මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ එකී සිද්ධියට සම්බන්ධ බොහෝ තොරතුරු වාර්තා විය. ඒ අතුරින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ එක් පණිවුඩයක සඳහන් වී තිබුණේ, සංචාරක වීසා බලපත්‍රයකින් රටකට පැමිණ, එම රටේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීමට සමත් පුද්ගලයකු සිටින එකම රට ශ්‍රී ලංකාව බවය. බැලූ බැල්මට මෙය විහිළුවට කියූ කතාවක් මෙන් පෙනී ගියත්, එම කතාව මේ වන විට සත්‍යයක් වී තිබෙන බවට තොරතුරු හෙළි වෙමින් තිබේ.
ඩයනා ගමගේ මහත්මිය 2014 වසරේදී බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, සංචාරක වීසා මත බවත්, එසේ පැමිණ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙතරම් කාලයක් මෙරට රැඳී සිටියේ කෙසේ දැයි සොයා බැලීමට ආගමන විගමන නිලධාරීන්, නීතිඥයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත්, ‘ලංකාදීප’ය පසුගිය දා හෙළි කළේය. ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද තීන්දුවේ සඳහන් විය. එම තීන්දුවත් සමග ඉහත සඳහන් ගැටලුව මතුව තිබේ. ඇයට මන්ත්‍රී ධුරය අහිමි වූයේ, එක්සත් රාජධානියේ පුරවැසියකු බවට සාක්ෂි මගින් තහවුරු වූ බැවිනි. එසේ නම්, 2014 දී ශ්‍රී ලංකාවට පැමිණෙන විට ද ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් ලබා නොතිබූ තත්වයක් යටතේ ඩයනා ගමගේ මහත්මිය මෙතෙක් මෙරටේ රැඳී සිටියේ කෙසේ ද යන්න සොයා බැලීමට බලධාරීන් අසමත් වූයේ මන්දැයි වහා සොයා බැලිය යුතු නොවේ ද?
ශ්‍රේෂ්ඨාධිකරණය තම තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරුම ඇයට තම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය පිළිබඳ තොරතුරු වසන් කරගැනීමට ඉඩ ලැබීම රටේ ආගමන විගමන නීති රීති දැඩි ලෙස ප්‍රශ්න කළ යුත්තකි. දේශපාලන වශයෙන් බලවත් චරිතයක් වීම නිසා ඩයනා ගමගේ මහත්මිය තමන්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවයේ රහස්‍ය බව රැක ගැනීමට සමත් වුවත්, රටේ සාමාන්‍ය වැසියකු මේ ආකාරයට ආගමන විගමන නීති රීති උල්ලංඝනය කළේ නම්, ඔහුට හෝ ඇයට හෝ එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වන බව නියමයකි. එහෙත්, දේශපාලන බලපුළුවන්කාරකම් කඩතුරාවෙන් ඒ සියල්ල වැසී ගොස් තිබේ. එය සිදු නොවිය යුත්තකි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ ද එක් ස්ථානයක සඳහන්ව ඇත්තේ, නීතියේ දෙවඟනගේ ඇස් බැඳ ඇත්තේ ධනය, නිලය, බලය වැනි කරුණු ඉදිරියේ වෙනස් නොවීමට බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සෑම පුරවැසියකුම සමාන සැලකිලි ලැබිය යුතු බවත්ය. එහෙත්, ගැටලුව වී ඇත්තේ, මෙරට බොහොමයක් දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේදී මේ නීති අමතකව යාමය. නැතහොත්, වුවමනාවෙන්ම අමතක කර දැමීමය. ඒ සඳහා දේශපාලන පක්ෂ නායකයන්ගේ ආශිර්වාදය ද හිමි වන බවත් ප්‍රකට රහසකි. ඩයනා ගමගේ සිද්ධියේදී ද ඇයගේ මන්ත්‍රී ධුරය මේ ආකාරයට වසර ගණනාවක් තිස්සේ ආරක්ෂා කරගැනීමට එම ආශිර්වාදය හේතු වී ඇති බව යථාර්ථයයි.
ද්විත්ව පුරවැසිභාවය අපේ රටේ ආණ්ඩුක්‍රම ව‍්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හෙබවීමට නුසුදුස්සෙක් වීමට හේතුවකි. මේ කාරණය ද ව්‍යවස්ථාවට එකතු කෙරුණේ පසු කාලීනවය. එම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට තිත තැබීමට බවට චෝදනා කරමින්, එය යළිත් ආදේශ කෙරුණේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගිනි. එම සංශෝධන සම්මත කරද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ සිටි අමාත්‍යවරුන් කිහිපදෙනකු එයට සහාය දුන්නේ, මේ සංශෝධනය සම්මත කළත්, ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුවත් පාර්ලිමේන්තුවට පත් කිරීමෙන් වැළකිය යුතු බවට කොන්දේසියක් පනවමිනි.
තමන් විදේශිකයකු බව දැන දැනම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද ලබා ගෙන, පසුව රාජ්‍ය අමාත්‍ය ධුරයක් ද ලබාගත් ඩයනා ගමගේ මහත්මිය මෙතෙක් කල් ලබාගත් වැටුප්, දීමනා සහ විවිධ වරප්‍රසාද යටතේ හිමි කරගත් සෙසු මුදල් ද වහාම ආපසු ලබාගැනීමට පියවර ගත යුතු බවත් බලධාරීන්ට සිහිපත් කරමු.
(***)

COMMENTS
මේවා ලංකාවට අමුතු දේවල් නෙමෙයි. මීට කළින් එක්කෙනෙක් සංචාරක වීසා බලපත්‍රයකින් පැමිණ මහබැංකු අධිපති ධුරය දැරුවා, හොරාකාලම යන්න ගියා... දැන් මෙයා සංචාරක වීසා බලපත්‍රයකින් පැමිණ, රටේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීමට තරම් බලවත් වුණා. තව මේ වාගෙ 10ක් විතර දියවන්නාවේ ඉන්නවලු. මේ ගොල්ලො ඔක්කොම යාළුවො මල්ලි...
මේක රටේ නීතිය හදන තැනම නීතිය කැඩෙන රටක්... මේ සියල්ලටම මුල රටේ පවතින දූෂිත දේශපාලන සංස්කෘතියයි.
ලංකාවේ පවතින දුෂිත බලලොබි දේශපාලන ක්‍රමය, ජාතිවාදය අන්තවාදී, මිනීමැරීම් සහ වෙනත් දේශපාලන මත දැරීම මරණ දඩුවමක්ව පවැති නිසා ලංකාවේ පුරවැසියන් රටින් පිටවිය. වෙනත් රටවල පදිංචිය ඔවුන්ට ලැබිණි. ඔවුන් වෙනත් රටවල ජීවත්වන්නේ ඔවුන්ගේ රටේ නිදහසේ ජිවත් වීමට නොහැකිව තිබු තත්වයක් නිසාවෙනි. අන්තවාදී දේශපාලන කණ්ඩායම් සහ ඔවුන් ගේ සහාසික ක්‍රියාවන් නිසා දකුණේත් උතුරේත් පුරවැසියන් ලංකාවෙන් පිටව වෙනත් රටවල ජීවත්වේ. සාම, භික්ෂුන්වහන්සේලා , මාධ්‍ය වේදීන් මහාච්ර්යවරුන් සිට දේශපාලන නායකයන් දක්වා මෙම අන්තවාදී දේශප්‍රේමී ත්රස්තවාදීන් විසින් මරණ දඩුවම ලබාදෙන ලදී. එවන් යුගයක ජිවිත බේරාගැනීම පිණිස රටින් පිටවිය හැකි සියලෝම පිටවිය.
ශ්‍රී ලංකාව දුෂිත දේශපාලන සහ අන්තවාදී ක්‍රියාවන් දහස් ගණනක් මිනිසුන් මරණයට පත්කළ දේශප්‍රේමින් විසින්ම ද්විත්ව පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකිකයනට ඔවුන් ඉපදුනු රටේ දේශපාලනය කිරීමට සුදුසු නොවන බවට පනත් සම්මත කරගනීම සිදු විය. ද්විත්ව පුරවැසිභාවය පිලිබදව බියක් දක්වන දේශප්‍රේමින් පුද්ගලයන් ලංකාවෙන් පිටව වෙනත් රටවල සිටිනා ශ්‍රී ලාංකිකයන් හමුවී ඔවුන්ගේ දේශපාන අදෝනාව කියමින් රටේ තත්වය පිලිබදව පැහැදිලි කරමින් සිටි සහ මැතිවරණයකදී දේශපාලනය කිරීම හැර ඔවුන්ගේ චන්දය,ඔවුන්ගෙන් මුදල් සහ රට දියුණු කිරීමට වියපර ආරම්බ කිරීමට පැමිණෙන ලෙසද ආරාධනා කර සිටි
ඩයනා ගමගේ මහත්මිය 2014 වසරේදී බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, සංචාරක වීසා මත බවත්, එසේ පැමිණ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව සහ ද්විත්ව පුරවැසිභාවයක් නොමැතිව මෙතරම් කාලයක් මෙරට රැඳී සිටීම මත ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දෙන ලද තීන්දුවේ සඳහන් විය. ද්විත්ව පුරවැසිභාවය නොමැතිව පාර්ලිමේන්තුවට පැමිණි ඩයනා ගමගේ පමණක් නොව ඇයව පාර්ලිමේන්තුවට පත්කළ දේශපාලන නායකයන්, පැමිණි ඩයනා ගමගේ පාර්ලිමේන්තු පත්වීමට මහ ලේකම් සහ කතානායකවරයද වගකිව යුතුවේ.
AB ඔබ කියන අන්තාවාදී ත්‍රස්තවාදී දේශපාලන සංවිධාන වලට බයේ රට පැනපු හුඟක් දෙනා දැන් මැරිල නැත්නම් පෙන්ශන්. ඊට වඩා රටදාලා යනවා රටේ වැරදි කළමනාකරණය නිසා උද්ගතව ඇති තත්ත්වය මත වර්තමානයේ සහ වසර දෙක තුනක සිට ඔබට ඒ තත්ත්වය නොපෙනි අතීතය පමණක් පෙනීම පුදුමයක්..
අයියෝ ඩයිනා... කැතයි හොඳේ...!