IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


අගමැති ප්‍රේමදාසගෙන් ජෝතිපාලට ලැබුණු අපූරු තෑග්ග

 

 

1977 වර්ෂය මට තවමත් මතකය. ඒ ජේ. ආර්. ට ලංකාවේ හයෙන් පහක බලයක් ලැබුණ වසරයි. ඒ 1977 ජූලි 23 වැනිදාය. ඊට දින 3 කට පසු මට එම රජයේ මාධ්‍ය ලේකම් තනතුරක් ලැබිණි. එය මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියකි. ඊට මාස 7 කට පසුව එනම් 1978 පෙබරවාරි 4 වැනිදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජේ. ආර්. විධායක ජනපති විය. ආර්. ප්‍රේමදාස අගමැති තනතුරට පත්විය. මෙය එම ආණ්ඩු පෙරළිය පිළිබඳ කතාන්දරය නොවේ.


සුප්‍රසිද්ධ ගායක එච්. ආර්. ජෝතිපාලට සහ මා හට මාලිගාවත්ත තට්ටු නිවාස සංකීර්ණයෙන් එකට යාබද නිවාස දෙකක් ලබාදුන්නේ ප්‍රේමදාස අගමැතිවරයාය. එවකට තැපැල් හා විදුලි සංදේශ ඇමති වූයේ ඩී. බී. විජේතුංගය. ඔහු මාලිගාවත්තේ මගේ නිවසට ඉතා කඩිනමින් දුරකථනයක් ලබාදුන්නේය. ජෝතිපාලගේ නිවසට දුරකථනයක් නොතිබූ නිසා ඔහු නිතරම අල්ලපු නිවස වූ මගේ නිවසට දුරකථන ඇමතුම් ලබාගැනීම සඳහා පැමිණියේය. මේ හේතු කොටගෙන සුළු කලකින් අපි දෙදෙනා කිට්ටු මිතුරන් බවට පත්වීමු.
විජය නන්දසිරි, මිල්ටන් පෙරේරා, චන්ද්‍රිකා සිරිවර්ධන වැනි කලාකරුවන් රැසක්ද, එස්. පියසේන, ජී. එස්. පෙරේරා වැනි මාධ්‍යවේදීන් රාශියක්ද ඒ අවට නිවාසවල පදිංචි වී සිටි නිසා ඔවුන්ද මගේ හිත මිතුරෝ බවට පත්වූහ. මෙය ඔවුන් සමග කොළඹ ඇරඹූ කලා සංවිධාන පිළිබඳ කතාන්දරයද නොවේ.


මෙය හරියටම මීට වසර 40 කට පෙර ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා මධුවිතෙන් හොඳටම සප්පායම් වී සිටි අවස්ථාවක මට කිව් කතාන්දරයකි.


කොළඹින් ඈත පෙදෙසක පැවති සංගීත සංදර්ශනයක දී සිංදු කියා ජෝති හා මිල්ටන් එදා කොළඹට පැමිණෙන විට රාත්‍රී 12 ත් පසුවී තිබුණි. ඔව්හු පංචිකාවත්ත පාරේ ටවර්හෝල් අසලදී පැමිණි වාහනයේ රියදුරුට පැවසුවේ ‘පොඩි හදිසි ගමනක් යන්න තියෙනවා. අපි මෙතන බස්සන්න’ යනුවෙනි. ඒ වනවිටත් මිල්ටන් හා ජෝති හොඳට සප්පායම් වී සිටියහ. ඔවුන් දෙදෙනා බස්සවා වාහනය ඉගිලුණේ එය තුළ තවත් ගායක ගායිකාවන් කීපදෙනකුම සිටි නිසා ඔවුන් ඒ නිවෙස්වලට ඇරලිය යුතු නිසාය.


තවත් මධුවිත අවශ්‍යතාව තිබූ නිසා පයින් ඇවිදගෙනම ජෝති හා මිල්ටන් මරදානේ හොර තිප්පලකට ගියහ. ඔවුන් තවත් මත් වතුර හලා ගත්තේ සිංදු කෑලි කියමින්ය. එහි සිටි කවුරුත් ඔවුන් දන්නා හඳුනන අයයි. දැන් දෙන්නාටම හොඳටම වෙරි ය. හිරු උදාවන්නට ඇත්තේ තව පැය දෙක තුනකි. අභයසිංහාරාමය අසලින් හැරී මාලිගාවත්ත මහලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති මහල් නිවාසය කරා මේ ගායකයෝ දෙදෙනා ගමන් කළහ. මේ දෙදෙනාගේ මුවඟින් ‘කල්යානියෙ ඔබ නෑසූ..., සිරි අමෙ සාරා’ වැනි සිංදු කෑලිද නිකුත් වුණේය.


‘සිගරට් එකක් නැතුව කිසිම ජොලියක් නැහැ’ ජෝති මිල්ටන්ට කීවේය. පදමට වෙරිවී සිටි මිල්ටන් සාක්කුවෙන් සිගරට් පැකට් එකක් එළියට ගත්තේය. ‘මේ එකමයි තියෙන්නෙ. ඒක හොඳටම ඇති’. මිල්ටන් සිගරටය දෙතොල් අතර රුවා ගත්තේය. ‘කෝ පත්තු කරන්න ගිනිපෙට්ටියක්’ එය දල්වා ගැනීම දෙදෙනාටම ලොකු ප්‍රශ්නයක් විය.


මේ ගොඩ කළ මාලිගාවත්ත නමැති මහ වගුරු බිමේ අද මෙන් එදා හැමතැනම විදුලි බුබුලු නොවීය. පරිසරය අඳුරුය. ගිනිපෙට්ටි ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකිව මේ රටම දන්නා ගායකයින් දෙදෙනා අන්දමන්දවී සිටි මොහොතකි. මදක් විමසිල්ලෙන් වටපිට බැලූ ජෝතිට අසල නවතා තිබූ වාහනයකට පිටදී ගෙන සිටි මිනිසෙකු දැක්කේය. ඔහු සරමකින් සහ අත්කොට කමිසයකින් සැරසී හිසේ තලප්පාවක්ද බැඳගෙන සිටියේය.


‘අයියා ගිනිපෙට්ටියක් තියෙනවද මේ සිගරට් එක පත්තු කරගන්න.’ ජෝති මේ පුද්ගලයාට ළංවී ඔහුගෙන් විමසුවේය. ඔහුගෙන් පිළිතුරක් නොලැබුණි. ‘මොකොද ගින්දර දෙන්න බැරිද?’ ජෝති යළිත් ඇසීය. මද සිනාවක් පෑ එම පුද්ගලයා ඔහු අසල තිබූ වාහනයට ගොඩවී එහි දොර වසා ගත්තේය. එම වාහනය පිටත් විය.

 

 


දෙදෙනාම ගින්දර නොලැබීමේ තරහින් නිවෙසට ළඟා වූහ. මුල් කාලයේ ජෝති තනියම සිටි නිසා ජෝතිගේ නිවසේ එදා මිල්ටන්ද නිදාගත්තේය. පසුවදා උදේ 8 ට පමණ නිවසේ ඉදිරිපස දොරට කවුරුන් හෝ ගසන ශබ්දය නිසා දෙදෙනාම ඉතා අමාරුවෙන් නැගිට්ටේ දොරට ගැසීම දිගටම සිදුකරන නිසාය.


ජෝති දොර විවෘත කළේය. දුටුවේ නිල ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් කීපදෙනෙකි. මේ පාර්සලය අගමැතිතුමා දෙන්න කිව්වා. කුඩා පාර්සලයක් ජෝතිගේ අතේ තබා පොලිස් පිරිස නික්ම යද්දී එක් පොලිස් නිලධාරියෙකු පැවසුවේ “මීට පස්සෙ රෑට මහ පාරෙ ඉන්න අයගෙන් ගින්දර ඉල්ලන්න එපා” යනුවෙනි.


ජෝති පාර්සලය ලිහා බැලුවේය. එහි තිබුණේ බි්‍රස්ටල් සිගරට් බණ්ඩලයක් සහ සිගරැට් ලයිටරයකි. ජෝති එදා රෑ ගින්දර ඉල්ලා තිබුණේ රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගෙනි. ජෝතිට දවල් තරු පෙනුණේ එවිටය. මිල්ටන්ට හීන්දාඩිය දැම්මේය. 


ජනතාවගේ දුක් ගින්දර නිවීම තම ජීවිතයේ එකම අභිප්‍රාය කරගෙන සිටි ආර්. ප්‍රේමදාස සිරිමතුන් උදෙසා කතරගම පුදබිම පේනතෙක් මානයේ සිට තම අවසාන සිංදුව ගායනය කර ජෝති දිවියෙන් සමුගන්නා විට මා ඇමෙරිකාවේ පදිංචියට පැමිණ වසර ගණනාවක් ගතවී තිබුණි. 


ජෝතිපාලගේ අවමඟුල් උත්සවයදා ජනතාවගේ හදවත් කම්පා කරවන අතිශයින්ම සංවේදී කතාව පැවැත්වූයේ ආර්. ප්‍රේමදාසයන් බව මට කිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්ය.
සැමදා පාන්දර 4 ට නින්දෙන් පිබිදී තලප්පාවක් හිසේ බැඳගෙන තමන් ඇරඹූ නිවාස යෝජනා ක්‍රම ඇතුළු විවිධ ව්‍යාපෘතිවල කටයුතු නිරීක්ෂණය කිරීමට ගොස් එම කටයුතු නිසියාකාරව කඩිනම් කිරීමට ක්‍රියා කළ ආර්. ප්‍රේමදාසයන් වැනි දේශපාලනඥයෙකු ආදර්ශයට ගන්නා පාලකයින් රටට අත්‍යාවශ්‍ය අවධියකි මේ.

 


සිරි හීන්පැල්ල ලියයි
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (1)

අගමැති ප්‍රේමදාසගෙන් ජෝතිපාලට ලැබුණු අපූරු තෑග්ග

රජින්ද Wednesday, 03 July 2019 10:19 PM

වංගු ගසා මේ කියන්නේ සජිත් මේ රටට ඕනේ කියලනම් ඔබට වැරදිලා.

:       122       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1593 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1382 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 491 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site