IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


චන්ද්‍රිකාට පාර කියා දිවි ගමනෙන් සමුගත් දොළුවේ ගැමියා

 

 

හිටපු ඇමැතිවරයෙකු සහ අග්‍රාමාත්‍යවරයෙකු වූ දි. මු. ජයරත්න මහතා සඳහන් කරන අන්දමට 80 දශකයේ මුල් භාගයේදී ශ්‍රී.ල.නි.පය තුළ විවිධ හැලහැප්පීම් ඇති වී තිබුණේය. ප්‍රධාන වශයෙන්ම පක්‍ෂය තුළ එවැනි අභ්‍යන්තර ගැටුම් ඇති වී තිබුණේ එවකට පැවැති එ.ජා.ප ආණ්ඩුව මගින් ශ්‍රී.ල.නි.ප නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇය පාර්ලිමේන්තුවෙනුත් පිටමං කිරීමෙන් පසුවය. 

එම පළමු හැලහැප්පීමට මුල් වී තිබුණේ පක්‍ෂ නායකත්වය පිළිබඳව හටගත් ප්‍රශ්නයකි. ඒ අනුව මෛත්‍රීපාල සේනානායක සහ අනුර බණ්ඩාරනායක යන මහත්වරුන් තමන්ට හිතවත් ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙකුද කැඳවාගෙන පක්‍ෂය කඩාගෙන ගොස් තිබුණේ ‘ප්‍රජා අයිතිය නැති කෙනෙක් කොහොමද දේශපාලන පක්‍ෂයක නායකත්වය දරන්නේ?”යි අසමිනි. 


එම ගැටලුව කොළඹ ඩාලිපාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථාන ගොඩනැගිල්ල ඔවුන් විසින් අල්ලා ගැනීම දක්වා දුරදිග ගොස් තිබුණේය. එහෙත් අධිකරණ තීන්දුවකට අනුව එහි අයිතිය මැතිනියගේ පාර්ශ්වයට හිමිවීමෙන් පසු තවත් සුළු කාලයක් තුළ අනුර එම තරහ මරහ ඉවත දමා මැතිනියගේ පාර්ශ්වය සමග යළි සමගි වූවේය.
ඉන් අනතුරුව ශ්‍රී.ල.නි.ප.ය තුළ යළි ගැටුමක් හටගෙන තිබුණේ විජය - චන්ද්‍රිකා යුවළත්, අනුර බණ්ඩාරනායකත් අතරය. එහිදී සිරිමාවෝ මැතිනිය තම පුත්‍රයාගේ පැත්ත ගැනීම නිසා උරණ වූ විජය සහ චන්ද්‍රිකා යුවළ පක්‍ෂය හැරගියේ රත්නසිරි වික්‍රමනායක, ටී. බී. ඉලංගරත්න වැනි තවත් ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙකුත් කැඳවාගෙනය. 
විජය - චන්ද්‍රිකා දෙන්නා ශ්‍රී.ල.නි.පය අතහැර මා ඔවුන් විසින් පිහිටුවා ගෙන තිබූ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයට එන්නැයි කියමින් මට පණිවිඩ කීපයක්ම එවා තිබුණා. ඒත් මම ගියේ නෑ”යි කියන දිමු වැඩි දුරටත් සඳහන් කරන්නේ විජයලාගේ ආරාධනය ප්‍රතික්‍ෂේප කළ තමන් ශ්‍රී.ල.නි.පයේ දිගටම රැඳී සිටි බවය. 
මේ අතර විජයගේ ඝාතනයත් සමග ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම් ඇතිවීමෙන් පසු රාජිත සේනාරත්නලා සමග බහුජන නිදහස් පෙරමුණ ගොඩනැංවූ චන්ද්‍රිකා මැතිනිය පසුව එම පක්‍ෂය හැර දමා එංගලන්තයට ගොස් පදිංචි වූයේ තම දරු දෙදෙනා සමගය.


“හැබැයි ටික කාලයක් යන කොට මංගලයි, එස්.බී යි හරහා චන්ද්‍රිකා මැතිනිය ශ්‍රී.ල.නි.පය සමග යළි සම්බන්ධකම් ගොඩනගාගෙන සිටියා. ඒත් අනුර ඒ ගැන තදින්ම විරුද්ධ වුණා. එතෙන්දි සිරිමාවෝ මැතිනිය ගත්තේ අනුරගේ පැත්ත”


දිමු ජයරත්න මහතා සඳහන් කරන අන්දමට ඒ වන විට චන්ද්‍රිකා මැතිනිය යළි ශ්‍රී.ල.නි.පයට එකතු වීමට කැමැත්තෙන් සිටියාය. එහෙත් ඒ ගැන දැනගත් අනුර කෝපාවිෂ්ඨ වී තම මවට පවා දෝෂාරෝපණය කර තිබුණේ.” පක්‍ෂය අතඇරලා ගිය කෙනා ආයෙ මොකට වැද්ද ගන්නවාද?” යි අසමිනි.
“හැබැයි එතෙන්දි නම් සිරිමාවෝ මැතිනිය සෑහෙන්න අසරණ වුණා. එතුමියට පුතාගේ පැත්ත ගන්නත් බෑ. දුවගේ පැත්ත ගන්නත් බෑ. මොකද දෙන්නම තමන්ගෙ දරුවෝ”යි කියමින් පුතා, දුව සහ මව අතර හටගත් ගැටුම ගැන කියන දිමු වැඩිදුරටත් සඳහන් කරන්නේ “රුපියල් පහක් ගෙවා පක්‍ෂ සාමාජිකත්වයක් ගෙන පක්‍ෂයට බැඳෙන ලෙස චන්ද්‍රිකාට දැනුම් දී සිරිමාවෝ මැතිනිය එම ප්‍රශ්නය යන්තමින් විසඳාගත් බවය.
මේ කාලය වන විට ශ්‍රී.ල.නි.ප.ය ල.ස.ස.ප.ය සහ කො.පය ඇතුළු තවත් පක්‍ෂ කීපයක් සමග සන්ධානගත වී පොදුජන එක්සත් පෙරමුණ ගොඩනංවා ගෙන තිබුණේය. එහි මහ ලේකම්වරයා ලෙස දිමු පත් වී සිටියේ සියලුම දෙනාගේ එකඟත්වයෙනි.
කෙසේ වෙතත් තම අක්කණ්ඩිය යළි පක්‍ෂයට පැමිණීම ගැන අනුර දක්වන්නේ දැඩි විරෝධයකි. ඇතැම් විට චන්ද්‍රිකා මැතිනිය යළි පක්‍ෂයට පැමිණීම තමන්ගේ දේශපාලන අනාගතයට එල්ල වූ තර්ජනයක් ලෙස ඔහුට පෙනුණා විය හැකිය.


අන්තිමේදී ඔයින් මෙයින් සිදුවූයේ අනුර තම මවට පවා ප්‍රසිද්ධියේ බැණවැදීමට පෙලඹීයාමයි. එහිදී ඔහුට එරෙහිව විනයානුකූල පියවරක් ගත් ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අනුරගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කළේය. සිරිමාවෝ මැතිනිය එම තීරණය අනුමත කරන ලද්දේ පුත්‍ර ස්නේහයෙන් යුතුව කඳුළු සලමිනි.
ඒ අතරේ තමයි විජේතුංග ජනාධිපතිතුමා අනුර එ.ජා.ප. යට අරගෙන උසස් අධ්‍යාපන ඇමැති ධුරයත් ලබා දුන්නේ. පක්‍ෂයේ ජයග්‍රහණය පෙනි පෙනී අනුර එ.ජා.පයට එක්වීමත් මැතිනියට ලොකු වේදනාවක් වුණා. ඒ වැරැද්දට තමනුත් වගකිව යුතුය කියලයි එතුමිය හිතුවේ”


දිමු එසේ කියන්නේ ශ්‍රී.ල.නි.ප සාමාජිකත්වයෙන් නෙරපා හරිනු ලැබූ අතර එ.ජා.පයට එක්වීමේ සිද්ධිය ආවර්ජනය කරමිනි.
මේ අතර 1993 පළාත් සභා මැතිවරණය අත ළඟට පැමිණෙමින් තිබුණේය. එහිදී චන්ද්‍රිකා මැතිනියට අවශ්‍ය වූයේ බස්නාහිර පළාත් සභාවේ පොදු පෙරමුණේ මහ ඇමැති අපේක්‍ෂිකාව වශයෙන් තරග කිරීමටය.


“එපා... එපා... එයාට දෙන්න එපා. ෆවුසිට දෙන්න”යි කී සිරිමාවෝ මැතිනිය චන්ද්‍රිකාට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති අපේක්‍ෂකත්වය ලබාදීමට දැඩි ලෙසම විරුද්ධ වූවාය.
එම ප්‍රශ්නය නිසා පොදු පෙරමුණු සන්ධානයේ මහ ලේකම්වරයා වූ දිමු පත්වූයේ දැඩි අපහසුතාවකටය. එසේ වූයේ අත ළඟ එන පළාත් සභා මැතිවරණය සඳහා තරග කරන අපේක්‍ෂකයන්ගේ ලැයිස්තු සකස් කිරීමේ වගකීම පොදු පෙරමුණු සන්ධානයේ මහ ලේකම්වරයා වූ තමන් වෙත පැවරී තිබූ බැවිනි.
මෙහිදී චන්ද්‍රිකා මැතිනියද දිමුට නිතර ඇමතුම් දෙමින් තම නාම යොජනාව පිළිබඳ සිහිපත් කළාය. ෆවුසි ඒ ගැන දිමුට කරදර කළ තවත් අයෙකු විය.
“මෙන්න මේ කලෙදීම සිරිමාවෝ මැතිනිය තමන්ගේ මැඩිමහල් දියණියත් එක්ක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යුගෝස්ලාවියාව බලා ගොස් තිබුණා. හැබැයි එතුමිය විදේශගතව සිටියත් විපක්‍ෂනායක කාර්යාලයට නිතර නිතර ඇමතුම් දෙමින් නාම යෝජනා කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන සොයා බැලුවා. දවසක් හවස තුනට විතර මම විපක්‍ෂනායක කාර්යාලයේ ඉඳගෙන නාම යෝජනා ලැයිස්තු හද හදා ඉන්න කොට එස්. බී. නුවරඑළියේ එයාගේ හිතවතෙකුට නාම යෝජනා දෙන්න කියා ඉල්ලමින් බස් දෙකකින් විතර සෙනග අරගෙන ඇවිත්, විපක්‍ෂනායක කාර්යාලය ඉදිරිපිට කෑ කෝ ගහමින් හිටියා”යි කියන දි.මු. සඳහන් කරන්නේ ඒ සමගම යුගොස්ලාවියාවේ සිටි සිරිමාවෝ මැතිනියගෙන් තමන්ට දුරකථන පණිවුඩයක් ලැබුණු බවය.


“කවුද දිමු ඒ කෑ කෝ ගහන්නේ?”


විපක්‍ෂනායක කාර්යාලය ඉදිරිපිටට පැමිණ කෑ කෝ ගසමින් සිටි එස්. බී. ගේ සහචරයන් පිරිසගේ කෑ ගොස්සම ඇසුණු මැතිනිය දි.මු.ගෙන් එසේ විමසන ලද්දේ තරමක විමතියකිනි. ඒ සමගම දිමුට ගණදෙවි නුවණක් පහළ වූයේ ඉබේටමය. 


“නෑ මැඩම් මේ චන්ද්‍රිකා මැතිනියට මහ ඇමැති අපේක්‍ෂිකාව හැටියට නොමිනේෂන් දෙන්න කියලා ගම්පහ කට්ටියක් බස් තුනහතරකින් ඇවිත් විපක්‍ෂනායක කාර්යාලය වටකරලා කෑ කෝ ගහනවා”


ඔහු එසේ කියද්දී විනාඩියක් පමණ නිහඬව සිටි මැතිනිය යළි තම කටහඬ අවදි කළාය.


“කවුද එයාට ගම්පහින් සෙනග ගේන්නේ?”යි අසමින් යළිත් කල්පනාවට වැටුණු මැතිනිය ඊළඟට කියා සිටියේ ඔවුන් ඌරාපොළ ප්‍රදේශයෙන් පැමිණි කණ්ඩායමක් විය හැකි බවය.
“මැඩම් ඒ කට්ටිය දැන් පැයක් විතර ඉඳගෙන කෑගහනවා. මම කියන්නද ලබන සතියෙ ලොකු මැඩම් එනවා. ඒ එනකොට කටුනායකට ගිහින් ඔබතුමිය හම්බ වෙන්න කියලා”
දිමු එසේ කියද්දී මැතිනිය තවත් කලබල වූවාය. 


“නෑ...නෑ... දිමු එහෙම කියන්න එපා. ඔයා ෂේප් එකේ මොනව හරි කියලා කට්ටිය ආපහු යවන්න”


තැටිය ගණනට රත්වී ඇතැයි ඉවෙන් මෙන් වටහාගත් දිමු ඊළඟට කියා සිටියේ යම පල්ලන් මෙන් කෑ කෝ ගසමින් සිටින පිරිස තමන්ට එළියටවත් යාමට ඉඩක් නොතබා විපක්‍ෂනායක කාර්යාලය වටකරගෙන සිටින බවය.


‘මේක ඔයාටත් හරි ප්‍රශ්නයක් වුණා නේ”යි කියමින් තමන් අසල සිටි සුනේත්‍රා මැතිනිය සමඟ කිසිවක් ඉංග්‍රීසි බසින් දෙඩූ මැතිනිය “එහෙම නං ඉතින් එයාට ඇවිත් නොමිනේෂන් පේපර්ස් සයින් කරන්න කියන්න. හැබැයි මහ ඇමැති අපේක්‍ෂකයා ෆවුසි.”යි කියමින් දුරකථනය විසන්ධි කළාය.


තම අරමුණ ඉටුකර ගැනීමට පොටක් පාදාගත් දිමු චන්ද්‍රිකා මැතිනියට වහාම පැමිණ නාම යෝජනාපත් අත්සන් කරන ලෙස දුරකථන පණිවුඩයක් දී හැඳ සිටි සරමද පැත්තකින් ඉහළට ඔසවාගෙන විපක්‍ෂනායක කාර්යාලයෙන් එළියට බැස්සේ බොරු තරහක්ද ආරෝපණය කරගෙනය.


ඒ මොහොතේ දිමුගේ මුහුණේ පැවැති රෞද්‍ර ස්වභාවය දුටු විරෝධතාකරුවන් එම ස්ථානය හැරදමා එසැණින් දුවගොස් තිබුණේ ඔහුගේ හැටි කල්තියා දැන සිටි බැවිනි. විනාඩි කීපයකින් ඩබල් කැබ්රියක් පඳවාගෙන විපක්‍ෂනායක කාර්යාලය වෙත ආ චන්ද්‍රිකා නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ආපසු ගොස් තිබුණේ හදපිරි සතුටකිනි.

 

 


නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (2)

චන්ද්‍රිකාට පාර කියා දිවි ගමනෙන් සමුගත් දොළුවේ ගැමියා

royfedricks Friday, 06 December 2019 09:09 PM

ඔබ කෙසේද මේ සිද්ධි මේ තරම් හොදින් දන්නේ?ඒ අවස්ථාවේ භාවිතා වූ දෙබස් පවා දන්නේ කෙසේද? ඔබ මේ දේසපාලකයන් සමග උරෙන් උර ගැටී කටයුතු කලද? නැතිනම් ඔබට දිවැස් තිබේද?

:       0       2

de silva Thursday, 12 December 2019 02:59 AM

ඊට පස්සේ චන්ද්‍රිකා බලයට පැමිණ කල විනාශය අපි දන්නවනේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site