IMG-LOGO

වත්කම් බැරකම් නීති තදින්ම ක්‍රියාත්මක කරවමු

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව පවත්වන විමර්ශනවලින් පසුව වසරක සිර දඬුවමක් හෝ මාස දොළහක දළ වැටුපට සමාන දඩයක් හෝ එම දඬුවම් දෙකම හෝ නියම කිරීමට නව දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන සලසා ඇතැයි ලංකාදීප ප්‍රවෘත්තියකින් හෙළිකර තිබේ. එම පනතට අනුව ජුනි මස 30 වැනිදායින් අවසන් වන කාල සීමාවට ප්‍රථමව එකී වත්කම් ප්‍රකාශ බාරදී නොමැති නම් සැප්තැම්බර් 06 වැනිදා දක්වා වන කාල සීමාවකින් පසුව මෙම දඬුවම් පැමිණවීමේ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවද එම ප්‍රවෘත්තියේ සඳහන් වෙයි.

නව දූෂණ විරෝධී පනත මගින් පනවා ඇති මේ විධිවිධාන සම්බන්ධයෙන් මේ රටේ සියලු ජනතාවගේ ප්‍රසාදය හිමිවෙන බව මුලින්ම සඳහන් කළ යුතුය. අදාළ පනත බලාත්මක කෙරුණේ අයි.එම්.එෆ්. යෝජනාවක් අනුව බවද මෙහිදී සිහිපත් කිරීම අවශ්‍යය. එය අදාළ ගිවිසුම්වල එක් ප්‍රධාන කොන්දේසියක් විය. ඒ අනුව මේ පනතට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රටේ ඉහවහාගිය දූෂණය සහ වංචාව හැකිතාක් දුරකට අවම කිරීමේ උත්සාහයට විශාල රුකුලක් වනු ඇත.

අප එසේ පවසන්නේ ඕනෑම පුද්ගලයකුගේ වත්කම් සහ බැරකම් සමග එම පුද්ගලයා උපයන ආදායම ඍජුවම බැඳී පවතින බැවිනි. උපයන ආදායමේ ප්‍රකාශිත සහ අප්‍රකාශිත වශයෙන් කොටස් දෙකක් පවතින බව ප්‍රකට රහසකි. අතීතයේ දී පවා බොහොමයක් මුදලාලිලා පාරිභෝගිකයාට ලබාදෙන බිල්පත සහ ආදායම් දෙපාර්තමේන්තුවට පෙන්වන බිල්පත වශයෙන් බිල්පොත් දෙකක් භාවිතයට ගන්නා බව සමාජයේ කතාබහට ලක්වූවකි. එහෙත් එම වංචාව වර්තමානයේ සිදුවන මහා පරිමාණ ගසාකෑම් සමග සසඳන කල නොගිණිය හැකි තරම්ය. වංචා සහ දූෂණ ක්‍රියාමාර්ග මැඩලීම සඳහා නව දූෂණ විරෝධී පනත ඇතුළු අණ පනත් අලුතින් බිහිවුණේ වංචා සහ දූෂණ ද අයථා ලෙස උපයා ගන්නා ආදායම් ද මැඩ පැවැත්වීමේ අරමුණෙනි. එහෙත් මේ දක්වා නව දූෂණ විරෝධී පනතේ විධි විධාන දේශපාලනඥයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූ තරම්ය. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන් සිරගත කරන සහ ඔවුන්ට දඩ ගසන නීති ක්‍රියාත්මක කිරීම ඒ අනුව දූෂණ වංචා වැඩලීමේ නව ප්‍රවේශයක් වශයෙන් අපි දකිමු.

දේශපාලන සබඳතා යොදා ගනිමින් විවිධ ආකාරයට ධනය උපයන දේශපාලනඥයන් අප රටේ හිඟ නැත. තැපැල් නයින්ටිය පැදගෙන පුංචි ඡන්දවලට ඉදිරිපත්වී දේශපාලනයට අතපොත් තැබූ සමහර මන්ත්‍රීලා පසු කාලයකදී පාර්ලිමේන්තුවට පැමිණ මාලිගා බඳු නිවාස හදාගෙන නැව් පවා මිලදී ගත් බව රහසක් නොවේ. එහෙත් පැවති නීති යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තිබූ විධිවිධාන මඩේ සිටවූ ඉන්නක ආකාරයෙන් ක්‍රියාත්මකවීම නිසා මේ සියලු දෙනාට ගැටලුවක් නොවීය. නව නීති යටතේ තවදුරටත් එසේ නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.

දේශපාලන බලය යොදා ගනිමින් තමන් උපයන වත්කම් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරු උපන් හපන්නු වෙති. රටේ සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක වන නීතිය තමන්ට ක්‍රියාත්මක නොවන බවටත් තමන් සිටින්නේ එම නීතියට ඉහළින් බවටත් වන හැඟීමක් ආණ්ඩු පක්ෂ සමහර මන්ත්‍රීවරු තුළ පවතී. විපක්ෂයේ සිටියදී වංචාවට සහ දූෂණයට එරෙහි සටනේ පෙරමුණේ සිටින කසකාරයන් ආණ්ඩු බලයට පැමිණි පසු ඒ සියලු ප්‍රතිපත්ති පසෙකට දැමීමට ගත වන්නේ සුළු කාලයකි. මේ හේතුවෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම කිසිදු ආණ්ඩුවක් යටතේ නියමාකාරයෙන් ක්‍රියාත්මක වූයේ නැත.

එය නව දූෂණ විරෝධී පනතේ ප්‍රබලම වගන්තියක් බවට පත් වන්නේ එම අඩුපාඩුව මගහරවා ගැනීම සඳහා බවත් එම නීතිය අකුරටම ක්‍රියාවේ යෙදිය යුතු බවත් පෙන්වා දෙමු. වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වන මන්ත්‍රීවරයා එසේ නොකරන්නේ ප්‍රකාශ කිරීමට නොහැකි ආකාරයට උපයාගත් ආදායම් හේතුවෙන් බව පැහැදිලිය. එවැනි කම්බා හොරුන්ට සිර දඬුවම් සහ දඩ නියම කිරීම පිරිසුදු පාලනයකට තබන ශක්තිමත් ඉදිරි පියවරක් වනු නොඅනුමානය.

(***)



අදහස් (0)

වත්කම් බැරකම් නීති තදින්ම ක්‍රියාත්මක කරවමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 440 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site