සෑම අතින්ම අනාරක්ෂිත වූ රටක අපට ජීවත්වීමට සිදුවී තිබේ. ගිනිකඳු නැති භූමි කම්පා නැති ස්වභාවික විපත් ඉතා අවම වාසයට සුදුසු පතිරූප දේශයක් ලෙස හැඳින්වුණු අප රට අද වනවිට නරකාදියකින් වෙනස් නොවන්නකි. මානව ආපද බහුල වූ රටක ජීවිතය තිත්තකසායක් බවට පත්වීම අරුමයක් නොවේ.

සාමාන්‍ය ජීවිතය පවත්වා ගෙන යාම සඳහා නොනවතින අරගලයක නිරතවීමට සිදුවී තිබේ. එක් අතකින් ආර්ථික පීඩනය මහෝඝයක් මෙන් රළ ගසමින් තිබේ. ඉන්ධන අර්බුදය සමස්ත සමාජයම සැහැසි ග්‍රහණයට ලක් කර තිබේ. ඉන්ධන හිඟය මෙන්ම විදුලිය කැපිල්ලද එසේමය. සමාජය පුරා මහා කලබැගෑනියකි. අරගල බිම් මතින්  උද්වේගකර සටන් පාඨ තවමත් ගුවනට මුසු වෙමින් තිබේ. සියල්ලෙන්ම ඇඟවෙන්නේ හෙට දවස පිළිබඳ අපේක්ෂාවය. ඒ බව තිව්‍රකරන අනතුරු ඇඟවීම් සෞඛ්‍ය කේෂ්ත්‍රයෙන් එකක් පසුපස එකක් වශයෙනි.

කොළඹ වසංගත විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් රැල්ලක  පෙර නිමිති පහළ වී ඇති හෙයින් ජනතාව ගැවසෙන හා පොදු ස්ථානවලදී මුඛ ආවරණ පළඳින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවය. බස් රථවලදී දුම්රියේදී හා පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීමෙන් කොවිඩ් වයිරසය ආසාදනය වීම වළක්වා ගත හැකි බව  ඒ මහතා පෙන්වා දෙයි. මීට පෙර දිනකට කොවිඩ් ආසාදිතයන් 20ක් පමණ මෙරටින් හමු වූ බවත් දැන් එම ගණන 50ක් 60ක්  දක්වා වර්ධනය වී ඇති බවද ඒ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

එම සංඛ්‍යාලේඛන රැගෙන එන්නේ තිගැස්මකි. හෙට දවස සම්බන්ධයෙන් බියකරු චිත්‍රයක් එමගින් මැවේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා තිබුණේ කොවිඩ් ආසාදිතයන් හමුවීම සියයට 30කින් පමණ වර්ධනය වී ඇති බවය. සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට වහාම ගමන් කරන ලෙසය.

කොවිඩ් මාරක වසංගතය මෙරටට කළ හානිය සුළුපටු නැත. දෙවසරකට ආසන්න කාලයක් වරින්වර රට වසා දැමීමට සිදුවිය. මෙරටට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ග දෙකක් මුළුමනින්ම අඩපණ කිරීමට කොවිඩ් මාරයාට හැකි විය. පහළොස් දහසකට වැඩි පුරවැසියන් පිරිසකගේ ජීවිත අකාලයේ උදුරා ගැනීමට කොවිඩ් මාරයාට හැකි විය. කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු ආර්ථිකය නිසා මහජන කැළඹිලි නිර්මාණය විය. අවසානයේදී ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පිටවීමටද සිදුවිය. ඉන්ධන අර්බුදයට මගපෑදූ ඩොලර් අහේනිය කොවිඩ් වසංගතයේම එක් දිගුවකි. රටක් වශයෙන් අපට තවමත් එම වන්දිය ගෙවීමට සිදුවී තිබේ. වන්දිය ගෙවා අවසන් කරන දිනය අනුමාන හැකියාවෙන් එපිට පිහිටියකි. එහෙයින් මහජනයා බුද්ධිමත්ව මෙන්ම වගකීමෙන් කටයුතු කළ යුතුය.

 ඇතැමෙකුට  බොහෝ ඉක්මනින් අතීතය  අමතක වේ. බස්රථයක යනවිට, දුම්රියක යනවිට,  ජනාකීර්ණ ස්ථානයකට ගිය විට මුඛ ආවරණ නොපළඳින පිරිස්  ඕනෑ තරම් හමුවේ. මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබුවේ එම කාලසීමාවේ තිබූ තත්ත්වය සැලකිල්ලට ගෙනය. එහෙත් අවදානමට වඩා සූදානම ඉතා අගනා බව වටහා ගැනීමට අමුතු නුවණක් ඇවැසි නොවේ. ඉකුත් දෙතුන් වසර සිහිපත් කර ගැනීම වුවද එයට ප්‍රමාණවත්ය.

කොවිඩ් මාරක වසංගතය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ලෙස ප්‍රකාශයට පත් වූයේ මුඛ ආවරණ පැළඳීම, සංචරණ සීමා පැනවීම හා නිතර දෑත් සෝදා ගැනීමය. එන්නත් මාත්‍රා ලබා ගැනීමද අනිවාර්ය කෙරුණි. කොවිඩ් මාරක  වසංගතය රළ ගසමින් තිබූ නරක හා නපුරු මෙන්ම දරුණු අවස්ථාවේදීත් මෙම අනිවාර්ය සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනිවාර්ය කර නොගත් පිරිස් සිටියහ. ඇතැමෙක් තමන්ට අවශ්‍ය එනන්ත ලැබෙනතුරු බලා සිටියහ. අවසානයේදී සෞඛ්‍ය විශේෂඥයන් ප්‍රකාශ කළේ ‘‘ලැබෙන පළමු එන්නත හොඳම එන්නත’’ බවය. එහෙත් උද්ධච්ඡ පුරවැසියෝ තමන් අභිමත පරිදිම කටයුතු කළහ.

සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් නොසලකා හැරීම මෙන්ම එන්නත් මාත්‍රා ලබා නොගැනීමෙන් තමන්ගේත් තම පවුලේ සමීපතමයන්ගේත් ජීවිත අනතුරට පත්වන බව තේරුම් ගැනීමට තරමට ‘පවුලෙන්’ දුරස්වූ පුද්ගලයන්ගෙන් සමාජයේ ආරක්ෂාව බලාපොරොත්තු විය නොහැක. එහෙත් රටක් විශාලාමහනුවරක් කිරීමට කිසිවකුට ඉඩදිය යුතු නැත. මෙම කාරණය ඉන්ධන පෝලිම්වලට මෙන්ම අරගල භූමිවලටද එකසේ අදාළය.

(***)