IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපති ආර්යාවන්ගේ පුරාණය

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බිරිඳ සමග

 

 

වෙහෙසකර ජනාධිපතිවරණ සටනක් ජයග්‍රහණයෙන් නිමා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා තම රාජකාරි කටයුතු ආරම්භ කළේය. අනෙකුත් ප්‍රධාන කටයුතුවලට අමතරව අද්‍යතන ලෝක දේශපාලන රටාවට අනුව තමා අනුගමනය කරන්නට බලාපොරොත්තුවන විදේශ ප්‍රතිපත්තියට අදාළව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා ඔහු ඉන්දියාව බලා පිටත්ව ගියේය. එම නියෝජිත පිරිස දහ දෙනෙකුගෙන් සමන්විත වූ කුඩා කණ්ඩායමක් විය. ඔව්හු සියලු දෙනාම රාජ්‍ය නිලධාරිහු වූහ. එම පිරිසට ජනාධිපති බිරිඳ ඇතුළත් වූයේ නැත. පෙර සිරිතට අනුව ඇය හැඳින්වෙන්නේ ජනාධිපති ආර්යාව නමිනි.


අපට ආර්යාව නමින් හැඳින්වීමක් නොතිබුණි. උඩරට රාජධානි සමයේදී රාජ සභාවට සම්බන්ධ ප්‍රභූවරුන්ගේ බිරින්දෑවරුන් කුමාරිහාමිලා සහ අප්පොලා වූ අතර පහත රටදී මුදලි මුහන්දිරම් වැනි ඉහළ පෙළේ කාන්තාවන් ළමාතැනී යන නාමයෙන් හඳුන්වනු ලැබීය. තවත් සමහරු හාමුලා වූ අතර එය හාමුදුරුවන් යන්නෙන් කියවුණු අර්ථය ජනිත කරවන්නක් බවද කියවුණි.

 

 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිරිඳ සමග

 


යටත් විජිත සමයේදී බි්‍රතාන්‍යයේ රජු හෝ රැජිනිය වෙතින් නම්බු නාම පිරිනැමීමේ සම්ප්‍රදායක් පැවතියේය. රාජ්‍යයේ ඉහළ තානාන්තර දරන්නන්ට මෙන්ම සමාජ සේවය සඳහා ධනය වැය කරන දානපතීන්ටද මෙම නම්බුනාම ප්‍රදානය සිදුකෙරුණි. එවැන්නක් හිමිකර ගැනීම අධිරාජ්‍යය තුළ ඉතාමත් සම්භාවනීය තත්ත්වයකට පත්වීමක් ලෙස බොහෝ දෙනා සැලකුහ. එම නාමයන්ට හිමි පදක්කම් සහ ආයිත්තම් පැලඳ සිටීමට බොහෝ ප්‍රභූන් කැමැත්තක් දැක් වූ බව වාර්තාවන්හි දැක්වේ. ඒ නම්බුනාම සඳහා මෙරට යටත් විජිත පාලනයේ ආණ්ඩුකාරවරයා විසින් නිර්දේශ කරනු ලැබුවේ එම පාලනය පවත්වාගෙන යාමට උදව් උපකාර කරන අයට වූ බව නිසැකය. එය අධිරාජ්‍යයට පක්ෂපාත දේශීයයන් පිරිසක් රැක ගැනීමට කළ උපක්‍රමයක් ලෙසද සැලකිය හැකිය. මෙවැනි පදවි නාම ලැබූ අයගේ නමේ මුලට සර් යන ගෞරව නාමය එකතුවිය. එය සිංහලයට පෙරළීමේදී ශ්‍රීමත් යන අභිධානය එක්වූවේය. මෙවැනි ඉහළ පෙළේ ප්‍රභූවරුන්ගේ බිරින්දෑවරුන්ට ආර්යාව යන ගෞරව සම්ප්‍රයුක්ත වදන භාවිතය ඇරඹුණු බව කියනු ලැබේ. නයිට් නාම යනුවෙන් කියවෙන බි්‍රතාන්‍යයේ රදල සහ වංශාධිපති පවුල්වල සම්භාවනීයත්වය හා සමාන ලෙස සැලකනු ලැබූ මෙම ප්‍රභූවරු වැඩවසම් යුගයේ නශ්ටාවශේෂයක් ආඩම්බරයෙන් පැලඳගෙන සිටි බවක් නොදත්හ. ඒ නිසා ඔවුන්ගේ භාර්යාවෝද ආර්යාව යනුවෙන් හඳුන්වා ගනිමින් එකී ඉහළ ප්‍රභූ සමාජයේ මොණර කිරිල්ලියන් මෙන් වැජඹුණහ. මෙය දුප්පත් ජනතාව අතර හාස්‍යයට මෙන්ම පිළිකුලටද ලක්වන්නට විය. විශේෂයෙන්ම 1956 සමාජ පෙරළිය වන විට එදා පැවති සමාජ වාතාවරණය අනුව තමා බලයට පත්වුවහොත් මෙම යටත් විජිතවාදී නම්බුනාම ප්‍රදානය නවත්වන බව ම.එ.පෙ. නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ස්ථිරසාර පොරොන්දුවක් දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ආණ්ඩුව බලයට පත්වීමෙන් ඉක්බිති එම නම්බුනාම ප්‍රදානය තහනම් කරන ලද අතර අපේ ජන සමාජයෙන් නයිට්වරුන් සහ ආර්යාවන් බිහිවීම නැවතුනි.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බිරිඳ සමග

 


එතෙක් පැවති බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට නව මුහුණුවරක් ලබාදෙමින්, බලවත් රටවල් දෙකක් වූ ප්‍රංශයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රමවල සම්මිශ්‍රණයක් සහිතව 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කරනු ලැබීම මෙරට දේශපාලන ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූවේය. ජනාධිපති ධුරය දරන්නාගේ අභිමතය අනුව කටයුතු කළ හැකි ඉතා බලවත් තනතුරක් වූ නිසා එය දරන්නාගේ ගරුත්වය, බලපරාක්‍රමය සහ නෛතික ශක්තිය හුදී ජනයාට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වූ නිසා පැරණි නයිට් නාමයේ සිංහල වචනය වූ ශ්‍රීමත් යන අභිධානය නම මුලට යොදා ගැනීමටත් නාමය අගට උතුමාණන් යන්න යොදා ගැනීමටත් ජනාධිපති ධුරයට පත්වූවන්ගේ අන්තේවාසිකයෝ කටයුතු කළහ. අභිමුඛයේදී මෙවැනි ගරු සරු ඇති පදවි නාමයෙන් ඇමතීම තමන්ගේ කටයුතු ඉටු කරවා ගැනීමට පහසු මගක් බව මෙම කෛරාටික අන්තේවාසිකයෝ වටහාගෙන සිටියහ. මොවුහු ශ්‍රීමත් ජනාධිපති උතුමානන්ගේ බිරිය හැඳින්වීමට සමාජයෙන් ඉවත්ව තිබුණු ආර්යාව යන වචනය යළි ජන සමාජය වෙත ගෙන ආවෝය. වත්මන් ව්‍යවහාරයේ පවතින ආර්යාවන් කරළියට ආවේ ඒ ආකාරයෙනි.


1978 ව්‍යවස්ථාව අනුව මෙරටේ ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්වූවේ ජේ. ආර්. ජයවර්ධන මහතා වූ නිසා එතුමාගේ බිරිඳ වූ එලීනා ජයවර්ධන මැතිනිය ප්‍රථමවරට ‘ආර්යාව’ යන අභිධානයෙන් ආමන්ත්‍රණය කිරීමට වරම් ලැබුවාය.

 

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා බිරිඳ සමග

 


එක් දහස් නවසියය සහශ්‍රයේ මුල්ම වකවානුවේ මෙරට සිටි ඉහළ පෙළේ ධන කුවේරයෙකු වූ ගිල්බට් ලෙනාඞ් රූපසිංහ මහතාගේ සහ එම පතිනිය වූ නැන්සි මාග්‍රට් සූරිය බණ්ඩාර මැතිනියගේ එකම දියණිය වශයෙන් ඉතා විශාල දේපළ සම්භාරයකට උරුමකම් ඇතිව ඇය උපත ලැබුවේ එලීනා රූපසිංහ බණ්ඩාර යන නමිනි. ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු, ඉඩම්හිමි  වැවිලිකරුවෙකු සහ වැඩ අධික නොතාරිස්වරයෙකුද වූ ගිල්බට් ලෙනාඞ් රූපසිංහ මහතා විවාපත්ව මධු සමය ගත කිරීම සඳහා ඉතාලියේ සංචාරයක යෙදුණු බව කියවේ. මාස කීපයක් ගත වූ මෙම සංචාරය ඉතා ප්‍රීතිමත් හා සුන්දර අත්දැකීමක් වූවා නිසැකය. මෙසේ කලකට පසු ඉතාලියේ එලීන් නගරයට පැමිණි ඔව්හු එහි මනස්කාන්ත දර්ශනයේ සුන්දරත්වය අත්විඳීමින් සිටියහ. මේ අතර තම ජීවිතයේ අතිශයින්ම වාසනාවන්ත සහ ප්‍රීතිමත් අවස්ථාවකට මුහුණ පා සිටින බව මෙම යුවතිපතීහු අවබෝධ කරගත්හ. එනම් රූපසිංහ මැතිනිය ගැබ්ගෙන ඇති බව දැන ගැනීමයි. එම සතුට සැමරීම සඳහා පසුකලෙක ඔවුනට උපන් දියණියට ‘එලීනා’ නමින් නම් තැබූ බව පවුලේ තතු දත්තෝ පැවසූහ. පවුලේ නොමඳ ආදරය නිසාම ඇය කොළඹ පාසලකට යැවීමට පවා මෙම දෙමාපියෝ කැමති නොවූහ. ඒ වෙනුවට එකල ඉහළ සමාජයේ දරුවන් ඉගෙනුම ලබන පාසල් ගුරුවරුන්ටත් වඩා සුදුසුකම් ඇති ගුරුවරියන් කීප දෙනෙකු එංගලන්තයෙන් ගෙන්වා තම දියණියට අධ්‍යාපනය ලබාදීමට රූපසිංහ දෙමහල්ලෝ වග බලා ගත්හ. මෙසේ කිරෙන් කා තෙලෙන් අත සේදිය හැකි පරිමාණයේ ධනස්කන්ධයක් හිමිව මහාසාර පවුලක උපත ලැබුවද එලීනා දැරිය ඉතා මුදු මොළොක් ගති පැවතුම් ඇති නිහතමානී දැරියක් වූවාය.


නිසි වයසට පැමිණි කල්හි කීර්තිමත් අනාගතයක් හිමි බැරිස්ටර්වරයෙකු වූ තරුණ ජූනියස් රිචඞ් ජයවර්ධන මහතා සමග අතිනත ගත්තාය. 1943 දී ජේ. ආර්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය මන්ත්‍රීවරයා වශයෙන් පත්ව එද්දී එලීනා තම සැමියාට ආශීර්වාදය පළ කළාය. ඔහුගේ දේශපාලන ජීවිතයේ සාර්ථකත්වයට මහත් සේ බලපෑවේ එලීනා සතු අමිල චරිත ගුණාංග සහ සුවිශාල ධනය බව ජේ. ආර් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ඔහු තමන් දන්නා සිංහලයට අනුව බිරිඳ අමතා ඇත්තේ මැතිනිය යනුවෙනි. කිසි විටෙකත් සැමියාගේ දේශපාලන තීන්දු තීරණ පිළිබඳව මැදිහත් නොවී සිටීමට එලීනා ජයවර්ධන මැතිනිය වග බලා ගත්තාය. දේශපාලන කටයුතු සිදු කළ යුත්තේ දේශපාලනඥයන් විසින් විනා රාජ්‍ය නායකයාගේ භාර්යාව වුවද තමා ඒවාට සම්බන්ධ නොවී සිටිය යුතු බව ඇය තරයේ ඇදහුවාය. ඒ අයුරින්ම කටයුතු කිරීමට එතුමිය තරයේ වගබලා ගත්තාය.
එහෙත් ජේ. ආර්. ගේ ආගමික කටයුතුවලට සැබැවින්ම අතහිත දීමට ඇය කිසිවිටෙකත් පසුබට වූවේ නැත. තමාට පිය උරුමයෙන් ලැබුණු අක්කර හතළිහකින් සමන්විත මානෙල්වත්ත විහාරස්ථානයක් ඇති කිරීම සඳහා බුදු සසුනට පූජා කිරීමට ඇය එකඟ වූවාය. මෙම යුවළ විවාහයෙන් පසුව පදිංචි වූවේ ඇයට අයත් වෝඞ් පෙදෙසේ බ්‍රෙමර් මන්දිරයේය. විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව වුවද තමාට හිමිවන නිල නිවාසවල පදිංචියට ගියේ නැත. ස්ථිර පදිංචිය වූවේ වෝඞ් පෙදෙසේ බ්‍රෙමර් නිවසයි.
ස්වකීය නිල වාර දෙක අවසන් කිරීමෙන් පසු ජේ. ආර්. ජයවර්ධන මහතා දේශපාලන බිමෙන් විශ්‍රාම ගත්තේය. ඉන් පසු ජනාධිපතිතුමාගේ සුවය සඳහා නිතරම ඇප කැපව කටයුතු කළ මෙම නිරහංකාර නිහතමානී කාන්තාව 2007 නොවැම්බර් 17 වැනිදා දිවියෙන් සමුගත්තේ අනූ විය පසුකර සිටියදීය.

 

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බිරිඳ සමග

 


දෙවැනි විධායක ජනාධිපති ධුරයට පත්වූවේ 1988 දෙසැම්බරයේදී ජනාධිපතිවරණයෙන් ජයගත් ආර්. ප්‍රේමදාස මහතාය. ප්‍රභූ පන්තියට අයත් නොවූ දෙමාපිය යුවළකට පුත්ව උපන් රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රමයෙන් දේශපාලන බිමට අවතීර්ණ වූවේ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස කොළඹ මහ නගර සභාවේ සන්ත බස්තියම කොට්ඨාසයට තරග කර ජය ගැනීමෙනි. බළපිටිය ප්‍රදේශයේ කොස්ගොඩ හෑගල්ලෙන් පැමිණි සුළු ව්‍යාපාරිකයෙකු වූ රිචඞ් රණසිංහ මහතා ආර්.ප්‍රේමදාසයන්ගේ පියා වූ අතර හොරණ, බටුවිට ජයසිංහ ආරච්චිගේ එන්සිනා හාමිනේ මව වූවාය. තමාගේ වාසනාව සකස් කර සාර්ථක කර ගැනීම සඳහා ඉරණම කෙරෙහි විශ්වාසය තබා අගනුවරට පැමිණ, දුගී දුප්පත් මිනිසුන්ගෙන් පිරි කෙහෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි වූ රිචඞ් රණසිංහයන් තම උත්සාහය නිසාම සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත්වූවේ දුරදක්නා නුවණින් සහ වෙහෙස නොබලා කැපවීමෙන් වැඩ කිරීමෙනි.


පියාගේ දක්ෂකම සහ වාසනා ගුණය ආර්. ප්‍රේමදාස නම් වූ පුතාටද මනාව පිහිටා තිබුණි. කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ ඔහු 1955 දී කොළඹ උප නගරාධිපතිවරයා වශයෙන් පත්වූවේය. 1960 මාර්තු මැතිවරණයේ දී මැද කොළඹ තුන්වැනි මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ ප්‍රේමදාස මහතා පියවරෙන් පියවර ඉදිරියටම පියනැගීය. 1964 වර්ෂයේදී බණ්ඩාරවෙල පදිංචිව සිටි ඩබ්ලිව්. ඒ. චාර්ල්ස් අප්පුහාමි සහ එම මහත්මියගේ දියණිය වූ හේමා වික්‍රමතුංග මෙනෙවිය සමග විවාහ වූවේය. එකල ඔහුට මන්ත්‍රී පදවියක් තිබුණේ නැත. ඇය ප්‍රේමදාස මහතාට විශාල ශක්තියක් වෙමින් මැද කොළඹ ප්‍රදේශයේ බොහෝ සමාජ කටයුතුවලට නායකත්වය දුන්නාය. 1965 මහා මැතිවරණයෙන් පසුව යළිත් මැද කොළඹ දෙවැනි මන්ත්‍රීවරයා ලෙස පත්ව පළාත් පාලන උපඇමති තනතුරට පත් වූවේය. පසුව එම ඇමති ධුරයට ඔහුව පත් කරන ලදි.
1977 මහා මැතිවරණයෙන් පසු පිහිටුවන ලද ජේ. ආර්. ජයවර්ධන රජයේ පළාත් පාලන හා නිවාස අමාත්‍ය පදවියට පත් ඒ මහතා නිසැකවම එම රජයේ දෙවැන්නා විය. අනතුරුව 1978 ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙද්දී ආර්. ප්‍රේමදාස මහතා රටේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. සිය නිලකාලය අවසන්ව ජේ. ආර්. ජයවර්ධන මහතා 1988 දී විශ්‍රාම යද්දී ඔහුගේ අනුප්‍රාප්තිකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමේ අවස්ථාව හිමිවූයේ ප්‍රේමදාස මහතාටය. ඉතා ගැටලුකාරී දේශපාලන පරිසරයක් පවතිද්දී පැවති එම ජනාධිපතිවරණයෙන් ජයගත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් වැඩ භාරගත්තේය. එතුමාගේ නිල කාලය තුළ ජනාධිපති ආර්යාව වූයේ හේමා ප්‍රේමදාස මහත්මියයි. සම්පූර්ණ නිලකාලය අවසන්වීමට පෙර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී 1993 මැයි පළමුවැනි දින ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීම නිසා ආර්යාවගේ කාර්යභාරයද එම කෙටි කාලයට පමණක් සීමා විය.


ජනාධිපති ඝාතනයත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී. බී. විජේතුංග මහතාට විධායක ජනාධිපති ධුරයේ වගකීම් හිමිවිය. 1993 මැයි 1 වැනි දින තාවකාලිකව ජනාධිපති ධුරයට පත් කරනු ලැබූ එතුමා 1991 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ (6) ෂඪ වගන්තියට අනුව පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල අනුව 1993 මැයි හත්වැනි දින ඒකච්ඡන්දයෙන් එම පත්වීම අනුමත කරන ලදි. එය එවැනි සිදුවීමක් මෙරට ව්‍යවස්ථාදායකයේ සිදු වූ එකම අවස්ථාව විය.

 

ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා බිරිඳ සමග

 


එදින උදේ පාර්ලිමේන්තුව රැස් වූ විට එවකට එහි මහලේකම් නිහාල් සෙනෙවිරත්න මහතා නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය සභාව හමුවේ කියැවීය. ඒ සමගම නැගී සිටි එවකට ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය විජයපාල මැන්ඩිස් මහතා නව ජනාධිපතිවරයා ලෙස වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරන ඩී. බී. විජේතුංග මහතාගේ නම යෝජනා කළේය. එවකට අධිකරණ හා උසස් අධ්‍යාපන ඇමති ඒ. සී. එස්. හමීඞ් මහතා එම යෝජනාව ස්ථිර කළේය. වෙනත් නම් ඉදිරිපත් නොවූ නිසා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඩිංගිරි බණ්ඩා විජේතුංග මහතා පත්වූ බව නිවේදනය විය. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය එතුමාට හිමිවිය.


ඉතා සාධාරණ යුක්ති සහගත සහ තනතුරු බලතල හෝ බලය රැක ගැනීම උදෙසා කිසිම උනන්දුවක් නොදැක් වූ සරල සුන්දර ගැමියෙකු වූ එතුමා එම තනතුරේ සිටි කෙටි කාලය තුළ මෙරට ජනාධිපති ආර්යාව ලෙස කටයුතු කළේ නව ජනාධිපතිවරයාගේ පිළිවෙතටම අනුව දිවිපෙවෙත ගත කළ යහපත් කාන්තාවක වූ විමලා කුමාරිහාමි මාරපන විජේතුංග මහත්මියයි. ඇයද කිසිවිටෙක සැමියාගේ තනතුරුවලින් බැබළීමට හෝ වෙනත් වරප්‍රසාද භුක්ති විඳීමට කැමති අයෙකු නොවූවාය. මෙම තත්ත්වය නිවැරදිව වටහා ගැනීමට විජේතුංග මහතාගේ චරිතාපදානය මදක් විමසිය යුතුය.


ඉතිරි කොටස ලබන සතියේ.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

ජනපති ආර්යාවන්ගේ පුරාණය

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12098 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6799 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14481 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14838 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2760 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 427 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 355 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1752 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1582 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site