IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මහින්ද මහින්දට ගැසූ ‘කොක්ක’

 

 

2007 වසරේ අවසාන කාර්තුව වන විට එවකට පැවැති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ බහුතර බලය තරමක් දුරට අඩු වී තිබුණේය. ඒ සඳහා මුල්වූ එක් හේතුවක් වූයේ 2005 මහ මැතිවරණයට එ.ජ.නි.ස.යෙන් තරග කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් 39 දෙනා ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළ බැවිනි.


ඒ හැර ආණ්ඩුවේ විදේශ ගුවන් සේවා සහ වරාය කටයුතු ඇමැති මංගල සමරවීර මහතා සහ එම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් වූ ශ්‍රීපති සූරියආරච්චි මහතා ද ඒ වන විට ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව එ.ජා.ප.ය සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටීම ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට බලවත් හිසරදයක් විය. 
මේ අතර මංගල සහ ශ්‍රීපති එ.ජා.ප. යත් සමඟ එක්ව 2008 වසරේ අයවැය ලේඛනය පරාජය කිරීම සඳහා රහසිගත වැඩපිළිවෙළක් යොදා ඇතැයි සඳහන් බුද්ධි අංශ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත ලැබී තිබුණේය. එම රහස්‍ය වාර්තාවේ සඳහන් වූයේ මංගලලා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීප දෙනෙකුම අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කැමැති කරගෙන ඇති බවයි.


“ආ.... ඕක සුළු දෙයක්, අපට පුළුවන් ඒ ප්‍රශ්නය විසඳාගන්න!” යි ජනාධිපතිවරයා මුලින් සිතුව ද පසුව තත්ත්වය බරපතළ බව පෙනී ගියේ ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් 39 දෙනාගේ හැසිරීම පිළිබඳව යම් අවිනිශ්චිත තත්ත්වයක් මතු වූ බැවිනි.


මහින්ද රාජපක්‍ෂ මහතා කල්තියා අනුමාන කර තිබූ අයුරින්ම ජ.වි.පෙ. 2008 වසරේ අයවැය පළමුවර කියවීමේදී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණේය. ඒ වන විට එ.ජා.ප. නියෝජ්‍යනායක කරු ජයසූරිය මහතා ආණ්ඩුවට එක්ව 17 දෙනාගේ කල්ලිය එවර ආණ්ඩුව සමඟ එක්ව ඡන්දය දී තිබුණෙන් එවර අයවැය යන්තමින් සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකි විය. එහෙත් එය විශිෂ්ට ජයක් නොවන බව මහින්ද රාජපක්‍ෂ මහතාගේ හිත කීවේය.


“ආණ්ඩුවේ හත් අට දෙනෙක් අයවැයට විරුද්ධව ඡන්දෙ දුන්නොත් ආණ්ඩුව පරාදයි......! ”යි සිතූ මංගල සමරවීර ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීප දෙනෙකු සමගම සාකච්ඡා අරඹා තිබුණේ දෙවැනි වර කියවීමේ ඡන්දයෙන් නොහැකි වුවහොත් අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී අනිවාර්යෙන්ම අයවැය පරාජය කිරීමේ අධිෂ්ඨානයෙනි. මේ අතර තමන් හමුවේ පවතින අවදානම පිළිබඳව දුටු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකු බිලීබා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබුණේ අතිශය රහසිගතවය.


ඔහු එලෙස දැල එළන ලද එක් අයකු වූයේ රත්නපුර දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී මහින්ද රත්නතිලකය. හිටපු ශ්‍රී.ල.නි.ප. ක්‍රියාකාරිකයෙකු වූ ඔහු එ.ජා.ප. ආණ්ඩුව සමයේ රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති වශයෙන් ද කාලයක්ම කටයුතු කර තිබුණේය.


“මොනවද මල්ලී ඔය විපක්‍ෂයට වෙලා තැග් ගැහි ගැහී ඉන්නේ? අපිත් එක්ක එකතුවෙලා රට වෙනුවෙන් වැඩ කරමුකෝ......”යි කී ජනාධිපතිතුමා ඔහුට දුරකථනය මගින් තෙල බෙදුවේය. මේ අතර කුමන හෝ අයුරකින් එම සතර කන් මන්ත්‍රණය තුන්වැන්නෙකුගේ කනට ද වැටී තිබුණේය. ඔහු එවකට එ.ජා.ප. යේ මහ ලේකම් ධුරය ඉසිලූ තිස්ස අත්තනායකය.


“සර්, මහින්ද රත්නතිලක ආණ්ඩුවට යන්න වගෙයි හදන්නේ....!” 


මහින්දලා දෙදෙනා අතර පැවැති එම රහසිගත කතාබහ ගැන දැනගත් තිස්ස අත්තනායක එසැණින් ඒ බව තම පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කනේ තැබුවේය. 
“ඔයාට හොඳටම විශ්වාසද?” යි විමසූ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මහින්ද රත්නතිලක ආණ්ඩුවේ පැත්තට යනු ඇතැයි තමන් කිසිසේත්ම නොසිතන බවය. කෙසේ වෙතත් පසුදා පාර්ලිමේන්තුවේ දී ඒ ගැන ඔහුගෙන් විමසන බව ද හෙතෙම කියා සිටියේය. 


“ඇත්තද මහින්ද ඔයා මේ ආණ්ඩුවට යනවයි කියන කතාව?” ඊට පසුදා පාර්ලිමේන්තු සබාගැබ තුළ දී මහින්ද රත්නතිලක මන්ත්‍රීවරයා මුහුණට මුහුණලා හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගෙන් එසේ විමසන ලද්දේ සිනාසෙමිනි. මහින්ද රත්නතිලක හිටපු ශ්‍රී.ල.නි.ප. හිතවතෙකු වුව ද ඔහු ගැන ඒ තරමටම විශ්වාසයක් ලොක්කා තුළ තිබුණේය.
“පිස්සුද සර්, මගේ බල්ලවත් යන්නෙ නෑ ආණ්ඩුවට...!” යි කී ඔහු තමන්ට හදිසි වැඩකට යාමට සිදුවී ඇතැයි කියමින් තම පක්‍ෂ නායකයාගෙන් සමුගෙන සබාගැබෙන් නික්ම ගියේය.
“මගේ බල්ලවත් ආණ්ඩුවට යන්නෙ නැහැ” යි කී මහින්ද රත්නතිලක එදිනම හවස අරලියගහ මංදිරයට ගොස් රාජ්‍ය ඇමැතිවරයෙකු ලෙස දිවුරුම් දී තිබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ “මහින්ද රත්නතිලක බල්ලා ගෙදර බැඳ දමා අරලියගහ මංදිරයට ගොස් ආණ්ඩුවේ ඇමැතිකමක් අරගත්තා වගේ” යැයි අමුතුම විදියේ ප්‍රස්ථාපිරුලක් ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් අතර පැතිර යාමය.

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (1)

මහින්ද මහින්දට ගැසූ ‘කොක්ක’

royfedricks Friday, 27 December 2019 08:45 PM

සැබෑවකි! බල්ලන් නොකරන පහත වැඩ කරන්නේ උන්ට වඩා පහත් හැසිරීමක් ඇති ශ්‍රී ලාංකික දේසපාලකයන් පමණි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1043 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site