IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කරත්තයෙන් පා පැදියෙන් ගොස් ඡන්ද දිනූ එස්. බී. ලේනව

 

කැකිරාව මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට ගිය පළමු මන්ත්‍රීවරයාවීමේ භාග්‍ය ලබා ඇත්තේ එස්. බී. ලේනව මහතාය. ඒ 1960 මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් තරග කර ජයග්‍රහණය කිරීමෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇතිකරගත් දේශපාලන මත බේදයක් නිසා එම පක්ෂයෙන් ඉවත්වී 1965 වසරේ මාර්තු මාසයේ 23 වැනිදා පැවති මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කැකිරාව මැතිවරණ කොට්ඨාසයට තරගකර ජයග්‍රහණය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූ එස්. බී. ලේනව මහතා 1970 වසර දක්වා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළත් ඒ වරප්‍රසාද අනවශ්‍ය ලෙස භුක්ති නොවිඳි එස්. බී. ලේනව මහතා බොහොම චාම් සරල දිවිපෙවෙතක් ගත කරමින් සිය මැතිවරණ බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අපමණ කැපවීමකින් කටයුතු කර ඇති දේශපාලනඥයෙකි.


කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ වෙසෙන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ එස්. බී. ලේනව මහතා පරමාදර්ශී දේශපාලනඥයෙක් ලෙස අදටත් ප්‍රදේශයේ ඔහු ගැන කරුණු කාරණා දන්නා වැඩිහිටියන් සිහිපත් කරන්නේ ලොකු ගෞරවයකිනි.


ලේනව මහතා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු කර ඇත්තේ පාපැදියෙන් හෝ කරත්තයෙන් ගොස්ය.


කඩමණ්ඩියට ගොස් ඒ අවස්ථාවේ එතැනට රැස්ව සිටින අයට කතා කර ඡන්දය ඉල්ලා සිටීම ද ලේනව මහතා කරගෙන ගොස් තිබේ.


ජයග්‍රහණය කිරීමෙන් පසු ලේනව මහතා කැකිරාව, යකල්ල පාරේ පිහිටි ලේනව වලව්වේ සිට පාපැදියෙන් හෝ කරත්තයක නැගී කැකිරාව දුම්රිය ස්ථානයට හිමිදිරි පාන්දර ගොස් එතැන් සිට දුම්රියේ නැගී කොළඹට ගියේ පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගිවීමටය.


කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බැස එතැන් සිට පාර්ලිමේන්තුව දක්වා ලේනව මහතා ගොස් ඇත්තේ රික්ෂෝවක නැගීය.
පරම්පරාවෙන්ම වලව්කාරයෙක්ව සිටියත් ලේනව මහත්තයා කවදාවත් වලව් පැලැන්තියේ කෙනෙක් කියා හිස උදුම්මාගෙන සිටියේ නැත.


ඔහු තමා කවරදාවත් වලව්කාරයෙක් කියා කියන්නට ගොස් නොමැත.


දේශපාලනයෙන් ඔහු හරිහම්බකරගත්තේ මිනිස්සුය. දේශපාලනයෙන් දේපොළ හරි හම්බකරගන්නට ගියේ නැත. ඔහු දේශපාලනය කිරීමට වියදම් සොයාගෙන තිබුණේ ඉඩකඩම් විකුණා ලබාගත් මුදල්ය.


එස්. බී. ලේනව මහතාගේ පියා බින්න කසාදයකින් උදුරුව හල්මිල්ලෑව ගමේ පදිංචියට ආ අයෙක් වන අතර පියා මානන්කට්ටිය ගම් සභාපති ධුරය ද දරා ඇත.


ලේනව මහතාගේ මව උදුරුව හාල්මිල්ලෑව රටේ මහත්තයාගේ දියණියක වන්නීය.


ඔවුන් දෙපොළට දරුවන් තිදෙනෙකු සිට ඇති අතර එස්. බී. ලේනව පවුලේ බාලයා විය.


කෘෂිකර්ම උපදේශකවරයෙක් ලෙස රජයේ සේවයට එක්වී ඇති එස්. බී. ලේනව පසු කාලයක කැකිරාවේ රාජකාරියට පැමිණ තිබේ.
ගීතා කුමාරි ලේනව එස්. බී. ලේනව මහතාගේ මිනිබිරියක වන්නීය.


කුමාරි ලේනව මහත්මිය පදිංචිව සිටින්නේ කැකිරාව, යකල්ල පාරේ පිහිටි ලේනව පරම්පරාවට අයත් වලව්වකය.


ගීතා කුමාරි ලේනව මහත්මිය එස්. බී. ලේනව මහතාගේ මතකය අවදි කළේ මෙසේය.


“එස්. බී. ලේනව කියන්නේ මගේ අත්තායි. ඒ කියන්නේ පුලස්ති බණ්ඩාර ලේනව වන මගේ පියාගේ තාත්තායි. මගේ පියාට තිලකා ලේනව කියා සහෝදරියක්ද සිටියා. එස්. බී. ලේනව වන මගේ අත්තා ඔහු කෘෂිකර්ම උපදේශකයෙක් වශයෙන් පත්වීමක් ලබා සේවය කරන්න පැමිණ තිබෙන්නේ කැකිරාවටයි. අත්තා රටේ නොයෙකුත් පළාත්වල ඉන්න ගොවියන් කැකිරාවේ ඔළුකරඳ ප්‍රදේශයට ගෙන්වා පදිංචිකර මිරිස් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා. පසු කාලයක ඒ ගම්මානය මිරිස්වත්ත කියා හඳුන්වා තිබෙනවා. අදටත් ඒ ගම හඳුන්වන්නේ මිරිස්වත්ත කියා තමා.


අත්තා (එස්. බී. ලේනව) කෘෂිකර්ම උපදේශකවරයෙක් වශයෙන් මිරිස් වගාව වැඩිදියුණු කරන්න කැපවුනා වගේම මානේරුව, උපුල්වැහැර හා පරවහගම යන ගම්මාන ගණනාවකම කපු වගා කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. මේ නිසා අත්තාව ඒ ගම්මානවල ඉන්න පැරණි අය හඳුන්වන්නේ කපු මහත්තයා කියා”


එස්. බී. ලේනව මහතා කෘෂිකර්ම උපදේශකවරයෙක් ලෙස රස්සාව කරමින් සිටි අතරවාරයේ දේශපාලනයට පිවිස ඇත්තේ ප්‍රදේශයේ වැඩිදෙනකුගේ ඉල්ලීම අහක දැමීමට නොහැකිවූ නිසාය.


“අත්තා දේශපාලනයට එනකොට දරුවෝ දෙන්නෙක් ඉන්න පියෙක්. එක්කෙනෙක් පුලස්ති බණ්ඩාර ලේනව, අනෙක් කෙනා තිලකා ලේනව. පුලස්ති බණ්ඩාර ලේනව කියන්නේ මගේ තාත්තා. අත්තා මුල්වරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් කැකිරාව ආසනයට තරග කළා. ඒ 1960 මහ මැතිවරණය වෙනුවෙන්” යැයි පවසමින් එස්. බී. ලේනව මහත්තයා මැතිවරණයේදී ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු ආකාරය ගැනද ඔහුගේ මිනිබිරියවූ කුමාරි ලේනව මහත්මිය ඇය දන්නා කරුණු කාරණා ගැන හෙළිකළේ මේ අන්දමිනි.


“කැකිරාව ආසනය සඳහා තරග කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් නාමයෝජනා ලැබුණාට පස්සේ අත්තා එයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පටන්ගත්තා. ඒ කාලයේ අද වගේ යානවාහන තිබුණේ නැහැ. දුෂ්කර ගම්වලට යන්න බස් එහෙම තිබුණෙත් නැහැ. අත්තා කරත්තයක නැගලා ගිහින් සමහර දවස්වලට ආධාරකරුවෝ පිරිසක් එක්ක පාපැදි වලින් ගම්වලට ගිහින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී තිබෙනවා.


අත්තා පෝස්ටර් හෝ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ගසා ඒවා ඇලෙව්වේ හෝ බෙදාහැරියේ නැහැ. කඩමණ්ඩිවල සෙනග ඉන්න වේලාවල්වලට ගිහින් කතා කරලා ඡන්දය ඉල්ලීම තමා කරලා තියෙන්නේ. මගේ තාත්තා පුලස්ති බණ්ඩාර ලේනව, අත්තාගේ මැතිවරණය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කර තිබෙනවා. කැකිරාව ආසනයේ ගෙයක් ගෙයක් ගානේ යමින් ඡන්දය ඉල්ලා තිබෙනවා. 1960 මහ මැතිවරණයෙන් අත්තා දිනුවා. කැකිරාව ආසනය සඳහා පළමු මන්ත්‍රීවරයා ලෙස තේරීපත්වුණේ අපේ අත්තා වන එස්. බී. ලේනවයි”


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත්වූවා යැයි කියා එස්. බී. ලේනව මහතා යාන වාහනවලින් ගමන් බිමන් යාමට එතරම් කැමැත්තක් දක්වා නොමැත.


ඔහු වැඩියෙන්ම ගමන් බිමන් ගොස් ඇත්තේ පාපැදියකින් හෝ කරත්තයකිනි.


ඒ තරමටම ඔහු සරල චාම් ගතිපැවතුම් ඇති නිහතමානී දේශපාලනඥයකුවී ඇත.


මන්ත්‍රීවරයකුවූ පසුද ඔහු කරත්තය හෝ පාපැදිය අමතක කර දැමුවේ නැත.


“අත්තා පාර්ලිමේන්තු සැසිවාර තියන දවස්වලට උදේ පාන්දරින්ම නැගිටලා කාවහරි එක්ක පාපැදියෙන් කැකිරාව ස්ටේෂන් එකට යනවා. කැකිරාව ස්ටේෂන් එකෙන් නැගලා කොළඹ කොටුවට යනවා.


කොටුවේ ස්ටේෂන් එකෙන් බැහැලා එතැන තියන රික්ෂෝවකින් පාර්ලිමේන්තුවට ගොස් තිබෙනවා. මන්ත්‍රීවෙලා ඉන්න කාලෙත් මහගෙදර ගියෙත් ගොන් බැඳි කරත්තයෙන්. අත්තා එක්ක තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝච්චියෙන් පාර්ලිමේන්තු යන්න කොළඹට ගිහින් තියෙනවා. එයින් එක්කෙනෙක් හොරොව්පතානේ මන්ත්‍රී හේරත් මහත්මයා. අනිත් එක්කෙනා නිකවැරටියේ මුදියන්සේ තෙන්නකෝන් මන්ත්‍රීවරයා. මේ තුන්දෙනා කොළඹට යනතුරුම කවි හෝ සින්දු කියමින් යනවා කියා අපේ අප්පච්චි අපිත් එක්ක කියා තිබෙනවා. කෝච්චියෙන් අපේ අත්තා එක්ක මිහින්තලේ මන්ත්‍රී පතිරාජ තෙන්නකෝන් මහත්තයාත් ගියා.”


ඒ එස්. බී. ලේනව හිටපු මන්ත්‍රීවරයාගේ මිනිබිරියවූ කුමාරි ලේනව මහත්මියගේ මතකයයි.


තවත් කොටසක් ලබන සතියට.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

කරත්තයෙන් පා පැදියෙන් ගොස් ඡන්ද දිනූ එස්. බී. ලේනව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site