IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපනයේ සැඟවුණු යථාර්ථය

නූතනයේ ප්‍රධාන සමාජ කතිකාවකට ලක්ව ඇත්තේ අධ්‍යාපනය බව නොරහසකි. රටේ අනාගතයට අතිශයින් බලපාන අපේ අධ්‍යාපනය පිළිබඳව යළි යළිත් පෙරමුණ ගත යුතු බවට නැඟු‍ණ මතවාද පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේම පැවතුණ බව අපි දනිමු. අධ්‍යාපනය පිළිබඳව ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයම බව පොදුවේ මුළු රටම පිළිගන්නා කරුණක් වුවත් එය සිදුවිය යුත්තේ කවරාකාරයෙන් ද යන්න පිළිබඳව අදටත් පවතිනුයේ විවාදාපන්න මතවාද රැසකි.

 දැනට රජය මගින් ප්‍රකාශිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙහිලා දැක්විය හැකි නවතම නිදසුන වුවත් එයට පෙර ද අධ්‍යාපනය සම්බන්ධව මෙබඳුම විරෝධාකල්ප පැවැති බව නොරහසකි. මෙයට දශකයකට පමණ පෙර ඉදිරිපත් වූ අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉන් එකකි. ඉන් පසුව ජාතික අධ්‍යාපන කොමිසම විසින් 2020-2030 දක්වා අධ්‍යාපනය පිළිබඳව පිටු 417 ක වාර්තාවක් 2023 දී ඉදිරිපත් කෙරුණු අතර එය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පළවීම පොදු ජන සමාජයේ දැඩි විවේචනයට ලක් වූ බව සත්‍යයකි. මෙම හැම අවස්ථාවකින්ම පෙන්නුම් කරන්නේ ඉතා පැහැදිලි අදහසකි. අධ්‍යාපනය රටක ජීවය ලෙස හැම පුරවැසියකුගේම හදවතේ ගැඹුරින් තැන්පත්ව ඇති මනෝ සමාජ බලයක්ය යන්නය. එයට අමතරව නූතන සමාජය දෙස වඩා විචාරාක්‍ෂියෙන් බලතොත් අධ්‍යාපනය අද පුද්ගලයාගේ උඩුකුරු සමාජ චල්‍යතාව හෙවත් ඉහළට නැගීමේ ප්‍රධානතම සමාජ බලවේගය බවට පත්ව ඇති බව අපට පිළිගැනීමට සිදුවේ.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අද පළවන විවේචන විචාර සහ අදහස් රැසකි. පොත පතට සීමාවීම ගුරුවරයාට ඇහුම්කන් දීම, ගුරුවරයා ඉගැන්වීම, සිසුවා ඉගෙනීම දීර්ඝ සටහන් පාඩම් කර තරගකාරී විභාගවලට පෙනී සිටීම, ඉන් ලද ප්‍රතිඵලය මුළු මහත් අනාගතය තීරණය කරන නිර්නායකය ලෙස පැවැතීම යන නූතන අධ්‍යාපනයේ සුලබ ලක්‍ෂණය මුළුමනින්ම ඉවත් කරමින් සිසුවා තම හැකියව සහ ළැදියාව ඔස්සේ වැඩෙහි නියුක්ත කරවීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික ලක්‍ෂණය ලෙස එහි නිර්මාතෘවරු අදහස් දක්වති. එමෙන්ම ඉතිහාසය සෞන්දර්යය වැනි භාවාත්මක චින්තනය වර්ධනය වන විෂයයන් යට කී ශිෂ්‍ය කේන්ද්‍රීය අවධානයෙන් මුළුමනින්ම බැහැර කිරීමෙන් සිසුවා යාන්ත්‍රික පුද්ගලයකු බවට පත්වේය යන විවේචනය ද ඒ සමගම අසන්නට ලැබෙන බව කිව යුතුය.

කෙසේ වුව ද අපට අවශ්‍ය වන්නේ යහපත් සමාජයක් ගොඩ නැගීමට පදනම් වන ධනාත්මක චින්තනයකින් ලෝකය සමග පෙරට ගමන් කළ හැකි පුරවැසියන් නිර්මාණය කරන අධ්‍යාපනයකි. ඒ නිසාම එය සමාජ වගකීමක් බවට පත්ව ඇත. අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගත් පනතක් ඉන්දියාවේ සම්මත කර ඇති බව මෙහිදී අප සඳහන් කළ යුතුය. ලංකාවේ එවැන්නක් දක්නට නැත ද අප අධ්‍යාපනය මෙරට සංවර්ධනයේ මූලිකාංගයක් ලෙස අවිවාදයෙන් පිළිගනිමු.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ස්වරූපය කවර මුහුණුවරක් ගත්ත ද වඩා වැදගත් කරුණක් වනුයේ එබඳු දැවැන්ත පරිවර්තනයකට ලක්වන නූතන අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙහි පවතින මතුපිට නොපෙනෙන සැබෑ ගැටලු‍ කිහිපයක් හඳුනා ගැනීමය. මූලිකව සලකතොත් දකුණු ආසියාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වැය කරන මුදල් ප්‍රමාණයෙන් අඩුම ප්‍රමාණයක් දැකිය හැකි රට ශ්‍රී ලංකාව බව ප්‍රසිද්ධ කරුණකි. ඇෆ්ගනිස්තානය වැනි රටවල් පවා අපට වඩා එහිලා වැඩි ප්‍රතිශතයක් අධ්‍යාපනය සඳහා යොමු කරන බව කිව යුතුය. මේ කරුණ තුළ සංවර්ධනයෙහිලා අධ්‍යාපනයෙහි දායකත්වය පිළිබඳ තබා ඇති බලාපොරොත්තු අවිනිශ්චිතය.

දෙවැනුව අප හඳුනාගත යුතු වැදගත් කරුණක් නම් විභාග මූලික පද්ධතිය ලෙස සලකන නූතන අධ්‍යාපනය තවත් තීරණාත්මක සමාජ ගැටලු‍ රැසක්ම නිර්මාණය කරන්නක් බවය. අද අධ්‍යාපනයේ පවතින තත්වයට අනුව දරුවන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ අන් කිසිවක් මත නොව ඔවුන් ලබාගන්නා විභාග ලකුණු මතය. මෙසේ වැඩි ලකුණු ලබන තරගය පාසල් පරිසරය ඉක්මවා මුළු මහත් සමාජයටම අනර්ථකාරීව බලපාන බව පිළිගත යුතුය. එනම් මෙම තරගයෙන් පළමුකොටම දරුවනුත් දෙවැනුව ඔවුන්ගේ මවුපියනුත් විශාල පීඩනයකට ලක්වීමය. යහපත් ප්‍රතිඵල නොපෙන්වූ විට එම ගුරුවරුන් පිළිබඳ ප්‍රතිරූපය පාසලේ මෙන්ම බාහිර සමාජයේ ද පැතිරෙන්නේ ද ඔවුනට හානිකර ලෙසිනි.

ඉන් පසු එයින් බේරීමට ඉහළ ලකුණු ලබාගැනීමට දැඩි පීඩනයක් සිසුවා කෙරෙහි එල්ල කිරීම දැකිය හැකිය. තෙවැනුව මෙම පීඩනය සමාජය කෙරෙහි ගමන් කිරීමට තවත් කරුණු රැසක් ද බලපාන බව පෙන්වා දිය හැකිය. සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වලට සාපේක්‍ෂව ගුරු හිඟය, විෂය නිර්දේශ යාවත්කාලීන නොවීම සහ එම නිර්දේශ අතිශය විශාල පීඩාකාරී ඒවා වීම ආදිය නූතන අධ්‍යාපනයේ සුලබව දක්නට ඇති ගැටලු‍යි. මෙබඳු තත්වයක් යටතේ ඉහත කී තරගය ජය ගැනීමට පාසල්වලට අමතරව ටියුෂන් පන්තිවලට තම දරුවන් යැවීම වැදගත්ය යන මතය මවුපියන් තුළ ඇතිවේ. එය කිසිවකුට වෙනස් කළ නොහැකි එකකි.

තෙවැනුව නූතන අධ්‍යාපනයේ එක් හරස්කඩක් වශයෙන් ටියුෂන් ව්‍යාපාරය මගින් ඇති කරන අහිතකාරී බලපෑම් හදුනාගත හැකිය. නූතනයෙහි ටියුෂන් ගුරුවරයා මුළුමනින්ම විභාග තරගයට අවශ්‍ය දැනුම කපා කොටා පෙරා සිසුන්ට ලබා දෙමින් ලකුණු පිපාසය සංසිදවන මුදල් උපයන ශූර ව්‍යාපාරිකයකුගේ තත්වයට පත්ව ඇති බව නොරහසකි. මෙම තත්වය අද පවතින අධ්‍යාපනික පරිසරය සමග ගැලපෙන්නේ කෙසේද? මෙරට තිබෙන 10,096 ක් වන පාසල් සංඛ්‍යාවේ සිසුහු 38,82,688 ක් පමණ සිටිති.

මෑතදී කරනු ලැබූ පර් යේෂණ කිහිපයකින් පෙන්වා දී ඇත්තේ මෙම පාසල් සිසුන්ගෙන් සියයට 80 ක්ම උපකාරක පන්තිවලට සම්බන්ධව සිටින බවයි. එනම් සිසුහු 31,06,150 ක තරම් ගණනක් උපකාරක පන්ති සේවාව මුදලට ලබා ගනිති. මෙහි විශේෂිතම කරුණු වන්නේ මෙම උපකාරක පන්ති සේවාව වෙනුවෙන් අපේ මවුපියන්ට දැරිය හැකි වැයබර කොතෙක් කල් දැරිය හැකිද යන්නයි. අප සාමාන්‍යයෙන් හදුනාගත් පරිදි මෙරට මධ්‍යම පන්තියේ පවුලක සාමාන්‍ය මාසික අදායම රු. 75,000 සිට 125,000 අතර වෙතැයි සැලකේ. එසේ බලතොත් එක් දරුවකුට පමණක් උසස් පෙළ උපකාරක පන්ති සදහා මෙම ආදායමෙන් සියයට 40 සිට සියයට 60 දක්වා ප්‍රමාණයක් යෙදීමට සිදුවන බවත් දරුවන් දෙදෙනකු වෙනුවෙන් තවත් අතිරේක මුදලක් වැය කිරිමට සිදුවන බවත් නොරහසකි.

ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති සදහා වියදම් කළ නොහැකි පවුල් පිළිබඳව මෙතෙක් කිසිදු සමීක්‍ෂණයක් කර නැතත් මසකට රු. 30,000 සිට 40,000 වැනි අඩු ආදායම්ලාභී පවුල් රැසක් ඇති බව අප පිළිගත යුතුය. සමෘද්ධිය සහ අස්වැසුම ලබන පවුල් ද ඒ අතර වෙයි. මේ පිරිස සියයට 20 ක් 25 ක් අතර ප්‍රමාණයක් බව ගණන් බලා ඇත. මෙම පවුල්වල දරුවන්ට ඉහත කී තත්වය යටතේ උපකාරක පන්තිවලට යාමට නොලැබෙයි.

මෙම අඩු ආදායම් තත්වය සහ තියුණු තරගකාරී අධ්‍යාපන තත්වයෙහි සමාජ ප්‍රතිඵලයක් වන්නේ ණය ගැනීම් කරමින් ණය හිමියන් බවට පත්වෙමින් තම දරුවන්ට උගන්වන මවුපිය පරපුරක් බිහිවීමය. රු. 100,000 ට වැඩි මාසික ආදායම් ලබන පවුල් මෙරට ඇත්තේ සියයට 15 ක්, සියයට 20 ත් අතර ප්‍රමාණයකි. ඔවුන්ට මෙම උපකාරක පන්තිවලට වියදම් කිරීමට තමන්ගේ අවශේෂ සෞඛ්‍ය ආහාරපාන ආදි කටයුතුවලට බාධාවක් සිදු නොවී කර ගැනීමට පුළුවන. එහෙත් බහුතරයේ පොදු අදහසක් වනුයේ අපේ රටේ පාසල් දරුවන්ගේ මාපියන්ගෙන් සියයට 40 සිට සියයට50 පමණ උපකාරක පන්තිවලට වියදම් කළ නොහැකි තත්වයක සිටින බවය. අනෙක් අතට විවිධ මට්ටමේ තමනට නොගැලපෙන කාර්යයන් කරමින් ළමා ශ්‍රමිකයන් ලෙස නිර්දය ශ්‍රම සූරාකෑම්වලට ගොදුරුව සිටින දරුවෝ ද සිටිති.

සිව්වැනිව දිළිඳු පිටිසර පාසල් වේගයෙන් වැසී යාම, ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල්වල ප්‍රමාණවත් ගුරුවරුන් නොමැතිවීම නගරයට ද යාගත නොහැකි එම දරුවන් පාසල් අධ්‍යාපනය අතහැරීම මේ සමගම දැකිය හැකි තවත් ගැටලු‍ කිහිපයකි. එම තත්වය යටතේ දිළිඳු පිටිසර පාසල් වැඩි දියුණු නොකර ඒවා වෙනත් පාසල් සමග ඒකාබද්ධ කිරීමට යෝජිත අධ්‍යපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කර තිබීම නිසා පාසල් හැරයාමේ ප්‍රවණතාව වැඩිවීමට පුළුවන.

අධ්‍යාපනයේදී ලෝකයේ දියුණු රටවල් මූලික කරගන්නා ප්‍රධාන අරමුණු දෙකක් වේ. එනම් මෘදු කුසලතා සහ වෘත්තියමය කුසලතාය. ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මකව සෑම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකදීම පාහේ වැඩි අවධානය යොමු වුයේ වෘත්තීයමය කුසලතා කෙරෙහිය. සෑම අයකුගේම අරමුණ වන්නේ උසස් වෘත්තියකට එළැඹීමය.

මේ තරගයෙන් විශාල පිරිසක් මගදී හැලෙති. එසේ හැලී යන්නෝ විවිධ වෘත්තීන් සොයමින් වෙහෙසෙති. ඉලක්ක සපුරාගත නොහැකි වන ඔවුන් තුළ කලකිරීම, සමාජ වෛරය ඇති වේ. එය සිදුවන්නේ මෘදු කුසලතා සම්පූර්ණයෙන්ම අමතක කර දමා වෘත්තීයමය කුසලතා කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නිසාය. සහයෝගීතාව, බෙදාගැනීම, ඉවසීම, පරාර්ථකාමිත්වය, විකල්ප සෙවීම ආදි බොහෝ ගුණාංග මෘදු කුසලතාවල ඇතුළත්ය. එහෙත් එම ගුණාංග මේ වනවිට සම්පුර්ණයෙන්ම පාහේ ශිෂ්‍ය පරම්පරාවෙන් ගිලිහී ගොස් අවසානය. අධ්‍යාපනය ක්‍රමය තුළ වෘත්තීය කුසලතා කොතෙක් වර්ධනය කළත් ඒවායේ පල ලබා ගැනීමට හැකි වී ඇත්තේ ඉතාම සුළු පිරිසකටය.

පින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇත්තේ මෘදු කුසලතා සහ වෘත්තීයමය කුසලතා යන අංශ දෙකම සමබර කෙරෙන අයුරිනි. ඒ සඳහා ගැළපෙන මහා ආයතනික ව්‍යුහයක් ද එරටෙහි ගොඩනැගී ඇත. එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මේ සම්බන්ධ අවධානය යොමු කිරීම වැදගත් වෙයි.

මෙරට අධ්‍යාපනයේ වර්තමානය වනවිට ඇතිවී තිබෙන තවත් කැපී පෙනෙන ලක්ෂණයක් නම් පිරිමි දරුවන් උසස් අධ්‍යාපනයෙන් ඉවත් වෙමින් සිටීමය. සමාජ ස්ථරායනයේ දී ස්ත්‍රී-පුරුෂ සාමාජභාවය ද සමාජ ප්‍රශ්න හඳුනාගන්නා එක්තරා අවස්ථාවකි. අධ්‍යාපනයෙහි මේ වනවිට ස්ත්‍රී- පුරුෂ සමාජභාවයෙහි දැඩි අසමතුලිතතාවක් දැකිය හැකිය. උසස් පෙළ පන්තිවල ද විශ්වවිද්‍යාලවල ද ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් සිටින්නේ ඉතාම සුළු වශයෙනි.

මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට පෙර නූතන අධ්‍යාපන ව්‍යුහයේ සැබෑ ස්වරූපය හදුනාගැනීම ඉතා වැදගත් බවයි. නව ලිබරල්වාදී වෙළෙඳපොළ මත පදනම් වූ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ කොතෙක් දුරට මෙබදු ව්‍යාකූල අධ්‍යාපනික ව්‍යුහකට සම්බන්ධ කළ හැකි වෙතැයි ගැඹුරින් සිතීම වැදගත්ය. ශික්‍ෂණය විශේෂඥතාව නිර්මාණශීලිත්වය ශිෂ්‍ය සුබසාධනයට මුල් තැන දීම වැනි අධ්‍යාපනික ශක්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් මෙරටේ අධ්‍යාපනය පිළිබඳ නව ප්‍රතිසංස්කරණ සකස් වේ නම් එය ඉතා වැදගත්ය අද අධ්‍යාපනය මගින් උද්ගත කෙරෙන ඉහත දැක්වුණු සමාජ ගැටලු‍ විග්‍රහාත්මකව තේරුම් ගැනීම ඒ සමගම අවශ්‍ය වේ.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

අධ්‍යාපනයේ සැඟවුණු යථාර්ථය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 116 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1057 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site