IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


පීඩිත වතු කම්කරුවන්ගේ රතු තරුව

 

ද කුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි බ්‍රාහ්මණ වංශිකයකු වූ කේ. නඬේස අයියර් මහතා ලංකා වතු කම්කරු ඉතිහාසයේ අමරණීය සිහිවටනයක් තැබූ නායකයෙකි. මන්දයත් ශ්‍රී ලංකාවේ වතුකරයේ වෘත්තීය සමිති ඉතිහාසයේත් රැඩිකල්වාදී දේශපාලන කටයුතුවලදීත්, පුවත්පත් පළ කිරීමේදීත් වතුකරයේ දමිළ සාහිත්‍ය වර්ධනය උදෙසාත්, මෙන්ම අසරණ වතුකම්කරු ජනතාවගේ අයිතීන් දිනා ගැනීමටත් පුරෝගාමී මෙහෙවරක් කළ නිසාවෙනි.


ශ්‍රී ලංකාව 1815 දී බි්‍රතාන්‍ය යටත්විජිතයක් බවට පත්වූ පසු පාලකයන් විසින් වෙළඳ වගාවන් සඳහා ස්වදේශිකයන්ගේ ඉඩකඩම් අත්පත් කර ගැනීමට කටයුතු කරන ලදී. මෙම ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් වූයේ මධ්‍යම කඳුකරයේ ඉඩම්ය. එහි වන පෙදෙස හෙළිකොට භූමිය සකස් කර වගාවන් ඇති කරන්නට බොහෝ කම්කරුවන් අවශ්‍ය විය. තමන්ගේ ඉඩම් කොල්ලකෑ පිරිසට සේවය කිරීමට සිංහල ජනයා අකමැති වූහ. ඒ අනුව වතුකරයේ දෛනික කටයුතුවල නිරත වන ස්ථිර කම්කරු පංතියක් ලංකාණ්ඩුව 1848 වසරේදී දකුණු ඉන්දියාවෙන් ගෙන්වීම ආරම්භ කළේය.


1868 දී පමණ කඳුකරයේ හඳුන්වාදෙන ලද කෝපි වගාවට වැළඳුණු දිලීර රෝගයක් හේතුවෙන් වගාව පරිහානියට ලක්විය. මේ නිසා රජයට ලැබුණු ආදායමද අඩුවිය. කෝපි වගාව පිරිහීමත් සමග වැවිලිකරුවන්ගේ අවධානය යොමු වූයේ තේ වගාව කෙරෙහිය. කඳුකරයේ පිහිටි භූගෝලීය පරිසරය තේ වගාවට යෝග්‍ය විය. තේ වගාවට කෝපි වගාවට වඩා වැඩි ශ්‍රමික පිරිසක් අවශ්‍ය විය. ඒ අනුව දකුණු ඉන්දියාවෙන් ලංකාවට කම්කරුවන් ගලා ඒම කෝපි යුගයෙන් පසුව තව තවත් ඉහළ ගියේය. 1911 ජනලේඛනයට අනුව ලංකාවේ දමිළ ජනගහනයට වඩා සුළු වශයෙන් හෝ ඉන්දියානු දමිළ ජනගහනය වැඩි වී තිබුණි. ඒ වන විට ලංකා දමිළ ජනගහනය 528,024 ක් වන විට ඉන්දීය දමිළ ජනගහනය 530,983 ක් විය.


මේ අවදියේ ඉන්දියානු වතු කම්කරුවන් වැටුප් සේවා කොන්දේසිවලින් පීඩාවට පත්වෙමින් සිටි අතර ඔවුනට වාසය කරන්නට සිදු වූයේද වතුවල ඉදිකර තිබුණු කුඩා ලැයින් කාමරවලය. අපිරිසිදු පරිසරයන්හි අක්‍රමවත්ව ඉදිකර තිබුණු කුඩා කාමරවල හත් අට දෙනා ජීවත් වූහ. විවිධ රෝගාබාධවලට ලක්වන මොවුන්ගේ ආයුෂද කෙටි විය. විශේෂයෙන් මොවුහු ආර්ථික වශයෙන් ඉතාම දරුණු සූරාකෑමට ලක්වන කම්කරු සමූහය වූහ. සදාකාලික ණයගැති භාවයේ එරී සිටි අතර ණය ආපසු ගෙවීමටද ඔවුනට හැකියාවක් නොතිබුණි. එසේම වතුහිමියන් ගේ අවසරයක් නොමැතිව අන්අයට වතු කාමරවලට පැමිණීම තහනම් කිරීමේ නීතිද පනවා තිබුණි.


තමිල්නාඩුවේ වලවනූර් නමැති ග්‍රාමයේ මුලාදෑනි පවුලක් වූ කෝදණ්ඩ රාමයියර් සහ පහීරදි අම්මාල් යන දෙදෙනාට දාව 1887 ජනවාරි මස 14 වන දින නඬේස අයියර් උපන්නේය. කුඩා කල සිටම අධ්‍යාපනයට විශේෂ දක්ෂකමක් පෑ ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඩිප්ලෝමාධාරියෙකු වී තනජෙ හි පිහිටි කල්යාණසුන්දරම් උසස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කෙටි කලක් සේවය කළේය. පත්‍ර කලාව සඳහා සහජ දක්ෂකමක් තිබූ ඔහු ඉන්පසු 1914 වසරේදී “වර්තග මිත්තිරන්” (වාණිජ මිතුරා) යන නමින් පුවත්පතක් ආරම්භ කළේය. මෙය ව්‍යාපාරික පුවත් තේමා කොටගත් පුවත්පතක් වූ අතර නඬේස අයියර් ලද ව්‍යාපාරික දැනුම එම පුවත්පතේ දියුණුවට ඉමහත් රුකුලක් විය. තවද යුරෝපීය වෙළෙඳ කටයුතුවල නිරත වී භාණ්ඩ ගනුදෙනුවලින් මුදල් උපයන සියලු දෙනා ගිණුම් කටයුතු පිළිබඳ විශේෂ දැනුමක් ලබාගැනීම අත්‍යවශ්‍ය දෙයක් යැයි සිතූ නඬේස අයියර් “පනම්” (මුදල්) යන නමින් තැපැල් මාර්ගික අධ්‍යාපන සේවයක් 1916 වසරේදී පවත්වාගෙන ගියේය. මෙය තන්ජෛ හි පිහිටි වර්තන මිත්තිරන් කාර්යාලයේ සිටම ක්‍රියාත්මක කළේය.


1915 වසරේදී නඬේස අයියර් ලංකාවට පැමිණ මිත්‍ර සම්බන්ධකම් ගොඩනැගීමෙහි හා තම “වර්තග මිත්තිරන්” පුවත්පතට ආධාර මුදල් එකතු කිරීමෙහි යෙදුණේය. එසේ ලංකාවට පැමිණි අවස්ථාවේ දකුණු ඉන්දීය ජනතාව වැඩි වශයෙන් පදිංචිව සිටි ප්‍රදේශවලටද ගියේය. එම ප්‍රදේශවල නගරවලටද යාමට ඔහුට හැකි වුවද වතුකරය තුළට පිවිසීමට නොහැකි විය. ඉංග්‍රීසි ජාතිකයන් වතුකරය පවත්වාගෙන ගියේ එළිමහන් සිරකඳවුරු ලෙසටය. ලංකාවට පැමිණ පදිංචිව ජීවත් වන දකුණු ඉන්දියානු ජනතාවගේ දීන වහල් ජීවිතය ඔහුගේ සිතට ආවේගයක් ඇති කළ අතර අනතුරුව ඉන්දියාවට පෙරළා ගිය හෙතෙම තමාගේ පුවත්පත් කටයුතු තම සහායකවරයාට පවරා ආපසු ලංකාවට හැරුණේය.
1920 දී යළි ලංකාවට පැමිණි ඔහු “තේසනේසන්” (දේශහිතෛෂී) නමැති ද්‍රවිඩ පුවත්පතේ කර්තෘ ධුරයට පත්විය. මේ පුවත්පතෙහි අයිතිකරුවන් වූ ඇම්.ඒ. අරුලානන්දන් සහ දොස්තර ඊ. වී. රත්නම් යන අය ලංකා ජාතික සංගමයේ විධායක කාරක සභාවේ සාමාජිකයෝ වූහ. දොස්තර රත්නම් ලංකා කම්කරු සංගමයේ කාරක සභිකයෙක්ද වූයේය. පොලිස් වාර්තාවලට අනුව “දේශපාලන උද්ඝෝෂකයෝ” ලෙස සලකනු ලැබූ මෙම ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම 1921 වසරේදී ‘ද සිටිසන්’ (පුරවැසියා) නමින්ද ඉංග්‍රීසි පුවත්පතක් ආරම්භ කළේය. එහි කර්තෘ ලෝරා මුතුක්‍රිෂ්ණා වූ අතර නඬේස අයියර් ප්‍රකාශකයා විය. ද සිටිසන් පත්‍රය, තරුණ ලංකා සංගමය වැනි සටන්කාමී සංවිධානවලට ද සහයෝගය ලබා දුන්නේය. 


නඬේස අයියර්ගේ පත්‍ර කලාවේදී කටයුතු ඉන්දියාව සමග සම්බන්ධකම් තිබීමත්, බි්‍රතාන්‍ය පාලනයට ප්‍රසිද්ධියේම විරුද්ධ වීමත් නිසා ලංකාණ්ඩුවේ පොලිසිය ඔහු පිළිබඳව නිරන්තර සෝදිසියෙන් සිටියේය. අධිරාජ්‍යයේ වත්මන් තත්ත්වය හෙල්ලුම් කා ඇති බව ඔප්පු වී ඇතැයිද ඉදිරි කාලයේදී අවුල් වියවුල් ඇතිවීම අනිවාර්ය යැයිද කරුණු අන්තර්ගත කර ‘බි්‍රතාන්‍යයට දැනුම් දීමක්” මැයෙන් කතුවැකියක් 1925 දී පළ කරන ලදී. මෙයින් බි්‍රතාන්‍යයට අනතුරු ඇඟවීමක් කර තිබීම හේතුවෙන් නඬේස අයියර්ට විරුද්ධව නඩු පවරන ලෙස පොලිසිය ආණ්ඩුවට බලකර සිටියේය. මේ ලිපිය පිළිබඳව සලකන ලද්දේ, දිවයිනේ ඉතා දුර්වල වර්ගයේ අතිශයින් රාජද්‍රෝහී ලිපියක් වශයෙනි. එහෙත් රාජද්‍රෝහී වීමේ චෝදනාව පිට පවරන නඩුවක් සාර්ථක නොවනු ඇතැයි පොලිසියට උපදෙස් දුන් විජිත ලේකම් ඒ වෙනුවට මේ තැනැත්තාගේ වැඩ කටයුතු ගැන සෝදිසියෙන් සිටින ලෙස නියෝග කළේය.

 

 

 


නඬේස අයියර් කම්කරු කටයුතුවලට ප්‍රථම වරට සම්බන්ධ වූයේ ඉන්දියානු ජාතිකවාදියෙකු හා කොමියුනිස්ට් වාදියෙකු වූ බැරෝඩා හි ඩී. ඇම්. මනිලාල් සමග ඇතිකරගත් ආශ්‍රය තුළිනි. නීතිවේදියෙකු වූ මනිලාල් මහාත්මා ගාන්ධි ගේ සගයෙක් විය. 1907 සිට 1910 දක්වා මොරිෂියස් දිවයිනේ නීතිඥ වෘත්තියෙහි යෙදුණු ඔහු වතු හිමියන්ට විරුද්ධව ඉන්දියානු කම්කරුවන් වෙනුවෙන් නඩුවලට පෙනීසිටියේය. ආගමික කම්කරු ප්‍රශ්න සම්බන්ධව රැස්වීම් සංවිධානය කළේය. 1910 දී මොරිෂියස් දිවයිනේ නියෝජිතයා වශයෙන් ඉන්දියානු ජාතික සංගමයේ සම්මේලන වාරයට සහභාගි වීම සඳහා ඉන්දියාවට ගිය ඔහු එහිදී ආගමිකයන්ගේ ඛේදජනක තත්ත්වය විස්තර කරමින් මොරිෂියස් දිවයිනට ඉන්දියානුවන් සංක්‍රමණය වීම නතර කළ යුතු යැයි තරයේ කියා සිටියේය. ඊළඟට ගාන්ධි සමග දකුණු අප්‍රිකාවේ වැඩකළ මනිලාල් ගාන්ධිගේ උපදෙස් පිට පීජි දූපත්වලට ගිය අතර එහිදී ඉන්දියානු කම්කරුවන් අතර උද්ඝෝෂණ හා වැඩවර්ජන මෙහෙයවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1920 දී ඔහු තහනම් නියෝගයක් උඩ එරටින් නෙරපන ලදී. 1921 දී නවසීලන්තයේ සිට පිටුවහල් කළ මනිලාල්, ඉන්දියාවට යන අතරතුරේදී ලංකාවට ගොඩබැස්සේය. 1921 ඔක්තෝබර් මස 09 වැනි දින ලංකා වෙරළට සේන්දු වූ මනිලාල් සහ ඔහුගේ බිරිඳ වන ජෙයම් ක්ලාර්ක් මේතා ඇතුළු දරුවන් දෙදෙනා ලංකාවේ රඳවා ගැනීමටත්, මනිලාල් ව ලංකා සුප්‍රීම් උසාවියේ නීතිඥයෙකු ලෙස ලියාපදිංචි කිරීමටත් නඬේස අයියර් බලවත් උත්සාහයක යෙදුණේය.
මනිලාල් ලංකාවේ ගත කළ කෙටි කාලය තුළ ‘තේසනේෂන්’ සහ ‘ද සිටිසන්’ යන පුවත්පත් කරගෙන ගිය ද්‍රවිඩ ජාතිකවාදීන් හා රැඩිකල්වාදී කණ්ඩායම් සමග ආශ්‍රය කළේය. ලංකාණ්ඩුව විසින් මනිලාල් ලංකාවෙන් නෙරපීම සඳහා නියෝගයක් නිකුත් කිරීම සිවිල් අයිතිවාසිකම් පිළිබද සුප්‍රසිද්ධ සටනක් බවට පත්විය. ඒ සඳහා පවත්වන ලද රැස්වීමකදී ලංකා ජාතික සංගමයේ මධ්‍යස්ථාවාදීහුද, තරුණ ලංකා සංගමයේ ඒ. ඊ. ගුණසිංහ හා ඩී. එච්. ඉසැඞ්, ප්‍රනාන්දු වැනි රැඩිකල්වාදීහුද මනිලාල් වෙනුවෙන් වේගවත් ලෙස කථා කළහ. විශේෂයෙන් මනිලාල් ලංකාවේ ඉන්දීය වතුකම්කරුවන්ගේ ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානය යොමු කළ අතර ඉන්දීය කම්කරුවන් වෙනුවෙන් නැගී සිටීමට ලංකාවේ ඇතැම් ඉන්දියානුවන් ධෛර්යමත් කිරීමටද සමත්විය. ආපසු ඉන්දියාවට ගිය මනිලාල් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය හා වෘත්තීය සමිති ව්‍යාපාරය සමග සමීප ලෙස සම්බන්ධ වූ අතර නඬේස අයියර්ද ලංකාවේ සිටිමින් මනිලාල් සමග වූ සම්බන්ධකම් පවත්වාගෙන ගියේය.


1925 ඉන්දියානු ජනතාවගේ නියෝජිතයා ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත් වූ නඬේස අයියර් පසුව වතු කම්කරුවන්ගේ තත්ත්වය ගැන උනන්දු වීමට පටන් ගත්තේය. ඒ අනුව වතු කම්කරුවන් සදහා නිශ්චිත වැටුපක් වෙනුවෙන්ද, ඔවුනට එරෙහිව කෙරෙන නොසලකා හැරීම් සහ වෙනස් ලෙස සැලකීම්වලටද එරෙහිව ව්‍යවස්ථාදායක සභාව තුළ හඬ නගන්නටද ඔහු අමතක නොකළේය. වතු පාලකයන් කෙතරම් දරුණු ලෙස කටයුතු කළේද කිවහොත් කම්කරුවෙකුට වත්තකින් වත්තකට ඇතුළුවීම ද තහනම් කර තිබිණි ‘වතුවලට ඇතුළුවන ඕනෑම පිටස්තරයෙකු ඩමොක්ලිස්ගේ අසිපත මෙන් එල්ලා තබන බවට” වතු හිමියෝ නීති පැනවූහ. ඇතැම් තැන්හි “වතුවල සැරිසරන හෝ සැඟව සිටින ඕනෑම අයෙකුට සති හයක සිරදඬුවමකට හා රුපියල් 25 ක දඩයකට යටත් කරන බවට” අනතුරු අඟවා තිබිිණි.


මෙවැනි තත්ත්වයක් හමුවේ නඬේස අයියර්, රෙදි වෙළෙන්දෙකු ලෙස වෙස් වළාගනිමින් වතුකරය තුළට පිවිස වතුකරයේ ජනතාවගේ ජීවන රටාවේ සත්‍යය ඔහු අවබෝධ කර ගැනීමට සමත්විය. වතු ආසන්නයේ සිට කම්කරුවන්ට ඇසෙන ලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දේශනා පැවැත්වීමටද හේ ක්‍රියා කළේය. කම්කරුවන් වෙනුවෙන් ‘දේසභක්තන්’ නමින් පුවත්පතක් ආරම්භ කළ ඔහු ඒ ඔස්සේ වතු කම්කරුවෝ දැනුවත් කිරීමේ ප්‍රයත්නයන් උත්සන්න කළේය ‘ඉන්දියානු කම්කරුවනි නැගීසිටිව්, අද ඔබට නොහැකි නම් කිසි දිනෙක හැකි නොවනු ඇත, රැස් වෙව් - තීරණ ගනිව්” යනාදී සටන් පාඨ රැගත් දේසභක්තන් පුවත්පත හොර රහසේ කම්කරුවන් අතට පත් කෙරිණි.


ඉන් නොබෝ කලකින් නඬේස අයියර් විසින් ‘වැවිලිකරු රාජ්‍ය’ නමින් පොත් පිංචක් ලීවේය. මිනිසුන් කුපිත කරවනසුලු ලියවිල්ලක් වූ එමගින් වතු හිමියන්ට පහර ගසන ලදී. වතුවල පැවති වැඩකිරීමේ තත්ත්වයන් ගැන කටුක විස්තරයක් සපයන ලදී. වතුකම්කරුවන් සම්බන්ධයෙන් නඬේස අයියර් දැක්වූ සැලකිල්ල නිසා නාගරික කම්කරු නායකයා වූ ඒ. ඊ. ගුණසිංහ සමග දේශපාලන හා වෘත්තීය සමිති හවුලක් ගොඩනැගීමටද වෑයම් කළේය. මෙම හවුල 1926 සිට 1929 දක්වා පැවති අතර ඔවුන් දෙදෙනා එකතු වී “ෆෝවර්ඞ්” නමින් රැඩිකල්වාදී පත්‍රයක්ද පළ කළහ. මෙම පත්‍රය මගින් පූර්ණ දේශපාලන නිදහස ඉල්ලා සිටි අතර “නම්බුනාම අපේක්ෂා කළ වුන්, තෘප්තිමත් කිරීම අරමුණු කොටගත් රැවටිලි සහගත දේශපාලන ප්‍රතිසංස්කරණ” ප්‍රතික්ෂේප කරන ලදී.


නඬේස අයියර්ට වෘත්තීය සමිති සටන් පිළිබඳව ප්‍රථම ප්‍රායෝගික අත්දැකීම ලැබුණේ ඒ. ඊ. ගුණසිංහ සමග වූ ආශ්‍රය තුළිනි. ඒ අනුව 1927 දී ලංකා කම්කරු සංගමය විසින් මෙහෙයවන ලද වරායේ වැඩ වර්ජනයේදී ඉන්දියාවෙන් ගෙන්වන ලද කම්කරුවන්, වැඩ වර්ජනය කිරීමට කැමති කරවා ගැනීමට නඬේස අයියර්ට හැකිවුණි. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේදීද වැඩ වර්ජනය ගැන ප්‍රශ්න මතු කරන ලදී. ඒ. ඊ. ගුණසිංහගේ ලංකා කම්කරු සංගමයේ සාමාජිකයෙකු වීමෙන් නඬේස අයියර්ට නාගරික කම්කරුවන් සමගද සම්බන්ධතා ඇතිවිය. ඔහු ටික කලක් එහි උපසභාපති ධුරය දැරුවේය. ඒ. ඊ. ගුණසිංහ සහ නඬේස අයියර් අතර මිත්‍ර සන්ධානය 1929 ආර්ථික පරිහානිය ආරම්භ වීමත් සමග සම්පූර්ණයෙන් නැති වී ගියේය. 1929 සහ 1934 අතර වූ පරිහානි සමයේදී නාගරික කම්කරු ව්‍යාපාරය මෙන්ම වතුකරයේ කම්කරු ව්‍යාපාරයද බිඳවැටුණා පමණක් නොව ලාංකිකයන් අතර රක්ෂා හිඟය වර්ධනය වීමත්, අඩු පඩියට වැඩ කිරීමට කැමති ඉන්දියානු කම්කරුවන් නිසා දේශීය නගරබද කම්කරුවන් අතර තදබල ඉන්දියානු විරෝධී හැඟීමක්ද පැනනැගිනි. ලංකා කම්කරු සංගමය සිය ප්‍රතිපත්ති වෙනස් කොට ඉන්දියානු විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සමග කම්කරු නායකයන් දෙදෙනා අතර භේදය උත්සන්න විය.


“අපි සෑම විටම මෙරටේ සංවර්ධනය හා දේශපාලන අභිවෘද්ධිය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අය වෙමු. ඉන්දියානු කම්කරුවන්ගේ සහ ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ පැවැත්ම රැඳී ඇත්තේ රටේ සංවර්ධනය මත යැයි අපි විශ්වාස කරමු. ලාංකිකයන් සමග අත්වැල් බැඳ රටේ දේශපාලන සංවර්ධනය සඳහා සටන් කළෙමු. අපි සුළු ජාතිකයින් වුවද, මෙම සභාවේ සෙසු සුළු ජාතිකයින් සමග හෝ රජයේ සේවක ප්‍රජාව සමග එක්නොවී කම්කරු සංගමය සමග එක් වී ඡන්දය ප්‍රකාශ කළෙමු. නමුත් කම්කරු සංගමය අපගේ විශ්වාසයට පටහැණිව කටයුතු කරමින් අපගේ සිහින පුස්සක් බවට පත් කළේය. අපගේ විශ්වාසය බිඳ වැටී වෙනස් වූ මාවතක් ඔස්සේ ගමන් කරන ස්වභාවයක් දකින්නෙමු”යි නඬේස අයියර් ප්‍රකාශ කළේය.


දක්ෂ ග්‍රන්ථ සංස්කාරකවරයකු වූ නඬේස අයියර් වර්ෂ 1930 දී ‘සහෝදරි’ නමින් මුද්‍රණ කාර්යාලයක් හැටන් නගරයේ ආරම්භ කළේය. මෙසේ කඳුකරයේ මුද්‍රණාලයක් ආරම්භ කළ ප්‍රථම පුද්ගලයා වූයේද නඬේස අයියර්ය. ඉමහත් බලාපොරොත්තුවකින් ආරම්භ කළ එම මුද්‍රණාලය මගින් මුද්‍රිත පුවත්පත් සඳහා පාඨකයින් විශාල සංඛ්‍යාවක් ආකර්ෂණය කරගනු ලැබූ අතර ඉන්දියානු සම්භවයක් ඇති ජනයාගේ දෛනික ජීවිතයේ ක්ෂණික වෙනසක් අති කිරීමටද එම පුවත්පත් හේතු විය.


1931 දී වතු කම්කරුවන් අතර වෘත්තීය සමිතියක් සංවිධානය කිරීම සඳහා ප්‍රථම ප්‍රයත්නය දැරූ නඬේස අයියර්, ‘සමස්ත ලංකා වතු කම්කරු සම්මේලනය’ ආරම්භ කළේය. එහි ප්‍රධාන කාර්යාලය පිහිටියේ තේ වතු දිස්ත්‍රික්කය මැද වූ හැටන් නගරයෙහිය. වතු කම්කරුවන් අතර මහත් ආන්දෝලනයක් ඇතිවිය. බ්‍රාහ්මණ වංශිකයෙකු වූ නඬේස අයියර් තුළ සම්ප්‍රදායන් අනුව “වසලයන්” ලෙස සලකනු ලැබූ හා හෙළාදකිනු ලැබූ අය වෙනුවෙන් සටන් කිරීම සඳහා නැගී සිටියේය. ලංකාවේ ඉතාම බලගතු සේව්‍යයන් වූ බි්‍රතාන්‍ය වතු හිමියන්ට අභියෝග කළ ඔහු ඔවුනට පහර ගැසීමේදී නිර්භීත විය. ‘වතු දිස්ත්‍රික්කවල කම්කරු සම්මේලනයක් ආරම්භ කිරීම අවශ්‍ය වූයේ මන්දැයි පැහැදිලි කිරීම අනවශ්‍යය. ශතවර්ෂයක් මුළුල්ලේ දුක් විඳීමෙන් පසු කම්කරුවෝ තමන්ට පිහිට වන එකම දෙය ස්වයං ආධාරය බැව් අවබෝධ කොටගෙන ඇත්තාහ. තමන් බලාපොරොත්තු වන අන්දමට තමන්ට ආධාර කිරීමට කිසිවකුට නුපුළුවන් බැව් ඔහුට දුක් මුසු අත්දැකීම් තුළින් ඔප්පු වී ඇත.” යන්න නඬේස අයියර් ලිවීය. ආකර්ෂණයකින් යුතු ව්‍යක්ත ද්‍රවිඩ කථිකයෙකු වූ ඔහුගේ රැස්වීම් වෙත සමූහ වශයෙන් රොක් වූ වතු කම්කරුවෝ ගැලවුම්කාරයකු වශයෙන් ඔහුව සාදරයෙන් පිළිගත්හ.

 

ඩී. ඇම්. මනිලාල් සහ ඔහුගේ පවුලේ අය.

 


ලංකා වතු කම්කරු සම්මේලනයේ වැඩ කටයුතු සටන්ක්‍රම දෙකකට පමණක් සීමා විය. පළමුවැන්න වූයේ පුද්ගලික දුක්ගැනවිලිවලට පෙත්සම් මාර්ගයෙන් සහනය සෙවීමය. සම්මේලනය මගින් පෙත්සම් ලිවීමේ ක්‍රමය උපයෝගි කරගනු ලැබීමෙන් පසු වතුක්කරුවන් විසින් වතු අධිකාරීන් වෙතද ලංකාවේ සිටි ඉන්දියානු ආණ්ඩුවේ නියෝජිතයා වෙතද පෙත්සම් යවන ලදී. මෙසේ යවන ලද පෙත්සම් වැඩි වූ අතර ඒ අනුව ඉන්දීය ආණ්ඩුවේ ඒජන්ත වෙත යවන ලද පෙත්සම් සංඛ්‍යාව 1929 වසරේදී 956 සිට 1931 දී 1859 ක්ද, 1933 දී 3636 ක් දක්වාද වැඩිවිය. මෙසේ පෙර නොවූ විරූ අන්දමට පෙත්සම් වැඩි වූයේ අලුත් වෘත්තීය සම්මේලනයේ වැඩ කටයුතු නිසා යැයි ඉන්දියානු ඒජන්ත තැන පැවසීය. දෙවැන්න පත්‍ර සඟරා හා පත්‍රිකාද ප්‍රසිද්ධ රැස්වීම්ද මාර්ගයෙන් සම්මේලනය වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදීමය.


වතු අංශයෙන් බිහි වූ වෘත්තීය සමිති ව්‍යපාරයට බාධා කළ වතු හිමියෝ, එම ව්‍යාපාරය අක්‍රීය කර දැමීමටත් එහි නායකයන් අපකීර්තියට පත්කිරීමටත් දැඩි උත්සාහයක් දැරූහ. වතු හිමියෝ ලංකාවේ ඉතාම බලගතු ධනපති කණ්ඩායම වූහ. 

 

 


මතු සම්බන්ධයි.


එම්. තාරික්
ඡායාරූප : එම්. තාරික් සහ අන්තර්ජාලය



අදහස් (0)

පීඩිත වතු කම්කරුවන්ගේ රතු තරුව

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12102 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6800 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14486 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14842 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2762 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 428 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 406 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1814 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1631 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site