දා ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණය මෙදා වසර 40කට පසුව තරුණ පරම්පරාවට පූර්වාදර්ශයක්, මඟ පෙන්වීමක් සිදු කරන්නක් වනු ඇතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ඒත් ඒ සිහිනය යථාර්ථයක් බවට අද දවසේදී පත්ව තිබේ. එදා තරුණ වියේදී, එනම් 1980 වර්ෂයේදී ඔහු නිර්මාණය කළ ‘හංස විලක්’ කුළුඳුල් සිනමා නිර්මාණය පිළිබඳව අද දවසේ ලොකු කතාබහක් ඇතිවී තිබේ. ඒ නව සංරක්ෂිත පිටපත යළි වසර 40කට පසු මේ දිනවල සිනමාශාලාවල ප්‍රේක්ෂක ආකර්යෂණය මැද තිරගතවෙන නිසාවෙනි. 

කොවිඩ් 19 වසංගතය නිසා සිනමාශාලාවලට ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම දුර්වල මට්ටමක තිබෙද්දී ‘හංසවිලක්’ නැරඹීමට අලුත් තරුණ පරම්පරාව විශාල උනන්දුවක් දක්වන බව අපට පෙනුණි. ‘හංසවිලක්’ මෙතරම් ප්‍රේක්ෂකයාට ආසන්න වූයේ ඇයි? ඒ පිළිබඳවත්, කලාව හා දේශපාලනය පිළිබඳවත් එහි නිමැවුම්කරු වන ප්‍රවීණ සිනමා හා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙවර කතාබහට අපි එක්කර ගත්තෙමු.  මේ එම කතාබහේ සටහනයි. 

• පසුගිය වකවානුව තුළ ඔබගෙන් දැක්වූයේ දැඩි නිහඬතාවක්. කලාව, දේශපාලනය තුළ ක්‍රියාකාරිව සිටි ඔබ ඒවායින් ඈත්වූයේ යම් කලකිරීමක් ඇතිවූ නිසාද? 


ඔව්. සම්පූර්ණයෙන්ම කිව්වොත් ලොකු කලකිරීමක් ඇතිවෙලා තිබුණා මේ රටේ ජීවත්වීම පිළිබඳව. අපි ඇත්ත වශයෙන්ම ලොකු ප්‍රාර්ථනා ඇතිකර ගත්ත ලෝකවල ජීවත් වූ මිනිස්සු. අපේ වුවමනා එපාකම් පාලක පන්තිය හඳුනන්නේ නෑ. මහජනතාවට සේවයක් කරන්න පැමිණි, ඡන්ද බලයෙන් ආ සමහර මිනිස්සු කතා කරපු දේවලුත්, දැන් කතා කරන දේවලුත් බැලුවාම, හැසිරෙන විදිහත් බැලුවාම මහා ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඒක මේ කලාව පිළිබඳ කලකිරීමක් නොවෙයි. මේක මේ රටේ මෙවැනි දුර්දාන්ත මිනිස්සු ජීවත්වෙනවාද කියන පැනයයි මට තිබෙන්නේ. 

එක එක කාලවල්වලට එක එක බොරු කියමින්, ඒවාට රැවටෙමින් ජීවත්වන මනුෂ්‍ය ජිවිත සමුහයක් තමයි අපට දකින්න ලැබෙන්නේ. ඉතිං මම අන්න ඒ කතාවෙන් ලොකු කලකිරීමක් ඇතිවුණා. මොකද මේ රටේ ආණ්ඩු වෙනස් කිරිම සඳහා අපි කරන ලද බලපෑම අද මේ රටේ ජිවත්වන හැම මිනිහෙකුටම මතකයි. අපි එහිදී අපේ ජීවිතය පරදුවට තියලයි ඒ වැඩ කළේ. ඒ කාලෙදී කිව්වේ පැරදුණානම් අඩි 8ක් පොළොවේ යට ඉන්නේ කියලා. එහෙම නම් එදා අපි ඉන්නේ පොළොවේ උඩ නොවෙයි, ඊටත් යටින් ඉන්න මිනිස්සු. එහෙම තත්ත්වයකට පත්වූ රටක ජීවත් වෙන මිනිස්සු විදිහට. එක පැත්තකින් කලාව ඇතුළේ අපේ ජීවිත ප්‍රාර්ථනා ගොඩනැගුවේ කලාව ඇතුළේ මහා ලොකු දෙයක් ලැබෙන්නේ නෑ. කලාව කිව්වාට ඒවායේ යෙදිලා හිටියාට අපි ලබපු  දෙයක් නෑ. 

ඇත්ත වශයෙන්ම ලැබුණේ කීර්තිය පමණයි. අන්න ඒ කීර්තිය ළඟාකර දුන්නේ අපට මේ රටේ ජීවත් වෙන්න කලා ලැදි මනුස්සයෝ. ඒ මනුස්සයන්ට අපේ ප්‍රණාමය මේ මොහොතේත් පිරිනැමෙනවා. මොකද මේ මොහොතේ මට පිරිනමන්න සිද්ධ වෙන ඉතාම වැදගත්ම මොහොත තමයි ‘හංස විලක්’ චිත්‍රපටයට අවුරුදු 40ක් පිරෙන කොට මේ වෙලාවේ සිනමා ශාලාවල ඒ චිත්‍රපටය නැවත ප්‍රදර්ශනය කිරීම. චිත්‍රපටය නැරඹූ හැම කෙනෙක්ම වගේ මගේ අංකය සොයාගෙන මට කතා කරලා චිත්‍රපටය හදපු එක ගැන මට ප්‍රශංසා කරනවා. ඒක ධනයක් නොවුණට කලාකරුවකුට ලබන්න පුළුවන් ලොකු සම්පතක්. අන්න ඒ සම්පත මම ලබලා තියෙනවා. මාව මරලා දැම්මත්, ඒ සම්පත උදුරගන්න එකෙකුටවත් බැහැ. අන්න ඒක නිසා මම ඒ පිළිබඳව ඉතාම සතුටින් ජීවත් වෙන කෙනෙක්. 


• ඔබ එදා තරුණයකුව සිටි අවධියේදී තමයි තම පළමු සිනමා කෘතිය ලෙස ‘හංසවිලක්’ නිර්මාණය කරන්නේ. ඒ චිත්‍රපටය අද තරුණ සිනමාකරුවන්ට මඟ පෙන්වන නිර්මාණයක් වෙලා ඉවරයි. ඒ පිළිබඳව ඔබට අද දවසේදී මොකද සිතෙන්නේ? 


මම ඇත්ත වශයෙන්ම මේ චිත්‍රපටය හැදුවේ කවුරුවත් උදව් උපකාර කරලා නොවෙයි. මේ රටේ ආණ්ඩුව උදව් කරලා නොවෙයි. ඇත්ත වශයෙන්ම හොඳ චිත්‍රපටයක් හදන්න මහන්සි වෙච්ච මිනිහෙක් කියන එකට මේ රටේ ජීවත් වෙච්ච තරුණ පරම්පරාව සාක්ෂි දරනවා. මොකද මම හැම මොහොතකම ඒ උත්සාහය දරපු කෙනෙක්. චිත්‍රපට 5යි මම හැදුවේ. එහෙත් මගේ පළමුවැනි චිත්‍රපටය අද දවසේ මේ සිනමාහල්වලට ඇවිල්ලා බලන පිරිස මට දුරකතන ඇමතුම් දීලා ප්‍රශංසා කරනවා. ඒ වගේම ‘දවල්ට කෑම වේලක් කන්න අපිත් එක්ක ඇවිල්ලා වාඩිවෙන්න, ඔබට කෑම වේලක් දීම අපට ලබාගන්න පුළුවන් ලොකුම පුණ්‍යකර්මය කියලා’ කියපු අය ඉන්නවා. ඒ වගේම අවුරුදු 20-25 තරුණයෝ විශාල වශයෙන් මෙය නරඹලා ඔවුන්ගේ සතුට මට ප්‍රකාශ කරනවා. මේක මම හිතන්නේ නිර්මාණකරුවකු ලෙස ලබන්න පුළුවන් ලොකුම සම්පත. මේ අවස්ථාවේ ලාංකේය භූමිය තුළ එවැනි සතුටක් ලබන එකම මිනිහා මමයි. ඒ නිසා මම අනෙකුත් කලාකරුවන්ටත් කියන්නේ තමන්ගේ නිර්මාණවලින් ඒ සතුට ලබාගන්න පුළුවන් තරම් වෙහෙසෙන්න. ඒ වෙහෙස අපතේ යන්නේ නෑ. ඒ නිසා නිර්මාණකරුවන්ට කියන්නේ ඔබ මේ රටේ අනාගත පරම්පරාවට ආදර්ශයක් වෙන්න. අන්න ඒ ආදර්ශවත් පුද්ගලයා ඔබ නම් ඔබට ඒ ගෞරවය මේ රටෙත් අනිවාර්​ෙ යන්ම හිමිවෙනවා. ඒ ගෞරවයේ කොටස්කරුවෙක් වෙන්න කියලයි මා ඉල්ලන්නේ. 


• මේ චිත්‍රපටය  නව සංරක්ෂිත පිටපතක් ලෙසින් මෙවර තිරගත වෙන්නේ. ඔබේ සමහර නිර්මාණ වගේම මෙරට හොඳ නිර්මාණත් ඩිජිටල්කරණය නොවීම තුළ විනාශ වෙලා. හොඳ නිර්මාණ සංරක්ෂණය නොවීම පිළිබඳව ඔබට දැනෙන වේදනාව කෙබඳුද? 


ඔබට මෙහිදී කියන්න කැමතියි. මේ චිත්‍රපටයත් සමග මගේ තවත් නිර්මාණයක් ප්‍රදර්ශනය සඳහා සූදානම් කරලා තිබෙනවා. ඒ චිත්‍රපටය අරගෙන ගිය එක්තරා ලාංකීය සමාජයේ සිනමාකරුවකු යැයි කියා  ගන්නා පුද්ගලයෙක් එය සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඒ චිත්‍රපටය මට ආපසු ලබා දුන්නා කියලා ලොකු බොරුවකුත් කියලා මාව රැවට්ටුවා. මම චිත්‍රපටය හොයාගෙන යනකොට ඔහුගේ පියාට අයිති සිනමා හලක, ඒ චිත්‍රපටය ස්ටෝරු කාමරයක් ඇතුලේ හොල්ලන්න බැරි විදිහට දාලා තිබුණා. මේක සම්පූර්ණයෙන්ම විනාශ කරලා. චිත්‍රපටය තාර බවට පත් කරලා. මම ඒ චිත්‍රපට කෑන් එක උස්සාගෙන ඇවිල්ලා එවකට හිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට එය පෙන්වලා මේ චිත්‍රපටය හදලා දෙන්න උදව්වක් විදිහට මට ඒකට ආර්ථික ආධාරයක් දෙන්න කියලා ඉල්ලුවා. එතුමා ඒ ආධාරය ලබාදීලා ඒ චිත්‍රපටය හදලා දුන්නා. ඒ චිත්‍රපටය තමයි ‘තුන්වෙනි යාමය’ එයත් ළඟදීම ප්‍රදර්ශනය කරන්න පුළුවන් විදිහට මම ඩිජිටල් පිටපතක් සූදානම් කළා. ඒ ඩිජිටල් පිටපතක් නරඹලා ප්‍රේක්ෂකයන් සෑහීමකට පත්වෙයි කියලා මම විශ්වාස කරනවා. 


මේ විදිහට චිත්‍රපට රෙපයාර් කරනවාට වඩා සතුටුදායක එක පණිවිඩයක් තමයි මම චිත්‍රපටයක් කරන්න හදනවා කියන එක ප්‍රේක්ෂකයාට ලබාදීම. තවම එහෙම අවස්ථාවක් ලැබුණේ නම් නෑ. එහෙම දෙයක් ලැබුණොත් මම හිතනවා මා වාසනාවන්තයෙක් කියලා. හැබැයි දැන් මේ මොහොතේ හිතනවා එහෙම මම අවාසනාවන්තයෙක් නොවෙයි කියලා. ‘හංසවිලක්’ ගැන හිතනකොට. ඒකට ලැබෙන ප්‍රතිචාරය මාව නැවත නැවත ජීවත් කරවනවා. එය කිසිදු සිනමාකරුවකුට ලබන්න බැරි සතුටක්. මට ඒ සතුට ලබාගන්න පුළුවන් වීම නිසා ලොකු වටිනාකමක් මගේ සිනමා ජීවිතයට ලබාදීලා තිබෙනවා. 

• කොරෝනා වසංගතය හින්දා අද වනවිට සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම ගොඩාක් අඩුවෙලා තිබෙන්නේ. එහෙත් මීට වසර 40කට පෙර ඔබ කළ නිර්මාණය දැක ගන්න අද බොහෝ දෙනා සිනමා ශාලාවලට එන බව ආරංචියි. ඒ ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තිබෙන්නේද? 

නාට්‍යකරවකුට, චිත්‍රපටකරුවකුට ලබන්න පුළුවන් උපරිම සතුට තමයි තමන්ගේ නිර්මාණය දකින්නට ප්‍රේක්ෂකයන් පුල පුලා බලාගෙන ඉඳලා, ඒ නිර්මාණය දැක ගන්නට සිනමාහලට ඇවිත් ඒ නිර්මාණය හොඳයි කියලා අතින් අල්ලාගෙන කියන මොහොත තරම් වටිනා මොහොතක් අපේ ජීවිතයේ ලබලා නෑ. ඒ සතුට මගේ ජීවිතයේ ලබන්න වාසනාවන්තයෙක් වුණා. 

• ඔබ කලකදී සිනමා නිර්මාණයක් වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව ඉදිරිපිට ගිනි තියාගන්න පවා උත්සුක වූ කලාකරුවෙක්. ඒ ‘බවදුක’ චිත්‍රපටය වෙනුවෙන්. ඉන් පස්සේ ඔබ සිනමාවෙන් ඈත්වෙලා ගියා. දැන් මේ වාතාවරණය මත ඔබට යළිත් සිනමාවට එන්න ආසාවක් ඇවිත්. එහෙම නේද? 

ඔව්. ඇත්ත වශයෙන්ම මම චිත්‍රපටයක් කරන්න ආසයි. මේ රටේ ජීවත් වෙනවා නම් යම්කිසි කෙනෙක් ධර්මසිරි බණ්ඩාරනායකත් එක්ක මම චිත්‍රපටයක් කරන්න කැමතියි කියලා ප්‍රකාශයක් කරලා මාත් එක්ක චිත්‍රපටයක් හදන්න එන එතුමා මම හිතනවා පුණ්‍යවන්තයෙක් කියලා. ඒ මොකද මාත් එක්ක චිත්‍රපටයක් හදන හින්දා නොවෙයි. මම මහන්සිවෙලා චිත්‍රපටයක් හදනකොට එතුමාට ගෞරවයක් ප්‍රදානය කරන්න හැකි චිත්‍රපටයක් මා අතින් නිමවෙනවා දකින්න එතුමා කැමති නම් මම ගෞරවයෙන් ඒ ආරාධනා කරනවා මට ඒ චිත්‍රපටයට කීයක් හරි වියදම් කරන්න. ඒ ගෞරවය ලබා දෙන්නම් කියලා. මෙහෙම  කියන්න වෙච්ච අවාසනාවන්තයෙක් මම. ඒ සිනමාකරුවා බිහිවුණේ ලංකාවේ විතරයි. මේ රටේ විතරයි මෙහෙම අවාසනාවන්ත ආයාචනා කරන මිනිස්සු බිහි වෙන්නේ. ඒ නිසා මේක මාර රටක් කියලා බොරු කතා කියන්න අපි ලෑස්ති නෑ. අපේ මිනිස්සු ඉතාම අහිංසකයි. ඒ මිනිසුන්ගේ දරුවෝ විනාශ කරනවා. අතුරුදන් වෙනවා. එහෙම කරලා සමහරු වැජඹෙන්න කල්පනා කරනවා. එහෙම රටක මේ වගේ සිනමා කෘතියක්  ගැන කතා කරන්න මට අවස්ථාව ලැබීම ඇත්ත වශයෙන්ම වටිනා මොහොතක් ලෙසයි මා සලකන්නේ. 

සංවාද සටහන  -  සමන්ත යහම්පත්