ලොව පහළ වූ අසම සම ශාස්තෘවරයාණන්වහන්සේ වන වීතරාගී ලොවුතුරා බුදු රජාණන්වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය හෙට උදාවේ. ‘‘සියලු නොසන්සුන් සිත් සතන් නිවී සැනසීම් බවට පත්ව අරගල, ගැටුම් අවසන්ව මේ බිම සාමයේත් සාමාකාමීත්වයෙත්, සහජීවනයෙත්, සමෘද්ධියේත් පරාදිසයක් වනු ඇතැයි යන පූජනීය ප්‍රාර්ථනාව සමගින් උතුම් බුදු පුදට පෙළ ගැසෙන ජනී ජනයා සමග ලංකාදීපය මෙසේ එක්වන්නේ බුදු බැතින් පිනාගිය හදවතෙනි.

අපට මෙවර ද වෙසක් මංගල්‍ය අහිමි විය. පළමු වර පාස්කු  ඉරිදා  ප්‍රහාරය නිසා එක් වරක් වෙසක් මංගල්‍ය අහිමිව ගිය අතර කොරෝනා මාරාන්තික වයිරසය නිසා දෙවරක්ම වෙසක් මංගල්‍ය  අපට අහිමි විය. මෙවර වෙසක් මංගල්‍ය අපට අහිමිව ගොස් තිබෙන්නේ රට තුළ නිර්මාණය වී ඇති ගැටුම්කාරි තත්ත්වය නිසාය. පන් දහසක් කල් සස්න රක්නා රට යැයි විරුදාවලි ලත් මේ පින් බිම කෘෘර නරකාදියකට ඇද වැටුණේදැයි සිතීම සන්සුන් මනසින් වැඩිය යුතු භාවනා කමටහනකි.

‘‘නහි වේරෙන වේරානි- සම්මන්තිධ කුදාචනං

අවේ​ෙර්නච සම්මන්තී- එ්ත ධම්මෝ සනත්තනෝ’’

ඒ බුදු රජානන් වහන්සේ දේශනා කළ සනාතන දහමකි. සනාතන යන වචනයෙහි  අරුත වන්නේ අතීතයට වර්තමානයට හා අනාගතයට අදාළ යන්නය. ඒ අනුව එම බුදු වදන අදට ඉතාම නිවැරදිව ගළපා ගත යුතුය. බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ වෛරයෙන් වෛරය ජයගත නොහැකි බවත් වෛරය ජයගත හැකි වන්නේ අවෛරයෙන්ම බවත්ය. එකක් පසුපස එකක් වශයෙන් අත්විඳි හා අත්විඳින අත්දැකීම් ඇසුරෙන් ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි පාඩමක් වුවද අප සමාජය එම පාඩම් ඉගෙන ගෙන ඇති බවක් නොපෙනේ.

එය එසේවීමට හේතුවක් තිබේ. අප සමාජයේ සාත්‍ිශය  බහුතරයක් දෙනා බුදු දහමෙහි දැක්වෙන සතර අගතියට පත්ව සිටිති. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන් හා මෝහයෙන් අගතියට නොයා යුතු බවය. එසේ අගතියට පත්වන්නේ නම් එය විනාශයට හේතුවන බවය. අප සමාජයට සිදුවී තිබෙන්නේ එම විනාශයෝය. ප්‍රශ්නය වන්නේ එමගින් ගොඩ ඒමට සමත් ප්‍රයත්නයක් අවශ්‍ය මට්ටමින් ක්‍රියාත්මක නොවීමය.

දෙව්රම් වෙහෙරට කුස ගින්නේ පැමිණි දරුවන් දෙදෙනකුට පළමුව ආහාර පාන ලබාදී පසුව ධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ආදර්ශය මේ මොහොතේ එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය.

රටෙහි පළමුව මතු වූයේ ආර්ථික අර්බුදයකි. එම ආර්ථික අර්බුදය නිසා මිනිසාගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට දුෂ්‍කර ක්‍රියා කිරීමට සිදුවී තිබේ. එම පරිසරය තුළ බුදු දහමෙහි දැක්වෙන පරම ධනය වන සතුට සමාජයෙන් තුරන් විය. නොසන්සුන්තාව හා අසහනය ගංවතුරක් මෙන් ගලා ගියේය. ප්‍රශ්නවලට විසඳුම් නොදීමේ තාර්කික ප්‍රතිඵලය වූයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසා පීඩා විඳිමින් සිටි ‘‘කරදර වගුර’’ තව තවත් ගැඹුරු වී ගියේය. සමාජ අර්බුදය පොළා  පැන්නේ එහෙයිනි. දැන් රට අර්බුද  වගුරක ගිලෙමින් තිබේ.  මෙම පරිසරය තුළ මෙත් සිතින් පහනක් දැල්විය හැකිද යන ප්‍රශ්නය අසාධාරණ වූවක් නොවේ.

වෙසක් මංගල්‍යය අප සතු ප්‍රධානම ආගමික උත්සවය වේ. මෙම වෙසක් මංගල්‍යය අපගේ සංස්කෘතිය යහමින් පෝෂණය කළේය. ආමිස පූජාවන්ට ප්‍රතිපත්ති පූජාවන්ට අපගේ සිත් සතන් යොමු වීමට වෙසක්  මංගල්‍යය බෙහෙවින් බලපෑවේය. දන්සැල් පවත්වමින් අපි සමාජයක් ලෙස පරිත්‍යාගශීලිත්වය ඉගෙන ගත්තෙමු. මහා තොරණ, වෙසක් කූඩු හා වෙසක් සැරසිලි අපගේ නිර්මාණශීලිත්වය අනන්තය දක්වා වර්ධනය කළේය. දියුණු රස වින්දනයක් සහිත ආධ්‍යාත්මයක් ශ්‍රී ලාංකිකයාට හිමිකර දීමට වෙසක් මංගල්‍යය සමත් විය. අපගේ ජීවන රිද්මයට ජීවන විලාශයට මෙන්ම ජීවන විලාසිතාවට අතිශයින්ම සමීප වූ වෙසක් මංගල්‍යය සිවු වසරක් පුරා අහිමි වීම කුඩා දූ පුතුන්ට කවර බලපෑමක් එල්ල කරන්නේ ද යන්න වැඩිහිටියන්ගේ විමසුමට බඳුන්  විය යුත්තකි.

සියලු ගැටලුවලට මුල මිනිසා  මමත්වයට මුල්තැන දීමය. මිනිස්කම පලා යන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ‘තමා උපමාවටගෙන අනුන් නොනසන’ පුද්ගලයකු බවට පත්විය හැකිනම් මේ රට බුදු දහමෙහි දැක්වෙන පතිරූප දේශයක්ම වනු ඇත.

(***)