IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අදීන චින්තනයේ නූතන ප්‍රතිරූපය මහැදුරු ටෙරන්ස්

ශ්‍රී ජයවර්ධනපුර විශ්‍වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ප්‍රධානි අභාවප්‍රාප්ත මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතාගේ අවසන් කටයුතු ඊයේ (08) සිදු කෙරිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය සහ පශ්චාත් උපාධිය ලබා ගත්තේය. ටෙරන්ස් පුරසිංහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ පළමු අධ්‍යයන අංශ ප්‍රධානියාය. දේශපාලනය පිළිබඳ විද්වතකු වූ පුරසිංහ මහතා අදීන චින්තනයක් තිබූ ප්‍රතිපත්තිගරුක වියතෙකි. විෂයානුබද්ධව ප්‍රාමාණික දැනුමකින් සන්නද්ධව සිටි එතුමා ප්‍රායෝගිකව සිය ප්‍රගතිශීලී අදීන භූමිකාවට අනුව කටයුතු කළ දුර්ලභ චින්තකයෙකි. වර්තමානයේ සරසවි පද්ධතියේ නාමධාරී ආචාර්යවරු, මහාචාර්යවරු රැසක්ම ​ටෙරන්ස් පුරසිංහ මහතාගේ යටතේ ශිල්ප හැදෑරූවන්ය.

වාමාංශික දේශපාලනය තුළ කටයුතු කළ එතුමා නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු ද විය. පුවත්පත් ලිපි මගින් පමණක් නොව සම්මන්ත්‍රණ ඔස්සේ ද මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් තම විචාර කලාව පවත්වාගෙන ගියේය. සන්සුන් මිනිසෙකු වූ හෙතෙම දේශනවල දී තියුණු වාග් ප්‍රහාරයක් එල්ල කරන්නෙකි. කිසියම් සම්මන්ත්‍රණයකට මහාචාර්යතුමන් පැමිණේ ද එය අර්ථපූර්ණ වෙයි.

සෑම විටම ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය පිළිකෙව් කළේය. මානව සහජීවනය විශ්වාස කළ එතුමා විටෙක එක්සත් ජාතික පක්ෂ මතවාදය සමග සමීපව සිටි ඉතිහාසයක් තිබුණේය. අවසාන කාලයේ සමගි ජන බලවේගයේ බුද්ධි මණ්‍ඩපය සමග එක්ව අප පක්ෂයේ ප්‍රගමනය උදෙසා බුද්ධිමය දායකත්වය ලබා දුන්නේය. මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා දේශපාලන ව්‍යාපාරයක් යා යුතු මාවත එතුමන් අපට කියා දුන්නේය.

වෙනස්වන තත්ත්වය තුළ වෙනස්කම් සිදුවිය යුතුය, යන්න එතුමා තරයේ විශ්වාස කළේය. සෑම විටම තම හෘද සාක්ෂියට අනුව ක්‍රියා කිරීම, කතා කිරීම මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතාගේ සුවිශේෂි ගුණයකි. කිව යුත්ත කියවිය යුතු මොහොතේ ම කියන එතුමා එයින් තමාට එල්ල විය හැකි බලපෑම කිසි විටෙක සැලකිල්ලට ගත්තේ නැත. තමා පළකරන මතය තුළ විවේචනය වන්නේ කවුරුන්ද? එයින් ඇතිවන බලපෑම කුමක්ද? යන්න නොව එකී මතය තුළ සමාජයට සිදුවන යහපත කුමක් ද යන්න සැලකිල්ලට ගැනීම පමණක් පුරසිංහ මහතාට වැදගත් විය.

රටේ බලගතු යැයි සිතන පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත්, එවැන්නන්ට කරන්නට උත්සාහ දැරූ සුවිශේෂී සැළකිලි පිළිබඳවත් පුරසිංහ මහතා අදහස් පළ කළේ එවැනි අදහස් පළකිරීමට පෙර කෙනෙකු ඒ පිළිබඳව දෙවතාවක් සිතන අවදියකදීය. තනතුරු, තාන්න, මාන්න සහ වරදාන වරප්‍රසාද අලුයම ලු කෙළපිඬක් සේ ඉවත හල එතුමා ඒවා මත කිසි විටෙකත් සිය ප්‍රතිපත්ති පාවා නොදුන්නේය.

යමෙකුගේ හොඳ ප්‍රතිරූපයක් ගොඩ නැගෙනුයේ ඔහු කියන දෙයින් නොව කරන දෙය තුළය. ​ටෙරන්ස් පුරසිංහ මහතා කී දේ කළ වියතෙකි. එවැනි හැසිරීමක් අපේක්ෂා කළ හැකි වන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකන සමාජයේ වෙනසකට කැප වූ අයෙකුගෙන් පමණි. එම උදාර ගුණය පූර්වාදර්ශීයවම එතුමා තුළ දක්නට ලැබුණි. තම විෂය පරාසය මෙන්ම පරිබාහිර තතු පිළිබඳව තිබු අවබෝධය සහ දැනුම නිවැරදි තීරණ තීන්දු ගැනීමට එතුමාට ප්‍රබල සවියක් විය. රටේ ජනතාවගේ නිදහස සාමානාත්මතාවය සහෝදරත්වය සඳහා කොන්දේසි විරහිතව එතුමා පෙනී සිටියේය.

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා දක්ෂ සන්නිවේදකයකු ලෙස ද ප්‍රචලිත වූ අයෙකි. විද්‍යුත් මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය තුළ සම්පත්දායකයකු ලෙස කටයුතු කළේ මේ රට වඩාත් සුභවාදී තැනකට රැගෙන යනු පිණිසය. එතුමා ලියු ලිපි ලේඛන පරිශීලනය කරන්නෙකුට දැනුමට බොහෝ දේ එකතු කර ගැනීමට පුළුවන. විශේෂයෙන්ම පොදුජන සේවාවට එක්වන අංකුර දේශපාලකයන්ට එතුමාගේ ලිපි ලේඛන පරිශීලනය තුළ ශ්‍රී ලංකාවේ අනාගතයේ හැඩ රුව කෙසේ විය යුතු දැයි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

බහු වාර්ගික බහු භාෂාමය, බහු ආගමික, සමාජයක පැවැත්ම තහවුරු කරන දේශපාලන වැඩපිළිවෙළක් කෙසේ විය යුතු ද යන්න පිළිබඳව පුරසිංහ මහතාට පැහැදිලි දැක්මක් තිබුණි. සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයට බුද්ධිමය දායකත්වය ලබා දුන් එතුමා පෞද්ගලිකවම මා වෙත දුන් මාර්ගෝපදේශය මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරමි. එතුමා දුරකතනයෙන් හෝ සම්බන්ධ වෙමින් අප සමග බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළ අතර ඒ සාකච්ඡා අපගේ දැනුම් පරාසය පුළුල් කර ගැනීමට ඉවහල් විය.

කෙටිකලක් අසනීපයෙන් පෙළුන ද ඒ පිළිබඳව කිසිදු හැඟීමක් පල නොකරමින් අවසාන ​මොහොත දක්වාම විශ්වවිද්‍යාලයීය කටයුතුවලත්, සමගි ජනබලවේගය තුළත් දේශපාලන කටයුතු සඳහාත් ක්‍රියා කළ අන්දම අප සැමටම ආදර්ශයකි. මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අපෙන් සමුගන්නේ එතුමාගේ හඬ, ලේඛනය මතවාද සහ ශක්තිය රටට ඇවසිම මොහොතේදීය.

ජීවිතය පිළිබඳ අනිත්‍ය පසක් කර දෙමින් සමුගන්නා මහාචාර්ය ​ටෙරන්ස් පුරසිංහ මහතාට දැක්විය හැකි සැබෑ ගෞරවය වන්නේ එතුමා අරමුණු කර ගත් ශ්‍රී ලංකාව ගොඩනැගීමට කැපවීමයි. සමගි ජන බලවේගය ඒ සඳහා ඇප කැප වන බව අවධාරණය කරමු. මිනිසුන් අතර මිනිසත්කම සපිරි මිනිසෙක් වූ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතාට උතුම් නිවන් සුව ලැබේවා.

(***)

සජිත් ප්‍රේමදාස
විපක්ෂනායක සහ සමගි ජනබලවේගයේ නායක

 



අදහස් (0)

අදීන චින්තනයේ නූතන ප්‍රතිරූපය මහැදුරු ටෙරන්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site