IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


වයඹ භීෂණයේ අතුරු කතා

 

රණසිංහ ප්‍රේමදාස මහතා සිය ගම්උදා සංකල්පය ආරම්භ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඒ උඩංගාව ගම් උදාවෙනි. ඊට සමගාමීව “උදාකළ ගම්” වශයෙන් තවත් කුඩා ගම්මාන ගණනාවක් ඇති කළේය. අසූ නවයේ භීෂණ සමය මේ ගම්මානවලට තර්ජනයක් වී තිබුණි. ඒ ඒවායේ වෙසෙන ප්‍රේමදාස වාදීන්ට එල්ලවී තිබූ මරණ තර්ජන නිසාය. 


කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් භීෂණය තුරන් කිරීම සඳහා ප්‍රධාන පොලිස් නිලධාරීන් අතර නම් දරා සිටියේ මහව සහකාර පොලිස් අධිකාරි එඩිසන් ගුණතිලක සහ කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බී. එල්. බී. අප්පුහාමි යන දෙදෙනාය. ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු ඔහුට වඩාත්ම සමීප වූ පොලිස් නිලධාරියා වූයේ අප්පුහාමි මහතාය.ඒ 1989 සිංහල අලුත් අවුරුද්දට පළාතෙන්ම පැවැත්වූ එකම අවුරුදු උත්සවය පැවැත්වූවේ ඔහු නිසාය. 


උදාගම්වල වෙසෙන තම පාක්‍ෂිකයන්ට ඇති මරණ තර්ජනවලින් ඔවුන් ආරක්‍ෂා කරගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබුණේ අප්පුහාමි මහතාගෙනි. 


“ඔය ගම්උදාවල ජීවත්වන මිනිස්සු හරිම දුප්පත් අසරණ මිනිස්සු. ඔවුන්ගේ ඒ දුප්පත්කම නිසාම ඔවුන්ට ත්‍රස්තවාදී වැඩවලට යොමුකර ගන්න උත්සාහයක් ත්‍රස්ත සංවිධානවල තියනවා. එහෙම බැරිවෙන තැන ඔවුන් මරණව. මට දැන් එහෙම ආරංචි කීපයක්ම ලැබිල තියෙනවා. ඕ.අයි.සී. අප්පුහාමි මහත්මයා ඒ අහිංසකයන් ගැන ටිකක් උවමනාවෙන් හොයල බලන්න ඕන. ඔවුන්ව ආරක්‍ෂා කරන්න ඕනෑ.” දිනක් ජනාධිපති රණසිංහ ප්‍රේමාදාස මහතා කළ ඉල්ලීමකි. 


ඉන්ස්පෙක්ටර් අප්පුහාමි මහතාට වරක් කුරුණෑගල මහ තැපැල් කන්තෝරුවේ ප්‍රශ්නයකටද මුහුණ දෙන්නට සිදුවිය. ඒ ඔහු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ත්‍රස්ත මර්දන කටයුතුවල යෙදී සිටියදීය. 


“නිලධාරීන් සියලුදෙනාම ඇතුළට වෙලා ඉන්නවා. ඇතුගල්පුර අණදෙන නිලධාරීන්ගේ නියෝගය පරිදි තැපැල් කාර්යාලය වසා ඇත” යනුවෙන් දැන්වීමක් දමලා කන්තෝරුව වහලා, අවශ්‍යතා සඳහා ආව මිනිස්සු පිරිල ඉන්නවා. සමහරු ආපහු යනවා. වැඩක් කෙරෙන්නෙ නෑ” කියා ආරංචියක් පොලිසියට ලැබුණේය. 


කුරුණෑගල මහතැපැල් කාර්යාලය ඒ වනවිට තිබුණේ පොලිසිය ඉදිරිපිට පාරෙන් අනිත් පැත්තේය. පොලිස් පරීක්‍ෂක අප්පුහාමි මහතා තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් සමග මහ තැපැල් කන්තෝරුවට ගියේය. විවිධ අවශ්‍යතා සඳහා පැමිණ ඒ වනවිටත් රැඳී සිටි බොහෝ ජනයාය. තුවක්කු ද රැගත් පොලිසිය එනු දුටු ඔවුහු පසෙකට වී බලාසිටියේ කුමකින් කුමක්වේ දැයි සිතාගත නොහැකිවය. 
“අප්පුහාමි මහත්තයා නේද” කියමින් වික්ෂිප්තව බලා සිටියේ ඔහු ගැන දන්නා පුද්ගලයන්ය. එසේ සිතමින් කියමින් පසෙකට වන සෙනඟ අතරින් පැමිණි අප්පුහාමි මහතා එහි තිබූ දැන්වීම දෙස මොහොතක් බලා සිටියේය. 


“ඇතුගල්පුර අණදෙන නිලධාරි... කවුද මේ අණදෙන නිලධාරි කියන්නෙ.” අප්පුහාමි මහතා අසල සිටියවුන් දෙස බලා විමසුවේ සමච්චලයට මෙනි. 


“දිස්ත්‍රික් නියෝජ්‍ය තැපැල් අධිකාරිවරයා ද මේ දැන්වීම දමලා තියෙන්නෙ... කෝ ඒ මහත්තයා... ඉන්නවද?” කියමින් අප්පුහාමි මහතා ප්‍රධාන තැපැල් හලේ “ඉදිරිපස වසා තිබූ දොරටුවක් අරවාගෙන ඇතුළට ගියේය. දිස්ත්‍රික් නියෝජ්‍ය තැපැල් අධිකාරිවරයා වෙත ගියේය. “මහත්මයා ඇයි තැපැල් කන්තෝරුව වහලා?” යි ප්‍රශ්න කළේය. 


“ඇතුගල්පුර ආඥාපතිගේ නියෝගයක්” නියෝජ්‍ය තැපැල් අධිකාරිවරයා කීවේය. 


“එයා එහෙම නියෝගයක් දීල තියෙනවා...? ඇයි එයා එහෙම කළේ...? හොඳයි බලමුකො මොකද එහෙම කළේ කියලා. මම එයාගෙන්ම අහල බලන්නම්” කියමින් පොලිස් පරීක්‍ෂක අප්පුහාමි මහතා තැපැල් හලේ දුරකථනයෙන්ම ඇමතුමක් ගත්තේය. ඒ කුරුණෑගල වැහැර හමුදා කඳවුරටය. එම හමුදා කඳවුර බාරව සිටි ප්‍රධානියා ඇතුගල්පුර ආඥාපතිය. ඔහු මේජර් ජෙනරාල් ජානක පෙරේරාය. 


අප්පුහාමි මහතා දුරකථන ඇමතුම දෙනවිට මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා සිටියේ කුරුණෑගල කච්චේරියේ පිහිටි මහ ඇමති කාර්යාලයේ පැවති සාකච්ඡාවක. එය මහ ඇමති ජයවික්‍රම පෙරේරා මහතා කැඳවා තිබූ ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡාවකි. අප්පුහාමි මහතාගෙන් ලැබුණ දුරකථන ඇමතුම ගැන ජානක පෙරේරා මහතා මහ ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද දැනුවත් කළේය.


ඒ තැපැල් මහත්තය ඔයාට බාරදෙන්න කියලා ඔයා දුරකථනයෙන් අප්පුහාමිට කියනවා මම අහගෙනයි. “ඔයත් එකයි අප්පුහාමිත් එකයි. ඔය තැපැල් මහත්තය ඔයගොල්ලන්ගෙන් බේර ගන්න ප්‍රශ්නයයි දැන් මට ඇතිවෙන්නෙ” මහ ඇමති ජයවික්‍රම පෙරේරා මහතා ජානක පෙරේරා මහතාට කීවේය.


කච්චේරියේ ආරක්ෂක සාකච්ඡාව එසේ සිදු කෙරෙද්දී කුරුණෑගල තැපැල් කාර්යාලයේ පොලිසියේ රාජකාරි සිදු කෙරුණි, තැපැල් ස්ථානාධිපතිවරයාට කතා කළ පොලිස් පරීක්ෂක අප්පුහාමි මහතා වහාම තැපැල් කාර්යාලය විවෘත කර පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකරන ලෙස නියෝග කළේය. නියෝජ්‍ය තැපැල් අධිකාරිවරයා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගියේය.


කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ගුණසිංහ මහතාට අප්පුහාමි මහතා දැනුම් දුන්නේ අත්අඩංගුවට ගෙන ඇති නියෝජ්‍ය තැපැල් අධිකාරි තමන්ට බාරදෙන ලෙස මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඉල්ලා සිටින බවය “අප්පුහාමි මොකද ඒ ගැන හිතන්නේ... මූලස්ථාන පොලිස් පරීක්ෂක විමසුවේය.


“මම හිතන්නෙ ජානක පෙරේරාට මේ මනුස්සයව දෙන්න බෑ, දුන්නොත් ඉවරයි. මේ මිනිස්සු වැරදිකරපු මිනිස්සු නොවෙයි. බයට කියන දේ කරන මිනිස්සු” අප්පුහාමි මහතා සහ ගුණසිංහ මහතා අතර පොලිසිය තුළ මෙම සාකච්ඡාව සිදුවෙයි. ඒ අතර පාරේ ඇසුන ගාලගෝට්ටියකි. බලන විට තැපැල් අධිකාරිවරයා නිදහස් කරන ලෙස ඉල්ලා දෙසීයක් පමණ තැපැල් සේවකයන් ප්‍රධාන පිරිසක් පොලිසිය ඉදිරිපිට පාරේ උද්ඝෝෂණයකි.


ඔවුන්ගෙන් තවත් කීපදෙනෙකු ඒ වන විට මහ ඇමති ජයවික්‍රම පෙරේරා මහතා හමුවන්නට ද ගොස් තිබුණි. ඒ අනුව මහ ඇමතිවරයා ද පොලිසියට පැමිණියේය. ආඥාපති ජානක පෙරේරා මහතා ද පැමිණියේය. නියෝජ්‍ය තැපැල් මහතා ද පැමිණියේය. නියෝජ්‍ය තැපැල් අධිකාරීවරයා පොලිසියෙන් එළියට ආවේ සැඟවී නියෝග පනවන ආඥාපතිවරුන්ට යළි බිය නොවී රාජ්‍ය සේවය කරන එඩිතරකම ද රැගෙනය.

වදාකඩ නවරත්න



අදහස් (0)

වයඹ භීෂණයේ අතුරු කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 283 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16252 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 597 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site