IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රේගුවේ ආදායම් අවභාවිතාව

ශ්‍රී ලංකා රේගුව රටට ආදායම් ගෙන එන ප්‍රධානම රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ වර්ෂය ආරම්භයේදී ප්‍රකාශ කර තිබුණේ, 2023 වර්ෂය තුළදී රුපියල් බිලියන 970ක වාර්තාගත ආදායමක් ලබා ගැනීමට රේගුව සමත් වූ බවය. එය රේගු ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව බව ද සඳහන් කෙරිණි. එහෙත්, මෙසේ වාර්තාගත ආදායමක් ලැබීම, රේගු නිලධාරීන්ට සිත්සේ එම ආදායමෙන් කොටසක් අයථා ලෙස බෙදා ගැනීමට හේතුවක් කරගත නොහැක. එවැන්නක් සිදු වී නම්, එය හැඳින්විය යුත්තේ එක්තරා අන්දමක ගසාකෑමක් වශයෙනි.

අප මේ කරුණු සඳහන් කරන්නේ, අපගේ සහෝදර පුවත්පතක් වන ඉරිදා ලංකාදීපයේ පළ වූ ප්‍රවෘත්තියක් කෙරෙහි අවධානය යොමු කරවමිනි. එම ප්‍රවෘත්තියට අනුව, 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී රේගුවේ නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන පුද්ගලයන්ට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි 2,422ක් බෙදා දී තිබේ. තෑගි මුදල් වශයෙන් මෙතරම් විශාල මුදලක් බෙදා ගැනීමේදී ඒ සඳහා විෂයය භාර අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබා නොගැනීම එම දීමනාවල නීත්‍යනුකූලභාවය දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කරන බව පෙන්වා දිය යුතුය. රේගු නිලධාරීන්ගේ තනි අභිමතය පරිදි පමණක් මෙතරම් විශාල මුදලක් බෙදා හදා ගැනීමට රේගුවේ ලොක්කන්ට හයියක් ලැබුණේ කෙසේ ද යන්න විමසා බැලිය යුතු නොවේ ද?

ත්‍යාග මුදලට අමතරව අතිකාල සම්බන්ධයෙන් ද සාමාන්‍ය රාජකාරිවලදී පවා දිරි දීමනා සහ වෙනත් අමතර ප්‍රතිලාභ ලබා ගැනීම සම්බන්ධයෙන් ද අක්‍රමිකතා සිදු වී ඇති බව මේ තොරතුරු හෙළි කරන ජාතික විගණන කාර්යාලය, රේගු අරමුදල් කළමනාකරණය සහ පරිපාලනය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව පෙන්වා දී තිබේ. එම තොරතුරුවලට අනුව, රේගුවේ අතිකාල අරමුදල ද දැඩි ලෙස අවභාවිත වී තිබේ. 2021 සහ 2023 වර්ෂවලදී මෙම අතිකාල අරමුදලින් රුපියල් කෝටි 200ක් නිලධාරීන්ට ලබා දීමේදී රජයට බැර කර ඇත්තේ රුපියල් කෝටි 20ක් පමණි. එය රජයට ලබා දිය යුතු ආදායමක් වැඩි කලබලයකින් තොරවම අමතක කර දැමීමකි. එතරම් අපරික්ෂාකාරී ලෙස රේගුවේ ආදායම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ඒ කාලවල වගකිව යුතු නිලතල හෙබවූ නිලධාරීන් වගකිව යුතුය. මෙවැනි අක්‍රමිකතා ඉදිරියේදී හෝ සිදු නොවීමට වග බලා ගැනීම වත්මන් රේගු බලධාරීන්ගේ වගකීම වෙයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම නිසි ලෙස කළමනාකරණය නොකිරීමේ ප්‍රතිවිපාක වඩාත්ම දැනෙන්නේ මේ රටේ පොදු මහජනතාවටය. කර මුලටම ආර්ථික වශයෙන් හිර වුණත්, රජයට බදු ගෙවීමට බැඳී සිටින ජනතාව අපා දුක් විඳිද්දී රජයට ආදායම් ලබා දිය යුතු නිලධාරීන් එම ආදායම තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකිය. රේගුව විශේෂ රාජ්‍ය සේවාවක් බවත්, එහි නිලධාරීන්ට රාජකාරි ඉටු කිරීමේදී ප්‍රබල අභියෝගවලට මුහුණ දීමට සිදු වන බවත් අපි දැන සිටිමු. ඒ වෙනුවෙන් ඔවුන්ට තම රාජකාරි ආවරණය කිරීමේදී රජයේ සෙසු නිලධාරීන්ට නොමැති වරප්‍රසාද නීතියෙන්ම ලබා දී ඇති බවත් දනිමු. වැටලීම් සිදු කළ විට ත්‍යාග මුදල් වශයෙන් සැලකිය යුතු මුදලක් එම රාජකාරි ආවරණය කළ නිලධාරීන්ට ලබා දීම එවැනි එක් වරප්‍රසාදයකි. එහෙත්, අදාළ විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ, සාමාන්‍ය රාජකාරි ඉටු කරන නිලධාරීන්ටත් එවැනි දිරි දීමනා සහ ප්‍රතිලාභ ලබා දීමට නිලධාරීන් ක්‍රියා කර ඇති බවය. එය පැහැදිලිවම මුදල් අවභාවිත කිරීමකි.

වාර්තාගත අන්දමට රජයට ආදායම ලබා දීමට කැපවී කටයුතු කරන රේගු නිලධාරීන්ට අපගේ ප්‍රශංසාව හිමි වන බව ද මෙහිදී සඳහන් කරමු. රාජ්‍ය මූල්‍යකරණයේ ඉතා වැදගත් ආයතනයක් මහා පරිමාණයේ මුදල් අක්‍රමිකතා සිදු වන ස්ථානයක් වශයෙන් හංවඩු ගැසෙනවා දැකීමට ද අපි අකැමැත්තෙමු. රජයට ආදායම් උපයා දීමත් සමග එයින් කොටසක් නිසි අනුමැතියකින් තොරව අනීතික ලෙස තමන්ටම බෙදා ගැනීම කිසි ලෙසකින්වත් සාධාරණ නැත. එය ශ්‍රී ලංකා රේගුවේ අභිමානයට කැළලක් බව ද පෙන්වා දීමට කැමැත්තෙමු.

 

(***)



අදහස් (0)

රේගුවේ ආදායම් අවභාවිතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31397 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13647 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1038 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site