IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


“ඔබතුමාගේ කටේ සද්දෙ වැඩියි”ජනාධිපති මෛත්‍රී කිරිඇල්ලට කියයි

විපක්ෂයට ගිය ආණ්ඩුව යළි ගැනීමේ ඇමති  කිරිඇල්ලගේ මෙහෙයුම-6 

 

රටේ බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබුණ ද සාකච්ඡා මේසයේ ඒ පිළිබඳව කිසිදු කතාබහක් නැත. ඒ වෙනුවට ඇතැමෙක් දුරකථන සංවාදයක යෙදී සිටිති. තවෙකෙක් ජංගම දුරකථනය ඔස්සේ සයිබර් අවකාශයේ සැරිසරති. මෙයට පෙර දේශපාලන අර්බුද මතුවූ ආකාරය පිළිබඳවත් ඒවා ප්‍රජාතන්ත්‍රවාදීව විසඳාගත හැකි ආකාරය පිළිබඳවත් රාජිත සේනාරත්නගේ විග්‍රහයන්ය.

 

අපි ජනාධිපතිතුමත් එක්ක මේ ප්‍රශ්නය කෙළින්ම කතා කරමු. ලක්ෂ්මන් කිරිඇල්ල එසේ යෝජනා කළේ පක්ෂයේ ප්‍රබලයන්ට හා එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයන්ටය.


මෙම සාකච්ඡාවට කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, කරු ජයසූරිය, රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, රිෂාද් බදුර්දීන්, පලනි දිගම්බරන්, මනෝගනේෂන්, මලික් සමරවික්‍රම ආදී නායකයෝ එක්වී සිටියහ.


එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පිරිස් රහසිගතව මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙන බවට ද විවිධ ආරංචි පැතිර යමින් තිබිණි. ඔවුන් එසේ රහසිගතව ජනාධිපතිවරයා හමුවන හෙයින් ජනාධිපතිවරයා කල්පනා කළේ යම් තීරණාත්මක අවස්ථාවක දී ඔවුන්ගේ සහයෝගය තමන්ට ලැබෙනු ඇති බවය. එමගින් පාර්ලිමේන්තුවේ බහුතර බලය සම්බන්ධ සැකයක් ජනාධිපතිවරයාට නොවීය. තම ස්ථාවරයේම සිටීමට ජනාධිපතිවරයාට එය ශක්තියක් විය.


ලක්ෂ්මන් කිරිඇල්ල මෙම තත්ත්වය හොඳින් දැන සිටියේය. කිසියම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් විපක්ෂයට ගිය ආණ්ඩුව විපක්ෂයටම සින්න වන බව ලක්ෂ්මන් කිරිඇල්ල දැන සිටියේය. ඔහුට උවමනා වූයේ විපක්ෂය අතට අනීතික ලෙස ගිය ආණ්ඩුව යළිත් එක්සත් ජාතික පෙරමුණට ගැනීමය. රනිල් වික්‍රමසිංහට යළිත් අගමැති ධුරය හිමිකර දීමටය. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ නායකයන් කැඳවා ජනාධිපති මෛත්‍රී හමුවීමට යාමට ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කළේ එහෙයිනි.
“මේ වැඬේ ප්‍රජාතන්ත්‍ර විරෝධියි. ව්‍යවස්ථා විරෝධියි. අපට ආණ්ඩුව අහිමිවීම නොවෙයි මෙතැන තියෙන ප්‍රශ්නය මෙතැන තියෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. අපි මේ වෙලාවේ හරි දේ නොකළොත් ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවීමේ ශාපයත් අපට වදීවි” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


අවසානයේ දී තීරණය වූයේ මෙම නායක පිරිස ජනාධිපති මෛත්‍රී හමුවීමට යායුතු බවය.


ජනාධිපති මෛත්‍රී හමුවීමට යාමට අවස්ථාවක් ඉල්ලීමේ වගකීම රාජිත සේනාරත්න බාර ගත්තේය.


“ජනාධිපතිතුමා අපේ කණ්ඩායමට ඔබතුමා හමුවීමට අවශ්‍යයි.” රාජිත සේනාරත්න දුරකථනයෙන් ජනාධිපති මෛත්‍රීට කීවේය.


“ඩොක්ටර් ඕනෑම වෙලාවක එන්න. දොර ඇරලා තියෙන්නේ” ඒ ජනාධිපතිවරයාගේ කටහඬය.


ඒ අනුව වේලාවක් නියම කරගත් පෙර කී පක්ෂ නායකයෝ ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ගියහ.


කොළඹ අහසට හඳ පායා තිබිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ වායුසමීකරණ යන්ත්‍රයෙන් ගලා එන සීතල බරපතළය. ඒ සීතල මකා දැමීමට මෙන් උණුසුම් කෝපි කෝප්පයක් සියල්ලන්ගේම අතට ලැබිණි.


එහෙත් ජනාධිපතිවරයා තවමත් නැත.


රටේ බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබුණ ද ඒ සාකච්ඡා මේසයේ ඒ පිළිබඳව කිසිදු කතාබහක් නැත. ඒ වෙනුවට ඇතැමෙක් දුරකථන සංවාදයක යෙදී සිටිති. තවෙකෙක් ජංගම දුරකථනය ඔස්සේ සයිබර් අවකාශයේ සැරිසරති. මෙයට පෙර දේශපාලන අර්බුද මතුවූ ආකාරය පිළිබඳවත් ඒවා ප්‍රජාතන්ත්‍රවාදීව විසඳාගත හැකි ආකාරය පිළිබඳවත් රාජිත සේනාරත්නගේ විග්‍රහයන්ය. ඔය අතරවාරයේ ඉළ ඇදෙන විහිළුවක් කළේ නම් ඒ රිෂාද් බදුර්දීන්ය.


“මේවා ඉතිහාසයට එක්වෙන ෆොටෝ” එසේ කියමින් රිෂාද් බදුර්දීන් සෙල්ෆි ඡායාරූප ගත්තේය.


ඔය අතරවාරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණ මූලාසනය ගත්තේය.


පළමුවෙන්ම තමන්ට මෙම තීරණය ගැනීමට බලපෑ හේතු සාධක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විග්‍රහ කළේය.


ඔබතුමන්ලා කුමන ස්ථාවරයක හිටියත් මම මගේ ස්ථාවරය වෙනස් කරන්නේ නෑ. ජනාධිපතිවරයා කතාබහ අවසන් කළේ එසේය.


සභාවම ගුප්ත නිහැඬියාවක ගිලී ගියේය.


ඔබතුමාට ඕනෑම ස්ථාවරයක් දරන්න පුළුවන්. ඒකට ඔබතුමාට අයිතිය තියෙනවා. ඒත් බහුතරයක් නැතිව කොහොමද පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යන්නේ. කිසිවෙකු අපේක්ෂා නොකළ අවස්ථාවක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්නයක් මතු කළේය.


ඔබතුමා ඒ ගැන කලබල වෙන්න එපා. ජනාධිපති මෛත්‍රීගෙන් කෙටි පිළිතුරකි.


එහෙම කියලා හරියන්නේ නෑ මහින්ද රාජපක්ෂට බහුතරය නෑ කියලා කීපාරක් පාර්ලිමේන්තුව තුළ ඔප්පු වුණා ද? එයාලට බහුතර බලය නැහැ කියලා ඒ අය හොඳටම දන්න නිසා තමයි හැමදාමත් වළට බැහැලා කෑගහන්නේ. එහෙම කොහොමද පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ. එහෙම වුණොත් රටට මොකද වෙන්නේ. ලක්ෂ්මන් කිරිඇල්ලද සටන අත නොහරින්න කතා කළේය.


මගේ නීතිඥයන්ගෙන් මට උපදෙස් ලැබිලා තියෙනවා මට කැමති කෙනාට අගමැතිකම දෙන්න පුළුවන් කියලා. මම වැඩ කරන්නේ ඒ නීති උපදෙස් මත. ජනාධිපති මෛත්‍රී යළිත් කීවේය.


ඔව්, ඔබතුමාට එහෙම කරන්න පුළුවන්. අපි ඒකට අභියෝග කරන්නේ නෑ. ඒත් ඔබතුමා පත්කරන කෙනාට පාර්ලිමේන්තු බහුතර බලය තිබිය යුතුයි. ලක්ෂ්මන් කිරිඇල්ල වේගවත් හඬින් කීවේය.


ජනාධිපති මෛත්‍රී එවර කෙළින්ම ලක්ෂ්මන් කිරිඇල්ලගේ මුහුණ දෙස බැලුවේය. එසේ මුහුණ දෙස බලා මෙසේ කීවේය.


“ඔබතුමාගේ කටේ සද්දෙ වැඩියි.”


“ඔබතුමා දන්නවනේ මම නීතිඥයෙක්නේ. ඒනිසා කොහොමත් සද්දෙන් කතා කරන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල ද කීවේය.


“එහෙනම් හරිනේ.” එසේ කී ජනාධිපති මෛත්‍රී සමුදීමට නැගී සිටියේය.

 


සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

“ඔබතුමාගේ කටේ සද්දෙ වැඩියි”ජනාධිපති මෛත්‍රී කිරිඇල්ලට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site