අම්බලන්ගොඩ නගරය පුරා ආරක්ෂක විධි විධාන තර කර තිබේ. ඒ අතුරු මං මාවත්ද ආවරණය වන පරිදිය. මසකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ මෙම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වෙමින් තිබේ. පාතාලයකුට තබා මැස්සෙකුටවත් ඒ දැලෙන් බේරී පලා යා නොහැකි යැයි සිතුවේ නම් එය ද වැරැදි නොවේ. එහෙත් එම අනුමාන කිරීම් පුස්සක් බවට පත් කරමින් ඉකුත්දා මහ දවාලේ අම්බලන්ගොඩ වෙඩි පුපුරා ගියේය. සිය ගොදුර ඉලක්ක කර වෙඩි පත්තු කළ නාඳුනන තුවක්කුකරුවා පොලිස් ඇස මගහැර පලා ගියේය.
ඒ ලංකාවේ ක්‍රියාත්මක පාතාලයන්ගේ සංවිධානාත්මක බවය. ඉකුත් මාස 8ට වෙඩි තැබීම් 71ක්ද මරණ 41ක් ද වාර්තා වී තිබේ. තුවාලකරුවන්ගේ ගණන 24කි. මෙම සංඛ්‍යා ලේඛන අප පය ගසා සිටින පොළොවේ භයංකාරත්වය කදිමට කියාපාන්නකි.
විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී අපරාධ සහ නීති දිශාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ප්‍රකාශ කළේ මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධකර මෙරටින් පලා ගොස් ඇති දරුණු ගණයේ අපරාධකරුවන් 148 දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇති බවය. එමෙන්ම මෙම සැකකරුවන් වෙනත් රටවලට පලායෑම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුව බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබිණි.
රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් කිහිප දෙනකු මෙරටට ගෙන්වාගෙන ඇති බවත් සැකකරුවන් 12 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත් වාර්තා වී තිබේ.
කරුණු කාරණා එපරිදි වුවද විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වන පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා විශේෂ අවධානයට යොමුවිය යුතු කාරණාවක් අනාවරණය කර තිබිණි. මරණ දඬුවම නියම වූ සහ විදේශගතව සිටින සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට බරපතළ බාධාවක් ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කර තිබිණි. එම බාධාව නම් බොහෝ රටවල් මරණ දඬුවම ප්‍රතික්ෂේප කර තිබීමය. මරණ දණ්ඩනයට නියමවූ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට මේ හේතුවෙන් රතු නිවේදන නිකුත් කිරීම ජාත්‍යන්තර පොලීසියෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙරට නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතිය තුලනාත්මකව සලකා බලමින් අපරාධකරුවන් මැඬලීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතුව තිබේ. සියලු අපරාධකරුවන්ගේ ජීව දත්ත තොරතුරු ජාත්‍යන්තර පොලීසියට දැනුම් දී තිබුණ ද අප රටට වගකිව නොහැකි තත්ත්වයක් නිසා එම අපරාධකරුවන් මැඬලීමේ මෙහෙයුම මන්දගාමි වී තිබේ. අපරාධ මැඬලීමේ දී පොලිසිය මන්දගාමී යැයි සුලබ චෝදනාවකි. එහෙත් අපේ පොලිසියට ද පාලනය කළ නොහැකි තත්ත්වයන් තිබෙන බව වටහා ගැනීම මෙහිදී වැදගත්ය.
නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ප්‍රකාශ කර තිබුණේ හෝමාගම ප්‍රදේශයේ ‘හඳයා’ නමැති සැකකරු එම අපරාධය කර දින දෙකක් ඇතුළත ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇති බවය. මේ අනුව පැහැදිලි වන්නේ මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් යම් අපරාධයක් සිදු කරනු ලබන්නේ ආරක්ෂාව වෙනුවෙන් සියල්ල සූදානම් කර ගැනීමෙන් පසුව බවය. අපරාධ කල්ලි තම හැකියාව ඉතා සූක්ෂම ලෙස වර්ධනය කරගෙන ඇති බව ඒ අනුව පැහැදිලිය. මෙරට කිනම් වර්ගයේ අපරාධයක් සිදුකර හෝ වෙනත් රටකට පලාගිය පසු ජාත්‍යන්තර නීති සහ සම්පත් හමුවේ තමන්ට රැකවරණයක් සලසා ගත හැකි යැයි අපරාධකරුවන් කල්පනා කරන සෙයකි.
කවර තත්ත්වයක් තුළ වුවද අපරාධකරුවන්ට රිස්සක් කරගන්නට ඉඩ දී නිහඬව බලා සිටිය නොහැක. මහජනයාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග නොවළහා ගත යුතුය.
(***)
COMMENTS
සැකකරුවන් 12 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති සැකකරුවන් සහ මේ වනවිට වෙනත් රටවල අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් ලංකාවට ගෙන්වා නොගෙන එම රටවලම සිරගත කිරීම පිළිබඳව සහ එම රටවලින් නිදහස් කරන්නා වූ දිනයකදී ලංකාවේ පොලිසියට ඔවුන්ව බාරදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳවද සොයාබැලිය යුතුවේ.
කරන්න තියෙන්නේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර, එම අපාරාධකරුවන් ඊශ්‍රායලයේ මොසැඩ් එක කරන ආකාරයට එම රටවලදීම ඝාතනය කිරීමය. විදේශගත අපරාධකාරයෝ ජංගම දුරකථන භාවිතා කරමින් ගෝලයින් යොදවා වසරකට සිය ගණනක් මරන්න අණ දෙනවා.
මේවා අතිශයෝක්තියෙන් යුතුව ඩුබායි රටේ කිසිවෙකුටත් සැඟවී සිටීමට නොහැක. රැකවරණය සලසා දෙන අය ආණ්ඩුව තුළම සිටිනවා. ඔවුන් අල්ලාගන්න එක ඩුබායි පොලිසියට සුළු දෙයක්.. ආණ්ඩුව පියවර ගන්නේ නැහැ.
අපෝ පුළුවනි... ලංකාවේ වරායවලයි, ගුවන් තොටුපළවලයි ඉන්න ආගමන විගමන නිලධාරීන් අයින් කරලා එතැනට හමුදාවෙන් දැම්මා නම් එකෙකුටවත් යන්න බැහැ. ඔක්කොම හොරු රට පනින්නේ එයාලාගේ උදව්වෙන්.. ගෙදරට ගිහින් ගණුදෙණු කතා කරලා තමයි යන වැඩි දෙනෙක් යන්නේ.