් අවම වශයෙන් තිබිය යුතුය.

ආනයන මූල්‍යනයට ඩොලර් බිලියන 1.8ක් අවශ්‍ය නම්, වසරක කාලයක් සඳහා ආනයන මූල්‍යනය සඳහා අවශ්‍ය වන ඩොලර් ගණන බිලියන 22ක පමණ අගයක් ගනී. එම මුදල වසරකට අවශ්‍ය වන්නේ ආනයන සඳහා ගෙවීමටය. මේ සියලු‍ අගයයන් එක් කර බැලූ විට ඩොලර් බිලියන 32ක් පමණ සාමාන්‍යයෙන් වසරකට රඳවාගත යුතුව තිබේ. ගැටලු‍වක් නොවන පරිදි ආනයන සඳහා ගෙවා මාස තුනක සංචිත අගය රඳවාගෙන 2028 වසරේ සිට විදේශ ණය මුදල් ගෙවීමට නම් ඩොලර් බිලියන 3-4ක් වාර්ෂිකව උපයාගත යුතුව තිබේ. විදේශ ණය සම්බන්ධයෙන් ලංකාවේ දැනට පවත්නා තත්වය එපරිදි වේ.

මීට විකල්පයක් ලෙස, අපනයන ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බවක් දැකිය හැකිය. එයින් ද අංශ කිහිපයකට වැඩි අවධානයක් ලබා දී තිබේ. ඒ අනුව, ගත වූ කෙටි කාලයේ අයි.ටී. අපනයනවල යම් ප්‍රවර්ධනයක් දැකිය හැකිය. අපනයන වෙළෙඳ ශේෂය පසුගිය මාස හයේදී ධන අගයක් වාර්තා කර තිබේ. එය දිගටම පවත්වාගෙන යාමට නම්, අපනයන ආදායම වැඩි කරගැනීම සඳහා දිගින් දිගටම ක්‍රියාමාර්ග ගත යුතු වේ. විදේශ ප්‍රේෂණ ඉහළ නංවා ගැනීමත් තවත් වැදගත් කරුණකි. ඩොලර් මිලියන 700කට ආසන්න විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මැයි මාසයේදී ලංකාවට ලැබී තිබේ. මාසයකට මෙම අගයේ විදේශ ප්‍රේෂණ පවත්වා ගැනීමට අවස්ථාව ලැබුණොත් ඩොලර් බිලියන 8.4ක පමණ වාර්ෂික විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබෙනු ඇත.

සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ද මෙහිදී තීරණාත්මක වේ. පසුගිය මාස හයක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය ආදායම සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී තිබේ. 2028 වන විට විදේශ විනිමය ඉපයීම සම්බන්ධයෙන් මීට වඩා පුළුල් වැඩපිළිවෙළකට යාම දුෂ්කර කාරණයකි. ආණ්ඩුව මේ වන විටත් විදේශ ඍජු ආයෝජන සැලකිය යුතු ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට උත්සාහ දරන්නේත්, එයින් ඩොලර් ප්‍රශ්නයට ද පිළිතුරක් ලැබෙන නිසා විය යුතුය. දැනට පවත්නා මෙම ගැටලු‍ විසඳා ගැනීමට නම්, වසරකට ඩොලර් බිලියන 4ක පමණ ඍජු ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට හැකි විය යුතුය. දැනට ලැබෙන ඍජු ආයෝජනවලින් වසරකට ලැබෙන්නේ ඩොලර් බිලියන 1කට ආසන්න අගයකි.

වෙළෙඳ ශේෂය පවත්වා ගැනීමේදී අපනයනයෙන් ලැබෙන ඉපයීම් මෙන්ම විදේශ විනිමයේ වියදම් පැත්ත ද පාලනය කිරීම අවශ්‍ය වේ. විශේෂයෙන්ම, ආහාර නිෂ්පාදන කර්මාන්තයේදී මේ තත්වය ඉතාම වැදගත් වේ. දේශීය ආහාර නිෂ්පාදනයට තැනක් ලබා දීමෙන් අපනයනය කරන ආහාර සීමා කළ හැකිය. එසේම, බලශක්ති ක්ෂේත්‍රයේදී සූර්ය බලශක්තිය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. එයින් තාප බලාගාර සඳහා වන බලශක්තිය ආනයනය සීමා කළ හැකිය. එපමණක් නොව, වාහන ආනයනය තවදුරටත් යම් යම් සීමා අනුව පවත්වා ගැනීමට සිදු වනු ඇත. වාහන ආනයනයෙන් යම් බදු ආදායමක් ලංකාවට ලැබුණත්, වාහන ආනයනය සඳහා විදේශ විනිමය අවශ්‍ය වේ. එම නිසා මෙය යා යුත්තේ යම් තුලනයක් අනුවය.

දේශීය ණය සම්බන්ධයෙන් අවධානය යොමු කළහොත් බොහෝ දෙනාගේ විමසීමට ලක්ව ඇති කාරණය වන්නේ, මෙම ණය ගෙවන්නේ කෙසේද යන්නයි. දේශීය ණය ගෙවීම තීරණය වන්නේ ආණ්ඩුවේ අය වැය මත පදනම්වය. දේශීය ණය ගෙවීමේ හැකියාව වැඩි කරගැනීමට නම්, අය වැය හිඟය පාලනය කරගනිමින් එහි මූලික ශේෂය ධන තත්වයට පත් කරගැනීම වැදගත් වේ. එයින් වැඩි වන අය භාරය දේශීය ණයසේවාකරණය සඳහා භාවිත කිරීමට ආණ්ඩුවට හැකියාව පවතී. එතැනදී සමස්ත අය වැය හිඟය නොව මූලික ශේෂය කෙතරම් ධන කරගැනීමට හැකි දැයි බැලීම මෙහිදී වැදගත්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කොන්දේසිවල ද සඳහන් පරිදි මූලික ශේෂය ධන කරගැනීමට නම්, දළ දේශීය නිෂ්පාදිත ඉලක්ක සපුරාගත යුතු වේ. රාජ්‍ය ආයෝජනවලට සහ දේශීය ණය සේවාකරණයට භාවිත කිරීමට සිදුවන්නේ මෙම මූලික ශේෂයෙන් ලැබෙන අතිරික්තයයි. දැනටමත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙනේ. මූලික ශේෂය අතිරික්තයක් කරගැනීමට නම්, රාජ්‍ය වියදම් අවම කරගැනීම ඉතාම වැදගත්ය. එම වියදම් පාලනය කිරීමට සිදුවන්නේ අවශ්‍යතාව හා ප්‍රමුඛතාව මත ක්‍රියා කිරීමෙන් සහ දූෂණ වංචා පිටුදැකීමෙනි. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව පිළිගත යුත්තකි. මෙම රාජ්‍ය මුදල් නාස්තිය හා අවභාවිතය අවම කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පෙන්වා දෙන එක් වැදගත් කාරණයකි.

රාජ්‍ය ව්‍යවසායයන් සම්බන්ධ ණය අනෙක් කාරණයයි. මේ ක්ෂේත්‍රය තුළ ද ඩොලර් බිලියන 4ක පමණ ණය ප්‍රමාණයක් පවතී. මේ වන විට ඒ සම්බන්ධයෙන් ද යම් යම් ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. මෙහිදී රාජ්‍ය ව්‍යවසායයන් පාඩු නොලබන තත්වයට පත්කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එම ව්‍යවසායයන් ලබා ගෙන තිබෙන ණය ගෙවීමේ හැකියාව ද පැවැතිය යුතුය. විදුලිය, ඛනිජ තෙල්, ජලය වැනි ඇතැම් අත්‍යවශ්‍ය සේවාවල මිල අනවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු කළ නොහැකි වන්නේ මෙම ණය ගැටලු‍ව නිසාය.

බදු එකතු කිරීමේ කටයුතු ද මේ වන විට කාර්යක්ෂම වෙමින් තිබේ. පෙර පැවැති තත්වයට වඩා එය සාධනීය ලක්ෂණයකි. එහෙත්, බදු එකතු කිරීමේදී තවමත් ක්‍රියාත්මක වන්නේ කඩදාසි මත පදනම් වූ සම්ප්‍රදායික ක්‍රමයකි. ඒ සඳහා නව තාක්ෂණය මත පදනම් වූ ක්‍රමයක් සකස් කිරීමට ද ආණ්ඩුවේ අවධානය මේ වන විට යොමුව ඇති බව පෙනේ. එය අත්‍යවශ්‍ය කරුණකි. බදු පැහැර හැරීම, බදු වංචා දූෂණ හැකි තරම් අවම කරගැනීමට මෙම නව තාක්ෂණික ක්‍රමයෙන් හැකියාව ලැබෙනු ඇත.

එසේම, ආණ්ඩුවේ බදු ආදායම වැඩි කරගැනීමට නම් රටේ ජනතාවගේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි වී, ආදායම් වැඩි විය යුතුය. ඊට බලපාන්නේ ආර්ථික වර්ධන වේගයයි. මේ වන විට මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 3.2ක අගයකි. ආණ්ඩුවේ සැලසුම් අපේක්ෂා අනුව 2026 සිට ආර්ථික වර්ධන වේගය සියයට 6 ඉක්ම වූ තත්වයට පත් කරගැනීමට නම්, ආයෝජන විශාල වශයෙන් වැඩි කරගත යුතුව තිබේ. ඵලදායිතාව ඉහළ නංවාගත යුතු වේ. අධ්‍යාපනික පර් යේෂණ ආදියෙන් නවෝත්පාදන වැඩි කරගත යුතු වේ. ආණ්ඩුව මේ වන විට ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර තිබීම සතුටට කරුණකි. මහ බැංකුව ස්වාධීන කර ඇති නිසා ආණ්ඩුවට මහ බැංකුවෙන් ණය ලබාගත හැකි අවස්ථා මේ වන විට බොහෝ දුරට සීමා වී තිබේ. එයින් ද අය වැය හිඟය පාලනය වීම සිදු වේ.

කෙසේ වෙතත්, මේ වන විට ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් යම් යම් සාධනීය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පැහැදිලිය. මේ සියලු‍ දේ සඳහා පදනම සකස් වන්නේ, ආර්ථික වර්ධන වේගය කොතෙක් දුරට පවත්වාගෙන යා හැකි ද යන කාරණය මතය. මේ ගැටලු‍ විසඳා ගැනීමට නම්, ලංකාව වාර්ෂිකව සියයට 6-8ත් අතර දළ දේශීය නිෂ්පාදනයක් ඉලක්ක කළ යුතුය. ඊට ගැළපෙන පරිදි අපනයන ආදායම ලබා ගැනීමටත්, බදු ආදායම වර්ධනය කරගැනීමටත් මේ අනුව හැකියාව ලැබෙනු ඇත.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

ආණ්ඩුවේ ණය අර්බුදය යළි කරළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 116 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1057 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site