පනස් වසරකටත් වඩා පැරැණි දේශපාලන ඉතිහාසයක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ මහනුවර ඊ. එල්. සේනානායක මහතාට 1977 මහ මැතිවරණයෙන් පසු පත්වූ ජේ. ආර්. ආණ්ඩුව කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍ය ධුරය ප්‍රදානය කර තිබුණේය.
මුලින් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරයටත්, පසුව විධායක ජනාධිපති ධුරයටත් පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ඔහුට එම අමාත්‍ය ධුරය පිරිනමා තිබුණේ රටේ කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීමේ අදහසිනි. ‘ඔන්න මම ඊඑල් ට හොඳ ලේකම්වරයෙකුත් එව්වා. දැන් ඉතින් දෙන්නත් එක්ක එකතුවෙලා වැඩ කරන්න’ යි කී ජේ. ආර්. හිටපු වතු පාලකවරයෙකු වූ රංජන් විජේරත්න මහතා ඊ. එල්. ගේ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර තිබුණේය. ඊට හේතුවූයේ ඔවුන් දෙදෙනාම දක්ෂයන් බවට ඔහු තුළ පූර්ව අවබෝධයක් තිබීමය.
එසේ වුවද තමන් ගත් තීරණය නිවැරදි නොවෙතැයි වැඩි කාලයක් නොයවාම රාජ්‍ය නායකයාට පෙනී ගියේය. එසේ වූයේ නව කෘෂිකර්ම ඇමැතිවරයා තම රාජකාරි අරඹා මාස තුන හතරක් ගතවීමටත් මත්තෙන් තම ලේකම්වරයා සමග වැඩ කිරීමට නොහැකි යැයි ඊ. එල්. සේනානායක මහතා අවස්ථා කීපයකදීම ලොක්කාට පැමිණිලි කර තිබූ බැවිනි. අන්තිමේදී බලනවිට සිදුවී තිබුණේ ඊ. එල්. විසින් දෙන ලද නියෝග කීපයක් නීතියට පටහැණි යැයි කියමින් ලේකම්වරයා ප්‍රතික්ෂේප කර තිබීමය.
‘සර් ඇමැතිතුමා කියපු ඒ කාරණේ කොහොමවත් කරන්න බෑ. ඒක පිළිගත් නීතියට අනුව ලොකු වැරැද්දක්...’
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රංජන් විජේරත්න මහතා එසේ කියා තිබුණේ ජනාධිපතිතුමා ඒ ගැන කළ විමසීමට පිළිතුරු වශයෙනි. එහෙත් කෘෂිකර්ම ඇමැතිවරයාත්, එම අමාත්‍යාංශයේ ලේකම්වරයාත් අතර හටගෙන තිබූ එම මතභේදය බොහෝ දුරදිග යා හැකි බව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ඒ වනවිටත් අවබෝධවී තිබුණේය. එසේ වූයේ දේශපාලනයෙන් තෙම්පරාදුවී සිටින තම සගයා ද එතරම් ලේසියෙන් පරාජය බාරගන්නා කෙනෙකු නොවන බව හෙතෙම මනාව දැන සිටි බැවිනි.
මේ අතර ඇවිළෙන ගින්නට පිදුරු දමන පිරිසක්ද ඒ අතර සිටියහ.
‘මොනවද සර් ලොක්කා ඔබතුමාගෙ අතීසාර මිත්‍රයනේ ඔන්න ජනාධිපතිතුමාට කියල ඔය මිනිහ වෙනුවට සර් කැමැති කෙනෙක් පත්කරගන්න...’ යි කියමින් ඇමැතිවරයා මුරුංගා අත්තේ මුදුනටම නැංවූ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ටද අවශ්‍ය වූයේ තමන්ගේ සුළු සුළු ඉල්ලීම් පවා නොතකා හරින රංජන් විජේරත්න කෙසේ හෝ අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් පලවා හැරීමටය.
මේ අතර ඊ. එල්. සේනානායක ඇමැතිවරයාද එම මන්ත්‍රීවරුන්ගේ ලණුව ගිල්ලේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ‘සර් මේ මිනිහ එක්ක නං මට තවත් වැඩ කරන්න බෑ. එක්කෝ එයා යන්න ඕනෑ. නැත්තං මම යන්න ඕනෑ’ යි කියමින් ජේ. ආර්. ගේ බ්‍රෙමාර් නිවසට දිනක් උදේ පාන්දරින්ම ගිය ඊ. එල්. තමන්ගේ අවසාන තීන්දුව ලොක්කාට දැනුම් දුන්නේය. ඔහු එදින ආපසු ගොස් තිබුණේ ජයවර්ධන ආර්යාව විසින් පිළිගන්වන ලද කොළකැඳ කෝප්පය පවා ප්‍රතික්ෂේප කරමිනි.
‘තව ටිකක් ඉවසල ඉන්න ඊ. එල්. ආණ්ඩුව පත්වෙලා තවම අවුරුදු දෙකක්වත් ගතවුණේ නැහැනේ. ඉතින් ඒ තරම් ඉක්මනින් ලේකම්වරුන් අයින් කරන එකත් හොඳ මදිනේ’
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තම ඇමැති සගයාගේ හිත සංසුන් කිරීම සඳහා එසේ කීවද ඇමැතිවරයා කියන තරමේ වැරැද්දක් රංජන් විජේරත්නගෙන් සිදුවී නැතැයි හෙතෙම අවබෝධ කරගෙන සිටියේය.
‘සර් රංජන් ටිකක් නාහෙට නාහන ජාතියේ මිනිහෙක් බව ඇත්ත. ඒත් මිනිහ අවංකයි. කැපවීමෙන් වැඩ කරනවා’
ලොක්කාත්, ඊ. එල්. සේනානායක ඇමැතිවරයාත් අතර ඇතිවූ දෙබස අසා සිටි ජනාධිපති පෞද්ගලික ලේකම් ඩබ්ලිව්. ඇම්. පී. බී. මැණික්දිවෙල මහතා එසේ කියා සිටියේ කෝපයෙන් පිපිරි පිපිරී ආපසු ගිය ඊ.එල්. දෙස බලා සිනාසෙමිනි.
තමන් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්කළ ලේකම්වරයා මොනම හේතුවක් නිසාවත් අයුක්තියකට හෝ අසාධාරණයකට ඉඩක් නොතබන පුද්ගලයෙකු බව ජේ. ආර්. ද දැන සිටියේය. ඒ අනුව තම ඇමැති සගයාගේ ඉල්ලීම පිළිගෙන රංජන් වෙනත් අමාත්‍යාංශයකට මාරුකර යැවීම ඔහුට කරන නිගරුවක් බව ජනාධිපතිවරයාගේ ද පිළිගැනීම විය. ඒ අනුව ඔහු මාස කීපයක් තිස්සේ උත්සාහ කර තිබුණේ කෘෂිකර්ම ඇමැති සහ ලේකම් අතර ඇතිවී තිබුණ ආරවුල බේරුමක් කිරීමටය.
මේ අතර ඊ. එල්. ගේ එක්තරා විශේෂිත ඡායාරූපයක් එකල පැවැති ඇත්ත පත්‍රයේ නිතර නිතර පළවීම ද රංජන් විජේරත්නගේ අනුදැනුම මත සිදුවන්නක් බවට ඔහු තුළ සැකයක් හටගෙන තිබුණේය. එය වූ කලී පඬුවස්නුවර රාජ්‍ය වප්මගුල් උත්සවය පැවැති අවස්ථාවේ ඊ. එල්. දණහිස දක්වා ගම් බූට්ස් යුවළක් පැලඳ තමන්ගේ ඉහටත් උඩින් ගිය හැරමිටියක්ද රැගෙන මඩට බැස සිටින අයුරු දැක්වෙන ඡායාරූපයකි.
‘අනුමානයක් නෑ මේ පින්තූරය පත්තරේ දමන්න ඇත්තෙත් ඔය ලේකමාම තමයි’ ඊ. එල්. එසේ කියමින් රංජන් විජේරත්නට බැණ වැදුණේ ඇතැම් පුවත්පත් වාර්තාකරුවන් සමග ඔහු ඉතා මිත්‍රශීලී ලෙස කතාබස් කරමින් සිටින අයුරු තමන් අවස්ථා කීපයකදීම දැක තිබුණ බැවිනි.
‘නෑ සර් මේ පින්තූරෙට ලේකම්තුමාගේ කිසිම සම්බන්ධයක් නෑ එතුමා ඒ ගැන දැක්කෙත් ඇත්ත පත්තරේ ඒ පින්තූරේ වැටුණට පස්සෙයි’ එකල කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටි ප්‍රවෘත්ති නිලධාරියා වූ සැම්සන් විජේසූරිය ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට කොතෙකුත් උත්සාහ ගෙන තිබුණද ඇමැතිවරයා එය කනකටවත් නොගත්තේය.
‘හැබැයි ඉතින් අපේ ඇමැතිතුමා පාර්ලිමේන්තුවේ කතාවක් කෙරුවත් ඇත්තකාරයා ඒ ගැන පත්තරේ පළ කරන්නේ ලොක්කාගෙ අර පින්තූරයත් එක්කයි’ සැම්සන් විජේසූරිය ඒ දිනවල තම හිතවත් මාධ්‍යකරුවන් සමග අනන්තවත් කියමින් සිනාසුණේය.
කෙසේ වෙතත් තම කෘෂිකර්ම ඇමැතිවරයාත් ඔහුගේ ලේකම්වරයාත් අතර හටගෙන තිබූ මෙම නොහොඳ නෝක්කාඩුව සංසිඳවීමට නොහැකි බව දුටු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අවසානයේ තීන්දුවකට එළඹුණේ ඒ ගැන ඉතා දීර්ඝ වශයෙන් සිතාබැලීමෙන් පසුවය. අනතුරුව ඊ. එල්. සේනානායක ඇමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වූ ජේ. ආර්. ‘මම ලබන සතිය වෙනකොට තමන්ගේ ප්‍රශ්නය විසඳනවා’ යි කියා සිටියේ ඔහුගේ සිත අමන්දානන්දයට පත්කරවමිනි.
‘එහෙම නං ඉතින් ඒ කරදරෙනුත් ගැලවුණා. දැන් තියෙන්නේ මගේ අමාත්‍යාංශයට හොඳ ලේකම් කෙනෙක් අලුතින් හොයාගන්න එකයි’ යි සිතූ ඊ. එල්. සේනානායක ඇමැතිතුමා සැහැල්ලු සිතින් තම නිල නිවසට ගියේය. මේ අතර ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් තමන් ඊ. එල්. ට වූ පොරොන්දුව ඊළඟ සතියේ සිට අකුරටම ඉටු කර තිබුණේය. ඒ අනුව ඔහු විසින් කර තිබුණේ රංජන් විජේරත්න මහතා කෘෂිකර්ම සහ ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම නොව ඊ.එල්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමැති ධුරයෙන් ඉවත් කර පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් පත් කිරීමය. 1989 මහ මැතිවරණයෙන් පරාජය වූ ඊ. එල්. කෙළින්ම ගෙදර ගියේය. එවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ රංජන් විජේරත්න රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් විදේශ අමාත්‍ය ධුරයට පත් කළේය.
නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූප : අන්තර්ජාලයෙනි
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇමති - ලේකම් ගැටුමෙන් ගෙදර ගිය ඇමති
Malinda Kulasekara Monday, 24 December 2018 05:30 AM
මෙය වැරදි . එකල සිදුවූ ටෙන්ඩර් වංචාව නිසා ඇමැතිකම අහිමිවුනේ