IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


මෙරටට එන සංචාරකයන් අසීරුවට පත් නොකරමු

නේපාලයේ කත්මන්ඩු නුවර බලා ඔක්තෝබර් පළමුවැනිදා උදේ පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානයක් පැය හතරකටත් වඩා ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් දෙසියක් පමණ කටුනායක ගුවන් තොටුපොළේ අසීරුතාවට පත්වීම පිළිබඳ පුවතක් නොබෝදා අප පුවත්පත වාර්තා කළේය. මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් ගමන්  කිහිපයක් අවලංගු කිරීම නිසා ගුවන් මගින් අපහසුවට පත්වූ පුවත් ද නොබෝදා වරින්වර අසන්නට ලැබිණි.

සංචාරකයන්ට මෙම තත්ත්වය කෙතරම් අප්‍රිය සහගත අයුරින් බලපෑවේ ද යන්න මෙම සිද්ධිය පිළිබඳ වාර්තාවෙන් ම පැහැදිලි වෙයි. කත්මණ්ඩු නුවර සිට නියමිත වෙලාවට වෙනත් ගමනාන්තවලට යන්නට බලාපොරොත්තුව සිටි විදේශ සංචාරකයන් ද එහි සිටි බව වාර්තා කොට තිබිණි. මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් බොහෝ දෙනා හුදෙක් මෙරටටම  පැමිණ ආපසු සිය රට බලා යන අය නොවෙති. ඒ බොහෝ අය දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු කලාපයේ  සංචාරද  සිය සංචාරයට එක පෙළට එක්කර ගන්නෝ ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ අකාර්යක්ෂමතාව මෙවැනි සියලු‍ සංචාරකයන්ගේ පූර්ව සැලසුම් කඩාකප්පල් කරන්නක් බවට පත්වේ. එක් අතකින් සංචාරක ගමනාන්තයක් ලෙස මේ රට කීර්තිනාමය ප්‍රවර්ධනය කිරීමට ධන සම්පත් වැය කරමින් වෙර දරන විට අනික් අතට එම කීර්තිනාමය  අකාමකා දමන්නට මෙවැනි අකාර්යක්ෂමතා හේතු වන බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙරට බිඳ වැටුණු  ආර්ථිකය අසීරුවෙන් ගොඩගෙන යාන්තමින් නාඩි වැටෙන තත්ත්වයට එය ගෙන ඒම සඳහා විදේශ විනිමය රැස්  කරගනු වස් ක්ෂණික බලාපොරොත්තු තබා ඇත්තේ සංචාරක කර්මාන්තය වෙතය. ඒ සඳහා මාසයෙන් මාසයට මේ වසරේ මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ගණන් බලමින් යම්තමින්  හිස ඔසවා ගන්නට අපි තැත් කරමින් සිටින්නෙමු.

මේ වසරේ සැප්තැම්බර්  විසි වැනි දින වන විට එම මාසයේ පැමිණ සිටි සංචාරකයන් සංඛ්‍යාව වූ 75222 ත් සමග එදින වන විට මේ වසරේ පැමිණි සිටි සංචාරකයන් සංඛ්‍යාව, 979540 කි. පසුගිය වසර පුරාම පැමිණි මුළු සංචාරක සංඛ්‍යාව 719978 හා සසඳා බැලූ විට බැලූවිට මෙය හොඳ ප්‍රගතියකැයි අපි සැනසුම් සුසුම් හෙළන්නෙමු.

සංචාරක කර්මාන්තය ඔස්සේ  යම් දුරකට මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අභිප්‍රායෙන් ජනාධිපතිවරයා ලබන වසරේ මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 5 දක්වා වැඩිකර ගැනීමේ ඉලක්කයක් යෝජනා කර තිබිණි. මෙකී ඉලක්ක කරා යන්නට සංචාරකයන් මෙරටට කැඳවාගෙන එන ප්‍රධාන වාහකය වන්නේ මෙරට ගුවන් සමාගමයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේවන විට ණය බරින් මිරිකෙමින් අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇත.

අදාල පුවතේ ඇති ගැටලුවට හේතු වී ඇත්තේ තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් බව වාර්තා වී තිබුණද මූලික ගැටලු‍ව පවතින්නේ එතැන නොවේ. මූලික ගැටලුවට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකන් සමාගම පත්ව ඇති අන්ත දුක්ඛිත තත්ත්වයි. එම තත්ත්වය යම්තමින් හුස්ම අල්ලා ගැනීම කෙරේ බලාපොරොත්තු තබාගෙන ඇති සංචාරක ප්‍රවර්ධනයට ද වින කටින්නකි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අකාර්යක්ෂමතාව පිළිබඳ සියලු‍ ගැටලු‍වලට මූලික වන්නා වූ එහි මූල්‍ය  තත්ත්වය මෙහි දී මතක් කර ගනු වටී. 2023 මැයි මාසයේ දී වාර්තා වූ පරිදි, 2022 වසරේ එම සමාගමේ වාර්තාගත පාඩුව රුපියල් බිලියන 163.58 කි. ඒ 2021 වසරේ වාර්තාගත පාඩුව වූ රු. බිලියන 49.7 ට වඩා තුන් ගුණයකටත් වැඩි තත්ත්වයකි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ප්‍රතිව්‍යුහගත කිරීමට නිර්දේශ කළ මෙරට රාජ්‍ය ව්‍යවසාය 52 න් ශ්‍රී ලංකන් සමාගමේ නම ඉහළින්ම සඳහන් වේ. මෙම සමාගම ලාභ  ලබා ඇත්තේ 1998 සහ 2008 අතර, එහි කළමනාකරණය  එමිරේට්ස් එයාර්ලයින්ස් වෙත පැවරී තිබුණු කාලය තුළ පමණකි.

මෙවැනි තත්ත්වයක පවතින ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිපුන තාක්ෂණික ශිල්පීන් රඳවා තබා ගැනීමට හැකියාව ඇති ආයතනයක් ලෙස තවදුරටත් පවතින්නේ නැත. නිපුන තාක්ෂණික  ශිල්පීන් සමාගම හැර ගොස් වෙනත් තරගකාරී මට්ටමේ විදේශ සමාගම් වලට මාරු වීමේ ප්‍රවණතාවක් මතුව ඇතොත් එය පුදුම වන්නට කාරණයක් නොවේ.

(***)



අදහස් (0)

මෙරටට එන සංචාරකයන් අසීරුවට පත් නොකරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site