IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පාර්ලිමේන්තුවේ කුටියක නින්දෙන් මරණයට ගිය රුහුණේ සිංහයා

මහින්ද රාජපක්ෂගේ පියා දොන් ඇල්වින් රාජපක්ෂ හෙවත් ඩී. ඒ. රාජපක්ෂය. 1947 සිට 1965 දක්වා වසර 18 ක්ම බෙලිඅත්ත මන්ත්‍රී ධුරය දැරුවේ ඔහුය. එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස වසර 4කට පසු එනම් 1951 ජූලි 12 වැනිදා ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සමග එම පක්ෂයෙන් ඉවත්වූ දොන් ඇල්වින් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමට මුල්වූ පිරිසගෙන් කෙනෙකි.


1956 දී බණ්ඩාරනායක ආණ්ඩුවක් පිහිටුවා අගමැති තනතුරට පත්වුවත් ඔහුගේ කැබිනට් මණ්ඩලයෙහි ඇමති තනතුරක් මේ කියන දොන් ඇල්වින් රාජපක්ෂට ලැබුණේ නැත. බණ්ඩාරනායක අගමැති ඝාතනයට ලක්වීමෙන් පසු අගමැති තනතුර ලැබුණේ ගාල්ලේ දහනායකටය. දහනායක අගමැතිවරයාගේ මාස හයේ ආණ්ඩුවේ (1959 සැප්තැම්බර් 26 - 1960 මාර්තු 20) කෘෂිකර්ම හා ඉඩම් ඇමති තනතුර හිමිවූයේ මහින්දගේ පියා වූ දොන් ඇල්වින් රාජපක්ෂටය.


දොන් ඇල්වින් රාජපක්ෂට එම ඇමති පදවිය ලබාදෙමින් දහනායක ඔහුට පවසා ඇත්තේ මමත් දොන්, ඔයාත් දොන් යනුවෙනි. ඊට හේතුව දහනායකගේ සම්පූර්ණ නම ද දොන් විජයානන්ද දහනායක වූ බැවිනි. 1906 දී ඉපදී 1967 දී 61 වියේ දී මියගිය ඩී. ඒ. රාජපක්ෂ රුහුණට අනුපමේය වූ සේවයක් සිදුකළ විශිෂ්ට දේශපාලකයෙකි.
මේ කියන ඇල්වින් රාජපක්ෂගේ අයියා ඩී. ඇම්. රාජපක්ෂ හෙවත් දොන් මැතිව් රාජපක්ෂය. රුහුණේ සිංහයා වශයෙන් හැඳින්වූයේ ඔහුය. රාජපක්ෂ පවුලට කුරහන් සාටකය හඳුන්වා දුන්නේ ඔහුය. 1896 වසරේ ඉපදී 49 වැනි වියේ දී එනම් 1945 දී ඔහු මිය ගියේය. 1931 දී දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ඇන්. ඇම්. පෙරේරා පිලිප් ගුණවර්ධන හා ලෙස්ලි ගුණවර්ධන ආදී වාමාංශික දේශපාලන පක්ෂ නායකයින් සමග ඔහු දේශපාලනයට පිවිසියේය.


1936 දී හම්බන්තොට ආසනයට තරග කළ ඔහු වැඩි ඡන්ද 12,106 ක් ලබාගෙන රාජ්‍ය මණ්ත්‍රණ සභාවට මන්ත්‍රීවරයෙකු වශයෙන් ප්‍රථමවරට තේරී පත්විය. 1945 වන තෙක්ම ඔහු වසර 9ක් මන්ත්‍රී ධුරය දැරුවේය. හරියටම මීට වසර 88කට පෙර කොමියුනිස්ට්කාරයෙකු වශයෙන් දේශපාලනය අරඹා තම නිජභූමිය වූ රුහුණු මාගම්පත්තුවට උදාර සේවයක් ඉටුකළ ගම ගැන ගැමියා ගැන මේ රටේ සංස්කෘතිය හා ඉතිහාසය ගැන ඉමහත් දැනුමක් තිබූ අවංක නිහතමානී දූෂණයෙන් තොර දේශපාලකයෙකු වශයෙන් මේ කියන ඩී. ඇම්. රාජපක්ෂ හෙවත් දොන් මැතිව් රාජපක්ෂ හැඳින්විය හැක.


ඩී. ඒ. රාජපක්ෂ දේශපාලනයට පිවිසියේ ඔහුගේ අයියා වූ ඩී.ඇම්. රාජපක්ෂගේ අභාවයෙන් පසුවය. මේ දෙදෙනාගේම පියා දොන් ඬේවිඞ් රාජපක්ෂය. මහින්ද රාජපක්ෂයන්ගේ පියා, බාප්පා, සීයා ඇතුළු පවුලේ පැරණි සාමාජිකයන් රාශියකගේ නම්වලට දොන් කෑල්ල ඇතුළත්ව තිබුණත් චමල්, මහින්ද, ගෝඨාභය, බැසිල් හා ඩඞ්ලි යන නම්වලින් මෙම දොන් කොටස හැලී ඇත. 


මේ සියල්ල වෙනම කතාවකි. මේ තරම් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂයන්ගේ පවුල් පසුබිම පිළිබඳ එක්තරා සුවිශේෂී සිද්ධියක් හුවා දැක්වීමටය. එය අනුවේදනීය කතාවකි.


දිනය හරියටම 1945 මැයි 18 වැනිදාය. හම්බන්තොට මන්ත්‍රීවරයා වූ ඩී. ඇම්. රාජපක්ෂ කොළඹ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කුඩා කුටියක් තුළ අවසන් හුස්ම හෙළීම ඒ අනුවේදනීය කතාවයි. රාත්‍රී ආහාරයෙන් පසු නිදාගත් ඔහු නිදි ඇඳේම මියගොස් සිටියේය. මියයන විට ඔහුගේ සාක්කුවේ තිබුණේ රුපියල් දහයක් පමණකි. එදා අද මෙන් මැති ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට කොළඹ සුඛෝපභෝගී නිල නිවාස වෙන්කර නොතිබුණි. 


දුර පළාත්වල මන්ත්‍රීවරුන්ට රාජකාරි අවස්ථාවන් හිදී රාත්‍රිය ගත කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ (පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ) කුඩා කාමර කීපයක් වෙන්කර තිබුණි. එම කුඩා කාමරයේ තිබුණේ කුඩා ඇඳක් හා ඇඳුම් තබා ගැනීමට රාක්කයක් පමණකි. ඔහු දේශපාලනය අනුසාරයෙන් සත පහක්වත් සොයා නොගත් රුහුණු පුත්‍රයෙකි.
ඔහුගේ දේහය රුහුණට ගෙනගොස් අවමඟුල් කටයුතු සිදුකිරීමේ සියලු කටයුතු සිදුකළේ ඔහුගේ හිතවත්ම මිතුරෙකු වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකය. බණ්ඩාරනායක ඒ වනවිට ඩී. ඇස්. සේනානායක අගමැතිවරයාගේ රජයේ සෞඛ්‍ය ඇමති තනතුර දැරුවේය. මහින්ද රාජපක්ෂ ඉපදුණේ මේ සිද්ධිය සිදුවී මාස 6කට පසුවය.

 

 


සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

පාර්ලිමේන්තුවේ කුටියක නින්දෙන් මරණයට ගිය රුහුණේ සිංහයා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1043 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1077 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site