පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 25 වැනිදා ආරම්භ විය. ‘නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්’ වන තේමාව යටතේ මෙවර 2024 වසර සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩ සටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් ගමන් වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු සහ සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායකවීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැගීම යන මූලික අරමුණු ඉටුකර ගැනීම මෙම ආහාර වැඩපිළිවෙළෙහි අරමුණු බව සඳහන්ය.
රජයේ පාසල් 9134 ක ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් හා 100 කට අඩු සිසුන් සිටින සියලුම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6 ක් මෙවර පාසල් ආහාර වැඩපිළිවෙළේ ප්‍රතිලාභීහු වෙති. මේ සඳහා රජය රුපියල් මිලියන 18600 ක අයවැය ප්‍රතිපාදන ඍජුවම පළාත් සභා 9 ට වෙන් කර ඇති අතර අමතර වශයෙන් ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබන බව ද වාර්තාවේ.
ඉතා අගනා කාලෝචිත ව්‍යාපෘතියකි. විශේෂයෙන්ම දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මොහොතක වේලක් හැර වේලක් කෑමට බහුතර ජනයාට සිදුවී තිබෙන මොහොතක ඒ සියලු ජනී ජනයාට අස්වැසිල්ලක් ලබා දීමට මෙම වැඩසටහන මහෝපකාරී වෙයි. මේ මොහොතේ කළ යුත්තේ දරුවන්ට නොමිලේ ආහාර වේලක් සැපයීම නොව දරුවන්ට තුන්වේල කන්න, බොන්න දිය හැකි ආර්ථිකයක් මව්පියන්ට සකසා දීම, යැයි වැනි පණ්ඩිත කතා මේ මොහොතට වලංගු නැත. ඒ බව පසක් කරවන ප්‍රකාශයක් අප පුවත්පත ඊයේ වාර්තා කර තිබිණි.
වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා උපුටා දක්වමින් වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ වයඹ පළාතේ පාසල් දරුවන්ගෙන් එක් ලක්ෂ දහසය දාහක් මන්දපෝෂණයෙන් පෙළෙන බවය. වයඹ පළාතේ පාසල්වල සිසුවියන් 68,000 ක් සහ සිසුන් 48,000 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ද ඔවුන් මන්දපෝෂණයෙන් පෙළීමට හේතු වී ඇත්තේ පවතින ආර්ථික කඩා වැටීම හමුවේ මවුපියන්ට සමබල ආහාර වේලක් ලබාදීමේ හැකියාවක් නොමැති කම නිසා බවද ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.
ඉකුත් සමයේ නිතර වාර්තා වූයේ කුසගින්න නිසා පාසල් සිසුන් පාසල් බිමේදී ක්ලාන්ත වී ඇද වැටෙන බවය. හැකියාවක් ඇති දරුවන් ආහාර පාර්සල් දෙකක් පාසලට රැගෙන එන බවත් ඉන් එක් පාර්සලයක් ගුරුවරුන් හරහා ආහාර අහේනියෙන් පෙළෙන දරුවන් අතට ලබා දෙන බවත්ය. ඒ නිසාම ඇතැම් දරුවන් පාසල් පැමිණෙන බවත් පසුගිය කාලයේ නිතර වාර්තා විය.
ඉතිහාසයට බැණ අඬ ගසා දැන් කිසිදු තෙරුමක් නැත. ආර්ථික අර්බුදයේ නිර්මාතෘවරු සම්බන්ධයෙන් කෙරෙන කෙස් පැලෙන තර්කවලින් දුවා දරුවන්ගේ බඩගින්න නිවා දැමෙන්නේද නැත. දෙව්රම් වෙහෙරට පැමිණි කුසගින්නෙන් පෙළෙන අහිංසක දරුවන් දෙදෙනකුට ධර්ම දේශනා පැවැත්වීමට පෙර බුදුරජාණන් වහන්සේගේ උපදෙසින් එම දරුවන් දෙදෙනාට පිරෙන්න ආහාර වේලක් සැපයුණු බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. ලොව ලොකුම ගින්න බඩගින්න බව අවිවාදාත්මකය.
වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අනාවරණය කර තිබුණේ වයඹ පළාතේ තත්වය පමණි. එමගින් කියැවෙන්නේ අනෙක් පළාත්වල එබඳු තත්වයක් නොමැති බව නොවේ. සෙසු පළාත්වල තත්වය ද එයට දෙවැනි නැත. එහෙයින් පාසල් සිසුන් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන වඩ වඩාත් ශක්තිමත්ව පෙරට ගත යුතුය.
(***)

COMMENTS
බත් හැන්දකට ඡන්දෙ දෙන ගාණට රට වට්ටපු රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ජයවේවා...!
ළමයින්ට මන්දපෝෂණේලු.. ඒ දෙමව්පියන්ටම කියලා ඉස්කෝලෙටම කන්න දෙන වැඩසටහනක්. රජයෙන් කරන වැඩක් වෙන්නේ කොහොමද? දන්නා කෙනෙක් කියනවාද?
මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බැරි තරමට හොරාකාලා, බදුගහලා ඒ සල්ලි වලින් කන්න දුන්නාට වැඩක් නෑ. මේ රටේ සෑම මිනිසෙක්ටම ජීවත් වීමට අවශ්‍ය අවම දේවල් ඔවුන්ගේම ස්වෝත්සාහයෙන් ලබාගැනීමට හැකිවන පරිදි මෙම ක්‍රමය වෙනස් කළ යුතුයි...
අම්මෝ!! මේ මන්දපෝෂණ කතාව නම් අර එන්. ජී. ඕ. කාරයින් අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්කරන්න ගොතපු අමූලික බොරුවක්.. මෙච්චර කෑම බීම තියන රටේ ළමයින් හැමදෙනාම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගෙන නිරෝගීව ඉන්නවා දැකලා ඉරිසියාවට කියන කතා තමයි මෙව්වා... අර කලන්තෙ දාලා ඇද වැටිලා තියෙන්නේ ළමයි ඕනෑවට වඩා කාලා වැඩිකමට කෑම දිරවා ගැනීමේ අපහසුතාවයෙන් වෙන්න ඇති.... දෙමව්පියන්ට තියනවා කියලා ඕනෑවට වඩා දරුවන්ට කෑම දෙන්න හොඳ නැහැ... අපේ දරුවන්ගේ පෘෂ්ටිමත් බව දැකලා මුළු ලෝකයම අපිට ඉරිසියාකාරකම් කරන දවස වැඩි ඈතක නැහැ.
මහින්ද අප්පච්චිගෙ කුරුණෑගල දිස්ත්‍රික්කේ ළමයින්ට එහෙම වෙන්න විදිහක් නෑනේ. කලින් හිටිය හම්බන්තොට දිස්ත්‍රික්කේ ළමයිනුත් කාල බීලා බෝලගෙඩි වගේ පෙරලි පෙරලි තාමත් සතුටින් ජීවත්වෙනවා.